අමර, නයන සහ සාමා

ඒ වැලිවත්ත ගම. 

වැලිවත්ත ගමේ රූප සොබාවෙ දකින ඕනම මනුස්සයෙක්ට මතක් වෙන්නෙ සාගර පලන්සූරියගෙ කටුරොද ගම්මානෙ. කටුරොද ගම්මානෙ තරම්ම පිටිසර අහක තමයි මේ කියන ගමත් තිබ්බෙ.

“ගොඩමඩ දෙකම සරුසාරය පලබරය

කටුරොද ගම්මානෙ තරමක් පිටිසරය

ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය

කඩ මණ්ඩිය පිහිටියෙ ගම කෙළවරය” කියලා ඒ කවියෙ කියනව වගේම මේ වැලිවත්ත ගමත් ගොඩමඩ දෙකෙන්ම සරුසාරයි. පලබරයි. පිටිසරයි. ගම මැද්දෙන් ගලන ගඟ හරි මනහරයි. කඩ මණ්ඩියෙ තිබ්බෙ ගම කෙළවර. ඒ කඩ මණ්ඩිය අද්දරින් බැහැල ලියැද්ද උඩින් හෙම ගිහින් තමයි ගමේ ළමයි කුඹුරට ඉස්මත්තෙ තිබිච්ච ඉස්කෝලෙට ගොඩ වුණේ.

දවල්ට කන්න කියල හිතාගෙන බත් මුලක් හරි ඔය තම්බපු අල බතල ටිකක් එහෙම කෙහෙල් කොළේක ඔතාගෙන, ඒක ගැටගහන්, ගල් ලෑල්ල හරි පොතක් දෙකක් හරි අතේ උස්සන්, පොඩි කොල්ලො චිමිසෙ ඇඳන්, ඊට ඩිංගිත්තක් ලොකු කොල්ලො කොට කලිසමයි උරහිසෙ එක පැත්තකින් ගැටයක් දාපු කමිසෙයි ඇඳන් යද්දි කෙල්ලො නම් ගියේ ගවුම් හරි රෙද්දෙ හැට්ටෙ හෙම ඇඳන් හරි තමයි.

ඉස්කෝලේ සීනුව නාද වෙන්න කළින් ඉස්කෝලෙ වැලි මිදුලට ගොඩ වෙන තමයි මේ ළමයින්ගෙ තියෙන ලොකුම සන්තෝසෙ. සීනුවක් කිව්වට පරණ ටකයක් ගහේ ගැට ගහලා ඒකට පොල්ලකින් තඩි බාන එක තබා ඉස්කෝලෙ ගුරුවරු හරි මුල් ගුරුතුමා හරි කලේ. සද්දෙ ඉතින් පැත්තටම පැතිරෙන හන්දා දැන් කාලෙ තියෙනව වගේ සීනුවක් ඕන වෙච්ච එකක් කියල නෑ ඒ දවස්වලට.

පාසල් වත්තෙම තැන් කීපෙක වගේ සල් ගස් සෑහෙන්න හිටෝලා තිබ්බා. මල් පිපෙන කාලෙට ඉතින් සාගර පලන්සූරිය මහත්තයම ලිව්ව,

“කලකට පසුව යළි මම ඇය දිටිමි                      එදා

ඈ ගැහැනියකි ඇති දරු සිව්දෙනකු                   හදා

හළ මෙන් දිටිමි හැම සිරි ඇය වෙතට               මුදා

ඈ සල් ගසක් මෙනි ඇති මල් පොකුරු             දදා” කියන කවිය කියන ගමන් ලොකු ඉස්කෝලෙ මහත්තය මොකෝ කරන්නෙ කාලෙකට කලින් ගතෙන් අතෑරිච්ච හිතෙන් අතාරින්න බැරිවෙච්ච පැරණි ප්‍රේමවන්තියක් දැන් අම්මෙක් වෙලා ඉන්න එක මතක් කරනවා ඔය සල් ගස් දිහා බලාගෙන. පෝය දවස්වලට සමහරු ඒත් එනවා සල් මල් කඩන් යන්න පන්සලට පූජ කරන්න.

හුළඟ හමද්දි ලා රෝස පාට, රවුම්, හරිම හීනි සුවඳක් තියෙන සල්මල් හීන් සැරේ පොළොවට තුරුලුවෙන්න වගේ හිතන් පල්ලෙහට වැටෙනවා. ළමයි ඉතින් ඒව අහුලගන්නවා සෙල්ලම් කරන්නයි, ගෙවල් වලට අරගෙන යන්නයි එහෙම.

සමහර ගුරුවරු නම් ඔය ඉඳලා හිටලා මේ ගස් අද්දර තම තමන්ගෙ පාඩම් වැඩ එහෙමත් කරා. සාමා, අමර, නයනා උන්නෙ එකම පංතියක. උන්දැලගෙ පංති භාර ගුරුතුමී ගොඩක් වෙලාවට ඔය සල් ගස් අද්දර තමා පාඩම් වැඩ කරවන්නෙ. කොල්ලො ටික ලව්ව බංකු හෙම ගෙන්නල රවුමට තියල කෙල්ලො ඉස්සරහිනුයි කොල්ලො පස්සෙනුයි පෙළට වාඩි කරවලා තමා පාඩම් පොත් අතට ගන්නෙ. පාඩම් වැඩ අස්සෙම ඔය දෙල් බැදපුව ටිකක්, ලුණු සීනි ටිකක් ඉහපු අඹ අච්චාරු ටිකක් එහෙට මෙහෙට හුවමාරු උනාට ගුරුතුමී නෙවෙයි මක්කවත් කියන්නෙ. හිනාවෙවී විහිලු තහලු කරන් යද්දි ළමයි ළමයි අතරෙ වගේම ගුරුවරයයි ළමයි අතරෙත් හොඳ සම්බන්ධයක් ගොඩ නැගෙන විත්තිය ඒ කාලෙ ගුරුවරුත් දැනන් උන්නා.

“අමර නයනා සල් ගස යට ඉන්නවා

අර බලන්න අර සල් මල ලස්සනයි

මම ඒ මල කඩන්නද?” කියල ගුරුතුමී පෙළ පොත කියවද්දි ඉතින් පංතියෙ ළමයි ඔක්කොම හිනාවෙන්නෙ අමරයි, නයනයි, සාමාදි දිහාව බල බල. අමර නම් ඔය හිනාව කතාව ඇහෙන්නෙ නැති තාලෙට තමා ඉන්නේ. ඒ උනාට මොකෝ හීනියට ඇස් බැල්මක් සාමායි නයනයි දිහාවට හුවමාරු වෙන්නෙ නැතුවත් නෙවෙයි. අනේ සාමා නම් කොහොමත් ලැජ්ජකාරි ඔය වෙලාවට කම්මුල් රතු කරන්  බිම බලන් ඉන්නවා. නයනා නම් ඉතින් කොහොමත් විසේකාරි නෙව. කොක් හඬලා හිනාවෙන්නෙ අනික් සල් ගස් යට උගන්නන ගුරුවරුන්ගෙයි ළමයින්ගෙයිත් අවධානෙ තමන් දිහාවට ඇදගන්න ගමන්.

ඔය කවි, කතන්දර, ඇස් බැල්මවල් සෑහෙන ගානක් අස්සෙ කාලෙ ගෙවිලා ගෙවිලා ගියෙ. ඩිංග ඩිංග ලොකු වෙද්දි පෙළ පොත්වල අමර, නයනා, සාමා තුන්දෙනා ඇත්ත ලෝකෙන් ඈත් උනාට මොකෝ ඇත්ත ලෝකෙ උන්නු අමර, නයනා, සාමා තුන්දෙනා එක එක විදියට එක එක්කෙනාට ළං උනා. ඉස්කෝලේ යද්දි, ඇරිලා එද්දි, සල් කැලේ පහුකරද්දි, අමරා නයනටයි සාමාටයි දෙන්නටම සල් මල් කඩලා දෙද්දි “අමර මට විතරක් සල් මල් කඩලා දෙනවනම් කොච්චර හොඳ ද?” කියලා සාමාට නොහිතුණා නෙවෙයි.

අමර නයනා කියන ඒවට හිනාවෙවී ඉස්සර වෙවී යන ගමන්, ඉඳ හිටක පස්ස බලලා ඇස් වලින් සාමාට “අඩිය ඉක්මන් කරලා එන්නකො” කියද්දි “අමර මාත් එක්කත් ඔහොම විහිලු කර කර යනවනම් කොච්චර හොඳ ද?” කියල සාමා හිතෙන් හිතුවා. තැවුණා. 

ඔහොම ඉද්දි තමයි සාමාන්‍ය පෙළ පාස් වෙලා, තාත්තගෙ දැන ඇඳුනුම්කම් උඩ නයනට කොළඹ ඉස්කෝලෙකට යන්න පුලුවන් උනේ. නයනා යන්න කලින් දවසෙ සාමා එහෙ ආවා ඇඳුම් එහෙම අහුරගන්න උදව් වෙන්න. ඇඬිලි දෙඩිලි, බදා ගැනිලි ඔක්කොටම පස්සෙ සාමාව ගේට්ටුව ළඟට ඇරලවන්න ආව නයනා සාමා අතේ පුංචියට නවලා, අලවපු ලියුම් කවරයක් තිබ්බා.

“හරි වෙලාව ආව කියල හිතිච්ච දවසක මේක අමරට දෙන්න” කියලා කිව්ව ලියුම අරන් සාමා ගෙදර ආවා. මේ ලියුම කවදාකවත් තමන් අමර අතේ තියන්නෙ නෑ කියලා දන්න හන්දම ලියුම් කෑල්ල අල්මාරිය අස්සට විසික්කලේ කියවන්නෙත් නැතුව.

කාලෙ ගෙවිලා ගෙවිලා ගියා. සාමා ඉස්කෝලේ නෝනෙන් උනා. අමර ග්‍රාම නිළධාරි මහත්තැන් කෙනෙක් උනා. පවුල එක්කම කොළඹ ගිය නයනා මුල් කාලෙ ලියුම් එව්වට මොකෝ, ඒවයි අමර ගැන එහෙමත් අහල තිබ්බට මොකෝ පස්සෙ පස්සෙ ඒ ලියුම් අතුරුදන් වෙලා ගියා.

“නයනා දැන් කසාද බැඳලත් ඇති කියලා” හිතුනට සාමා ඒ වෙද්දි තමන්ගෙ කසාද පුරුසයා වෙච්ච අමර එක්ක නයනෙක් ගැන දොඩන්න ගිය එකක් නෑ. “අමරට ආයෙ නයනව මතක් වෙලා මාව එපා උනොත්” කියන බය සාමාගෙ හිතෙන් අමරව කසාද බැන්දයින් පස්සෙවත් අතෑරුනෙ නෑ. ඊටත් එහා අමර ආල ලීල පාන්න එන හැම වෙලාවකම සාමා පුලු පුලුවන් විදියට ඒක මගෑරලා ගියේ “හරි වෙලාව ආව කියල හිතිච්ච දවසක මේක අමරට දෙන්න” කියල නයනා ගමෙන් පිටවෙන්න කලින් අත තිබ්බ ලියුම තමන් අමරට නුදුන්නානේද කියන වරදකාරී හැඟීම හිත අස්සෙ තෙරපිච්ච හන්දා. විටෙන් විටේ උඩට ඇවිත් “ලැජ්ජ නැද්ද අනුන්ගෙ මිනිස්සු අල්ලගන්න” කියලා හිත කිව්ව හන්දා.

කාලෙ ගෙවිලා ගියා. සාමාන්‍ය ගමේ ගෑණියෙක් වගේ අමරට ඕන වෙච්ච වෙලාවට රෑට සාමා ඇඳේ හාන්සි වෙලා උන්නා. අමර තමන්ට ඕන දෙයක් කරගෙන එහා පැත්ත හැරිලා බුදියද්දිත් සාමාට මතක් උනේ නයනව. “මං වෙනුවට මෙතන නයනා උන්න නම් අමර එතකොටත් මෙහෙමද?” කියල හිතුනට සාමාට කිසි වෙලාවක හිතුනෙ නෑ “අමර ආදරෙ පෙන්නද්දි මම නේද මග ඇරලා යන්නෙ?’ කියන එක.

“හරි ශෝක් ජෝඩුව” කියල ගමේ මිනිස්සු කියද්දි, අමර තමන්ට පන්සල යන්න ඉස්සර වගේම සල්මල් කඩලා දෙද්දිත්, අමර සාමා එක්ක ආදරෙන් ජීවත්වෙන්න උත්සහ කරද්දිත් සාමා තමනුයි අමරයි මැද්දෙ නයනව තියන් හිතෙන් දුක් වුනා. බය වුනා. විස්සෝප වුණා.

ජීවිතේ ඔය විදියට ඉස්සරහට යද්දි සාමා බය වෙච්ච දේ ඒ විදියටම දවසක් වුනා. 

කිරි කිරි වාහනේක, ඇවිල්ලා ගේ ඉස්සර වැට අද්දරින්ම බැස්සෙ වෙන කවුරුවත් නෙවෙයි කොළඹ නෝනා කෙනෙක් වෙච්ච නයනා. කොණ්ඩෙ පාට කරපු, අව් කණ්ණාඩි දාපු, ලස්සන ඇඳුමක් එහෙම ඇඳන් උන්නු කොළඹ නෝනා වෙන කවුරුවත් නෙවෙයි නයනා විත්තිය දැක්ක සාමාගෙ හිනාවට කළින් බය ඉස්සර වුණා.

“නයනා ආවෙ අමරව එක්කරගෙන යන්න ද?” කියන බය එක්කම සාමා ඉස්සරහට ගිහින් නයනව වැළඳගත්තා. 

“ඈ සල් ගසක් මෙනි ඇති මල් පොකුරු             දදා” කියලා කියන්න වගේ බඩක් උස්සගෙන තමන්ව පිළිගන්න ආව සාමාව හීන් සැරේ පඩියෙන් ඉස්තෝප්පුවට ගොඩ කරන්න අත් වාරුව දුන්න අමරගෙ ඇස් අස්සෙ, හිනාව අස්සේ හොඳම හොඳ මහත්තයෙක්ගෙ, අහිංසක තාත්තෙක්ගෙ ආදරේ, සෙනෙහස නයනා දැක්කා.

ආ ගිය විස්තර කතා කරා. නයනාට කන්න බොන්න හදන් එන්න කියල හිතන් සාමා පුටුවෙන් නැගිටින්න හදද්දි, “ඔයා මහන්සිවෙන්න එපා” කියලා අමර ගෙට යන විත්තිය දැක්කම නයනාට හීනි හිනාවක් ගියා. ඒ හිනාවට හේතුව දැනගන්න තමයි සාමා එක දිගටම නයනගෙ ඇස් දිහාවම බලන් උන්නෙ.

“හරි වෙලාව ආව කියල හිතිච්ච දවසක මේක අමරට දෙන්න කියල මං එදා ලිව්ව ලියුම උඹ අමරට නුදුන්නා නම් අද ඔය රත්තරං මිනිහව වෙන ගෑණියෙක් ඩැහැගෙන” කියල නයනා කිව්ව ගැටේ ලෙහාගන්න සාමාට එවෙලෙ පුලුවන් උනේ නෑ. එවෙලෙ හනික ගෙට ගිහින් අල්මාරිය අස්සෙන් අර ලියුම ඇදල අරගෙන බලන්න කොච්චර ඕන උනත් සාමා ඒ හැම හිතුවිල්ලක්ම හංගගෙන බොරුවට හිනාවුනා. කතා කරා.

නයනා ගියේ අමරවයි සාමාවයි දෙන්නවම බදාගෙන ඉඹගෙන කොළඹ සැම්පලේට සමුදීලා.

අල්මාරිය අස්සෙන් ලියුම අරන් බලන්න සාමාට ඉස්පාසුවක් හම්බුනේ අම්මර “ඇඟ පත හෝදන් එන්නම්” කියලා ළිඳට ගිය වෙලාවෙ.

නැමුම් පාරවල් එක්ක, සුදු පාට කොළේ කහට පාට වෙලා තිබ්බා. ඒත් ඒ ලියුමෙ ලියවිච්ච කතාව මෙච්චර කාලයක් හිතේ කහට බැඳන් උන්න සාමාගෙ හිත සුද්ද කරන්න උදව් වුණා.

“අමර,

සාමා ඔයාට හරි ආදරෙන් ඉන්නෙ. එයාවම තමයි ඔයාට ගැලපෙන්නෙ. මං මේ ලියුම එවන්නෙ සාමා කවදාවත් ඔයාට ඒ විත්තිය කියන්නෙ නැති බව මං දන්න හන්දා.

ඔයා එයාගෙන් අහන්න. එයාව නැතිකරගන්න එපා ඔයා.

කසාදෙ දවසට මට දැනුම් දෙන්න. මං අනිවාර්‍යෙන් එනවා.

මීට,

ආදර මිතුරිය

නයනා”

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles