මල් පිපුණිද හිම කැළයේ – 11

0
4694

හිතේ වූ මහා බරක් බිමින් තැබුවා සේ සැහැල්ලුවක නිලංගා ආපසු ක්ලිෆර්ඩ් මන්දිරයට පැමිණියාය.මාලිකා සමගින් අවන්හල අසළ උද්‍යානයේ ඇවිදයන්නට කාලය මඳ වූ හෙයින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් පමණක් ගත් සාප්පු සවාරියකට පසු මාලිකා ඇය ඇරලවා යන්නට ගියාය.

“යාළුවො දෙන්නා ඇතිවෙන්න ඇවිද්දද?..”
කාමරය වෙත යන අතරමග හමුවුණ පෝලා සිනාමුසුව විමසුවාය.

“ඔව් පෝලා, පොඩ්ඩක් මෙලා එක්ක ඇවිද්දා…ඒක නෙවේ මේරි මැඩම් කොහොමද අද?”
නිලංගා වටපිටද  බලමින් ඇසුවේ ඉතා සෙමිනි.පෙරදා වූ සිදුවීම ඇයගේ සිත බෙහෙවින් සසළ කොට තිබුණි.

“අද නම් ශේප්…ඔහොම තමා සතියකට වතාවක් දෙකක් ගිනිකන්දක් පුපුරනවා වගේ ඇවිස්සෙනවා…ආපහු සද්ද නෑ….ඔහේ ඉන්නවා…ඔයා ඊයේ සෑහෙන්නම බයවුණානේද?”
පෝලා නිලංගා ගැන පැහැදී තිබුණේ ආ මොහොතේ සිටමය.
නිලංගා සිනහවක් පා කාමරය වෙත යන්නට අවසර පැතුවාය.

“නෙලී, ඔයාට මේ අය කන විදියට මීල්ස් ගන්න කැමති නැත්නම් ඔයාට කිචන් එකට ඇවිල්ලා ඕන දෙයක් හදාගන්න පුළුවන් හොඳද? සිල්වියා මැඩම් ඒක මතක් කරලම කියන්න කීවා.ඔයාලා ඒශියන් ෆුඩ්ස් වලට ගොඩක් ස්පයිසස් එහෙම දානවානෙ.මෙහෙ අයගෙ සෝල්ට්, පෙපර් මෙතඩ් එකට කැමතිත් නැතුව ඇති කියල සිල්වියා මැඩම් කීවා..”

නිලංගා කාමරය වෙත පියමැන්නේ හිස සලා පෝලාට සිනාවී ස්තුති කරමිනි. පසුගිය කාලයේ තමා ආහාරගත් අන්දම පෝලා දන්නේ නම් මේ අන්දමින් නොකියනු ඇත.

නිලංගා සයනයේ කොට්ටයක් බිත්තියට තබා අඩ ඉරියව්වක ඉඳගත්තාය.මේරි මැඩම් ගේ මුණුපුරා අදත් එනු ඇතැයි ඇයට එක්වනම සිහිපත්විය.අද දවසේ නම් කීයටවත් ඒ වේලාවට එළියට නොබසිමි යැයි නිලංගා ස්ථිරවම සිතාගත්තාය.ඔහු ඒ සා කලබල වන්නට හේතුවක් එදා ඇත්තෙන්ම තිබුණිදැයි ඇය යළිත් සිතුවාය.

සිය මිත්තණියට ඔපමණ ආදරය කරන්නෙකු නම් අනෙක්, අවශේෂ පුද්ගලයන් ගැනද යම්කිසි හෝ ළතෙත් බවක් නොතිබෙන්නේ කුමන හේතුවක් නිසාවෙන්ද? නිලංගා ස්ටීව් ක්ලිෆර්ඩ් සම්බන්ධ මතක එකින් එක මනසින් පෙළගස්වා සිතා බැලුවාය.ස්ටීව් ක්ලිෆර්ඩ් මුලින්ම ඇයට මතකයට එන්නේ coffee garden 66 හිදී මාලිකා සහ බ්‍රයන් සමගින් උන් දාය.එදා තමා ඔවුන් දෙස බැලූ දෙවතාවම ස්ටීව්ගේ තියුණු දෑසට හසුව තිබිණ.ඔහු එයට එදාත් ප්‍රතිචාර දැක්වූයේ නොරිස්සුමිනි.මාලිකා ගේ අත්පසුම්බිය රැගෙන යන්නට ආ මොහොතේත් නොඉවසිල්ලෙන් රිය නළාව නාද කරමින් විදුලිපහන දල්වමින් කල කලබගෑනිය ඔහු කෙතරම් නොඉවසිලිමත් පුද්ගලයෙක්දැයි ගෙනහැර පෑවේය.තුන්වෙනි වතාවට ස්ටීව් ක්ලිෆර්ඩ් නිලංගාගේ සිතේ තදබල ලෙස අප්‍රසාද ජනක මතකයක් ඉතිරි කලේ සිය මිත්තණිය වැටුණු දාය.

ස්ටීව් ක්ලිෆර්ඩ් අඩි හයක් පමණ උසැති පළල් උරහිසැති කඩවසම් පුද්ගලයෙකි.එහෙත් ඔහු සිය හැසිරීමේ ගෙන ආවේ කිසිදු ප්‍රසාද ජනක හැඟීමක් නොවේ. නිලංගා හැකිතාක් දුරට ඔහු මගහැර සිටීමට අදිටන් කරගත්තාය.

ස්ටීව් සිය මිත්තණිය බලන්නට සුපුරුදු ලෙසින් ක්ලිෆර්ඩ් මන්දිරයට පැමිණියේ  සවස හයත් හතත් අතරය. වෙනදා සේ නොව සිතේ ඇතිව තිබුණේ යම් චකිතයකි.ස්ටීව්යනු කිසිම දිනයක තවත් පුද්ගලයෙකුගේ මානසිකත්වය ගැන වදවන්නෙකු නම් නොවීය.තමා ගන්නා තීරණ සම්බන්ධයෙන් අනෙකා හට වන බලපෑම ඔහුට කිසි දිනයක ගැටළුවක් නොවුනේ තමා ගන්නා සියලුම තීරණයන් නිවැරදිව ගන්නා බව ඔහුට සියයට සියයක්ම විශ්වාසව තිබුණ හෙයිනි.

නමුත් මේ වතාවේදී තමා අතින් සිදුවූයේ බලවත් වරදක් බව ස්ටීව් ක්ලිෆර්ඩ් හට පිලි නොගෙන සිටීමට නොහැකිවිය. එවැනි වරදක් තමා අතින් වුවද ඒ සම්බන්ධයෙන් පසුතැවීම සාමාන්‍යයෙන් ඔහුගේ සිරිත නොවීය.නමුත් මේ වතාවේදී එය අමතක කර දමන්නට උත්සාහ ගත් හැම මොහොතේම යළි යළිත් එම වරදකාරී හැඟීම තමා හට වදයක් වෙමින්ඉස්මතුව ආවේය. තමා පසෙකට තල්ලු කළ මොහොතේදී ඇය තදින් බිත්තියේ වැදුණු බව ඔහුට පැහැදිලිව මතකය.

ආච්චී දෝතට ගෙන ඇය හට බැන වදිමින් රවා බැලූ මොහොතේදී පවා ඇයගේ ඇස් දෙකෙහි කඳුළු පිරී තිබුණු අන්දම ස්ටීව් යළි යළිත් සිහිපත් කළේය. කිසිදු වදනක් නොදොඩා නිසොල්මනේ පිටව ගිය ඇය ඉන්පසු නෙත්මානයට පැමිණියේද නැත. පෝලා පැවසුවේ ඇයට නින්ද ගොස් ඇති බවය.පෝලා අමතා ඇයගේ බිත්තියෙහි වැදුණු අත ගැන සොයා බලන්නට යැයි කියන්නටවත් ඒ මොහොතේදී තමාගේ මාන්නාධික බව  තමා හට ඉඩ නොදුනු බව ස්ටීව් පසුව සිහිපත් කළේ කලකිරීමක් මුසු හැඟීමකිනි.

පෝලාට කියන්න ඕනේ අම්මට කියලා අතට මොකක් හරි ඉන්ජරි එකක් වෙලා නම් treatment මොනවා හරි ගන්න සල්ලි දෙන්න කියලා…
ස්ටීව් ක්ලිෆර්ඩ්  යළිත් වරක් ගත්තේ වැරදි තීරණයක් බව ඔහුද නොදැන උන්නේය.මන්ද ඔහු බොහෝ දේ තීරණය කළේ මුදල් වැනි භෞතික කාරණා මත රැඳී සිටිමිනි.එවැනි යෝජනාවක ප්‍රතිඵලය කිනම් ආකාරයේදැයි ඔහු නොදැන උන්නේය.

“පෝලා අර ගර්ල් කොහෙද? එයාගේ අතට මොකුත් ඉන්ජරි එකක් නැහැනේ?”
මිත්තණියගේ කාමරයේ ඇය අසල අසුන්ගෙන උන් ස්ටීව් විමසුවේ කාමරයේ සිට කෑම බන්දේසිය රැගෙන යන පෝලාගෙනි.පෝලා නැවතී හැරී බැලුවාය.

“එයාගේ  අතක වැලමිට ගාව හොඳටම තැලිලා මිස්ටර් ස්ටීව්. ඊයේ අයිස් තියාගත්තා. අද මොනාහරි බාම් එකක් ගාලා  බැන්ඩේජ් එකක් දාගෙන උන්නා..උදේ මෙලා එක්ක ගිහින් දැන්නම් කාමරේ ඇති…ඇයි මිස්ටර් ස්ටීව්ට එයාට කතාකරන්න ඕනෙද?”
පෝලා යටිසිතින් සිනාසෙමින් විමසුවාය.ඊයේ ස්ටීව්හට වැහී උන් යකා දැන් කොහේ හෝ සැඟව ඇත.

“නෑ ..නෑ…එහෙම කතාකරන්න ඕන නෑ…අම්මගෙන් ඉල්ලලා ට්‍රීට්මන්ට් වලට ඕනෙ නම් සල්ලි අරන් දෙන්න කියන්නයි මම හැදුවෙ…”
මේ තරුණයාගේ මාන්නක්කාර කම පෝලා ඉවසා උන්නේ කලකිරීමෙනි.ඇය කිසිවක් නොකියාම ඉවතට ගියද පෝලාගේ මුහුණේ ඉරියව් වෙනස ස්ටීව් මැනවින් දුටුවේය.

මිත්තණිය ඇසුරේ කාලය ගතකළද වෙනදා මෙන් සිත එකතැනක නොරැඳෙන්නට හේතු කිමදැයි ස්ටීව් ක්ලිෆර්ඩ්හට සිතාගන්නට නොහැකිවිය.හැකි ඉක්මනින් ක්ලිෆර්ඩ් මන්දිරයෙන් පිටව යන්නට ඔහු තීරණය කළේ එහෙයිනි.

රියක හඬ මිදුලේ සිට ඇරඹී ඈතින් ඈතටම ගොස් නෑසී යන තුරු නිලංගා කාමරයෙන් පිටතට නොආවාය.මේ දින දෙක හැකිතාක් දුරට තමා වෙනුවෙන්ම යොදාගන්නට ඇය තීරණය කළේ මාලිකාගේ උපදෙස් සමගය.

“ඔයා වැඩ පටන් ගන්නෙ සඳුදානෙ. පුලුවන් තරම් ඔය අනවශ්‍ය ප්‍රශ්න වලට ඉන්වෝල්ව් නොවී ඉන්න නෙලී.මොකද සිල්වියා ආන්ටි නම් මට අන්ෂුවර් නෑ නමුත් ස්ටීව් නම් මට ප්‍රෙඩික්ට් කරන්නම බැරි මනුස්සයෙක්…සඳුදා ඉඳලා ඔයා ඔයාගේ රෙස්පොන්සිබිලිටීස් අරගෙන ඩියුටි ලිස්ට් එක බලල වැඩ කරන්න.”
මාලිකා තදින්ම උපදෙස් දුන්නාය.සිය කාර්‍ය පටිපාටියෙන් මිදී පවා පෙරදා උදව් කරන්නට ගිය ගමනේ අප්‍රසන්නම සිහිවටනය වූ වැලමිට තවමත් බැන්ඩේජයකින් ඔතා ඇති ගමන් ය.නිලංගා සුසුමක් පමණක් හෙළා රැගෙන මාලිකා සමගින් ඇවිදින්නට ගොස් රැගෙන ආ බෑගය මේසය මත දිගහැර ගත්තාය.

මුදු සුවඳකින් යුතු මේසය මත තැබිය හැකි ඕවලාකාර ඉටිපන්දම ඇය අතින් දැල්වී මේසයේ එක් කෙළවරකට යොමු විණ.කාමරය පුරා ඉමිහිරි වූ සුවඳක් සෙමින් පැතිර යන මොහොතේ ළය පිරෙන්නට ගැඹුරු හුස්මක් ගත් නිලංගා පෙරදා  රැගෙන ආ පොත් කිහිපය මේසය මතට ගත්තාය.ලංකාවේ සිටි කාලයේද නවකතාවක් කියවන්නට ඉසුඹුවක් නිවසේ තිබුණේ නැත. මහජන පුස්තකාලයෙන් ගන්නා නවකතාවක් හෝ කියවන්නට හැකි වූයේ කාර්‍යාලයේ දිවා අහරවේලාවේදි පමණි.එහෙත් ක්ශේත්‍රයේ රැකියාවට යන්නට වූ දා පටන් ඒ ඉසුඹුවද ඇයට මග හැරුණි.

පශ්චාත් උපාධියට පැමිණි දා සිට ඉඩ ලද හැම මොහොතකම ඇය මුහුණු පොතෙහි සහ වෙබ් අඩවියන්හි නවකතා කියවන්නට හුරුවූවාය. කාලයක් තිස්සේ තිබූ හුදෙකලාව තනිකම   අපූරු හදවත් ඇති ලියන්නියන්ගේ සොඳුරු කතා අතරේ මඳින් මඳ අතුරුදහන් විය.පුස්තකාලයකට බැඳී ඒ හරහා ඉංග්‍රීසි භාශාවෙන් පළවූ නවකතා, චරිතාපදාන කතා රැසක් කියවන්නටද ඇයට කාලය තිබුණි.
පසුගිය සති කිහිපයේ වූ අවිවේක භාවය හේතුවෙන් කියවන්නට නොහැකි වූ ඉංග්‍රිසි නවකතා කිහිපය දැන් කියවිය යුතුය.

දිනසටහන් තබනා දිනපොත සහ  ඇවිදයන අතර එක්රැස් කොට වේලා ඇලවූ මල් කොළ ආදියෙන් යුතු scarp book එකද ඊට මඳක් ඔබ්බෙන් තැන්පත් විය.කුඩා පැස්ටල් කොළ පැහැය ගත්  සෙරමික් බඳුනට කැලෑමල් පිපෙන කාලයේදී මල් ගෙනවිත් දැමිය යුතුය. නිලංගා ආසාම කරනා ඇයගේ මග් එකද මේසය මත තැබූ පසු එය හිස්බවින් මිදී නිලංගාගේ මුහුණට සිනහවක් එක්කරන්නට සමත්විය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here