කුමාරිට හරියටම මතකයක් තිබ්බේ නැහැ එයාට දිලාන්ව මුලින්ම හම්බුණේ කවදාද කියලා.
ඒක සිද්ධ වුණේ කෑගල්ල බස් හෝල්ට් එකේ අයිනට වෙන්න තිබ්බ, හැමෝටම අමතක වෙච්ච අඹ ගහක් යටදී. ඒ ගහේ හැමදාම අනිත් ගස්වලට වඩා කලින් හරි පස්සෙන් හරි මල් පිපුණා. ඒක හරියට වටේ තියෙන ලෝකෙත් එක්ක එක පෙළට යන්න බැරි කාලෙක අතරමං වෙච්ච ගහක් වගෙ අනික් ගස් අස්සේ කොණ්වුණා. ගහේ පොතු පරණ ගං පතුල් වගේ ඉරිතලලා ගිහින් තිබ්බා. ඇද වෙච්ච බංකුවක් ඒකේ කඳට හේත්තු කරලා තිබ්බා. ගහ යට හෙවණ බව මිනිස්සු දැනගෙන හිටියට ඒ හෙවණ හම්බුවෙන්නෙ ගහ හන්දා බව මිනිස්සු අමතක කරා. ඒක පෙබරවාරි මාසේ, සඳුදා දවසක්. ඒ දවස රස්නෙයි, දූවිලියි, බස් එනකල් බලන් ඉන්න දූවිලි බැඳිච්ච සපත්තුයි සහ කුණු ගොඩ ගැහිච්ච ඇඟිලි එක්ක ගෙදර යන්න බලාගෙන ඉන්න ඉස්කෝලේ ළමයි පිරිච්ච හවසක්.
කුමාරි උන්නෙ එයාගේ ටියුෂන් ක්ලාස් එක ඉවර කරලා ගෙදර යන ගමන්. ඉංග්‍රීසි සාහිත්‍යය, එයා ඇත්තටම ආස කරපු එකම විෂය! කුමාරි උන්නෙ වරකාපොළෙන් 2:15ට ගම පැත්තට යන බස් එක එනකල්. කුමාරි එද්දිත් දිලාන් එතකොටත් එතන හිටියා, බංකුවේ වාඩි වෙලා, ලා නිල් පාට ෂර්ට් එකක් ඇඳගෙන, අතේ කළු පාට නූලක් බැඳගෙන, “ටු කිල් අ මොකින්බර්ඩ්” (To Kill a Mockingbird) පොතක් අතේ තියාගෙන. ඒ පොත හරිම පරණයි හරියට දිලාන් ගෙ මේ බලා ඉන්දිල්ල තරමටම. එයා එක පාරක් කුමාරි දිහා බැලුවා. කුමාරි හරියට දිලාන් එයා දිහා බලන බව තේරිලා වගේ, හරිම හිමින්, පොඩ්ඩක් ලැජ්ජාශීලී හිනාවක් දැම්මා.
“ඔයත් 2:15 එනකනද බලන් ඉන්නේ?” දිලාන් හරිම සැහැල්ලුවෙන් ඇහුවෙ කියව කියව උන්නු පොත වහගෙන උනාට මොකෝ මෙච්චර වෙලා කියවන් ආව තැනට ඇඟිල්ල හිරකරගෙන. හරියට මග ඇරගන්න අමාරුයි වගේ.
කුමාරි කතා කරනවද නැද්ද කියලා හිතාගන්න බැරි හන්දා ඔලුව වනලා උත්තර දුන්නා.
“සඳුදාට නම් ඒක හැමදාම ලේට්,” දිලාන් නැගිටලා, කලිසමේ දූවිලි පිහදාන ගමන් කිව්වා. “ජොබ් එකට නොගිහින් ඉන්න අයට කල පව් පල දීමක වෙන්න ඇති, මම හිතන්නේ.”
ඒකට නම් කුමාරිට හිනා ගියා. ඒක එච්චර හිනා වෙන්න තරම් දෙයක් නෙවෙයි, හැබැයි හරිම අනපේක්ෂිත විදියට ආව ඒ වචන වලට හිනා නොවෙන එක වරදක් කියලා කුමාරි හිතුවා. හැමදේම පටන් ගත්තෙ අන්න ඒ හිනාව එක්ක. හැම සඳුදාටමයි, බදාදාටමයි කුමාරියි දිලානියි අර බස් හෝල්ට් එකේ හම්බුණා, ගොඩක් වෙලාවට තනියම, සමහර වෙලාවට ක්ලාස් යන ලමයිනුයි, හිඟන්නුයි, කඩචෝරු විකුණන අයයි වට කරගෙන. එයාලගේ කතා බහ මුලදී හරිම ලයිට් ටොපික්ස් තමයි තිබුනෙ. ඒ කිව්වෙ බස් ගැන, ඉංග්‍රීසි පොත් ගැන, එයාලා කැමති දේවලට එයාලගේ ලයිෆ් එකේ ඉන්න මිනිස්සු ඇයි කැමති නැත්තේ කියලා වගේ දේවල්. කුමාරි දිලාන්ට එයාගේ අක්කගේ වෙඩින් එක ගැන කිව්වා, කසාද බඳින්න තිබ්බ ප්‍රෙෂර් එක, එයාගේ තාත්තා එයාගේ චිත්‍ර “ළමයින්ගෙ මළ විකාර” කියලා බැහැර කරපු හැටි. දිලාන් එයාට කිව්වා එයාගේ තාත්තා ගැන, තැපැල් ස්ථානාධිපති කෙනෙක්, කවදා හරි ලෝයර් කෙනෙක් වෙන්න හිටපු කෙනෙක්, ඒ වගේම එයාගේ සාහිත්‍යය ඉගෙන ගන්න තිබ්බ හීන ගැන, ආස දේවල් අතෑරගන්න එක දුකක් උනත්ල්, වෙන මොනවා කරන්නද කියලා හිතාගන්න බැරි නිසා තාත්තා කියපු දේවල් අහලා හින අතාරින්න වෙච්ච විදිය ගැන දිලාන් කුමාරි ජෝඩුව කතා කරගත්තා.
එයාලගේ බැඳීම හැදුණේ කෑගැසීම් වලින්වත්, ලොකු ඩ්‍රාමා වලින්වත් නෙවෙයි, කඩදාසිවල ඔතපු අන්නාසි කෑලි බෙදාගෙන, ලියපු සිංදු තියෙන නෝට්බුක් මාරු කරගෙන, කවදාවත් වෙලාවට නොආ බස් එනකල් බලන් ඉඳලා. දවසක් දිලාන් කුමාරිට පොඩි කොළ පාට නෝට්බුක් එකක් දුන්නා, ඒකේ ඇතුළේ කවරේ එයාගේ නම දහ පාරක් ලියලා තිබ්බා, හැම පාරම වෙනස් අත් අකුරුවලින් – සමහර ඒවා ලස්සනට, සමහර ඒවා අවුල් වෙලා, එකක් ලොකු කැපිටල් අකුරුවලින් – හරියට එයා එයාගේ කුමාරිගේ මොන වර්ෂන් එකටද වැඩියෙන්ම ආදරේ කියලා තීරණය කරන්න හදනවා වගේ. කුමාරි ඒක එයාගේ මෙට්ටය යට තියාගෙන හැමදාටම.
දිලාන්වත් කුමාරිවත් කවදාවත් ආදරේ කියන වචනෙ ඒ දෙන්නගෙ මේ කතාබහ අස්සට ගෙනාවෙ නෑ. කවදාවත් එළියෙ වෙන තැනකදි හම්බු වෙමුද කියලා ඇහුවෙ නෑ. කිසිම පොරොන්දුවක් උනේ නෑ. හැබැයි දිලාන් යුනිවර්සිටි යන්න කලින් අන්තිම දවසේ, ආයෙත් අර මුරණ්ඩු අඹ ගහ යට හිටගෙන ඉද්දි, දිලාන් කුමාරි දිහා බැලුවේ තමන්ට නැතිවෙන්න යන මහ වටින වස්තුවක් අන්තිම පාරට හොඳට මතක හිටින අන්දමනට බලාගන්න හදනවා වගේ. එයාගේ කොන්ඩේ පීරාපු විදිය, එයාගේ රත්තරන් කරාබු, වම් ඇහි බැම ළඟ තියෙන උපන්ලපේ ඒ හැමදේම දිලාන් හොඳටම බලාගත්තා. ඊට පස්සේ කොඳුරලා ඇහුව “ඔයා මට ලියනවා නේද?”
කුමාරි උන්නෙ කතාකරන්න බැරුව වචන හිරවෙලා වගේ. ඒ නිසා එයා ඔලුව වැනුවා විතරයි. වටපිට බලලා කවුරුවත් බලාගෙන නෑ කියල සැක ඇරලා දැනගත්ත දිලාන්, අඹ ගහේ කාටවත් නොපෙනෙන හෙවණ තැනකදි ඉස්සරහට ඇවිත් කුමාරිගෙ කම්මුලට කිස් එකක් දුන්නා, හරිම හිමින්, හරියට පූජනීය දෙයක් කිලිටි වෙයි කියලා බයෙන් වගේ. ඊට පස්සේ එයා හැරිලා බස් එකට නැග්ගා. කුමාරි එතනම හිටගෙන හිටියා, බස් එකේ කහ පාට පස්සෙ ලයිට් එක වංගුවෙ හැරවුමෙන් නොපෙනී යනකල් බලාගෙන, ඊට පස්සේ හිමින් සැරේ කුමාරි බංකුවේ වාඩි වුණා. එදා 2.15 බස් එක හරියටම වෙලාවට ආව බව කුමාරිට මතක් වුනා.
එයාගේ ලියුම් මුලදී නම් හැමදාම ආවා. හැමදාම අතින් ලියපු ඒවා, හැමදාම එකම විදියට සයින් කරලා:
“තාමත් අඹ ගහ යට. – D” කියලා.
ඒවා දිගයි, කාව්‍යමයයි – සමහර වෙලාවට විහිළුයි, සමහර වෙලාවට දුක්බරය. දිලාන් එයාගෙ කැම්පස් ලයිෆ් එක ගැන ලිව්වා, එයාලා ආස කරපු පරණ සංගීතයට වෙන කවුරුවත් ආස නැති හැටි ගැන, රෑට හොස්ටල් එක හරිම නිහඬ බවයි, ලයිබ්‍රි එක හරිම සීතලයි කියලා. එයා කුමාරිගෙන් එයාගෙ ක්ලාස් ගැන, එයාගේ චිත්‍ර ගැන, එයාගේ ගෙදර ලෝකය ගැන ඇහුවා. ටික කාලයක්, කුමාරිත් ඒ වගේම උද්යෝගයෙන් උත්තර දුන්නා – අම්මා නිදි කරද්දි නිස්කලංක දවල්ට වරුවල ලියපු ලියුම් කවර පන්සල ළඟ රතු තැපැල් පෙට්ටියට ක්ලාස් යන අතරවාරවල දැම්මා.
ඒත් දිලානුත් කුමාරිත් නොදැන උන්නු දෙයක් හැමෝම දැනගෙන උන්නා. ඒ ජීවිතේට තියෙනවා කියලා හරිම හිමින් අපිට නොතේරි වෙනස් වෙන්න පුළුවන්කමක්.කුමාරිට මුලින්ම ඒක තේරුනේ එයාගේ තාත්තාට පොඩි ස්ට්‍රෝක් එකක් ආව දවසෙ. තාත්ත කරපු කඩේ වැඩවලට වැඩි අවධානයක් දෙන්න කුමාරිට සිද්ධ වුණා. අම්මා කසාද යෝජනා ගැන තවත් හදිස්සි කරන්න ගත්තා. එයාගේ ඥාති සහෝදරියෝ, එකින් එක්කෙනා, එන්ගේජ් වුණා, ඊට පස්සේ බැන්දා. ලියුම් සතියක්, ඊට පස්සේ දෙකක් උත්තර නැතුව ගොඩ ගැහුණා. එයා තමන්ටම කිව්වා දේවල් සන්සුන් වුණාම ආයෙත් ලියනවා කියලා. ගගෙදර වැඩ රාජකාරි දාහක් අස්සෙ ආයෙත් දිලාන්ට ලියන්න ගත්තම මාසයක් ගත වෙලා තිබ්බා. එයා එයාගේ ඊළඟ ලියුම ඇරලා බැලුවාම, ඒකේ ස්වරය පොඩ්ඩක් වෙනස් වෙලා තිබුනා. තාමත් හුරුපුරුදු කරුණාවන්තකම අස්සෙ මොකක් හරි හිත් වේදනාවක් තැවරිලා තිබ්බා.
ඒ හිත් වේදනාව කුමාරිගෙ හිත රිද්දපු හන්දා, තරහ ගස්සපු හන්දා කුමාරි ආයෙත් උත්තර ලිව්වේ නැහැ.
දිලාන්ව මතක තිබ්බ බව ඇත්තක් නමුත්, දිලාන්ව අමතක කරන්න බැරි බව ඇත්තක් උනත්.මොකක්දෝ දෙයක් වෙනස් වෙලා තිබ්බා – එයා දිලාන්ට ආදරේ නොකරපු නිසා නෙවෙයි, හැබැයි එයාගේ ලෝකේ ආදරේට ඇත්ත ජීවිතේ බර දරාගන්න බැහැ කියලා කුමාර හිමින් හිමින් ඉගෙන ගත්ත හන්දා. දිලානුත් තමනුත් හම්බුනේ හරියට වැරදි කාලෙට පිපෙන මලක් වගේ කියලා කුමාරි අබ ගහේ මල් පිපිලා තියෙනවා දැක්කම කල්පනා කරා.
කුමාරි බැංකු ඔෆිසර් කෙනෙක්ව බැන්දෙ අන්න ඒ විදියට.
ඒ මනුස්සයා හොඳයි, ආචාරශීලීයි, ගමේ අයහොඳට ආශ්‍රය කරන කෙනෙක්. එයා ඕනවට වඩා හයියෙන් හිනා වුණා, හිමින් ගෙරෙව්වා, බිල් ගෙවන්න කවදාවත් අමතක කළේ නැහැ. එයාලට දුවෙක් හම්බුනා. කෙල්ල උස් මහත් උනේ බලන් ඉද්දි වගේ කකුල් පහක් තියෙන බල්ලො අඳින්න ආස වෙච්ච කෙල්, විනෝදෙට එයාගේ අම්මගේ පරණ කරාබු දාගෙන ඉන්න කෙල්ලෙක් වෙනකම් ලොකු උනා. කුමාරි දිලාන්ව අමතක කරේ නැතුව උනත් කසාද බැන්ද සුසන්ත එක්ක හදාගත්ත ජීවිතේ සාමයක් තිබ්බා. සතුටක් නෙවෙයි, හැබැයි සාමයක්. සතුටට වඩා ඒක වටින බව කුමාරිම සාධාරණීකරණය කරා.
ඒත්, සමහර නිස්කලංක උදේ වරුවලට, නිදන කාමරේ ජනේලෙන් එළිය ඇතුළට වැටිලා, ලෝකේ සම්පූර්ණයෙන් අවදි වෙලා නැති වෙලාවට, කුමාරිට අර අඹ ගහ ගැන මතක් වුණා .දිලාන්ගේ පොත්, තින්ත ගෑවිලා පාට වෙච්ච අත් ගැන, එයාගේ විහිළු ගැන, එයාගේ නිහඬ සිනහව ගැන මතක් වුනා. මතක තියාගන්න එකට වඩා දිලාන්ව අමතක කරන එක අමාරු බව කුමාරි හැමදාකම හිතුවා
අවුරුදු ගණනකට පස්සේ, හරිම රස්නෙ ජූලි මාසේ දවසක හවස් වරුවේ, කුමාරි ආයෙත් තමන්ගෙ පුරුදු බස් ල්ට් එක ළඟට ඇවිත් හිටියා, කොළඹ බස් එකකින් එයාගේ ඥාති සහෝදරියෙක්ව ගන්න බලන්. අර අඹ ගහ තාමත් එතන බවත් දැන් ඒ ගහ තවත් වයස බවත්, අළු පාට වෙලා, පොතු ටිකක් ගැලවිලා බවත් කුමාරි දැක්කා. බංකුව වෙනුවට සිමෙන්ති කුට්ටියක් තියලා තිබ්බා. එයා ඒක යට හිටගෙන හිටියා, මොකවත් බලාපොරොත්තු නොවී, ඇත්තටම කිසිම දෙයක් නොහිතා.
අන්න එතකොට තමයි එයා ඒක දැක්කේ.
මැකිලා යන්න ළංවෙලා තිබ්බත්, යන්තම් පෙනෙන, ගහේ කඳේ පහළට කැටයම් කරලා තිබ්බා:
K + D / 2:15
කුමාරි ඇඬුවේ නැහ. එයා නිකන්ම එතන හිටගෙන හිටියා, පාරේ සද්ද – බස් සද්ද, වෙළෙන්දන්ගේ සද්ද එයා වටේට කැරකෙන්න දුන්නා. එක මොහොතකට, එයාට ආයෙත් දැනුනේ එයාට වයස දාහතක් වගේ කියලා. නෝට්බුක් එකක් තදින් අල්ලගෙන, මිරිස් එක්ක අන්නාසි රස බලන, වෙලාවට කවදාවත් නොආ බස් එකක් එනකල් බලන් උන්නු කාලෙ ආයෙ ඇවිත් කියලා කුමාරිට හිතුනා.
එදා රෑ ගෙදර ආවාට පස්සේ, එයා අර පරණ නෝට්බුක් එක හංගපු ඩ්‍රෝවර් එක ඇරියා. ඇතුළේ, මැකිලා, කහ පාට වෙලා තිබ්බා එයා කවදාවත් ඇරලා බැලුවෙ නැති ලියුමක්. ඒ දිලාන් එයා එව්ව අන්තිම ලියුම. ස්ටෑම්ප් එකේ තිබ්බා ඒක අවුරුදු අටකට කලින් ආපු එකක් කියලා.
ලියුම දිගාරිද්දි අත් දෙක වෙව්ලුවා.
“ගිය සතියෙත් මම ගහ යට බලන් හිටියා. මම දන්නවා ඒක පිස්සුවක් කියලා. මම දන්නවා ඔයාට මාව අමතක වෙලා ඇති, නැත්නම් ඔයා වෙනස් වෙලා ඇති. හැබැයි ඔයා කවදා හරි දවසක ආයෙත් ආවොත්, අහම්බෙන් වුණත් – මේ ලියුම දැක්කොත්, නැත්නම් ගහ දැක්කොත්, නැත්නම් අර පරණ ඉරිතලපු බංකුව දැක්කොත් – මම ඔයාට කියන්න ඕනෙ හැම වචනයක්ම, හැම බැල්මක්ම, ඔයා එනකල් බලන් හිටපු හැම පැයක්ම ඇත්ත කියලා තේරුම්ගන්න. මම දන්නේ නැහැ මේ සම්බන්ධෙ ඔයාට මොකක්ද කියලා. ේඑත් මට හැමදේම ඒක හැමදේම වුණා”
සුපුරුදු විදියට දිලාන් ලියුම අවසන් කරන්න තමන්ගෙ අත්සන දාලා තිබ්බෙ නෑ.
එකම පේළියක් විතරයි ඒ වෙනුවට තිබ්බෙ.
තාමත් අඹ ගහ යට. හැමදාටම.