මතකයක සේයා – 01

0
229

” කෛලාශ් මේඝණ බාලසූරිය ” සැනසිලි දායක හැඟීමකින් මව්බිමට පා තැබුවේ උදෑසන හතයි තිහට පමණ වූ අතර ඒ මොහොතේ පටන් ඔහු හට දැනුනේ මව්බිම සමග වචනයෙන් කියාගත නොහැකි තරමේ බැඳීමකි. එය බැඳීමකටත් වඩා බැඳීමක සේයාවක් කිවහොත් නිවැරදි නිසා කෛලාශ් දෑස් පියා ගෙන තත්පර ගණනාවක් යම් රූපයක් මතකයට නගා ගන්නට උත්සාහ කළේය. තිස් පස් වැනි වියෙහි පසු වන කෛලාශ් මීට අවුරුදු   විසි හයකට පමණ පෙර ඔස්ට්‍රේලියාවෙහි ඉගෙනීම සඳහා පිටත්ව ගිය අතර ඒ වසර විසි හය පුරාවටම  කෛලාශ් නැවත මව්බිමට පැමිණියේ හත් අට වතාවක් පමණය. උපාධිය අවසන් කිරීමෙන් පසුව ඔස්ට්‍රේලියාවෙහිම රැකියාවක නිරත වී මූල්‍යමය වශයෙන් යම් තරමකට සාර්ථකත්වයක් ලැබූ පසු කෛලාශ් ගේ බලාපොරොත්තුව වූයේ නැවත මව්බිමට පැමිණ උපන් ගම වූ බෙන්තොට ප්‍රදේශයෙහි ව්‍යාපාරයක් ආරම්භ කිරීමය.

කෛලාශ් දුරකථනය ක්‍රියාත්මක කළේ සිතුවිලි අතර දෝලනය වෙමින් ගුවන් තොටුපොළ මැදින් පියවර තබා යන අතරේය. මගහැරුණු ඇමතුම් අටකට වඩා ඇති බවට පණිවිඩ ලැබුණු නිසා කෛලාශ් මද සිනහවක් මුවගට නගා ගෙන එකී දුරකථන අංකය ඇමතුවේ ලේ බැඳීම් වලට වඩා ඝණකම බැඳීම් මෙලොව ඇතැයි යළිත් සපථ කරගනිමිනි.

” හෙලෝ අම්මා ” 

ඇමතුමේ අනෙක් පස උන්නේ ඇන්ඩ්‍රියා බාලසූරියය. 

” අනේ අනේ ලංකාවට ගියා විතරයි අපිවත් අමතක වෙලාද මන්දා ? මොකද ? ගිය ගමන්ම ඩ්‍රීම් ගර්ල්ව වත් හම්බුනාද ? ” 

ඇන්ඩ්‍රියා සිනාසුනේ මහා හඬිනි. කෛලාශ් හට  ඔහුට අවැසි ජීවිතය සොයා යාමට නිදහස ලබා දීමට ඇය සහ ඇගේ සැමියා වූ එරික් බාලසූරිය තීරණය කළේ ලංකාවේ මූලික අධ්‍යාපනය ලැබීමෙන් පසුව ඔහුව ඔස්ට්‍රේලියාවට කැටුව විත් ටික කාලයක් ගත වූ පසුවය. යම් කාලයකදී නෑදෑයන් ගෙන් පවා අපහාස විඳිමින් සිටියදී එකී ජීවිතය එළිය කරන්නට පැමිණි කෛලාශ් යනු තමන් දෙදෙනා සතු විශාලම සම්පත යැයි ඇන්ඩ්‍රියා මෙන්ම එරික්ද විශ්වාස කළහ.

” අනේ නෑ අම්මා. අනිත් ෆ්ලයිට් එක ඩිලේ වුණා. මම මෙහෙට ලෑන්ඩ් කරන්න හිටියේ මීටත් පාන්දරනේ ” 

” හරි හරි පුතා. ඔයාව ගන්න සත්සර ඇවිල්ලා ඇති. ඔයා එයාට කෝල් එකක් දෙන්න. සිරිදාසලත් බලන් ඉන්නේ ඔයා එනකං. ඔයා ආස කෑම බීම ඔක්කොම බ්‍රෙක්ෆස්ට් වලට රෙඩි කරලා තියෙන්නේ කියලා කිව්වා ” 

සත්සර යනු ඇන්ඩ්‍රියාගේ එකම සහෝදරයාගේ පුත්‍රයාය. ඇන්ඩ්‍රියාගේ සහ එරික්ගේ නෑදෑයන් අතරින් කෛලාශ් සමග ළඟ සම්බන්ධතාවයක් පවත්වන එකම පුද්ගලයාද සත්සර ය. විදෙස් රටක අධ්‍යාපනය ලබමින් උන්නද කෛලාශ් හට සෑම මොහොතකදීම අවශ්‍ය වූයේ මව්බිමට පැමිණ ස්ථාවර වීමටය. එයට යටි අරමුණක්ද හේතු වී තිබුණු නිසා ඇන්ඩ්‍රියාගෙන් වත් එරික්ගෙන් වත් එයට බාධාවක් තිබුණේද නැත. 

මුහුද අද්දරින් මිලදී ගත් විශාල බිම් කඩෙහි  සුන්දර හෝටල් සංකීර්ණයක් බිහි වූයේ ඉන් පසුවය. කෛලාශ් විදෙස් ගත වී සිටි නිසා එහි සියලු කටයුතු සොයා බලමින් ඉටු කළේ සත්සර විසින් වූ අතර කෛලාශ් ඒ සඳහා සත්සර හට මාසිකව වැටුපක්ද ගෙවන ලද්දේ ඔහුගේ විරුද්ධත්වය මධ්‍යයේය. නමුත් තමාගේ ව්‍යාපාරික සිහිනය සැබෑ කරන්නට තමාටත් වඩා වෙහෙස මහන්සි වන ඔහුව නොසලකා හරින්නට කෛලාශ් ට හැකි වූයේ නැත.

හෝටලයේ විවෘත කිරීම සඳහා සති තුනක කාලයක් ඉතිරිව තිබියදී කෛලාශ් හට මව්බිමට පා තැබීමට සිදු වූයේ හෝටලයේ අභ්‍යන්තර නිර්මාණ කටයුතු භාරදී තිබූ ආයතනය විසින් එම කටයුත්ත හරි හැටි ඉටු නොකිරීම නිසාය. සත්සර විසින් සියලු කටයුතු සොයා බලා ඉටුකළද ඔහුට ඔහුගේ ව්‍යාපාර කටයුතු ද තිබෙන නිසා කෛලාශ් මව්බිමට පැමිණ ඉතිරි වැඩ කටයුතු තම සියතට ගැනීමට තීරණය කළේය. ඕස්ට්‍රේලියාවෙහි රැකියාවෙන් ඉවත් වී ලංකාවට පැමිණ හෝටලය විවෘත කිරීමට තිබෙන දිනයට පෙර සියලු ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට කෛලාශ් මව්බිමට පා තැබුවේ ඒ අනුවය.

” උඹ ලංකාවේ හිටියෙ නැත්නම් මට මේ ටික මේ තරංවත් කරගන්න වෙන්නෙ නෑ සත්සර ” 

කෛලාශ් කීවේ ගුවන් තොටුපොළේ සිට බෙන්තොට පිහිටි නිවස දක්වා තමාව කැටුව යාමට පැමිණි සත්සර ගේ බෙන්ස් රථයට නැගුණු පසුවය. මෙතැන් පටන් තමා ජීවත් විය යුත්තේ මේ රටෙහිය. මෙහි ජීවන රටාවකට තමා හුරු විය යුතුය. ඊටත් වඩා තමා ආරම්භ කරන්නට සූදානම් වන්නේ විශාල ව්‍යාපාර කටයුත්තකි. ඒ සඳහා තම සම්පූර්ණ කාලයද වැය කළ යුතුය.

” මේ interior වැඩේ ඇරෙන්න අනිත් ඒවා ඔක්කොම ඉවරයි බන් . උඹට තියෙන්නේ ඕක බලල පිළිවෙලක් කර ගන්න විතරයි ” 

” බලපංකෝ මෙච්චර හොඳට කරගෙන ආපු එක මේ ඉන්ටීරියර් මගුලක් නිසා පරක්කු වෙන හැටි. අනිත් එක හොටෙල් එකක වැදගත්ම දේ ඒකනේ සත්සර. අපිට ෆොරිනර්ස්ලා උනත් අල්ල ගන්න පුළුවන් වෙන්නේ ඒ වගේ දේවල් වලින් නේ ” 

” ඒ කම්පැනි එකේ කලින් වැඩ නම් ඔහොම නැහැ බං. මම කීප දෙනෙක් ගෙන් රෙකමන්ඩේශන්ස් අරගෙනයි මේක තෝර ගත්තේ. මගේ ඔෆිස් එක ඩිසයින් කලෙත් මේ කම්පැනි එකෙන් නේ. ” 

කෛලාශ් මොහොතක් කල්පනා කළේය. සත්සර ගේ ආයතනයට තමා ගොස් ඇත්තේ මව්බිමට පැමිණි කිහිප වතාවෙන් එක වතාවක් පමණි.එහෙත් එය දෑසට සුවදායක මනසට පවා අස්වැසිල්ලක් ගෙන එන ආකාරයේ වර්ණ මිශ්‍රිත කාර්යාලයක් බව කෛලාශ් ට මතකය. 

” මේකේ මැනේජ්මන්ට් එක වත් මාරු වෙලාද දන්නෙ නෑ නේද බං ” 

” එහෙම එකක් නෑ බං කලින් කරපු කෙල්ලම තමයි තාමත් කම්පැනි එක කරන්නෙ. මං එයාව මීට් වෙලා ඩිස්කස් කරගෙන නේ මේ වැඩේ බාර දුන්නේ ” 

කුමන හෝ තැනක වැරැදී ඇති නමුත් කෛලාශ් හට එය අදාළ වූයේ නැත. කුඩා කල සිටම ළමා නිවාසයක ඉතා නීති ගරුකව හැදී වැඩුණු නිසා කෛලාශ් හුරු වී සිටියේ සියලු වැඩ කලට වේලාවට නිසි පිළිවෙලට ඉටු කරන්නටය. තවත් සති තුනකින් විවෘත කිරීමට සැලසුම් කර තිබෙන හෝටලයේ අභ්‍යන්තර නිර්මාණ කටයුතු මෙසේ අඩාල වීම පිළිබඳව කෛලාශ් කෝපයෙන් උන්නේ ඒ නිසාය. 

” උඹේ අර වැඩේ මොකද උනේ කෛලාශ් ? ” 

සත්සර විමසුවේ හදිසියේ යමක් සිහිපත් වීමෙනි.

” මොන ? ” 

” අර කෙල්ලගේ වැඩේ ? ” 

කෛලාශ් වේගයෙන් ඉදිරියට ඇදෙන වාහනයට පසු වන ගොඩනැගිලි දෙස බලාගෙන මිනිත්තුවක් දෙකක් ගත කළේය. සත්සර සිහිපත් කෙරූ කාරණාව නිසා කෛලාශ් ගේ හිතට දැනුනේ තරමක බරකි. ඒ මොහොතේ පවා කෛලාශ් ගේ මතකයේ කුඩා ළදැරියකගේ සේයාවක් ඇඳී අනෙක් ක්ෂණයේදී මැකී ගියේය.

” ඒක හරි ගියේ නැහැ මචන්.හොයන්න පුළුවන් හැම තැනකින්ම මං අවුරුදු ගානක් තිස්සේ හෙව්වනේ. අනේ මන්දා මට සෝෂල් මීඩියා වලින් වත් ඒ කෙල්ලව හොයා ගන්න බැරි වුණා. ඉස්සරහට මං ලංකාවේ ඉන්න නිසා හොයා ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා ” 

” ඒ කෙල්ලගේ ෆොටෝ එකක් හරි තිබ්බනං උඹට ඔය වැඩේ ටිකක් ලේසි වෙන්න තිබුණා.වැඩේ කියන්නේ ඒ කෙල්ලගේ රූපෙ තියෙන්නේ උඹේ ඔළුවේ නේ ” 

කෛලාශ් අතීතය සිහිපත් කළේය. අනාත නිවාසයක හැදී වැඩී පාසල් ගිය සමය කෛලාශ් හට ගෙන ආවේ වේදනාවකි. බොහෝ දරුවන්ට පාසල් කාලය යනු ජීවිතයේ සුන්දරම කාලය වුවද තමාගේ පාසල් කාලය අතිශය කටුක එකකි. අනෙක් දරුවන්ගේ තාඩන පීඩන සහ වද හිංසා මැද කෙසේ හෝ අධ්‍යාපනය ලැබුවද මේ මොහොතේ පවා ඒ දිනයන් සිහි වීම වේදනාකාරීය.

ඒ කාලය තුළදී තමාට වචනයකින් හෝ සහයෝගයක් දැක් වූ එකම එක තැනැත්තිය ගේ මුහුණ කෛලාශ් ගේ මතකයට ආවේය. තමා අනාථ දරුවෙකු බව කියමින් සියල්ලන්ම තමාව හාස්‍යයට සහ පීඩනයන්ට ලක් කරන අතරවාරයේදී තමාට අනුකම්පාව දක්වමින් අධ්‍යාපන කටයුතු වලට පවා සහයෝගය දැක්වූයේ ඇය පමණි. 

දෙමව්පියන් මියගිය පසුව නෑදෑයන් විසින් තමාව අනාථ නිවාසයකට භාර කර තිබීම නිසා කෛලාශ් හට වයස අවුරුදු නමයක් පමණ යනතුරු සිදු වූයේ අනාථ දරුවකු ලෙස පාසල් යන්නටය. ඇන්ඩ්‍රියා සහ එරික් පරම්පරාව තුළ අනේකවිධ අපහාස වලට ලක් වෙමින් හිඳින කාලයකදී ලැබුණු තොරතුරකට අනුව කෛලාශ් හට දෙමව්පියන් වන්නට ඔවුන් දෙදෙනා තීරණය කලේ කෛලාශ් ගේ දෛවයේ ලියැවී තිබුණු වාසනාවකටය. 

ඇන්ඩ්‍රියා සහ එරික් වැඩි වශයෙන් ජීවත් වන්නේ ඔස්ට්‍රේලියාවේ නිසා සහ තවත් නීතිමය කාරණා කිහිපයක් මත කෛලාශ් ව ඔවුන්ගේ භාරයට ගැනීම ප්‍රමාද වූ අතර ඒ අතරතුර කාලයේද කෛලාශ් පාසල තුළ ගෙව්වේ අතිශය පීඩාකාරී සමයකි. නීතිමය කටයුතු අවසන් වීමෙන් පසුව කෛලාශ් කැටුව ඇන්ඩ්‍රියා සහ එරික් විදෙස් ගත වූ අතර ඉන් පසුව කෛලාශ් ඉගෙනීම ලැබුවේ සහ හැදී වැඩුනේ ඔස්ට්‍රේලියාවේය.එහෙත් ඒ කාලය ඇතුළත කිසිදු අවස්ථාවකදී පාසලේදී තමා වෙනුවෙන් පෙනී සිටි ඒ කුඩා ලදැරියගේ ඡායාව කෛලාශ් ගේ මතකයෙන් මැකී ගියේ නැත.

පර්චස් පනහක් පමණ වූ ඉඩමක් මධ්‍යයේ බිහි වූ සුවිසල් නිවහනට යන ගේට්ටුව විවර වූයේ කෛලාශ් පැමිණෙන බවට මුරකරු හට ලැබුණු පණිවිඩයට අනුවය. නිවස රැක බලා ගන්නා සේවකයන් දෙදෙනාද පෙර මගට වී කෛලාශ් වාහනයෙන් බසින තුරු නොඉවසිල්ලෙන් බලා උන්හ.

❤️❤️❤️❤️❤️🖊️🖋️🖋️🖊️❤️❤️❤️❤️❤️❤️

” ආදර සැලසුම්” නවකතාව ආදරයෙන් කියවූ ඔබ මෙතැන් පටන් ” මතකයක සේයා ” වැළඳ ගනු ඇතැයි සිතමි. ඔබේ ආදරය මෙහි තබා යන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here