සුසුවඳ සූත්‍ර – 35

0
6306

යුගාත්ම කාශ්මීර අමුණුගම රිය පැද ආවේ නො සිඳුණු මඳහසක් ඇතිවයි. අන්තරා ඉදිරියෙහි තමන් අධි රංගනයක යෙදුණා දැයි ඔහු ට සිතෙයි. කෙසේ වෙතත් එහෙම කරන්නට සිදු වූයේ අහිමි නොවී ඇයව ළඟ තබා ගන්නට ය.

සිය පියා තරුපති ගේ අදහස ඉව වැටුණු පසු අන්තරා පසුපස බලන්නේ හෝ නැතිව ඔහුගෙන් ඉවතට දිව යනු ඇතැයි සාධාරණ බියක් යුගාත්ම ට තිබේ. මේ ටික දිනට ඔවුන්ගේ මිතුදම් ගැඹුරට මුල් දුවා ඇති බැවින් ඔහු ඇය දනියි. හඳුනයි. විවාහයක් ගැන කතා කරන්නට ගිහින් මිතුරියක ලෙස හෝ ඈ ළඟින් ඉන්නට ඇති අවස්ථාව අහිමි කරගන්නට ඔහු ට ඕනෑ නැත. අන්තරා කියන්නේ ම සංවේදී මාතෘකාවකි. ප්‍රේමය හෝ විවාහය වාගේ, ඇගේ ආත්මය තුළ බිඳී ගොස් ඇති විෂයකට අත තැබිය යුත්තේ ම ප්‍රවේසමෙනි. එය මේ සා ඉක්මනින් හා කලබලයෙන් කළ හැක්කක් නොවන බව යුගාත්ම ඉඳුරා දනී. විහිළුවෙන් වාගේ ඔහු ඇයට දනවන්නට උත්සාහ කළේ ඒ සත්‍යයි. නමුත් එය කෙතරම් සාර්ථක වූවා ද කියා ඔහු දන්නේ නැත.

යුගාත්ම පැමිණෙන විට තරුපති අමුණුගම මිදුලෙහි පෙරමග බලමින් සිටියේ ය.

“මගෙ කණ්ණාඩි කුට්ටම ජිතේලගෙ ගෙදර ආල ඇවිත්නෙ පුතා. මං මේ ටැක්සි එකක්වත් ගෙන්නෝගන්න හැටියක් කල්පනා කරකර හිටියෙ”

තරුපති ට කුළී රියක් ගෙන යනවා නම් ඕනෑ හැටි එහෙම කරන්නට තිබිණ. ජිතේන්ද්‍ර එය ගෙනැවිත් දෙන්නට විමසූ විට ද ඔහු හැන්දෑ වී පැමිණෙන බැවින් තිබෙන්නට හරින්නයි කීවේ ය. පුතා ඉදිරියෙහි කළේ වෙන ම රඟපෑමකි.

“ජිතේට කියල ගෙන්නෝගන්නත් පුළුවන්… මං මේ කල්පනා කළේ මොකද්ද කරන්නෙ කියල…”

“අයියෝ අප්පච්චි. ජිතේන්ද්‍ර අංකල්ට කරදර කරන්නෙපා ඕක ගෙනත් දෙන්න කියල. කෝ එන්න එහෙනං ටක්ගාල එහෙට ගිහිං එන්න”

පුතා ඒ හදිසිය පෙන්වූයේත් රංගනයෙහි කොටසක් ලෙසිනි. සැබවින් එය ඔහුට ඉබ්බා දියට දමනා මොහොත සරි විය. උදේත් හවසත් අන්තරා හමු වූ බැව් සැබවි. නමුත් මේ විදිහට ඇගේ ගෙදරට යාමෙහි වන්නේ වෙනම ම මිහිරකි.

“අපරාදෙ. මට පුතාට කියන්න බැරි වුණානෙ අර ළමයට තෑගි දෙන්න හොඳ සෙන්ට් බෝතලයක් ගේන්න කියල”

“අයියෝ අප්පච්චි. විකාරනං කරන්නෙපා හොඳේ”

“උඹ කෙල්ලට අකමැති නෑනෙ”

“පිස්සුද… මං මේ යන්නෙ කෙල්ලො බලන්න නෙවෙයි. අප්පච්චිව ටැක්සි වල යවන්න බැරි හින්ද”

“හරි හරි. මමයි ඒ තෑග්ග දෙන්නෙ… උඹ නෙවෙයි”

“අප්පච්චිලත් පොඩි ළමයි වෙන්න හදනවනෙ”

අන්තරා දිය නා පිරිසිඳු වී ගේ පුරා සුවඳ දුම් අල්ලමින් සිටියා ය. ඕම් ධ්වනියෙන් ගෙදර හාත්පස ඒකාත්මික වී තිබිණ. ඝණ්ඨාර නාදය සමග මුහු වූ ඕම් ශබ්ධයෙහි විශ්වීය බලයක් ඇති බව කිශෝරි අදහන්නී ය. සන්ධ්‍යාවේ ආගමික වතාවත් වලින් පසු ඕම් ශබ්ධය අනුවාදනය කිරීම කාලාන්තරයක් තිස්සේ මේ ගෙදර සිරිතකි. එතකොට හිත දැහැනකට සමවැදේ. ඇතුළාන්තය භාවනානුයෝගී වේ. ඒ ශාන්තිය හා සමාදානය අත්විඳින්නට අන්තරා බෙහෙවින් කැමැති ය. ඕම් ධ්වනිය ද සුවඳ දුම ද එකට මුහු වූ විට මැවෙනා ගැඹුරු අධ්‍යාත්මික සුවය, සන්සුන් ජීවියෙකු නිර්මාණය කරයි.

රියෙන් බැස ග්‍රීල් ගේට්ටු දෙපියන විවර කළේ තරුපති ය. යුගාත්ම ගේ රිය මිදුලෙහි නතර වන විට ය අන්තරා දුම් කබල ද ගෙන බරාඳයට පැමිණියේ. සුදු දුමාරය අතරින් යුගාත්ම ඇගේ වත දුටුවේ වලාවකින් මතු වෙන පුර සඳ සේ ය.

“අංකල්”

ඉක්මන් දිගු අඩි තබා බරාඳයට ගොඩ වූ තරුපති ගේ දෙපා, එක අතකින් දුම් කබල අල්වාගෙන ම අන්තරා එක අතකින් ස්පර්ශ කළා ය.

“දීර්ඝායුෂ වේවා පුතේ. හරිම ලස්සන දර්ශනයක්. හරියට ඉන්දියානු චිත්‍රපටියක හිත නිවන ජවනිකාවක් වගේ. ඇස්වහක් කටවහක් වදින්නෙපා පුතාට”

තරුපති අන්තරාව සුරතින් ලං කොට ගෙන හිස සිම්බේ ය. දුම් සුවඳ අතරින් ඔහු ට ඇගේ හිසේ රෝස්මරී සුගන්ධය දැනිණ. අන්තරා ගේ රත් පියුම් නෙත් පියන් පහළට නැඹුරු විය.

“හරි හරි පුතා වැඩේ ඉවරකරල එන්නකො”

කියමින් තරුපති ගෙතුළට ගියේ ඉස්සරහාට එමින් සිටි ජිතේන්ද්‍ර දැකයි. කලිසම් සාක්කු වල දෑත් ඔබාගත්, උදේ පිළිවෙළට හැඳ ගිය සුදු කමිසයේ බොත්තම් දෙක තුනක් විවර කරගෙන, කමිස අත් වැලමිට තෙක් ඔසවාගෙන සිටි යුගාත්ම හෙමිහිට බරාඳයට ගොඩ වූයේ ය. ඔහු ගේ දෑස් අඩවන් ව පතිත වී තිබුණේ අන්තරා ගේ සඳ උවන මත යි. ඒ දෙතොල් දඟකාර සිනහවකට අරාඳිමින් තිබුණ ද ඒ සිනහව පිටතට පැමිණියේ නැත. අන්තරා රතදර තද කරගෙන සිනහ වෙමින් ම දුම් කබලට සුවඳ කුඩු අහුරක් දැමුවා ය. සුදු දුමාරය පිරී ගියේ ය. දෑස් කුඩා කරගෙන යුගාත්ම ගෙට ඇතුළු විය.

ගෙතුළින් ඉපැරණි හිතවත්කම් වල ගැඹුරු සිනහ කතා පිළිරැව් නැඟිණ. තරුපති බොරු හදිසියක් පෙන්වා කණ්ණාඩි කුට්ටම ගෙන ඉක්මනින් පිටත් වීමේ සූදානමක් ඇඟවූයේ ය.

“මොන හදිස්සියක්ද… තේ එකක් කාරිය බීල හෙමීට යමු. දැන් හෙට අනිද්දට පූජාපිටි ගියාට පස්සෙ ආයෙ කවද දකින්නද…”

ජිතේන්ද්‍ර විරෝධය පෑවේ ය.

“මටනං ඉතිං ඇති හදිස්සියක් නෑ ජිතේ. ඒත් අපේ මේ පුතණ්ඩිය ගෙදර ආපු ගමං එක්කං ආවෙ කණ්ණාඩිය ගත්ත ගියා කියල”

යුගාත්ම කිසිදු හදිසියක් පෙන්වූයේ නැත. කිශෝරි ඉක්මනින් තේ සූදානම් කරන්නට වූවා ය. අන්තරා ඇය ළඟට වී සිටියා ය. නමුත් තරුපති ට ඇය ඔහු වෙත ගෙන්වාගත යුතු විය. ඇගේ අතකින් අල්වා හෙතෙම ඈ ඔහු ළඟින් හිඳුවාගත්තේ ය. අන්තරා ගේ හිස පිරිමැද්දේ ය. ඈ ඔහු පාමුල උඩරට නර්තනය හැදෑරූ කීකරු සිසුවියට රූපාන්තරණය වී මඳහසින් බිම බලා සිටියා ය. එහෙම සිටියදී ඈ මොනතරම් අවිහිංසක ද? දෙව්දුවක් වාගේ ය. යුගාත්ම ට සිය දෑස් ඇගෙන් ඉවතට ගන්නට නො සිතුණ තරමි.

“වෙච්ච දේවල් වුණා. දැන් ඉතින් අලුත් තැනකින් ජීවිතේ පටංගන්න හිතන්න. දෙමව්පියන්ට ඕනෙ දරුවො ලස්සනට සතුටෙන් ජීවත් වෙනව දකින්න. හෙමිහිට පුතාගෙ අනාගතේ ගැන හිතන්න. අපි ජීවිතේ එක්ක වයසින් ඉස්සරහට යනකොට අපිට අපිව බෙදාගන්න කෙනෙක් ඉන්න ඕනමයි. ඔයා ගියාට පස්සෙ වුණත් අම්මටයි අප්පච්චිටයි ඒ දෙන්න හිටිය නිසා ඒ දුකට මූණදුන්න. ඕගොල්ලොත් සදාකාලිකව ළඟින් ඉන්න සහකාරයෙක් එක්ක තියල යන්නයි අපිට ඕනෙ. සැනසිල්ලෙං අපිට යන්න පුළුවං වෙන්නෙ එතකොට”

“ඒත්…”

අන්තරා හෙමිහිට සිය ස්ත්‍රීත්වයේ ස්වර තත් වැයෙන්නට හැරියා ය.

“ආයෙත්නං මං මැරි කරන්නෑ අංකල්. කාවවත්… මං හිතන්නෙ මට තව කසාදයක් ඕන නෑ”

යුගාත්ම තිගැස්සිණි. ඔහු පමණකුදු නොව අප්පච්චිලා දෙදෙනෙකුගේත්, තේ බන්දේසිය බිම වැටේවියි කෝපි මේසය මත තැබූ අම්මා කෙනෙකුගේත් හදවත් නැවතුණා සේ ය. අන්තරා ගේ හඬ එතරම් ම පැහැදිලි විය.

“මට රත්තරං කොලු පැටියෙක් ඉන්නව. නූපුර… එයා ශෝක් පුතෙක් අංකල්. අපේ ප්‍රශ්න නිසා එයා පොඩි කාලෙ ඉඳලම මානසිකව වද වින්ද. දරුවෙක් කවදාවත් විඳින්න ඕන නැති දුකක් වින්ද. ඒ දේවල් කෙළවර වෙලාම යන්න ඕනෙ අංකල්. එයා මාත් එක්ක නිසංසල ජීවිතයක් ගතකරන්න ඕනෙ. අනික දරුවෙක් ඉන්න ගෑනියෙක් දෙවෙනි කසාදයක්නං කරගන්න ඕනම නෑ කියන එක මං අදහනව. පිටස්තර කෙනෙක්ගෙනුත් මගෙ පුතාට හිත් රිදුම් දෙන්න මන්නං හිතන්නෙවත් නෑ අංකල්. එයාට කවුරුවත් වෙනස්කං කරනව දකින්න මට ඕන්නෑ. අපි දෙන්නට අපි දෙන්න හිටියහම ඇති. අම්මයි අප්පච්චියි ඉන්නව. මේ ලෝකෙ ඒ දෙන්න තරං වෙන කවුරුත් මං ගැන වද වෙන්නෑ කියල මං දන්නව. මට හොඳ යාළුවො දෙන්නෙකුත් ඉන්නව…”

එහෙම කියත්දී අන්තරා ගේ දෑස් යුගාත්ම මත මොහොතකට නතර විය.

“පහුගිය ටිකේ මෙච්චරවත් හිත හදාගත්තෙ ඒ දෙන්න නිසා. මං දන්නෑ කොච්චර දුරක් එයාලට මාත් එක්ක යන්න පුළුවං වෙයිද කියල. ඒත් දැනට ඒ දෙන්න ඉන්නව මගෙ හිතේ හයියට. ඒක නිසා… ආයෙ මැරි කරන්නනං මට ඕන්නෑ අප්පච්චි. අම්ම… මට ඒකට බල කරන්නත් එපා…”

අන්තරා කියවාගෙන ගියේ කලින් කියන්නට සූදානම් ව සිටි තරම් හුරුබුහුටි ලෙස ය. අතර මගදී උගුර දැවුණත්, වචන හිර වුණත්, කඳුළක් නො සලා අවසාන වචනය තෙක් කියාගන්නට ඇයට හැකි විය.

“පුතා කලබල වෙන්න එපා. අපි හෙමිහිට හිත පෑදෙන්න අරිමුකො. ම්…”

තරුපති ඇගේ හිස පිරිමැද්දේ ය. කිසියම් සැහැල්ලුවක් අන්තරා ට දැනෙමින් තිබිණ. යුගාත්ම වෙනුවෙන් සිය යුතුකම ඉටුකළා සේ දැනෙන්නට විය. ජිතේන්ද්‍ර හෝ කිශෝරි ඇගේ හිත පෑරෙන වදනකුදු බිණුවේ නැත. නමුත් එක්කෙනෙකු පමණක් කැළඹී සිටියේ ය. වෙනකෙකු නොව ඒ යුගාත්ම ය.

ගෙදර ගිහිනුත් ඔහු බෝ වෙලාවක් කාමරයේ සක්මන් කරමින් සිටියේ ය. අන්තරා ට කතා කළ යුතුයි කියා සිතුණ ද ඊට හිත එකඟ කරගනු නො හැකිව කාලය ගෙවමින් සිටියේ ය. අවසන ඔහු ඇගේ දුරකතනය අංකනය කළේ බෝ රෑ බෝ වූ පසුයි.

“සතුටුයිද දැං…”

එහෙම අසත්දී ඔහුගෙන් සුසුමක් ගිළිහී ගියේ ය.

“ඇයි…”

“අර කියෝපු ඒව ගැන…”

“ඉතිං ඔයානෙ සතුටු වෙන්න ඕනෙ. ඔන්න දැං ඔයාගෙ අප්පච්චි හිතේ තිබුණ දේවල් අහක් කරගනී. ඔයාට මං නිසා වදයක් දෙන එකකුත් නෑ. ඉතිං මට තෑන්ක් කරන්න”

“කියන්න හුඟක් දේවල් තියනව වගේ. ඒත් මොනා කියන්නද කියල මට හිතාගන්න බෑ අන්තරා”

“එක අතකට මටත් ඒක හොඳ අවස්ථාවක් වුණා යුගාත්ම. අපේ අම්මටයි අප්පච්චිටයි ආයෙ පහුවෙලා හරි කියන්න දෙයක් ඉතුරු වෙලා නෑනෙ දැං…”

“ඔයා ආයෙ බඳින්නෝනෙ වෙන කවුරුවත් කියන කෙනෙක්ව නෙවෙයි. ඔයාට දැනෙන කෙනෙක්ව”

අන්තරා ගේ තොල් කොනක් සිනහවකට ඇද විය. යුගාත්ම ඒ දුටුවේ නැති වීම ගැන ඇය කැමති ය.

“බඳින්නම ඕන කියල එකක් නෑනෙ… නේද… බැඳෙන්නයි ඕනෙ. බැන්ද කියල මිනිස්සු බැඳෙන්නැති බව තේරෙනකොට මං හීන වලින් ඇහැරුණා යුගාත්ම. බඳින්නෙ නැති වුණත් හිතෙන් බැඳිල ඉන්න දෙතුන් දෙනෙක් ජීවිතේ හිටියාම ඇති කියල දැන් හිතෙනව. දන්නෑ ඇයි කියල… මට දැනෙනව ඔයාල දෙන්නටත් මං බැඳිල වගේ. ආයෙ ආයෙත් බැඳෙනව වගේ. ඉස්සරහට ජීවත්වෙන්න ඉතුරු වෙලා තියන පොඩි කාලෙට ඔය කීපදෙනා ඇති ඉතිං”

ඈ ‘ඔයා’ වෙනුවට ‘ඔයාල’ යන බහු වචනය යොදාගත්තේ හිතාමතා ම ය. ඒ මොහොතෙත් ඒ බැඳීම වැඩි වැඩියෙන් දැනෙමින් තිබිණ. යුගාත්ම හුස්මකින් හෝ බාධාවක් නොකොට ඇයට හදවතින් නිදහස් වන්නට ඉඩ දී සිටියේ ය. මිනිසුන් බැඳෙන්නේ හිත් නිදහස් කරගත හැකි මිනිසුන් වෙතට යයි ඔහු හිතුවේ නම් නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here