අතීත කතාව
“අනේ මන්දන්නෙ නෑ අපි නම් ඒ කාලෙ අම්මල තාත්තල ඇඟිල්ලෙන් ඇණ ඇණ අහන කම් ඉඳියෙ නෑ කසාද බැඳලා ළමේක් හදාගන්න. අපි කලට වේලාවට ඒක හැදුවා. ඒකට දැන්. කසාද බැඳල අවුරුදු දෙකකට කිට්ටුයි අපේ එකාගෙ දරුවෙක්ව බලල නම් එලොව යන්න තිබ්බ හීන මේ කපේට ඇත්ත වෙන එකක් නෑ.
උදේ පාන්දර උයල කරල ගෙවල් අස්පස් කරන ඒව කරන්න නම් පුතා මොකෝ ගෑණියෙක්ව කසාද බැඳගන්න ඕනය. වැඩකාරයෙක් ගන්න තිබ්බනෙ. මට උනත් මේ කරන්න පුලුවන් නෙ ඕව. මිනිස්සු කසාද බඳින්නෙ පරම්පරාව ඉස්සරහට අරගෙන යන්න. අනේ මන්දන්නෙ නෑ කේන්දර එහෙම බලෝල අපිත් මහ ලොකුවට වියදම් කරල කසාද කරාට මොකෝ නිකන් පුස්ස බින්ද වගේ” කියල නැන්දම්මා කියද්දි ශ්‍රියානි කරේ සුපුරුදු විදියට සද්දයක් බද්දයක් නැතුව අහගෙන කාමරේට වෙලා උන්න එක. කසාද බැඳල ආව මුල් කාලෙ නම් නැන්දම්මා වෙච්ච යසෝ මැණිකෙට ශ්‍රියානි ඇරෙන්න වෙන කෙනෙක් ඉඳියෙ නෑ. යන්නෙ කොහෙද ශ්‍රියානිව කරඬුව වගේ ඉස්සර කරගෙන තමයි යන්නෙ. ඒ උනාට ඒ කතන්දර ඔක්කොම තිබ්බෙ ශ්‍රියානි යසෝ මැණිකෙගෙ පුතා වෙච්ච රනිල්ව කසාද බැඳගෙන ඇවිත් මාස හයක් ගෙවෙන කම් විතරයි.
“තාම වෙනසක් නැද්ද ළමයො” කියල මුලින් අහපු ප්‍රශ්න ටිකෙන් ටික කල් යද්දි,
“අනේ මන්දා දැන් කොච්චර කල් වෙනවද, තාම වෙනසක් නැද්ද?” කියලා අහන්නත්, ඒ ප්‍රශ්නෙ,
“වද ගෑණියෙක්ව පුතාගෙ කරේ අපි මේ කේන්දර එහෙමත් බලල පටවල තියෙන්නෙ” කියල ඇණුම් පද විදියට වෙනස් වෙන්න ගියේ තව මාස කීපයක් විතරයි. ළමේක් හම්බෙන්න කියල හිතාගෙන ශ්‍රියානි රනිල් ජෝඩුව කොච්චර එක්කහු උනත් ඉතින් ඒව වෙන්නෙ දෙයියන්ට ඕන වෙලාවට විතරයිනෙ කියල සිතුවිල්ලක් ශ්‍රියානිගෙ හිත අස්සට රිංගුවෙ නැන්දම්මගෙ ඔය ඇණුම් පද දරාගන්න බැරි තැනමයි. රනිල් නම් අනේ ඇත්තටම හොඳ මනුස්සයා. ශ්‍රියානිට දරුවො හම්බෙන්න පරක්කු වෙන එක ගැන වචනෙකින්වත් හිත රිදෙන්න දෙයක් කිව්වෙ නැති මනුස්සයෙක් තමයි රනිල් කියන්නෙ.
කොහොමහරි කසාද බැඳල තුන්වෙනි සංවත්සරේ එන්න ඔන්න මෙන්න තියෙද්දි වගේ තමයි ඒ වාසනාවන්ත ආරංචිය ශ්‍රියානියි රනිලුයි බලාගෙන ආවෙ. දරුවෙක් ලැබෙන්න ඉන්නව කියල දැනගත්තයින් පස්සෙවත් නැන්දම්මගෙ කටකමසෙයියාවක් නැතුව කියවන එක, ඇණුම්පද කියන එක නතරවෙයි කියල ශ්‍රියානි හිතුවට මොකෝ යසෝ මැණිකෙ හිටියෙ එහෙම ලේසියෙන් සරෙන්ඩර් වෙන්න බලාගෙන නම් නෙවෙයි. “දරුවෙක් ලැබුණට පස්සෙ යසෝ මැණිකෙ නැන්දම්මා කියන ඒව නතරවෙන්නෙ නැතෑ” කියලා ශ්‍රියානි ගෙදර ගිහින් අම්මා එක්කල කියද්දි අම්මා කිව්වට මොකෝ දරුවෙක් ලැබෙන්න ඉන්නව කියල දැනගත්තයින් පස්සෙත් යසෝ මැණිකෙ ශ්‍රියානිව අතෑරියෙ නෑ.
“අනේ මන්දන්නෙ නෑ වමනෙයි ඇඟ පතේ අමාරුවයි කියල ඇඳෙන් නැගිටින්නෙ පස්ස පැත්තට ඉර පෑව්වයින් පස්සෙ. ඒකෙන් මේකෙන් මේ බණක් පිරිතක් අහන්න තියෙන වෙලේ මටත් උදේ නැගිටගෙන මේ සුමේ කරන්න උනානෙ. පුතාට කැන්ටින් ජරාව කන්න දෙන්න බැරිකම හන්ද නැගිටිනව මිසක්කා මෙලහකට මම දමල ගහලා ගිහින්.
අන්තිමේ ඉදිමිච්ච කකුල් තව තව පිටින් කන්න තමයි මගෙ එකාට උනේ. පව තමයි ඉතින්. අපිටත් දරුවො ලැබුණා ළමයො. අනේ අපි නම් ඔහොම විගඩං නටුවෙ නැ අපෙ නැන්දම්මල නටන්න ඉඩක් දුන්නෙත් නෑ. ළමයි හම්බෙන්න ඉද්දිත් අපි උදේ නැගිටල උයලා කරල ගෙවල් අස්පස් කරලා වත්තෙ පිටියෙ කුඹුරෙ හේනෙ වැඩත් කරා. ඉස්සර උදේ ගොයං කයියට ගිහින් දවාලෙ දරුව හම්බෙලා රෑටත් උයන්න වෙලා තිබ්බෙ අපිට” කියල දරුව හම්බෙන්න ඉද්දි ශ්‍රියානි ඇඟෙ පතේ අමාරුකම් කිව්වම කියන්න පටන් ගත්ත නැන්දම්මා දරුව හම්බුනයින් පස්සෙත් කරේම ශ්‍රියානිට අරියාදු.
“දරුවට දාපු නම”
“දරුවව යවපු ඉස්කෝලෙ”
“දරුවට කවන පොවන ඒව”
“දරුවට ඩයපර් අන්දපුව”
“දරුවව වඩාගන්න දන්නෙ නැති එක”
“දරුවට හරියට කිරිදෙන්න දන්නෙ නැති එක වගේ” දාහක් කාරණා අල්ලගෙන ශ්‍රියානිට ඇණුම්පද කියන්න යසෝ මැණිකෙ නැන්දම්මා අමතක කරේ නෑ. ශ්‍රියානි අර ඉවසන් ඉඳියෙ තමන්ගෙ තියෙන මනුස්සකමට මිසක්ක යසෝ මැණිකෙ නැන්දම්මගෙ මූණට මුකුත් කියන්න බැරිකමට නෙවෙයි.
කොහොමහරි යසෝ මැණිකා නැන්දම්මා ඔක්කොම ඇණුම් පද කියල මේලෝකෙ තමන්ට තිබිච්ච රාජකාරි ඔක්කොම ඉවර කරලා එලොව බලා යද්දි ශ්‍රියානිගෙයි රනිල්ගෙයි දරුවා වෙච්ච ශෙහාන්ට වයස අවුරුදු දොලහක් වගේ. ශ්‍රියානිගෙ කණට නිවනක් ලැබුනෙ ඉන්පස්සෙ. ශෙහාන් ටිකෙන් ටික ලොකු උනා. ශෙහාන්ට නංගියෙක් මල්ලියෙක් ගේන්න රනිලුයි ශ්‍රියානියි මහන්සි උනත් ඒක හරි ගියේ නැති තැන ශෙහාන්ගෙන් සැනසෙන්න ශ්‍රියානියි රනිලුයි පුරුදු උනා.
——————————————————————————————————————————-
වර්තමාන කතාව
“අනේ මන්දන්නෙ නෑ අපි නම් ඒ කාලෙ අම්මල තාත්තල ඇඟිල්ලෙන් ඇණ ඇණ අහන කම් ඉඳියෙ නෑ කසාද බැඳලා ළමේක් හදාගන්න. අපි කලට වේලාවට ඒක හැදුවා. ඒකට දැන්. කසාද බැඳල අවුරුදු දෙකකට කිට්ටුයි අපේ එකාගෙ දරුවෙක්ව බලල නම් එලොව යන්න තිබ්බ හීන මේ කපේට ඇත්ත වෙන එකක් නෑ.
උදේ පාන්දර උයල කරල ගෙවල් අස්පස් කරන ඒව කරන්න නම් පුතා මොකෝ ගෑණියෙක්ව කසාද බැඳගන්න ඕනය. වැඩකාරයෙක් ගන්න තිබ්බනෙ. මට උනත් මේ කරන්න පුලුවන් නෙ ඕව. මිනිස්සු කසාද බඳින්නෙ පරම්පරාව ඉස්සරහට අරගෙන යන්න. අනේ මන්දන්නෙ නෑ කේන්දර එහෙම බලෝල අපිත් මහ ලොකුවට වියදම් කරල කසාද කරාට මොකෝ නිකන් පුස්ස බින්ද වගේ”
කාලේ වෙනස් වුනාට අතීත කතාවයි වර්තමාන කතාවයි දෙකම වගේ කෙරීගෙන ගියේ එකම විදියට. ශෙහාන් හරි වයස ආවම කසාද බැන්දෙ තමන් එක්ක එකට ඉගෙන ගත්ත, හැබැයි කේන්දර එහෙම බලලා අම්මලගෙත් කැමැත්ත අරගෙන සනුරිව. ශෙහාන් තරම්ම ඉගෙන ගත්ත, ශෙහාන් තරම්ම හොඳ රස්සාවක් කරන, හොඳට හම්බ කරන, සනුරිගෙ ලස්සනෙන්ද උගත්කමෙන්ද, ගෙදර දොර වැඩපල වල හුරුබුහුටිකමෙන්ද කිසි වරදක් නැති උනාට ශ්‍රියානිට තිබ්බ ප්‍රශ්නෙ සනුරි ශෙහාන් ජෝඩුව කසාද බැඳලා අවුරුදු දෙකක් යනකම්ම දරුවෙක් නැති එක.
“ශෙහාන් මගේ පී එච් ඩී එක ඉවර වෙනකම් මට දරුවෙක් ගැන හිතන්න බෑ. මං ඔයාට මැරි කරන්න කලින්ම ඒක කිව්වනෙ. මම සෑහෙන මහන්සි උනා යූ කේ වල ඒ ග්‍රේඩ් යුනි එකකින් පී එච් ඩී එකක් කරන්න ස්කොල් එකක් අරගන්න. එහෙම ගත්ත එක පස්සට දාන්නවත් අමතක කරල දාන්නවත් මට පුලුවන් කමක් නෑ. ඔයාට බැරි නම් ඔයාගෙ අම්මට මම ඒක කියන්නම් පැහැදිලි කරල. ඔයාලගෙ අම්මයි තාත්තයි මුණුබුරෙක් බලන්න ආස උනාට මම අවුරුදු ගාණක් තිස්සෙ මහන්සි වෙලා කරගෙන ආව දේවල් කැපකරල දරුවෙක් හදල මගේ එඩියුකේශන්, කරියර් පාත් එක අතරමග නතර කරගන්න මට උවමනා නෑ” කියා සනුරි පැහැදිලිව කියද්දි ශෙහාන් නම් කිව්වෙම “මම දන්නව බබා. අයෑම් සොරි. අම්මල කියන ඒව ලොකුවට හිතන්න එපා. අපෙ ආච්චිත් අම්මට ඔය වගේම මං හම්බෙන එන පරක්කු වෙද්දි සද්ද දැම්මලු. අනේ මන්ද අපේ අම්මට ඒව මතක නැද්ද?” කියලා සනුරිගෙ හිත හදනවා වගේම අම්මා ලඟටත් ගිහින් සනුරිට එහෙම කියන්න එපා කියලත් කිව්වා.
“අම්මාම ඉස්සර කියනවා නේද ආච්චි හරියට අම්මාව මෙන්ටලි වැට්ටුව කියල බබාලා හම්බෙන්න පරක්කු වෙනව කියල. එහෙම එකේ අම්මා දැන් ආච්චි අම්මා කරා වගෙම සනුරිට එක එක ඒව කියන එක හරි කැතයිනෙ” කියල ශෙහාන් කිව්වම ශ්‍රියානි නම් කිව්වේ “මට ළමයි හම්බෙන එක පරක්කු උනේ මම හිතල කරපු දෙයක් හන්දා නෙවෙයිනෙ. මොකක් හරි ප්‍රශ්නයක් හන්දා. මේක එහෙම නෙවෙයිනෙ. ඉගෙනගන්නව කියල ළමයි හදන එක පස්සට දාන්නෙ හරි විකාරයක්නෙ. අපිත් ආසයි බලන්න උඹේ දරුවෙක්ව” කියලා.
“අනේ මන්දා අම්මේ ඔයත් පොඩ්ඩ පොඩ්ඩ ආච්චි අම්මා කෙනෙක් වෙන්නයි යන්නෙ” කියාගෙන එතනින් ගියා මිසක් ශෙහාන් ඉන් එහා අම්මට දෙයක් කියන්න ගියේ නැත්තෙ තේරුමක් නැති හන්දා.
ශ්‍රියානි එදත් උදේ ඇහැරුනා. සුපුරුදු විදියට කුස්සියට ගිහින් ශෙහාන්ට තේක හැදුව.සනුරි එදා ගෙදර ඉඳියෙ නැ. ඔෆිස් එකේ ට්‍රේනින් එකකට එලියට ගිහින් හිටියෙ. ඒ නිසා ශ්‍රියානි තමයි කුස්සියෙ වැඩ ඔක්කොම කරේ. ශෙහාන් සුපුරුදු විදියට උදේ ඇහැරලා, මූණ කට සෝදන් කාමරෙන් එලියට ආවෙ ඔෆිස් යන්න කලින් බ්‍රෙක්ෆස්ට් ගන්න හිතාගෙන. මේසෙට වාඩිවෙනවත් එක්ක ශෙහාන්ට ඇහුනා අම්මා කුස්සියෙ ඉඳගෙනත් සනුරිට එක එක ඒව කියනවා.
“අනේ මන්දන්නෙ නෑ ඔෆිස් එකේ වැඩයි ඉගෙන ගැනිල්ලයි ඇරෙන්න වෙන වැඩක් නම් කෙරෙන්නෙ නෑනෙ මේ ගෙදර ඉන්න අනික් ඉස්තිරියාවගෙන්. ඉගෙන ගත්තමයි රස්සාව කරාමයි ඇති කියලනෙ එයා හිතන් ඉන්නෙ. ඒකෙන් මේකෙන් මේ බණක් පිරිතක් අහන්න තියෙන වෙලේ මටත් උදේ නැගිටගෙන මේ සුමේ කරන්න උනානෙ. පුතාට කැන්ටින් ජරාව කන්න දෙන්න බැරිකම හන්ද නැගිටිනව මිසක්කා මෙලහකට මම දමල ගහලා ගිහින්” කියල අම්මා කියනව ඇහුනට උදේ පාන්දර රණ්ඩුවක් දාගන්නෙ මොකටද කියල හිතලා තමයි ශෙහාන් මුකුත් කියන්නෙ නැතුව මේසෙට වාඩි උනේ. හැබැයි ශෙහාන්ට වැඩිවෙලා මේසෙට වාඩිවෙලා ඉන්න උනේ නෑ.
කුස්සියයි කෑම කාමරෙයි එක්කහු වෙන දොරෙන් කෑම කාමරේට එන අම්මව දැක්කම ශෙහාන් ඉඳගෙන උන්න තැනින් නැගිටුනා.
“ආච්චි අම්මේ?” කියාගෙන වාඩිවෙලා උන්න තැනින් නැගිට්ට ශෙහාන්ව දැක්කම ශ්‍රියානි මුලින් හිතුවෙ ශෙහාන්ට පිස්සු කියල.
“මොනව ළමයො මේ උදේ පාන්දර පිස්සු කියවන්නෙ? ආච්චි අම්මෙක් නෙවෙයි මම අම්මා”
“ආච්ච්…ආච්ච්…ආච්චි අම්මාආඅ” කියලා වෙව්ල වෙව්ල ශෙහාන් කියද්දි මේක නම් තවදුරටත් විහිලුවක් නෙවෙයි කියල හිතිච්ච හින්දද මන්දා ශ්‍රියානි ගෙ අත ඉබේම තමන්ගෙ මූන දිහාවට ගියේ මූණෙ මොකක් හරි වෙනසක් තියෙද කියල බලන්න. අල්ලල කරල වෙනසක් තේරිච්ච නැති තැන තමයි ශ්‍රියානි කාමරේ කණ්ණාඩියෙන් මූණ බලන්න ගියේ.
කණ්ණාඩියෙන් ශ්‍රියානි දැක්කෙ ශ්‍රියානිව නෙවෙයි.
යසෝ මැණිකෙව. යසෝ මැණිකෙ නැන්දම්මගෙ නලලෙ තිබ්බ ඉන්නා ඒ විදියට තමන්ගෙ නළලටත් ඇවිත් විත්තිය, නැන්දම්මගෙ වගේම තමන්ගෙ කොණ්ඩෙත් සුදු පාට වෙලා විත්තිය, කම්මුලේ තිබ්බ උපන්ලපේ තමන්ගෙත් ඒ විදියටම තියෙනව දැක්කම ශ්‍රියානිට පිස්සු හැදිච්ච නැති ටික විතරයි.
“නැන්දම්මා මට කරා වගේම සනුරිට බැණ බැණ උන්න එකෙන් අන්තිමේ මාත් නැන්දම්මා වගේ කෙනෙක් වෙලා නේද?” කියන ප්‍රශ්නෙ කණ්ණාඩියෙන් පේන යසෝ මැණිකෙ නැන්දම්මගෙ මූණ දිහා බලාගෙන කඳුලු පෙර පෙර ශ්‍රියානි ඇහුවට මොකෝ කණ්ණාඩියෙ ඇඳිල තිබිච්ච යසෝ මැණිකෙගෙ මූණෙ නම් කඳුලු බිංදුවක්වත් තිබ්බෙ නෑ.
අර ඉස්සර ශ්‍රියානිට ඇණුම් පද කියද්දි තිබ්බ නපුරු, දුස්ට, කුඩුකේඩු පෙනුමයි හිනාවයි ඇරෙන්න!