සිතුල්ට හැමදාම ඕන වුනේ චිත්ර අඳින කෙනෙක් වෙන්න. ඉස්සර මොන්ටිසෝරි එකේදි, ගෙදරදි, පස්සෙ ඉස්කෝලෙදි කවුරුහරි සිතුල්ගෙන් ඇහුවම “බබා ලොකු වෙලා කවුද වෙන්නෙ?” කියලා සිතුල් හැමදාම කිව්වේ “මං ලොකුවෙලා චිත්ර අඳින කෙනෙක් වෙනවා” කියන එක. පුංචි කාලෙ සිතුල් ඔහොම කියද්දි දොස්තරලා වෙච්ච සිතුල්ගෙ අම්මයි තාත්තයි කලේ හිනාවෙන එක උනාට මොකෝ සිතුල් ඉස්කෝලෙ යන කාලෙ වෙද්දි ඔහොම කියද්දි ඒක හරිගස්සන්න අම්මයි තාත්තයි දෙන්නා මුල් වුණා.
“චිත්ර අඳින කෙනෙක් නෙවෙයි පුතා ඩොක්ටර් කෙනෙක් වෙනවා කියන්න”
“ඉතින් අම්මි මම ආස නෑනෙ ඩොක්ටර් කෙනෙක් වෙන්න. මම ආස චිත්ර අඳින කෙනෙක් වෙන්න”
“ඒ වුනාට ඔයා කියන්නකො ඩොක්ටර් කෙනෙක් වෙන්න කියලා. ඩොක්ටර් කෙනෙක් වෙන එක ශෝක් නෙ පුතා” කියලා අම්මා කියද්දි සිතුල් මූණ නරක් කරගත්තෙ අම්මි ආස වුනාට සිතුල් ඩොක්ටර් කෙනෙක් වෙනවට සිතුල් ආස උනේ නැති හන්දා.
“මං චිත්ර අඳින කෙනෙක් වෙනවට අම්මි ආස නැද්ද?” කියල සිතුල් අහද්දි අම්මා කලේ “අම්මි ගොඩක්ම ආස පුතා ඩොක්ටර් කෙනෙක් වෙනවට” කියන එක. පුංචිම කාලෙ හුරුබුහුටි හිත නොරිද්දන වචන වලින් ඔය කතා කියවුනාට එන්න එන්න සිතුල් ලොකුවෙද්දි සිතුල්ගෙ චිත්ර අඳින කෙනෙක් වෙන හීනෙ පොඩ්ඩක්වත් වෙනස් වෙන්නෙ නෑ කියලා දැනගත්ත අම්මයි තාත්තයි ඒ දෙන්න සිතුල් වෙනුවෙන් දැක්ක හීනෙ වෙනස් කරගන්න හිතුවෙත් නෑ.
“මොකද්ද ළමයො ඔය චිත්ර අඳින කෙනෙක් වෙනවා කියන්නෙ? පිස්සුද? අර අම්මයි තාත්තයි මල පොතේ අකුරක් දන්නෙ නැති කඩේ කොල්ලගෙන් ඇහුවම ඌ පවා කියන්නෙ ලොකුවෙලා දොස්තර වෙනවා කියල. අම්මයි තාත්තයි දෙන්නම දොස්තරලා වෙලා මෙයා මේ පිස්සෙක් වගේ චිත්ර අඳින කතාවක් කියනවා” පුංචි කාලෙ ලස්සන වචන වලින් කිව්ව කතාව ලොකුවෙද්දි හිත රිද්දන කතාවකට හුවමාරු උනේ ඒ විදියට.
“කාගෙවත් විදියට මට යන්න ඕන නෑ. කඩේ එක්කෙනා කැමති නම් එයාට දොස්තර කෙනෙක් වෙන්න කියන්න. මම ආස නැ ඩොක්ටර් කෙනෙක් වෙන්න. හැමෝටම ඕන ඩොක්ටර් කෙනෙක් වෙන්න, මට ඕන නෑ හැමෝම වගේ වෙන්න”
“ඔව් ඔව් අනිත් උන් ඔක්කොම දොස්තරල වෙලා සැපට ජීවත් වෙද්දි උඹට වෙන්නෙ අර ආට් ගැලරිය ඉස්සර චිත්ර විකුණ විකුණ හිඟාකන්න”
“චිත්ර විකිණෙනවනම් හිඟා කන්න වෙන්නෙ නෑනෙ අම්මි” කියල සිතුල් කිසි ගාණකට නැතුව කියද්දි උනේ අම්මගෙ තරහ තව වැඩිවෙන එක විතරයි.
“ළමයො මේ අපි මේ ඔයාට දොස්තර කෙනෙක් වෙන්න කියන්නෙ අපිට ඒ ඔයා හම්බ කරන ඒවයින් ගොඩ යන්න හිතාගෙන නෙවෙයි ඔයාට හොඳ අනාගතයක් හදන්න හිතාගෙන. ඔයා දැන් මේ සැපට ජීවත්වෙන්නෙත් අම්මයි තාත්තයි දෙන්නම දොස්තරල හන්ද බව අමතක කරන්න. ප්ලීස් ඔය චිත්ර ඇඳිල්ලයි චිත්ර තරගවලට යන එකයි පැත්තක තියලා පාඩම් කරල විභාගෙ ගොඩ දාගන්න. ඔයාට හොඳට ඉගෙන ගන්න පුලුවන්නෙ පුතේ. අනික කොච්චර ආඩම්බරයක්ද අපිට ඔයා දොස්තර කෙනෙක් උනොත්. තාත්තිගෙ පවුලෙ හැමෝම වගේ සර්ජන් ලා. එහෙම එකේ ඔයාගෙ ලේවලම තියෙනවනෙ ඒ හැකියාව. ඔයාට හොඳට ඉගෙන ගන්න පුලුවන් එකේ ඔය චිත්ර අඳින එක පොඩ්ඩක් නතර කරලා තව ටිකක් මහන්සි උනොත් ෆස්ට් ශයිම කලම්බු යුනිම සිලෙක්ට් වෙන්න පුලුවන් නේ. අනික තාත්ති උදේ ඉඳන් රෑ වෙනකම් ලෙඩ්ඩු බලලා හම්බ කරන එකේ ඒ මනුස්සයගෙ මහන්සිය ගැන හිතලවත් ඔහොම කරන්නකො.
ඔයා විභාගෙ හරියට කර ගත්තෙ නැත්තම් අපි කොහොමද කියන්නකො රටේ ලෝකෙ මිනිස්සුන්ට මූණ දෙන්නෙ? මිනිස්සු හැමෝම හිතාගෙන ඉන්නෙ ඔයා මෙඩිසින් යාවිම කියලා. ඉස්කෝලෙ අයත් එහෙමනෙ හිතන් ඉන්නෙ” කියල අම්මි එක දිගට කියාගෙන කියාගෙන යද්දි සිතුල්ට හිතුනෙ කන් දෙක අගුල් වැටුණ නම් කොච්චර හොඳ ද කියලා. අම්මා ඉඳියෙ කතාව නතරකරන අදහසක නෙවෙයි. සිතුල්ව දකින හැම මොහොතකම අම්මගෙ කටෙන් පිටවුණේ “දොස්තර කෙනෙක් වෙන්න, දොස්තර කෙනෙක් වෙන්න” කියන වචන ටිකම තමයි. අම්මට හපන් අනිත් නෑයො.
“දැන්ම ස්ටෙතස්කෝප් එක අරගෙන තියාගන්න නේද?”
“අනේ පුතේ ඔයාගෙ අතෙන් බෙහෙත් ටිකක් බීල මට මැරෙන්න තිබ්බ නම් ඇති මට”
“හලෝ ඩොක්ටර් සිතුල් කොහොමද?”
“මෙඩිසින් කලම්බුම සිලෙක්ට් උනොත් හොඳයි නේද?” වගේ කතන්දර වලට සිතුල් කලේ හිත අස්සෙ තියෙන ඇත්ත අදහස් එලියට දාන්න බැරි හන්දා බොරුවට රූකඩයක් වගේ ඔලුව හොල්ලල හිනාවෙන එක. ඒ විදියට තමයි සිතුල් මෙඩිකල් ෆැකල්ටි ගිහිල්ලා ඩොක්ටර් කෙනෙක් වුනේ.
“පවුලෙ නම්බුව රකින්න”
“තාත්තියි අම්මියි දෙන්නවම සතුටු කරන්න”
“මැරෙන්න කලින් ආච්චිට බෙහෙත් පොවන්න”
“පවුලෙ ජාන වලින්ම දොස්තරකම ආව හන්දා” වගේ දාහක් හේතුවලට හරියන්න සිතුල් ඩොක්ටර් කෙනෙක් වූනා. ඉස්කෝලෙ යන කාලෙ අම්මට හොරෙන් හරි චිත්ර අඳින්න පුලුවන්කම තිබ්බත් රස්සාවට ගිහින් උදේ හවා මහන්සි වෙද්දි සිතුල්ට චිත්ර අඳින්න ආස කෙනාව හිත අස්සෙ අගුල් දාලා හංගලා තියන්න වුණා. ආට් ගැලරිය ළඟින් යන හැම වාරෙකම වගේ සිතුල්ගෙ ඩොක්ටර් ස්ටිකර් එක ගහපු වාහනේ චිත්ර ටික බලන්න වගේ ස්ලෝ ඩවුන් වුණා. ඒ හැම වතාවකම හිත අස්සෙ හිරකරලා දාපු චිත්ර අඳින්න ආස කෙනා තප්පර ගාණකට වගේ හිත අස්සෙන් මූණ එළියට දාලා චිත්ර බලලා හිත පොඩ්ඩක් ආයෙම වතාවක් රිද්දගත්තා. ඒත් ඒ දුක, ඒ හිත් රිදීම “ඩොක්ටර් සිතුල්” ගෙ මූණෙන් දකින්න තරම් කවුරුවත් “ඇත්ත සිතුල්”ව අඳුරගෙන උන්නෙ නෑ.
මෙහෙම ඉද්දි තමයි සිතුල්ට දැනුනෙ තමන් හිත ඇතුලෙ හංගගෙන ඉන්න චිත්ර අඳින්න ආස කෙනා කාලයත් එක්ක ටිකෙන් ටික ලොකු වෙන විත්තිය, ඒ හා සමානව “අනේ මට චිත්ර අඳින කෙනෙක් වෙන්න බැරිවුනානෙ” කියන දුකයි වේදනාවයි කාලය එක්ක සුවපත් වෙනවා වෙනුවට ඔඩු දුවන විත්තිය. අකමැති රස්සාවක් අස්සේ මිනිස්සු “ඕක ලොකු වගකීමක්, මාර පිනක්, කොච්චර අමාරුද ඩොක්ටර් කෙනෙක් වෙන්න” කියලා ලේබල් ගැහුවත් ඒ රස්සාව අස්සෙ අකමැත්තෙන් හිරවෙලා ඉන්න එක කොච්චර වේදනාවක්ද කියන එක සිතුල් හැම දවසකම කල්පනා කරා. සිතුල්ට දැනුනෙ තමන් එන්න එන්න රූකඩයක් වෙනවා කියන එක. තමන්ව නටවන්නෙ අම්මා, තාත්තා සහ අනිත් සමාජය කියන එක.
මුලින්ම තමන් රූකඩයක් වීගෙන එනවා කියන එක සිතුල්ට දැනෙන්න ගත්තෙ අත් දෙක වෙනදා වගේ නිදහසේ හොලවන්න බැරිවෙද්දි. අත්දෙක හෙලවෙන්න ගත්තෙ රූකඩයක් අත් දෙක හොලවනවා වගේ පොඩි ලීයක් ක්රැක් වෙන සද්දයක් එක්ක අමුතු තාලෙකට. ඉන්පස්සෙ වෙනස් වෙන්න ගත්තෙ කකුල් දෙක. ලීයක් ක්රැක් වෙන සද්දයක් එක්ක සිතුල්ට තමන් කැමති විදියට අඩිය තියලා කැමති තැනක යන්න තියෙන ඉඩ නැතිවෙන්න ගත්තම. ඉන්පස්සෙ ටිකෙන් ටික මුලු ඇඟම වෙනස් වෙන්න ගත්තා. තමන්ගෙ හිත කොච්චර දේවල් කිව්වත් ඒ හිත කියන දේවල් මොලේට තේරෙන්නෙ නැති මොකක් හෝ හේතුවක් හන්දා මොලේ සිතුල්ගෙ ඇඟ හැසිරෙව්වෙ එලියෙන් එන එක එක විදියෙ ඕඩර්ස් අනුව. “මහන්සිය නිසා වෙන්නැති” කියල සිතුල් හිතුවට ඒ වෙනස තේරුණේ සිතුල්ට විතරයි.
“දැන් කාලෙ හරි ඔයාට ස්පෙශලිස්ට් එක්සෑම් කරන්න”
“දැන් කාලෙ හරි ඔයාට ප්රයිවට් ප්රැක්ටිස් කරන්න”
“දැන් ඉතින් දොස්තර නෝනෙක්ව හොයාගන්න ඕන කාලෙ” කියල අම්මල තාත්තල කියද්දි හිත මොක කිව්වත් ඒ ඒ සිග්නල් වලට අනුව සිතුල්ගෙ ඇඟ හැසිරෙද්දි අම්මල ඒක දැක්කෙ “අන්තිමේ අපිට පුලුවන් උනා අපිට ඕන විදියට කොල්ලව හදාගන්න” කියලා.
කාලයක් යද්දි සිතුල්ට තේරුණේ තමන්ගෙ කියලා පොඩි හරි දෙයක් ඉතුරුවෙලා තියෙන්නෙ හිත අස්සෙ විතරක් කියන එකත්, තමන්ගෙ ඉතුරු හැමදේම හසුරුවන්නෙ අම්මලා තාත්තලට ඕන විදියට කියන එකත්, තමන් තව දුරටත් මනුස්සයෙක් නෙවෙයි අම්මල තාත්තලගෙ උවමනාවට එහෙ මෙහෙ යන, අරක මේක කරන රූකඩයක් කියන එකත් බව. කරන්න දෙයක් නැති හන්දාම සිතුල් රූකඩයක් විදියට හැසිරුණා. අම්මලට ඕන වෙලාවට හිනාඋනා. මිනිස්සු අහන ඒවට අම්මල බලාපොරොත්තු වෙන විදියෙ උත්තර දුන්නා.
“ඩොක්ටර් කෙනෙක් වෙන එක ශෝක්”
“ලේසි නෑ ඉතින් ඩොක්ටර් කෙනෙක් වෙන එක”
“හැමෝටම ඩොක්ටර්ස්ලා වෙන්න බෑනෙ”
“ස්පෙශලිස්ට් එක්සෑම් එකත් කොහොමහරි ගොඩ දාගන්න ඕන”
“ප්රයිවට් ප්රැක්ටිස් කරන්නෙ ආසාවෙන්”
“දැන් පුරුදුවෙලා කිසි මහන්සියක් නෑ” වගේ මිනිස්සු බලාපොරොත්තුවෙන උත්තර රූකඩයක් වෙච්ච ඩොක්ටර් සිතුල්ගෙ කටෙන් ඒ ඒ විදියට එලියට ආවා.
ඒත් ඒ හැම වෙලාවකම හිත අස්සෙ අගුලු දාපු “චිත්ර අඳින්න ආස සිතුල්” කෙනෙක් හිත අස්සෙ ඉඳගෙන “මං මේ කියන්නෙ බොරු නේද?” කියලා කල්පනා කර කර ඇඬුවා.
ඒ අඬන හැම වෙලාවකම “ඩොක්ටර් සිතුල්” ගෙ නාහෙ පොඩ්ඩ පොඩ්ඩ දික්වුණා.
හරියට පිනෝකියෝගෙ වගේ!