ලිහිණි කියන්නේ විශ්ව විද්‍යාල සිසුවියක්. ඈත ගමක ඉඳලා නගරයට ආපු ලිහිණි ජීවත් වෙන්න තෝර ගත්තේ තරමක සුව පහසුකම් තියෙන කාමර කුලියට දෙන ගොඩනැගිල්ලක්.මේ ගොඩනැගිල්ලේ විවිධ තරාතිරම් වල රැකියා කරන අය ජීවත් වෙනවා කියලා ගොඩනැගිල්ලේ අයිතිකාරයා ලිහිණිට මුලදිම කිව්ව නිසා යන එන අතර මග පඩිපෙළේදී වගේම ගොඩනැගිල්ලට ඇතුළු වෙන තැන් වලදී මුණ ගැහෙන අය ගැන ලිහිණි ඒ තරම් දුරට හිතුවේ නැහැ.
ලිහිනිගේ ප්‍රේම සම්බන්ධතාවය බිඳ වැටුණේ මීට අවුරුදු දෙකකට කලිනුයි.ඒ වේදනාව හිතේ දරා ගෙන ලිහිණි අධ්‍යාපන කටයුතුවල නිරත වන ගමන් වියදම් හොයා ගන්න කියලා හිතා ගෙන අමතර පන්ති පැවැත්වීමත් සිදු කළා. මොනතරම් කාර්ය බහුල වුණත් රාත්‍රියේදී කාමරයට ආවහම හිතේ යටපත් කරගෙන ඉන්න වේදනාවෙන් මිදෙන්න ලිහිණිට බැරි වුණා. ඒ හැම වෙලාවකම ඇය මහා හඬින් හඬා වැටුණේ ඒ කාමරය ඇතුලේ ඇගේ හැඬුම් හඬ අහන්න කවුරුවත්ම නැති බව දන්න නිසා.
එක දවසක් උදේ ලිහිණි අවදි වෙනකොට ඇගේ කාමරයට ඇතුළු වන දොර ළඟ බිම හතරට නවපු කඩදාසියක් තිබුණා. ලිහිණි ඒක දිග ඇරියේ කුතුහලයෙන්. නන්නාදුනන නගරයක තමන්ට ලියුමක් එවන්නවත් හිතවතෙක් නැති මේ ගොඩනැගිල්ලේ තමන් වෙනුවෙන් ලියුම් කඩදාසියක් තියෙන එක පුදුමයෙන් ලිහිණි ලියුම කියවන්න පටන් ගත්තා.
” ගොඩක් දවස්වල රෑට මට ඔයා අඬනවා ඇහෙනවා. මං ඔයාව දැකලවත් නැතුව ඇති.ඔයත් මාව දැකලවත් දන්නෙවත් නැතුව ඇති. ඒත් ඔයා ඉන්න හිතේ කරදරෙන් ඔයාට ඉක්මනටම මිදෙන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ”
නමක් ගමක් සඳහන් වෙලා තිබෙන නැති ඒ ලියුම ආයෙත් පාරක් කියවපු ලිහිණි ඉක්මනින්ම දොර ඇරියා. ඈතට පේන කොරිඩෝවේ කෙනෙක් හිටියා කියලවත් සේයාවක් නැති නිසා ආපහු කාමරයට ආපු ලිහිණි දොර වහලා උඩින් වාඩි වෙලා ආයෙමත් අර ලියුම් කඩදාසිය කියෙව්වා.
තමාත් නොදන්න , තමන්වත් නොදන්න කෙනෙක් තමන් ඉන්න හිතේ වේදනාවෙන් මිදෙන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරල තිබුන එක ලිහිණිට එදා තරමක සහනයක් වුණා. ඊට පස්සේ ලිහිණි කල්පනා කරේ ඒ නන්නාදුනන කරුණාවන්ත පුද්ගලයාව හොයා ගන්නේ කොහොමද කියලා සහ ඒ පුද්ගලයාට පිළිතුරක් දෙන්නේ කොහොමද කියලයි.
එදා දවසේ ලිහිණිට අමතර පන්ති දෙකක් කරන්න තිබුන නිසා සහ ළඟ එන විභාගයක් නිසා අතිශය කාර්යබහුල දවසක් ගෙවන්න සිද්ධ වුණා. ඒ නිසාම ලිහිණි ගෙදර ආවේ රෑ හත පහු වෙලා.දොර ඇරගෙන කාමරයට ඇතුල් වෙනකොට උදේ තිබුණා වගේම තවත් පුංචි ලියුම් කඩදහියක් නන්නාදුනන පුද්ගලයා දොර යටින් කාමරයට ඇතුළු කරලා තිබුණා.
” ඔයා හොඳ දවසක් ගෙවන්න ඇති කියලා මම හිතනවා. සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ”
ලිහිණි ආයෙමත් ඒ ලියුම කියෙව්වේ පුදුමයෙන්. තමන් තනිවම කාමරයේ අඬනවා ඇහිලා මේ විදිහට පුංචි වාක්‍යයකින් දෙකකින් තමන්ව සනසන්න උත්සාහ කරන පුද්ගලයා කවුරු වෙන්න පුළුවන්ද කියලා ලිහිණි කල්පනා කලා. ඒ තමන් ජිවත් වෙන කාමරය අවටම ජීවත් වෙන කාමර වලින් කෙනෙක් කියලා ලිහිණි අනුමාන කරේ ඊට පස්සේ.
තවත් දවස් දෙක තුනක් නිහඬවම ගලා ගෙන ගියේ ලිහිණිව හුඟාක් කාර්ය බහුල කරමින්. එදිනෙදා වියදම් වලට මුදල් හොයාගන්න අවශ්‍ය නිසා ලිහිණි හුඟක් මහන්සි වෙලා අමතර පන්ති පැවැත්වුවා වගේම මුදල් හොයා ගන්න පුළුවන් තවත් මාර්ග තියෙනවද කියලාත් ලිහිණි දන්න අඳුරන කීප දෙනකු ගේ මාර්ගයෙන් හොයලා බැලුවා. නගරයේ ජීවත් වෙන එක ඒ තරම් පහසු දෙයක් නොවෙන නිසාත් ඒ හැමදේටම ජීවත් වෙලා ඉන්න එකම නෑදෑයා වෙච්ච තමන්ගෙ තාත්තට කරදර කරන්න බැරි නිසාත් ලිහිණි හිටිය ලොකු පීඩනයකින්.ඒ නිසාම ගත වෙන හැම රාත්‍රියක්ම ලිහිණිට හැඬුම් බර රාත්‍රියක් වුණා.
ලිහිණි හඬා වැටෙන හැම රාත්‍රියක් ගෙවිලා ගිය උදෑසනකම පුංචි ලියුම් කඩදාසියක් ඇගේ දොර යටින් එවන්න අර නන්නාදුනන පුද්ගලයාට පුළුවන් වුණා. ශෝකයෙන් ආරම්භ කරන්න තිබුණ හැම දවසක්ම හිතට ධෛර්ය අරගෙන ආරම්භ කරන්න ඒ පුංචි ලියුම් කඩදාසිය නිසා ලිහිනිට පුළුවන් වෙලා තිබුණා.
එක දවසක් රාත්‍රියක ලිහිණි ජීවත් වෙච්ච මුළු නගරයටම හදිසි විදුලි බිඳ වැටීමක් සිද්ධ වුණා. පාඩම් කරන්න වත් විදිහක් නැති නිසා ලිහිණි කාමරයට වෙලා ජනේලේ ඇර ගෙන ඈතින් පේන නගරය දිහා බලා ගෙන හිටියේ මාස තුනකින් විතර දකින්න බැරි උන තමන්ගේ තාත්තවත් ශෝකයෙන් සිහි කරන ගමන්. ගමට යන්න නිවාඩුවක් ලැබුණත් ඒ ගිහින් එන්න තරං අතේ මුදලක් නොතිබුන නිසා ලිහිණිට මාස තුනකින් ගෙදර යන්න බැරි වුණා.ඒ ගැන ඇය ශෝකයෙන් හිටියේ තමන්ට මේ ලෝකෙ ඉන්න එකම නෑදෑයා තාත්තා නිසයි. කල්පනා ලෝකයේ අතරමං වෙලා ඉන්නකොට ලිහිණිට පරිසරයේ නිහඬ බව අතරින් යන්තමින් අඩි සද්දයක් ඇහුනේ කාමරය පිහිටලා තියෙන කොරිඩෝව අසලින්.ඒ හඬට ඇහුම් කන් දීගෙන හිටපු ලිහිණිට ඒ අඩි සද්දය තමන් ගේ කාමරය ගාවින් නැවතෙන හැටිත් පුංචිම පුංචි ආලෝකයක් දොර යටින් වැටෙන හැටිත් දැක ගන්න පුළුවන් උනා.
මේසය උඩ පත්තු කරලා තිබුණ කුඩා ඉටිපන්දම අරගත්ත ලිහිණි අඩියට දෙකට ගිහින් දොර ඇරියා. ඉටිපන්දමක් අතේ තියාගෙන හරිම ප්‍රියමනාප තරුණයෙක් ගිහිනිගේ කාමරයේ දොර ගාව හිටගෙන හිටියේ මදහසක් ඇතිවයි.
ලිහිනිත් ඉටිපන්දම අතේ තියා ගෙන තප්පර ගානක් මේ තරුණයා දිහා බලා ගෙන හිටියා.
” ඔයාද මගේ දොර යටින් ලියුම් දාන්නේ ? “
ලිහිණි ගේ මුවින් ඒ වචන පිට වුණේ ඉබේටමයි.ඒ තරුණයාගේ තිබුණ ප්‍රිය මනාප බව සහ කරුණාවන්ත පෙනුම නිසා අනිවාර්යෙන්ම ඒ ලියුම් කඩදාසි තමන්ට එවන්න එය තරුණයා තමයි කියලා ලිහිණි අනුමාන කළා.
” ඔව් ”
ඒ තරුණයා උත්තර දුන්නේ තනි වචනයෙන්. ලිහිණි තවත් ටික වෙලාවක් මේ අරුම පුදුම තරුණයා දිහා බලා ගෙන හිටියා.ගොඩනැගිල්ලට යන එන වෙලාවකදිවත් කවදාවත් ලිහිණි මේ තරුණයාව මීට කලින් දැකල තිබුණෙ නැහැ.
” ඉතින් ඇයි ඔයා මට කවදාවත් කතා කළේ නැත්තේ ? ”
ලිහිණි ආයෙමත් ඇහුවා.
” ඔයා ඉන්නෙ ප්‍රශ්නෙක කියල මට තේරුනාට ඔයා මොන වගේ කෙනෙක්ද කියලා කියලා මම දන්නේ නෑනේ. අනිත් එක මම රෑ වැඩ කරන්නේ.ඔයා ගෙදර ඉන්න වෙලාවට තමයි මම වැඩට යන්නේ.එහෙම යන එන දවස් කීපයකදිම මට ඔයා අඬනවා ඇහුනා ”
නන්නාදුනන තරුණයා උත්තර දුන්නා.
” ඇතුලට එන්න ”
ලිහිණි බොහොම කාරුණිකව තරුණයාට ආරාධනා කළා. ඔහු ඒ ආරාධනාව පිළි අරගෙන කාමරයට ඇතුළු වෙලා කුඩා මේසයේ තියෙන එක පුටුවකින් වාඩි වුණා. ලිහිණි ඉටිපන්දම මේසය උඩින් තියෙන ගමන් අනිත් පුටුවෙන් වාඩි වෙලා තරුණයා දිහා බැලුවේ පුදුමයෙන්.
” ඔයා වගේ මිනිස්සු මේ ලෝකෙ ඉන්න එකත් හරිම පුදුමයක් ”
ලිහිණි කිව්වේ තරුණයා ගැන උපන් ගෞරවයෙන්.
” මමත් මේ පළාතට ආවේ ගොඩක් දුක් කරදර මැද්දෙ. ඒ ආපු කාලෙ ජීවත් වෙන එක මට කොහොමත්ම ලේසි වුණේ නැහැ. සමහර දවස් වලට මට කෑම ගන්න වත් සල්ලි තිබුනෙ නැහැ. මෙහෙ ඇවිල්ලා අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ තමයි මං මට කැමති විදිහට ජීවත් වෙන්න පටන් ගත්තේ. මට උදව් කරන්න කිසිම කෙනෙක් නොහිටපු නිසා මම දන්නවා මිනිස්සු කොච්චර අසරණ වෙන්න පුළුවන්ද කියලා. අනිත් එක ,මම ඇත්තටම දන්නෙ නෑ ඔයාගේ ප්‍රශ්නෙ මොකද්ද කියලා.ඒත් මම දන්නවා හැම මනුස්සයටම ජීවත් වෙන එක ලේසි නැති බව. ඒ නිසා වචනෙකින් හරි ඔයාට පිහිට වෙන්න ඕනේ කියලා මට හිතුණා ”
තරුණයා කතා කළේ බොහොම සාමකාමී සහ සන්සුන් ස්වරයකින්.
” මට තාමත් අදහගන්න බෑ ඔයා වගේ මිනිස්සු මේ ලෝකේ ඉන්නවා කියලා. ඒත් මට ඔයාට කියන්න ඕනේ , අමාරුයි කියලා හිතපු හැම දවසක්ම ඔයාගේ එක පුංචි ලියුම් කෑල්ලක් නිසා ලේසි උනා කියලා ”
| ඔබේ එක පුංචි ක්‍රියාවකින් තවත් කෙනෙකුගේ සම්පූර්ණ දවසක්ම සැනසිලිදායක එකක් බවට පත් කරන්නට පුළුවන්. කරුණාවන්ත වෙන්න ,ආදරය බෙදන්න |