මවක් වෙන්න ඇත්තටම ඔබ සූදානම් ද?

0
1116

විවාහයෙන් පස්සේ හැම යුවතියකගේම සිහිනය වෙන්නේ දරු පැටියෙක්. අම්මා කෙනෙක් වෙන්න සිහින දකින ඔබ මවක් වීමට ආශාව පමණක් ප්‍රමාණවත් නැහැ. දරුවෙකු ලැබීමට පෙර ඔබ ශාරීරිකව සහ මානසිකව එයට සූදානම් වෙන්න ඕනෑ. ඔබ ඇත්තටම එයට සූදානම් ද?

ඔබ වයස දහ අටට වැඩි යුවතියක් නම් ඔබට මවක් වීමේ හැකියාව තිබෙනවා. නමුත් ඔබ වයස තිස් පහට වැඩි කාන්තාවක් නම් අධි රුධිර පීඩනය, දියවැඩියාව, හෘදයාබාධ , හෝමෝන අසමතුලිත භාවය සහ තවත් සංකූලතා වලින් පෙළෙනවා ද යන්න ගැන හොඳින් සැලකිලිමත් වෙන්න.

ඒ වගේම ඔබේ බර අඩුවීම නිසා දරුවාගේ වර්ධනයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. බර අඩු කාන්තාවන්ට ගැබ් ගැනීම ප්‍රමාද වෙන්නටද ඉඩ පවතිනවා. ඒ නිසා ගැබ් ගැනීමට උත්සාහ කරන විට ඔබේ BMI අගය 18.5 ට වඩා වැඩියෙන් තබා ගැනීම වැදගත් වෙනවා. මෙම අගය 25ට වඩා වැඩි නම් ඔබ තරබාරු ගණයට අයත් වෙනවා. බර වැඩිවීම නිසාත් ගර්භණී සමයේ මෙන්ම දරු ප්‍රසූතියේදීත් සංකූලතා ඇතිවීමට අවදානමක් පවතිනවා. බර වැඩි කාන්තාවන්ට ඩිම්බ කෝෂ වලින් ඩිම්බ මේරීම සාමාන්‍ය පරිදි සිදු නොවෙන නිසා ගැබ් ගැනීමට ප්‍රමාද වෙන්නත් ඉඩ තිබෙනවා. ඒ නිසා ඔබේ BMI අගය වැඩි නම් ආහාර පාලනය සහ ව්‍යායාම කිරීම මගින් අවශ්‍ය ප්‍රමාණයට බර අඩු කරගෙන ගැබ් ගැනීමට උත්සාහ කිරීම වැදගත්.

ඒ වගේම ඔබ ගැබ් ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් දරුවාගේ මොළය සහ සුෂුම්නාව ආශ්‍රිත සංකූලතා වළක්වා ගැනීම වෙනුවෙන් ෆෝලික් අම්ලය අඩංගු පෙති භාවිතා කිරීම ඉතාම වැදගත් දෙයක්. ඊට අමතරව පෝෂ්‍යදායි ආහාර රටාවකට හුරු වෙන්නටත් අමතක කරන්න එපා.

ඒ වගේම රුබෙල්ලා, පිටගැස්ම, පැපොල වැනි එන්නත් කල් තියා ලබා ගන්නට අමතක කරන්න එපා. ඔබට දත් ආශ්‍රිත ගැටලු පවතිනවා නම් ඒවා සඳහා ද ප්‍රතිකාර ලබා ගන්න.

ඒ සෞඛ්‍ය කාරණා හැරුණු විට ඔබේ මානසික සෞඛ්‍යයද වඩා යහපත් මට්ටමක පැවතිය යුතුමයි. ඒ වගේම ඔබ ආර්ථිකව යම් ස්ථාවරයක් අත් කරගෙන හිඳීමත් වැදගත්. දරුවා උපන් පසු දරුවා රැක බලා ගැනීමට යොදවන්නේ කවුරුන්ද, ඔබ දිගටම රැකියාවේ යෙදෙනවාද වැනි කාරණා සැමියා සමඟ සාකච්ඡා කරන්නට අමතක කරන්න එපා.

දරුවෙක් බිහි කර රැක බලා ගැනීම විසි වසරක ව්‍යාපෘතියක් බව සමාජයේ ප්‍රචලිත මතයක්. එය ඇත්තටම නිවැරදි කතාවක්. ඒ නිසා ඔබ මානසික , ශාරීරිකව සහ ආර්ථිකව ස්ථාවර සහ ශක්තිමත් බව ඔබට හැඟෙන මොහොත මවක් වීමට නියම මොහොත යි.

-නිබන්ධිකා-