“ලංකාවෙ හොඳම ගණන්කාරයා – ගණිතරත්න මාස්ටර්”
ඔය නම නොදන්න ඕලෙවල් ගණන් පංතියක ළමේක්, ළමේක්ගෙ අම්මෙක්, ගුරුවරියෙක් ගුරුවරයෙක් ඉඳියෙ නෑ ඇත්තටම කිව්වොත්. ගණිතරත්න සර් කරේ ලොකු ලොකු පංති. මුලින් නම් ගම් පලාත්වලින් පටන් ගත්තට මොකෝ ඕලෙවල් රිසල්‍ට්ස් හොඳ වෙලා ලමයි එකා දෙන්න අවුරුද්දෙන් අවුරුද්ද අයිලන්ඩ් රෑන්ක් දාලා යන්න පටන් ගත්තයින් පස්සෙ, ගණන් එක ඉලක්කමක් බැරි ළමයි පවා ගණන්වලට ඒ බී ලකුණු ගනිද්දි සර්ගෙ නම ගම් පලාතෙන් එහාට මෙහාට වෙලා ලංකාවෙ හතර දිග්බාගෙම වගේ ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා. මුල් අවුරුදු කාලෙ නම් ගණිතරත්න සර්ට වැඩේ ඇඩ්ජස්ට් වෙනකම් හරියට වෙලාවකට කන්න බොන්නවත් උනේ නෑ. පස්සෙ පස්සෙ එක එක පලාත්වල පංති බලන්න මැනේජර්ස්ලා එහෙම අරගත්තයින් පස්සෙ තමයි ගණිතරත්න සර්ට පොඩි නිස්කාන්සුවක් ලැබූනෙ.
ඔහොම ඉද්දි තමා ගණිතරත්න සර්ගෙ ගණන් හැදිල්ල ගැන ආරංචි වෙලා ලංකාවෙ එක එක පලාත්වල හොඳට සල්ලි තියෙන අම්මල තාත්තල තමන්ගෙ දරුවන්ට ගෙදරට ඇවිල්ල ගණන් උගන්නන ස්පෙශල් ක්ලාස් එකක් කරන්න පුලුවන්ද කියල අහන්න ගත්තෙ. සර් නම් මුලින් කැමති උනේම නෑ. ඒ උනාට හම්බෙන ගතමන්ට් එක හොඳ රස පාටයි කියල තේරුණයින් පස්සෙ ඒක අතාරින්න සර්ට හිත දුන්නෙ නෑ. අනික ඉතින් සල්ලි ලැබෙද්දි ලැබෙද්දි කාලයක් එහෙමකට කියල සල්ලි තිබ්බෙ නැති මනුස්සයෙක්ට උනත් ආසාවක් ඇතිවෙනවනෙ. අනික ගණිතරත්න නෝනයි ළමයි එහෙම උනත් උන්නෙ තාත්තගෙ මේ ගණන් ඉගැනිල්ල හන්දා ගෙදර ගොඩ ගැහෙන්න පටන් ගත්ත සල්ලි කන්දරාවෙ පීන පීන නාන සේ. ඉතින් කොච්චර මහන්සි උනත් ඉන්ඩිවිජුවල් ක්ලාස් වැඩේ අතෑරගන්න ගණිතරත්න මහත්තයට හිත දුන්නෙ නෑ. එක මාසෙක ඉන්ඩිවිජුවල්ක්ලාස් වලින් ලැබෙන ගාණ එක්කහු කරාම හොඳටම ගණන් පුලුවන් ගණිතරත්න මහත්තය උනත් උන්නේ පුදුමාකාර විදියට හිතාගන්න බැරි ගාණක් හන්ද ඔලුව කොලොප්පන් කරගෙන.
ඒ විදියට මුලින්ම ලොකුම ලොකු ගාණකට සෙට් වෙච්ච ඉන්ඩිවිජුවල් ක්ලාස් එක උනේ සෙව්වන්දිගෙ ක්ලාස් එක. අම්මායි තාත්තයි දොස්තරලා දෙන්නෙක් වෙච්ච සෙව්වන්දිගෙ ගෙදර පංතිය ගණිතරත්න සර්ට දාගන්න ඇහැක් උනේ රෑ කාලෙ. ඒ වෙලාවටත් අම්මායි තාත්තයි ගෙදර උන්නෙ නැති හන්දා සෙව්වන්දි පංතිය කරන අතරවාරෙ සෙව්වන්දිට තනි මකන්න කියල ඉඳියෙ ගෙදර වැඩට උන්න ඇලිස් අම්මා විතරයි. දරුවන්ගෙ දුක සැප එහෙම අහල ඇලිස් අම්මගෙ හිත අල්ලගන්න ගණිතරත්න සර්ට එච්චර මහන්සි වෙන්න උනේ නෑ. “හරි ශෝක් සර්” කියල ඇලිස් අම්මගෙ හිතේ තමන්ගෙ තැන හදාගත්තයින් පස්සෙ තමයි ගණීතරත්න සර් ඇලිස් අම්මට කිව්වෙ “ඇලිස් අම්මා මෙතන මේ බිම වාඩිවෙලා නිදි කිරන්නෙ මොකටද? අතන සෙටියට වෙලා පොඩි ඇලර්ට් එකක් දාන්න. නින්ද ගියොත් අපිට බැරිය ඇලිස් අම්මට ඇහැරවන්න මම යන්න කලින්” කියලා.
ආන් ඉන්පස්සෙ තමා ගණිතරත්න සර් ඇත්තටම සෙව්වන්දිට ගණන් උගන්නන්න පටන් ගත්තෙ. මුලින් ඇල්ලුවෙ අතෙන්. “ඔහොම නෙවෙයිනෙ ළමයො, වැරදිනෙ ඕක හදල තියෙන විදිය කියලා” සෙව්වන්දිට නිකන් අනේ අකුරු ලියන්න බෑ වගේ අතෙන් අල්ලගෙන තමයි ගණිතරත්න සර් ගණන් උගන්නන්න පටන් ගත්තෙ. සෙව්වන්දි ඇත්තටම ඒකට මුකුත් විරුද්ධත්වයක් දැක්කුවෙ නෑ. විරුද්ධත්වයක් දැක්වුවෙ නෑ කියන්නෙ සෙව්වන්දි උන්නෙ ඇත්තටම මොකද්ද කරන්න ඕන කියල හිතාගන්න බැරුව. “සර් මාව එහෙම අල්ලන එක හරිද? සර් එහෙම කරන්නෙ මට ආදරෙ හන්දද? සර්ටත් දුවෙක් ඉන්න හන්දාද සර් මාවත් එහෙම අල්ලන්නෙ?” කියල සෙව්වන්දි හිතන විත්තිය දන්න හන්දම ගණිතරත්න සර් රඟපෑවෙත් තමන් මෙහෙම අතගාන්නෙ කරන්නෙ ආදරේට, තමන් සෙව්වන්දි දිහා බලන්නෙ තාත්තා කෙනෙක්ගෙ ආදරෙන් වගේ දේවල් සෙව්වන්දිට ඒත්තු ගන්නන එක.
ඒ නිසා සෙව්වන්දිගෙ කඩ ඉඩ පැනලා යන්න නම් ගණිතරත්න සර්ට එච්චර අමාරු උනේ නෑ. ඉන්පස්සෙ ඔය විදියට ඉන්ඩිවිජුවල් ක්ලාසස් කීපයකදිම සෙට් වෙච්ච ළමයිව අත පත ගාන්න ගණිතරත්න සර් බය උනේ නෑ. හැම කෙල්ලම සෙව්වන්දි වගේ කියල හිතුවට ගණිතරත්න සර්ට වැරදුනේ අන්න එතන. හැම කෙල්ලම කොහොමද සෙව්වන්දි වගේ වෙන්නෙ නේද?
සෙව්වන්දිගෙන් පස්සෙ ගණිතරත්න සර්ට සෙට් වෙච්ච ඉන්ඩිවිජුවල් ක්ලාස් එකෙ උන්නු කෙල්ල මනෝරා. මනෝරාගෙ අම්මා ප්‍රින්සිපල් කෙනෙක්. තාත්තා නෑ. ඒ හන්දමද මන්දා ප්‍රින්සිපල් අම්මා ගණිතරත්න සර් මනෝරාට පංතිය කරන අතරවාරෙ පංතිය පේන මානෙ ඉඳගෙන එක්කො පොතක් පත්තරයක් කියෙව්වා. එහෙම නැත්තම් මැහුමක් ගෙතුමක් කරා. ඒ හන්දම සෙව්වන්දිව අතගෑවා වගේ මනෝරාව අතගාන්න තියා මනෝරා දිහාවට වැරදි විදියෙ බැල්මක්වත් පාකරලා යවන්න ගණිතරත්න සර්ට පුලුවන් උනේ නෑ. අනික් අතට කොණ්ඩෙ බොබ් කට් කපලා උන්නු ටොම් බොයි කෙනෙක්ගෙ ලුක් එකක් තිබ්බ මනෝරාව ගණිතරත්න සර් දැක්කේ “එහෙම අතගාන්න හිතෙන්නෙ නැති” ජාතියෙ කෙල්ලෙක් විදියට.
මනෝරාට පංතිය කරන්න පටන් අරගෙන මාස කීපයක් යද්දි තමයි සෙව්වන්දි ඕලෙවල් විබාගෙ කරල ඉවර උනේ. ඉන්පස්සෙ ඉතින් එහෙට යන්න උවමනාවක් ගණිතරත්න සර්ට තිබ්බේ නෑ. තිබ්බෙ නෑ විතරක් නෙවෙයි එහෙම ඉතින් යන්න පුලුවන්කමකුත් තිබ්බෙ නෑ. අනික අතට සෙව්වන්දිගෙන් පස්සෙ අතගාන්න ඕන තරම් ගෑණු ළමයිව හම්බුනයින් පස්සෙ තව සෙව්වන්දියෙක් පස්සෙ යන්නෙ මොකටද කියල තමයි ගණිතරත්න සර් හිතුවෙ. හැබැයි සෙව්වන්දිගෙ ඕලෙවල් රිසල්ට් ඇවිල්ලා කෙල්ල හොඳම හොඳ රිසල්ට් එකක් අරගත්ත කියල දැනගත්ත වෙලාවෙ නම් ගෙදරට ගිහිල්ලා, සෙව්වන්දිගෙන් වැඳුම් පිඳුම් වගේම සෙව්වන්දිගෙ මව් දෙමව්පියන්ගෙන් තෑගි බෝග සත්කාර එහෙම ලබාගෙන එන්න කලින් “මෙයාලා හැදුණේ අපේ අත්වල” කියල කියන්න සර් අමතක කරේ නෑ. සෙව්වන්දිට විතරක් නෙවෙයි ඉතින් තමන්ගෙන් ඉගෙන ගෙන අහවර වෙච්ච ළමේක් පාරෙදි එහෙම දැකලා වැඳලා කරලා යද්දි උනත් සර් ඔන්න ඔය මෙයාලා හැදුණේ අපේ අත්වල කතාව කියනවම තමයි. දන්නෙ නෑ ඉතින් සර් ඒකෙන් කියන්න අදහස් කරපු ඒ දේ ඒ ගැණු ළමයින්ට තේරුණාද කියන එක.
මනෝරාව අත් දෙකේ තියන් හදන්න බැරිඋනාට පස්සෙ ගණිතරත්න සර්ට හම්බෙච්ච ඉන්ඩිවිජුවල් ක්ලාස් එකේ උන්නා ළමයි දෙන්නෙක්. මේ දෙන්නා නිමුන්නු. එක්කෙනෙක් සමාලි අනික් කෙනා අමාලි. ලස්සන එක්කෙනා කවුද කියල කියන්න බෑ දෙන්නම එක වගේ හන්දා. ඒ උනාට එක්කෙනෙක් හිටියෙ කොණ්ඩෙ කපලා කොට කලිසම් ඇඳන්. අනිකා හිටියේ කොණ්ඩෙ වවලා ගවුම් ඇඳගෙන. ගණිතරත්න සර්ගෙ හිත වැඩිපුර ගියේ ඔන්න ඔය ගවුම් ඇඳන් උන්නු එක්කෙනා වෙච්ච අමාලිට. සර් තමන්ව අතපත ගාන එක වරදක් බව දන්නව උනත් අමාලිට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ සර් එහෙම තමන්ගෙ අතෙන් පයෙන් අල්ලන්න එද්දි එපා කියල කියන එක කොයි පැත්තට හැරේවිද කියන එක. සර් බැණ්නොත්, සර් අල්ලන්නෙ වැරදි අදහසකින් නෙවෙයි කියල කිව්වොත්. අනික අතට අම්මල සර්ට එන්න දෙන්නෙ නැතුව පංතිය නැති කරලා දාල තමන් ගණන් ෆේල් උනොත් කියන බය මහ ගොඩක් අමාලිගෙ හිතේ තිබ්බා. ඒ නිසාම තමයි අමාලි “තව මාස කීයද?” කියල හිතලා සද්ද නැතුව හිටියෙ. හැබැයි අමාලි සද්ද නැතුව හිටියට සමාලි නම් හිටියෙ වළං බිඳල සද්දයක් දාන්නෙ කවද්ද කියල බලාගෙන. සමාලි කොහොමත් පොඩි දේටත් තරහා යන එකා. ෆ්‍රිජ් එකෙ දාලා තිබ්බ තමන් ආසම අයිස් කෝන් එක අමාලි කාලා කියල දැනගත්ත දවසෙ වෙච්ච දෙන්නගෙ රණ්ඩුව අහවර උනේ “තමුසෙ ඉතින් බොරුවට අහිංසක පාට් දදා ඉන්නවා. තමුසෙ මහ ලැජ්ජ නැති ගැණියෙක්නෙ. ලැජ්ජ නැති හන්දනෙ මගෙ අයිස් ක්‍රීම් එක කෑවෙ. ලැජ්ජාව තියෙනම් තමුසෙ ගණිතයට තමුසෙව අල්ලන්න දෙන්නෙ නෑනෙ” කියලා. ඒ කතාව කණට වැටිච්ච වෙලේ ප්‍රයිවට් කම්පනි එකක වැඩ කර කර උන්නු සමාලි අමාලි දෙන්නගෙ අම්මගෙ තාත්තගෙ කණ් අඟුල් වැටුණා. එහෙම වෙලා නතර උනේ නෑ. දෙන්නටම ඕන උනේ මේ වගේ විලි ලැජ්ජ නැති වැඩ කරන ගුරුකමටත් අපහාස කරන ගණිතරත්න සර්වට් කුඩුවක් අස්සෙ අඟුල් දාන්න.
“මට මේ ඔය ළමයිව අතපත ගාන්න කිසිම උවමනාවක් නෑ. ඔව් එකම ගාණ දහස් වතාවක් කියල දුන්නමත් තේරෙන්නෙ නැති උනාම මම ඔලුව අතගාලා කියල දෙනවා. මේ මිනිස්සු මේ ඔය මම නරක විදියට අතපත ගානව කියන්නෙ එහෙම ඔලුව අතගාන එක නම් අනේ මන්දන්නෙ නෑ. වේවැල් කෝටු නාරං සියඹලා අතු පාවිච්චි කරල ළමයින්ට තරවටු කලේ ඉස්සර. දැන් එහෙම කරලා මේ ළමයින්ට ගාණක් පාඩමක් උගන්නන්න පුලුවන්කමක් නෑ. අනික ඉතින් ඔය කියන විදියට මම ඒ ළමයව නරක විදියට ඇල්ලුව කරානම් ඒ ළමයට තිබ්බනෙ ඕක අම්මල තාත්තලට කලින්ම දැනුම් දෙන්නෙ. මම දැන් ඒ පංතිය කරන්න පටන් අරන් කොච්චර කල් ද? අනික ඔය සමාලිට ඇත්තටම අමාලි එක්ක පොඩි ඉරිසියාවක් තියෙනව කියල මට හිතිච්ච වාර අනන්තයි. අමාලි දක්ශයි, හරි ප්‍රියමනාපයි, අහිංසකයි. සමාලි එහෙම නෙවෙයි. මේ කියල දෙන එක මේ මතක නෑ. ඒ ළමය මේ එයාගෙ සහෝදරී එක්ක තියෙන තරහකට තමයි මේ මාවත් අල්ලන්න හදන්නෙ” කියල ගණිතරත්න සර් කිසි ගාණක් නැතුව කියද්දි ඊට කලින් අවුරුදු වල සර්ගෙ පිහිටෙන් තමන්ගෙ ළමයිව ඕලෙවල් ගණන් පාස් කරගත්ත අම්මලා එහෙම සර්ව සුද්ද කරන්න ආවෙ එක පෙළට.
“ඔය කියන විදියට සර් ළමයි අත පත ගෑවනම් අපේ දරුවන්වත් අතගාන්න එන්න එපාය”
“අනේ සර් පංති කරද්දි මං මේ එහෙම තනි රැක රැක හිටියෙ නැ. අනික එහෙම දෙයක් උනානම් මොකෝ අපෙ ළමයි ඕක කියන්නෙ නැතුව ඉන්නවද?”
වගේ අම්මලගෙ සුද්ද පවිත්‍ර කිරීම් නිසා ඒ ප්‍රශ්නෙන් හරි ලස්සනට ගැලවිලා එන්න ගණිතරත්න සර්ට අමාරු උනේ නැ. කොටින්ම කියනවනම් ගණිතරන්ත සර්ගෙ වචනවලට මනුස්සයෙක්ව කොච්චර නම්මගන්න පුලුවන්ද කියන්නෙ අමාලි සමාලිගෙ අම්මල තාත්තල හිතුවෙත් අන්තිමේ සමාලි මේ බොරු කියන්නෙ අමාලි එක්ක තියෙන ඉරිසියාවට කියලා.
ඒ ප්‍රශ්නෙ එහෙම ඉවර උනාම ගණිතරන්ත සර් ළමයිව අත්වල තියන් හදන එක පොඩි කාලෙකට නතර කලා. හැබැයි ඒක සදාකාලික කරගන්න නම් කිසිම උවමනාවක් ගණිතරත්න සර්ට තිබ්බෙ නෑ. ඔය වගේ සර්ගෙ අත්වල හැදෙන්න ආසා සාරා වගේ අමුතුම තාලෙ කෙල්ලො, සර් තමන්ව අතගානවට බය උනත් වෙන කරන්න දෙයක් නැති හන්දා සද්ද නැතුව උන්න මිහාලි වගේ බයගුලු කෙල්ලො විතරක් නෙවෙයි, සර් අතගාද්දි “අතගන්න” කියල කෙලින්ම කිව්ව බය නැති අංජනා වගේ කෙල්ලොත් ඕන තරම් හිටියා.
බය නැති කෙල්ලො කෙලින්ම ඇස් දෙක දිහා බලාගෙන “අතගන්න” කියල කියද්දි ගණිතරත්න සර් කිව්වෙ එක දෙයයි. “අතගන්න නෙවෙයි අතගාන්න කියලනෙ කියන්නෙ. ඔය පොඩ්ඩක් අතගෑවා කියල මොකෝ ඔයා දියවෙනවද? බොරු කරන්න එපා ළමයා මං දන්නව ඔයත් ආසයි කියල, ආස නැත්තම් මුල්ම වතාවෙම කියන්න තිබ්බනෙ” කියල කියන එක.
කොහොම කොහොම හරි “සර්ගෙ අත්වල හැදිච්ච ළමයි” එකා දෙන්න පංතිවලින් අස්වෙවී අස්වෙවී ඉහලට ගියා. ළමයි වයසට යද්දි සරුත් එහෙමම වයසට ගියා. එන්න එන්න පංති අඩුවුණා. පංති අඩුවෙන්න පටන් ගත්ත හන්දා සල්ලි අඩුවුණ. සර් පංති කරන එක ඩිංගක් නතර කරලා වෙන වෙන බිස්නස් කරන්න පටන් ගත්තා. සර්ගෙ ළමයිනුත් ටික ටික උස් මහත්වෙලා කසාද බඳින වයස වෙනකම් ආවා. ගණිතරත්න සර්ගෙ දුවගෙ නම උත්තරා. ලස්සන ළමයා. ගෙදරදිම ගණන් ඉගෙන ගන්න පුලුවන් වෙච්ච හන්ද උසස් පෙළටත් ගණන්ම කරපු උත්තරාට තියෙන්නෙ මොරටුවෙ ඉංජිනේරු උපාධියක්. කැම්පස් එකෙන් අවුට් වෙලා උත්තරා ගෙදර ආවේ උපාධිය විතරක් අරගෙන නෙවෙයි. කසාද බඳින්න හොඳ කොල්ලෙක්වත් ජෝඩු කරගෙන. ගණිතරත්න සර්ලට ඇත්තටම හිතන්න කරන්න දෙයක් තිබ්බෙ නෑ ඒ කසාදෙ කරලා දෙන්න.
“දූට කවදහරි කටයුත්තක් කරද්දි” කියල හිතලා ගණිතරත්න නෝනා අරපරෙස්සම් කරල තිබ්බ සල්ලිවලින් කොටහක් දෑවැද්දට දීල ඉතිරි කොටහෙන් තමයි උත්තරාගෙයි සඳුන්ගෙයි මගුල ගත්ත. මහ ඉහලට තිබ්බ මගුල අවසන් වෙලා දෙන්න හනිමුන් එකට ගියා. ප්‍රශ්නෙ පටන් ගත්තෙ ආන් එදා රෑ.
නාගෙන එන්න කියල බාතෘම් එකට ගිය උත්තරා මේකප් එහෙම වතුරෙ දිය කර කර අරිද්දි උත්තරාට දැනුනා කවුරුහරි ඇවිල්ලා තමන්ගෙ ඇඟපත අතගානවා කියලා. උත්තරා ඇස් දෙක ඇරියෙ ඇත්තටම පරාණ බයෙන්, ඒත් තමන්ව එහෙම අල්ලපු කවුරුවත් බාතෘම් එකේ හිටියෙ නෑ. දවසම වෙඩින් එකට මහන්සි වෙච්ච හන්දා හිතෙන විකාර කියල හිතලා තමයි උත්තරා ඇඟ පිහදන් එලියට ආවෙ. ඒ උනාට ඒක විකාරයක් කියල උත්තරා හිතුවට ඒක එහෙමම නෙවෙයි කියන එක එයාට තේරුනේ ආයෙ රෑ නිදියන්න ගියාමත් කවුද මන්ද තමන්ව අතපත ගානවා වගේ දැනිච්ච හන්දා.
ඕක එදයින් නතර උනා නම් කමක් නෑ. ඒ උනාට අන්තිමේ ඔය ඇස් පියාගත්ත වෙලාවට ඇවිල්ල කවුද තමන්ව අතපත ගානවා වගේ දැනෙන එක හන්දා උත්තරා අන්තිමේ ගෙදර ආවේ සඳුන් එකහෙලාම “පිස්සු ගෑණියෙක් එක්ක ඉන්න මට බෑ” කිව්වයින් පස්සෙ. උත්තරා ඇත්තටම හිටියෙ පිස්සුවෙන් වගේ. හරියාකාර නින්දක් නැති හන්දා උදේ වරුවෙම උත්තරා කලේ නිදියන්න මහන්සිවෙන එක. කොන්ඩෙ අවුල් කරන්, කැමක් බීමක් හරියට ගන්නෙ නැතුව, රස්සාවට හරියට කලට වෙලාවට යන්නෙ නැතුව දිගටම මෙහෙම ඉන්න එක උත්තරාට හොඳ නැති විත්තිය දන්න හන්දම ගණිතරත්න නෝනයි මහත්තයි නොකල දෙයක් නෑ. තෙල් මැතිරුවා, දෙහි කැපුවා, තොවිල් පවිල් කලා. අන්තිමේ කරන්න දෙයක් නැති හන්දම කවුන්සලින් වලට ගියා.
දොස්තර මහත්තය ඉස්සරහ පුටුවක් තියාගෙන කොහෙද මන්ද කෙලවරක් දිහා බලාගෙන පිස්සියක් වගේ ඉන්න උත්තරා දිහා බලාගෙන ගණිතරත්න මහත්තය මහ හයියෙන් හෙලපු සුසුමට තමයි දොස්තර මහත්තය ඇස් දෙක ගණිතරත්න මහත්තයා දිහාවට හරවලා මෙහෙම කිව්වේ.
“තමන්ගෙ අත් දෙකේ තියන් හදපු දරුවෙක්ට මෙහෙම දෙයක් උනාම දරාගන්න අමාරුයි තමයි නේද?”
ReplyForwardAdd reaction |