” ලියානා මන්දාකිණි එදිරිසිංහ ” උදෑසන අටට පමණ අවදි වූයේ යහනේ එහා පසින් නිදා සිටින තම සහකරු දෙස කලකිරීම මුසු බැල්මකින් බලන අතරේය. තමා හට සුව නින්දක් අහිමි කර වායු සමීකරණය කරන ලද නිදන කාමරයේ සුව පහසු යහන මත බ්ලැන්කට්ටුව තුළට ගුලි වී ශෙනාල් සුව සේ නිදන්නේ කෙසේ දැයි කල්පනා කරමින් මන්දාකිණි යහනෙන් බැස්සාය. සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක දහ වෙනි මහලේ නිවසක ජීවත් වූ මන්දාකිණි ගේ ජීවිතයේ සාමකාමී බව පලා යන්නට පටන් ගත්තේ ජීවන සහකරු ලෙස තෝරා ගත් ශෙනාල් මේ නිවසෙහි වාසය කිරීමට පැමිණි දිනයේ සිටය. ඔහු මෙහි ජීවත් වීම සඳහා පැමිණියේ මන්දාකිණි ගේ තදබල අකමැත්ත පිට වූ අතර මෑත කාලයක සිට මන්දාකිණිගේ ජීවිතයේ සෑම තීරණයකටම ඇඟිලි ගසමින් ඇගේ ජීවිතය පාලනය කරන්නට ෂෙනාල් කටයුතු කරමින් උන්නේය. තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කරමින් ස්වාධීන ජීවිතයක් ගෙවූ මන්දාකිණි හට එය අතිශයින්ම කරදරකාරී හැඟීමක් වුවත් නැවත හැරෙන්නට කාලයක් හෝ පුළුවන් කමක් ඇය හට තිබුණේ නැත.
මන්දාකිණි නවීන පන්නයේ මුළුතැන් ගෙය වෙත පැමිණ විදුලි කේතලයට වතුර පුරවා එය ක්‍රියාත්මක කර , අනතුරුව නාන කාමරයට ගොස් එහි කණ්නාඩියෙන් පෙනෙන තම රූපය දෙස බලා ගෙන විනාඩි කිහිපයක් ගත කළේ ශෝකයෙනි. පැහැපත් රූපයක් හිමි මන්දාකිණි ගේ කම්මුලත් කනත් අතර ප්‍රදේශය දම් පැහැ වී තිබුණේ පෙර දිනයේ බීමතින් පැමිණි ශෙනාල් ගැසූ පහරකටය. ඇඟිලි තුඩු වලින් එය අත ගා බැලූ මන්දාකිණිට ඉබේටම දිගු සුසුමක් පිට වූයේ මෙය කිසිසේත්ම තමා ප්‍රාර්ථනා කළ ජීවිතය නොවන නිසාය.
යන්තමින් මුහුණ සෝදාගත් මන්දාකිණි නැවත මුළුතැන්ගෙය වෙත පැමිණියේ කෝපි කෝප්පයක් සකස් කර ගන්නටය.දුරකථනය නාද වූයේ ඒ මොහොතේය. ඇමතුම පැමිණෙමින් තිබුණේ මන්දාකිනිගේ කළමනාකාරිනියගෙනි.
” කියන්න මීනූ ”
” good morning මැඩම්. මැඩම් එන්න තව කොච්චර වෙලාවක් යයිද ඔෆිස් එකට ? ”
මන්දාකිනි සුසුමක් හෙළුවාය. කලට වේලාවට වැඩ කිරීමට හුරු වී සිටි තමා දැන් ජීවත් වන්නේ ජීවත් වන්නට සිදු වී ඇති ආකාරයටය. වෙනදාට උදෑසන අට වන විට තමා සිටින්නේ කාර්යාලයේ වුවත් දැන් වැඩිපුර ඇත්තේ නියමිත වේලාවට කාර්යාලයට යන දිනයන් වලට වඩා පමා වී කාර්යාලයට යන දිනයන් ය.
” මං තාම ගෙදර මීනු. ඇයි ? ”
” මැඩම්ට පොඩි දෙයක් තියෙනවා කියන්න. මැඩම් ආවාමම ඒ ගැන ඩිස්කස් කරමු ”
මන්දාකිණි දුරකථන ඇමතුමට සමු දුන්නේ ශෝකයෙනි. මීනු සතුව ඇත්තේ අසුභ ආරංචියක මිස සුභ ආරංචියක නොවන බව මන්දාකිනි අනුමාන කළේ පසුගිය කාලය පුරාවටම තමා අතින් සිදු වූ අඩු පාඩු කම් සහ ප්‍රමාද වීම් නිසා ආයතනයේ කටයුතු බොහෝමයක් අඩාල වෙමින් පැවතුණු නිසාය.
වතුර උතුරවා අවසන් වුනු පසු මන්දාකිණි විදුලි කේතලය අතට ගෙන කෝපි කුඩු ස්වල්පයක් සහ සීනි දැමූ කෝප්පයට උණු වතුර වත් කරද්දී දකුණු අතෙහි මැණික් කටුව අසලින් නැගුනේ දැඩි වේදනාවකි. පෙර දින රාත්‍රියේ දී ශෙනාල් විසින් තම අත අනෙක් අතට ඇඹරූ බව මන්දාකිණි හට සිහිවූයේ එවිටය.
කෝපයට පත් වන්නට නිශ්චිත හේතුවක් ශෙනාල් හට උවමනා වූයේ නැති අතර පෙර දින රාත්‍රියේද ඔහු කෝපයට පත් වූයේ තමා නිවසේ දොර විවෘත කරන්නට ප්‍රමාද වූ නිසාය.
” තොට දොර අරින්න මෙච්චර වෙලා යන්නේ මොකද ? ”
මන්දාකිනි දොර විවෘත කළ විට ශෙනාල් මන්දාකිනිව පසෙකට තල්ලු කරමින් නිවසට ඇතුළු වූයේ ගෝරනාඩුව ආරම්භ කරමිනි. ඔහු තමා පසු කර යන විටත් මත්පැන් වල සුවඳ ආග්‍රහණය වූ නිසා මන්දාකිණි පිළිතුරු දෙන්නට ගියේ නැත. ශෙනාල් වඩාත් කෝපයට පත් වූයේ එබැවිනි.
” තමුසෙට උත්තර දෙන්න කට නැද්ද ? ”
ශෙනාල් නැවත මන්දාකිණි දෙසට හැරුණේ තම සාක්කුවේ තිබූ ජංගම දුරකථනය සෝෆාව වෙත විසි කරන අතරතුරය. මන්දාකිණි ට උවමනා වූයේ මේ මොහොතින් මිදී කොහේට හෝ පලා යන්නටය.
” මං වැඩ ඉවර කරලා ඇවිල්ල නාල ආවේ දැන් ශෙනාල්. මට ඔයා බෙල් කරනවා ඇහුනේ නැහැ ”
මන්දාකිණිට ඇහෙන නෑහෙන ගානට පිළිතුරු දෙන අතරේ ශෙනාල් අඩියට දෙකට මන්දාකිණි දෙසට ආවේය. බීමත් වූ විට ඔහු තුළ ජීවත් වන අමනුෂ්‍යයා වඩාත් ජීවමාන වන බවත් එය මහා ගැටුමක ආරම්භය බව අත්දැකීමෙන්ම දන්නා නිසා මන්දාකිණි උන්නේ තැතිගැන්මෙනි.
” ඉතින් තමුසෙ දන්නේ නැද්ද මම ගෙදර එන වෙලාව ? ආහ් ? “
” ඔයා අද ආවෙ වෙනදා එන වෙලාවට නෙමෙයි නේ ශෙනාල් ”
” උඹ මාත් එක්ක කට ගහගෙන එනවද ? ”
ශෙනාල් හැකි තාක් වෙර යොදා දකුණු අත මන්දාකිණි ගේ කම්මුල හරහා පහරක් ගැසුවේ කෝපයෙන් පුපුරමිනි. මන්දාකිණි වේදනාවෙන් කම්මුල අල්ලා ගෙන සෝෆාවට බර වූයේ දෙනෙත් වලින් කඳුළු රූරා ගෙන වැටෙන විටය. මේ පහරදීම් අලුත් දෙයක් නොවුනද මන්දාකිණි උන්නේ ඒවායෙන් වෙහෙසට පත් වීය. පහර දීමෙන් නොනැවතුණු ශෙනාල් සෝෆාවේ වාඩි වී හුන් මන්දාකිණි දෙසට වියරුවෙන් මෙන් පැමිණ ඇගේ දකුණතින් අල්ලා අනෙක් අතට ඇඹරුවේ දත්මිටි කමිනි.
” උඹ ආයේ ඔය විදිහට මාත් එක්ක එකට එක කියා ගෙන ආවොත් එහෙම බලා ගනින් මං මොකක්ද කරන්නේ කියලා ”
මන්දාකිණි අත මුදවා ගන්නට වේදනාවෙන් ඇඹරෙද්දී ශෙනාල් ඇගේ අත ගසා දමා කෝපයෙන් කාමරයට ගොස් වේගයෙන් දොර වසා දැම්මේය. මන්දාකිණි සෝෆාවේ ඇලවී ඉකි ගසමින් හඬා වැටුණේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ මාවතකට ජීවිතය ගලා යන ශෝකයෙනි.
පැය ගණනාවක්ම ඒ ඉරියව්වෙන්ම හඬා වැටෙමින් සිටි මන්දාකිනි කාමරයට ගොස් යහනේ ඇල වූයේ රාත්‍රී දොළහද පසුවූ පසුවය.ඒ වන විට බීමතින් හුන් ශෙනාල් ඇඳ සිටි ඇඳුම පිටින්ම නින්දට වැටී උන්නේය. හඬක් නොනැඟෙන සේ යහනේ කෙළවරකින් ඇලවී දෑස් පියා ගත් මන්දාකිණි වෙත නින්ද පැමිණියේ තවත් බොහෝ වේලාවකට පසුවය.
මතක ආවර්ජනය අවසන් කළ මන්දාකිණි කෝපි කෝප්පය පානය කරන අතරතුර ශෙනාල් හට පළතුරු යුෂ වීදුරුවක් සකස් කලේ ඔහු කෝපි පානය සඳහා එතරම් කැමැත්තක් නොදක්වන නිසාය.අනතුරුව ඔහුගේ උදෑසන ආහාරය වෙනුවෙන් ටෝස්ට් කරන ලද පාන් පෙති කිහිපයකින් සැන්විච් එකක්ද සකස් කළ මන්දාකිණි කාර්යාලයට යාම සඳහා සූදානම් වූයේ ශෙනාල් අවදි වීමට පෙර නිවසින් පිට වීමේ බලාපොරොත්තුව සහිතවය.
පොඩි වූ ඇඳුම් මැද ගැනීමට හෝ ප්‍රමාද නොවූ මන්දාකිණි හැකි තාක් ඉක්මනින් සූදානම් වී විදුලි සෝපානය ඔස්සේ වාහන අංගනය වෙත පැමිණ මාස තුනකට පෙර මිලදී ගත් අලුත්ම අවුඩි රථයට නැගුනාය.
” Elegant Space By Mandi ” යන විශාල නාම පුවරුව සහිත ආයතනය ඉදිරිපිට මන්දාකිනිගේ වාහනය නතර වූයේ තවත් විනාඩි විස්සකට පමණ පසුවය. වාහනයෙන් බසින්නට පෙර තවත් මොහොතක් මහල් දෙකකින් සමන්විත තම ආයතනයේ ගොඩනැගිල්ල දෙස බලා සිටි මන්දාකිණි අලුත් දවසක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුව සහිතව වාහනයෙන් බැස කාර්යාලයට ඇතුළු වූවාය.
මන්දාකිණි ගේ ආයතනයේ කළමනාකාරිනිය වූ මීනු බලාපොරොත්තු සහගතව බලා උන්නේ මන්දාකිණි පැමිණෙන තුරුය.කුමක් හෝ අසුභ කාරණාවක් ඇය සතුව කියන්නට ඇති බව මන්දාකිණි අනුමාන කළේ ඇගේ මුහුණේ ඇඳී ඇති අදුරු වළාකුළු වලට අනුවය. ඉතා පිළිවෙලට ඇඳුම් ආයිත්තම් පැළඳ , සරල මේකප් සහිතව සිනාමුසු මුහුණින් වෙනදාට කාර්යාලයට පැමිණෙන තම ආයතන ප්‍රධානියා වූ මේ සුන්දර යුවතිය දෙස මීනු බලා උන්නේ කම්පාවෙනි. පොඩි වී ගිය ඇඳුම් ද , පිළිවලට පීරා නොතිබූ හිසකෙස්ද මන්දාකිණි ගේ මනසෙහි වූ අවුල් සහගත බව මනාව විදහා දැක්වීය.එහෙත් ඒ පිළිබඳව විමසන්නට තරම් මන්දාකිණි සමග කිට්ටු සම්බන්ධතාවයක් නොවූ නිසා මීනූ නිහඬව හුන් අතර මන්දාකිණි ඇය අසලටම පැමිණ නැවතුනාය.
” මොකක්ද මීනු ප්‍රශ්නේ? ”
” office room එකට යමුද මැඩම් ? ”


