සුසුවඳ සූත්‍ර – 38

0
6225

අන්තරා හිස සිට පොරෝනාවකින් පොරවාගෙන යහනේ වැතිර සිටියා ය. දෙතුන් දිනක සිට ම ඈ වෛරසයක් මත සෙම්ප්‍රතිශ්‍යා උණට යටත්ව පීඩා විඳින්නී ය. නැගී සිටින්නට, ගෙදර ගොස් පරීක්ෂණ කාමරයට වැදී සුවඳක් සොයන්නට ඇල්මක් හිතේ ඇති වී ද ඇසිල්ලකින් ඒ සිතිවිල්ල පර ව යයි. නැගී සිටින්නට, හිස කෙළින් තබාගෙන සිටින්නට බැරි තරමට ඇඟට පණ නැත. හිස බර ය. කුඩා කෘමි සතුන් ගොන්නක් හිසට රිංගාගෙන ඇති සෙයින් හිස රිදේ. මඳකට නැගී සිටිය ද ඕනෑ වෙන්නේ ම යළි ඇඳට වැටෙන්නටයි. ඉක්මනට සුව වෙන්නට ය කියා රෝග ලක්ෂණ වල ඇරඹුමේ දී ම බෙහෙත් ගෙන ආව ද, ඖෂධ නිසා දැනෙනා මත් ගතිය වැඩි ය.  වැඩිපුර නිදිබර බව බෙහෙවින් වැඩි ය.

සාමාන්‍යයෙන් ඇය ගිලන් වන්නියක නොවේ. වෛරස උණ පැතිර යන හැම කාලයක ම වගේ ගෙදරට රෝගය ගෙන ආවේ දක්ෂිණ හෝ නූපුර ය. ඔවුන් ගිලන් වූ විට හැසිරෙන්නේ බබාලා වාගේ ය. ඔවුන්ව පහසුවෙන් තබන්නට අන්තරා කළ හැකි හැම දේ ම කරයි. දෙවියන්ගේ නාමයෙන් ඇයට ඒ නො වැළඳේවා යන්න ඇගේ එක ම පැතුම වේ. ඒ, එතකොට දක්ෂිණ හා නූපුර වෙනුවෙන් යුතුකම් ඉටුකළ නො හැකි බැවිනි. අන්තරා රෝගයට ගොදුරු වන්නේ නම් ඒ අන්තිමට ය. කෙතරම් ප්‍රවේසම් වූව ද නූපුර නිතර ම ඇයට ඇලී ගැලී සිටින නිසාවෙන් වෛරසය ඇයට සම්ප්‍රේෂණය වේ. සිය ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩියි කියා ඇය සිතයි. නිතර ම රෝග වලට ගොදුරු නොවන්නේ එබැවින් විය යුතු ය. නමුත් කලාතුරකින් ගිලන් වූ විට ඈ අනිත් අයට වැඩි අපහසුවක් අත්විඳී.

මේ වතාවේ ඈ කල් ඇතිව බෙහෙත් ගත්තේ බියට ම ය. ගෙදර යන්නට බැරි වනු ඇතැයි බියට ය. පරීක්ෂණ අතපසු කරගත නොහැකි යයි උඩුහිත කියයි. නමුත් මහගෙදර කොටු වී දවස දෙක ගෙවී යන විට යටිහිත වෙන කුමක්දෝ හිස්කමක් ගැන පැමිණිලි කරන්නට ගති.

“ගෙදර එන්නං ලෙඩ්ඩු බලල යන්න”

යුගාත්ම මුල සිට ම විමසුවේ ය. නමුත් අන්තරා ඊට එකඟ වූයේ නැත.

“අනේ ප්ලීස්. ඔයයි මායි කලින් ඉඳල දැනං හිටිය කියල අපේ අප්පච්චිල දැනගන්න ඕන නෑ හොඳේ. මට ඉක්මනට සනීප වෙයි”

නමුත් දින තුනක් ගෙවී ගිය පසුත් ඇගේ ශරීර අපහසුතා අඩු වී ගියේ නැත. අන්තරා හමු නොවී ගෙවුණු ඒ දින තුන හතර ඒසා දිගු වූයේ කෙසේ ද තබා ඒ දීර්ඝ වූ කාල පරිච්ඡේදය කෙසේ ගෙවාගත්තා ද කියාවත් යුගාත්මට සිතිය හැකි වූයේ නැත. එසේ ම තවත් දිනක් තබා තව පැයක්වත් මේ නො සන්සුන් බව දරා සිටිත නො හැකියි කියා සිතුණු වෙලාවක ඔහු අන්තරා ට නො කියා ම ජිතේන්ද්‍ර ගේ ගෙදරට ගොඩ වූයේ ය.

ඒ වෙලාවේ අන්තරා සිටියේ බරාඳයේ බිම හිඳ, අසුනක උන් කිශෝරි ගේ උකුල මත ඇගේ හිස කඩා වැටෙන්නට හැරයි. කශෝරි, දියණිය ගේ හිසේ රුදා සමනය වනු වස්, ලැවෙන්ඩර් තෙල් ඇඟිලි තුඩගින් ගෙන ඇගේ හිසෙහි ගල්වා පිරිමදිමින් සිටියා ය. අම්මා ගේ ඇඟිලි තුඩු හිස මත සෙනෙහස තවරත්දී අන්තරා ගේ දෑස් පියවෙමින් තිබිණ. කිශෝරි යන්තමින් මුමුණන අභිමාන් චිත්‍රපටයේ තෙරේ මේරේ ගීතය ඇයට සුව නින්දකට ම ඇරයුම් කරයි. ඇගේ දෑස් පෙති අතරෙහි යාන්තම් සෙලවෙන රුවක් සේ ඔහු හසු වූයේ එවන් මොහොතක ය. ඒ යුගාත්ම යයි මුලින් අන්තරා ට සිතුණේ ද නැති තරමි. ඇය සිටියේ ඇගේ නිදි ලෝකයේ ය. නමුත් හදිසියේ හදවත තිගැස්සී යමක් සිහිපත් කරවී ය. ඇගේ ඇස් විවර විය.

ඒ වෙත්දීත් කිශෝරි සිටියේ රියෙන් බැස ඔවුන් වෙතට එන යුගාත්ම දෙස බලා සිනහ වීගෙන ය. ඇගේ අතැඟිලි අන්තරා ගේ හිස මත එක තැන නතර වී තිබිණ.

“යු… ගාත්…ම…”

අන්තරා ගේ දෙතොල් සෙළැවිණි. නමුත් හඬක් පිට වූයේ නැත. ඇය එපමණට ම කැළඹී සිටියා ය.

“පුතා…”

කිශෝරි ගේ මව්වත් හඬේ ආදරය පිරී තිබිණ.

“අනේ කොච්චර දෙයක්ද… පුතාට අපිව මතක් වෙලා”

“අන්තරාට සනීප නෑ කියල අප්පච්චි කිව්ව. ජිතේ අංකල් කිව්වලු. ඉතිං බලල යන්න කියල හිතුණ මෙතනිං යන ගමං”

ඔහු ඈ අභියස නතර වූයේ ය. අන්තරා අම්මා ගේ දෙදණහිස් මතින් දෑත් තබා නැගී සිටියා ය. මේ උණ විකාරයෙන් පෙනෙනා සිහිනයක් දැයි ඇයට නිශ්චිත නො වුණ තරමි.

“හොඳටම අමාරු පාටයිනෙ”

යුගාත්ම ගේ සරෙහි තමන්ගේ කමක්, අයිතිවාසිකමක් ගැන හැඟීමක් තැවරී තිබුණා සේ ය.

“අමාරුයි කියන්නෙ… සෙම තමයි පුතා. මෙයාට බෙහෙත් බිව්වහම ඔළුව උස්සං ඉන්න බැරි අමාරුව තමයි වැඩියම තියෙන්නෙ. එන්න පුතා ඇතුළට. ඉඳගන්න”

“කෝ අංකල් පේන්න නැත්තෙ මොකද…”

“අංකල්නං සිම්ෆනි එකේ ප්‍රැක්ටිසස් වලට ගිහිං. මං මේ එයාවයි මෙයාවයි ටිකක් ඈත් කරලමයි තියං ඉන්නෙ. එයාට මේ වෙලාවෙ බෝ වුණොත් එහෙම වැඩ ඔක්කොම පාඩු වෙනවනෙ”

“ඒක ඇත්ත. සෙම හැදුණහම කන්නත් බැරිවෙන නිසා මං මේ මගදි දැකල අන්තරාට අච්චාරු එකක් ගෙනාව”

උරස් කුහරයේ පීඩන අවපාතයක්, අන්තරා විසින් අත්විඳිමින් සිටියා ය. ඇගේ  නිවසේ දී කොහොම වුණත් මේ ගෙදරදී යුගාත්ම සමගින් හැසිරිය යුත්තේ කෙසේදැයි ඇය තවමත් දන්නේ නැත. ඔවුන් ගේ හිතවත්කම් මේ වහළට කෙසේ දැනෙනු ඇත්දැයි ඇයට පැහැදිළි නැත.

“ඔයාට එන්නැතුව ඉන්නනෙ තිබුණෙ”

කියා අන්තරා මිමිණූයේ කිශෝරි තේ හදන්නට ගෙතුළට ගිය ඉක්බිතියි.

“අනේ ඔයාගෙ හැටි බලන්කො. ආයෙ ගිහිං බෙහෙත් ටිකක් ගමුකො”

“වෙනදට කොත්තමල්ලි ටිකක් බීල හොඳකරගන්න ලෙඩේට මේ සැරේ ඉක්මනට ගිහිං බෙහෙත් ගත්තෙ ඉක්මනට සනීප කරගන්න. අනේ දැන්නං බෙහෙත් ඇති”

අසුනෙහි අඩමානයට හිඳ, ඉදිරියට බර වී අන්තරා දෙස බලා සිටි යුගාත්ම, ඇගේ නළලත පිටි අත්ල තැබුවේ ඈ සීතල කරවාගෙනයි. වහාම ඒ ඇස් දිව්වේ අම්මා දුටුවා ද බලන්නටයි.

“දැන්නං උණක් නෑ”

ඔහු දොස්තර හඬකින් කීවේ ය. අන්තරා මඳ සිනහවක් පෑවා ය.

“දැං ඔය ඇති රෙස්ට් කළා. ගිහිං අර වැඩේ කරන්න”

“ඔයා ඩොක්ටර්ද…මන්නෙ දන්නෙ මට තියන අමාරුව”

“කොවිඩ් නෙවේනෙ. නිකං හෙම්බිරිස්සාවනෙ…”

“මහ නරකයි අනේ”

“මොනාහරි කාල තේ එකක් බොන්න තැනකුත් නෑ දැං”

“මං මැරුණත් කමක් නෑ නේ…”

“හෙම්බිරිස්සාවට මැරෙන්නෑ අප්ප”

ඇත්ත ම ඇත්ත නම් දින කිහිපයක් එක දිගට ඇගේ ඇසුර නොමැතිව සිටිය නො හැකි කාංසියක් දැනීමයි. ඇතැම් වෙලාවට දැනවිය යුතු වන්නේ කියනා වචනාර්ථය නොවේ. කියූ වචන කෙරේ බොරු නෝක්කාඩුවක් පෑවාට, නො කියා දැනවූ හැඟීම් අන්තරා ගේ ගිලන් හද උණුහුම් කරමින් තිබිණ.

“මැරුණත් ඉතිං ඔච්චර තමයි. දවසක් ඇවිත් ටිකක් වෙලා ඉඳල කෝපි එකක් බීල යයි”

යුගාත්ම ඇදෙස බැලුවේ නළල රැලි ගන්වා ඇස් සිහින් කොට ය. කියන්නට මේ සුදුසු වෙලාව නොවෙනා නිසාවෙන් කියාගත නො හැකි කතා බොහොමයක් ඒ බැල්මේ සංක්ශිප්ත ව කැටි වී තිබිණ. අන්තරා ඒ බැල්ම පිළිගත්තේ අඩ සිනහවකිනි. නො කියූවත් ඒ බොහෝ හැඟීම් ඇයට නො දැනුණා නොවේ.

“තේ ටිකක් බීල ඉමු පුතා”

කියාගෙන කිශෝරි පැමිණියෙන් යුගාත්ම අසුනේ හරිබරි ගැහුණේ ය. ඒ හැන්දෑව, දින කිහිපයක් පුරා අන්තරා ට තිබූ සියල් රෝග දූරින් භූත කොට දැමුවා කිව හැක. සිරුරෙහි වූ අප්‍රාණික ඈලි මෑලි ගති පහව ගොස්, පුරුදු සජීවී බව ඇය වෙත අරක් ගෙන තිබිණ. යුගාත්ම නික්ම යන්නට සූදානම් වී ද කිශෝරි ඊට ඉඩ දුන්නේ නැත.

“බෑ බෑ. අංකල් කිව්ව අංකල් එනකල් පුතාව තියාගන්න කියල. කෑම කාල තමයි යන්න දෙන්නෙ ඔන්න”

“අනේ ආන්ටි. මං වෙන දවසක එන්නංකො කෑම කන්න”

“වෙන දවසකත් එන්න. අදත් ඉඳල යන්න. පිට දරුවෙක්ද අනේ… අපේ තරුපතිගෙ පුතානෙ. අපිට කියල ගියේ කොල්ල තනියම ඉන්න නිසා බලන්න කියලත්. මෙහෙ ඇවිත් කෑම ටිකක් කාල ටිකක් කතා කරකර ඉඳල ගියාම මොකෝ…”

කිශෝරි ගේ පෙරැත්තයෙන් මිදී යන්නට යුගාත්ම ට ඕන වුණේ නැත. ජිතේන්ද්‍ර පැමිණෙන තුරු, කිශෝරි උයන අතරේ අන්තරා සමග දොඩමළු වීමට ලැබුණ අවස්ථාව දෙවියන්ගෙන් ලැබුණ තිළිණයක් සේ ය.

ඒ රාත්‍රිය ඔවුන් ට ඔවුන් ගේ ආත්මයන් හැඳිනගැනීමට ඉඩ දුන් දිව්‍යමය හෝරාවක් කියා කිව හැකි තරමි. ජිතේන්ද්‍ර පැමිණි පසු, අන්තරා ගේ සුවඳ විලවුන් නිෂ්පාදනය ක්ශේත්‍රයට හඳුනාවාදීමේ වැඩපිළිවෙළ ගැන යුගාත්ම දිගින් දිගට ම අදහස් දැක්වූයේ ය. ඇයටත් නො කියා ඔහු ඒ ගැන ඇති කරගෙන තිබූ වැඩ පිළිවෙළ අන්තරා පුදුමයට පත් කළේ ය.

රාත්‍රී භෝජන ගනිත්දී ඔවුන් පවුල් දෙකක සාමාජිකයන් නොව එක පවුලකට අයත් අය සේ දැනෙනා තරම් සමීප බවක් ඇති වී තිබිණ.

“අනේ පුතා මේ වැඩේ පුතාගෙ දෙයක් කියල හිතං කරල දෙන්න. මාත් ඉතිං දන්න විෂයක් නෙවෙයිනෙ ඕක”

ජිතේන්ද්‍ර උදක් ම ඉල්ලීමක් ද කළේ ය. යුගාත්ම සමග එක් වී අවශ්‍ය පරිදි වැඩ ටික කරගන්නා ලෙසට අන්තරා ට විශේෂ අවසරයක් ද ලැබිණ. ඔහු නික්ම ගියේ ජිතේන්ද්‍ර පවුලේ ම පසුගමන් සමග යි.

“යුගාත්මනං ධාරාට හොඳටම කැමතියි”

ජිතේන්ද්‍ර ට නෑසෙන සේ කිශෝරි අන්තරා ගේ සවනට කොට කීවේ ළඟ ම මිතුරියක තරම් නිදහස් ලෙසයි. අන්තරා මුව ද මඳක් අයාගෙන බලා සිටියා ය.

“යුගාත්ම අම්මලට එහෙම දෙයක් කිව්වද…”

“නෑ නෑ කිව්වෙ නෑ”

“එහෙනං…”

“ඒක කොල්ලගෙ ඇස් දෙක දැක්කහම කියන්න පුළුවන්”

“අනෙ අම්මේ අම්ම ඔයත්… පිස්සුද ආ… අප්පච්චිගෙ ඔළුවටනං ඕව දානව නෙවෙයි…”

“නෑ ධාරා. ඔයාගෙ අකමැත්තෙන් කිසිම දෙයක් කරන්නෑ කියල අප්පච්චි මට කියල තියෙන්නෙ. ඔයාගෙ කැමැත්ත ඔයාගෙ සතුට තමයි දැන් අපිට වටිනම දේ. ඒ ගැන බය වෙන්න එපා”

කිශෝරි අන්තරා ගේ හිස පිරිමැද්දේ මව්වත්කම් වාං දමන හදක් දරාගෙනයි.

“බෙහෙත් බීල නිදියන්න. හැබැයි හැන්දෑවට වැඩිය දැන් ඔයාට ගොඩක් හොඳයි වගේ”

කිශෝරි එය කීවේ සිනහව අමාරුවෙන් වුව හංගාගෙනයි. නමුත් අම්මා ගේ වදන් අතරේ ඇනුම්පදයක් වී දැයි අන්තරා යළිත් සිතුවා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here