මතකයක සේයා – 03

0
589

කාර්යාලයේ මේසය මත දිගහැර ඇති ලැප්ටොප් පරිගණකයේ තිරය මත දිස්වන උදෑසනම පැමිණ තිබූ ඊමේල් පණිවිඩය දෙස මන්දාකිණි බලා උන්නේ කඳුළු පිරි දෙනෙතිනි. මන්දාකිනි මේසය ඉදිරි පස වූ අසුනට බර වී හුන් මීනු උන්නේද සුන් වී ගිය බලාපොරොත්තු එක ලාසයක් කර ගැනීමට උත්සාහයක් දරමිනි.

බෙන්තොට නගරයේ අලුතෙන්ම ඉදි කරන ලද හෝටලයක අභ්‍යන්තර නිර්මාණ කටයුතු ආශ්‍රිත කෝටි ගණනාවක ව්‍යාපෘතිය එහි හිමිකරු විසින් Elegant Space By Mandi වෙතින් ඉවත් කර ගැනීමේ ඊමේල් පණිවිඩය මන්දාකිණිව ඕනෑවටත් වඩා කම්පාවට පත් කර තිබුණි. හෝටලයේ හිමිකරු එම තීරණය ගැනීමට හේතුව ලෙස දක්වා තිබුණේ හෝටලයේ අභ්‍යන්තර නිර්මාණ කටයුතු වල තිබුණු අඩු පාඩු සහ අක්‍රමිකතාය. තම ආයතනය නිසා ඔහුට සිදුවී ඇති පාඩුවට ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවත් ඔහු තව දුරටත් සඳහන් කර තිබුණි.

මන්දාකිණි දිගු සුසුමක් හෙළුවේ මෙවැන්නක් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ නිසාය. මෙය තමා ඉතා බලාපොරොත්තු සහගතව අත ගැසූ කෝටි ගණනාවක ව්‍යාපෘතියකි. කුඩා කාර්යාල, ආයතන , සහ කෝපි හල් ඇතුලු කුඩා ව්‍යාපෘති වල පමණක් අභ්‍යන්තර නිර්මාණ කටයුතු මෙහෙයවමින් සිටි තමාට මේ හෝටල් ව්‍යාපෘතිය ලැබුණේ අහම්බයකිනි. එයද අවාසනාවන්ත ලෙස තම ආයතනයෙන් ගිලිහී යාම දරා ගත හැක්කක් නොවේ.

” අපිට බැරිද මැඩම් ඒකේ owner ගෙන් apologize කරන්න ? අපිට මේ ප්‍රොජෙක්ට් එක බාර දීපු කෙනා කිව්වේ මේ ප්‍රශ්නේ නිසාම ඒ මනුස්සයා ලංකාවට එනවා කියලා. මං හිතන්නේ ඒ ආව ගමන්ම තමයි ඔය මේල් එක දාන්නත් ඇත්තේ ” 

මීනු කීවේ කඳුළු පිරි බොර පැහැ ගැන්වී ඇති මන්දාකිනි ගේ සුන්දර දෙනෙත් දෙස බලා ගෙනය

” එයාට මාර හදිසියක්නෙ තිබිලා තියෙන්නේ මේ ප්‍රොජෙක්ට් එක අපෙන් ගලවන්න ” 

මන්දාකිණි නොරිස්සුමෙන් කීවත් වරද ඇත්තේ තමා පිට බව ඇය නොදැන සිටියා නොවේ. ඉතා පිළිවෙළකට ගලා ගෙන ආ ජීවිතය මේ ආකාරයෙන් අපිළිවෙල වූයේ ශෙනාල් තම නිවසෙහි පදිංචියට පැමිණීමත් ,ඉන් අනතුරුව තම ජීවිතයේ සියලු බලතල ඔහු අතට ගැනීමෙනුත් පසුවය. තමා හුරුවී සිටි පිළිවෙල ජීවිතය අපිළිවෙල සහ නොසන්සුන් එකක් වූ පසු ආයතනයේ කටයුතුද බලා සිටියදීම අඩාල වීම මන්දාකිණි  නැවත නැවතත් මෙනෙහි කළේ ශෝකයෙනි.

” දැන් අපි මොකද්ද මැඩම් කරන්නේ ? ” 

කෝටි ගණනාවක පාඩුවක් ඉදිරියේ කුමක්‌ කළ යුතු දැයි හරි හැටි අදහසක් නොවූ මීනු මන්දාකිණි ගෙන් විමසුවේ ලියානා හට මේ ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් ඇති නිසාය.

කෛලාශ් උණු වතුරෙන් ස්නානය කර සැහැල්ලු ඇඳුමකට මාරු වී සුවඳ විලවුන් ස්වල්පයක් ද ගල්වා ගත්තේය. අනතුරුව කන්නාඩි මේසය ඉදිරිපිටට වී කෛලාශ් මොහොතකට දෑස් පියාගෙන හදවතින් නොමැකී යන රූපය නැවතත් මවා ගෙන තප්පර කිහිපයක් නිසොල්මනේ උන්නේය. ඔහු ගේ දැහැන බිඳී ගියේ කාමරයේ දොරට තට්ටු කරන හඬිනි.

” එන්න ” 

කාමරයේ දොර විවෘත කර ගෙන කාමරයට ඇතුළු වූයේ සේපාලය.සේපාල යනු ඇන්ඩ්‍රියා සහ එරික් යුවළ ලංකාවේ ජීවත් වන කාලයේ සිටම මේ නිවසේ සේවය කළ මෙහෙකරුවාය. ඇන්ඩ්‍රියා සහ එරික් ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගිය පසුවද සේපාල නිවසෙහි නඩත්තු කටයුතු සිදු කරමින් මුරකරු සහ අනෙක් මෙහෙකරුවා වූ ආරියදාස සමඟ එහිම නතර වී උන්නේය.

” කෑම ටික මේසෙට ඇරලා තියෙන්නෙ පුංචි මහත්තයා. සත්සර මහත්තයත් බලන් ඉන්නවා පුංචි මහත්තයා එනකං කෑම කන්න “

සේපාල කීවේ යටහත් පහත්වය. ඔහුගේ පෙනුමට අනුව මේ වන විට ඔහුගේ වයස අවුරුදු හැටකට ආසන්න විය යුතු හෝ ඊට වැඩි විය යුතුය . තමා දෙමව්පියන් සමඟ ලංකාවට පැමිණි කිහිප වරකදීම සේපාලව මෙම නිවසේදීම මුණ ගැසී ඇති නිසාත් , ඔහු දිගින් දිගටම නිවසේ නතර වී සිටින බව දන්නා නිසාත් ඔහු තම දෙමව්පියන් හට ඉතා විශ්වාසවන්ත සේවකයකු විය යුතු යැයි කෛලාශ් අනුමාන කළේය.

කෛලාශ් උදෑසන ආහාරය ගැනීම සඳහා පහත මාලයට පැමිණෙන විට සත්සර කෑම මේසයේ අසුන් ගෙන බලා උන්නේය. සේපාල කෛලාශ් පසු පසින් පැමිණ කෑම මේසයේ පුටුවක් ඇද දුන් පසු කෛලාශ් වාඩි වී ඉදිරියෙන් තිබූ පිඟානක් ළං කර ගත්තේය.

” ඩ්‍රාෆ්ට් එකේ තිබ්බ මේල් එක මම සෙන්ඩ් කලා ” 

එසේ කියූ කෛලාශ් කිරිබත් කෑල්ලක් පිඟානට බෙදා ගෙන එයට උඩින් ලුණු මිරිස් ස්වල්පයකුත් කුකුල් මස් වෑංජනයෙන් ස්වල්පයකුත් බෙදා ගත්තේය.

” මොන ? ” 

කෛලාශ් පැවසූ දෙය පැහැදිලි නොවූයෙන් සත්සර එසේ අසමින් කෑම බෙදා ගන්නට පටන් ගත්තේය.

” අර Interior company එකට මම ගහපු මේල් එක ” 

” උඹ ඒක යැව්වද ? ” 

සත්සර ඇසුවේ පුදුමයෙනි. එම ඊමේල් පණිවිඩයේ කෙටුම්පතක් කෛලාශ් විසින් තමාට එවන ලද්දේ මීට දින තුනකට පමණ පෙරය. නමුත් මව්බිමට පා තැබූ විගසම ඔහු එය අදාළ ආයතනය වෙතද යවා ඇත.

” අපරාදේ බං අපිට තව ටිකක් බලන්න තිබුණා හැබැයි ” 

සත්සර කිරිබත් සමග ලුණු මිරිස් මුසු කලේය.

” තව මොනා බලන්නද බං ? මෙච්චර හරියක් කරලා තියෙද්දි ” 

කෛලාශ් පළමු කිරිබත් කට මුවේ රුවා ගනිමින් කීවේ කෝපය සඟවා ගනිමිනි. 

” නෑ ඉතින් උඹ ආපු එකේ ඒ කම්පනි එකත් එක්ක කතා කරලා ඕක පිළිවෙලක් කර ගන්නත් තිබුණා. මං කියනවට වඩා මේකෙ අයිතිකාරයා වෙච්ච උඹම ඇවිල්ල මේකට මැදිහත් වෙලා වැඩේ කර ගන්න එක හොඳයිනේ ” 

කෛලාශ් කිසිවක් නොකියා ආහාර රසවින්දේ බොහෝ කුසගින්නෙන් සිටි බැවිනි. මව්බිමට පැමිණි පසුව ලබා ගන්නා පලවන ආහාර වේලම මේ තරම් රසවත් එකක් වීම පිළිබඳව කෛලාශ් උන්නේ බොහෝ සතුටිනි.

” කෑම නම් මාර රසයි සේපාල. අපේ අම්ම උයන ඒවටත් වඩා රසයිදද මන්දා ” 

කෛලාශ් ට මදක් නුදුරින් සිටගෙන උන් සේපාල ඉතා අහිංසක ලෙස සිනාසුනේ කෛලාශ් ගේ අගය කිරීම ඉස්මුදුනින් පිළිගන්නා අතරේය.

” කෑම ටික හදන්න ආරියදාසත් උදව් කළා පුංචි මහත්තයා. පුංචි මහත්තයාට දවල්ට කන්නත් හොඳ සරුවට කෑම ටික හදන්න ලෑස්ති කරල තියෙන්නෙ. නෝනයි මහත්තයයි කිව්වෙ පුංචි මහත්තයාව ඇස් දෙක වාගේ බලා ගන්න කියලා “

කෛලාශ් යන්තමින් සිනාසුනේය. ජීව විද්‍යාත්මකව එරික් සහ ඇන්ඩ්‍රියා තම සැබෑ දෙමව්පියන් නොවුනද ඔවුන් දෙදෙනාම පුදුමාකාර ලෙස තමා වෙත බැඳී සිටින්නේය. මේ වසර ගණනාව පුරාවටම වචනයකින් හෝ හිත රිදවා හෝ තරවටුවක් හෝ කර නැති ඇන්ඩ්‍රියාගේ මව් සෙනෙහසත් , තමා ගේ අධ්‍යාපන කටයුතු ඇතුළු සියලු අවශ්‍යතා වෙනුවෙන් වෙහෙසුණු එරික්ගේ පිය සෙනෙහසත් මේ මොහොතේ මේ වහල යට නොමැති වීම ගැන හදිසියේම කෛලාශ් හට දැනුනේ කම්පාවකි. ඒ ආකාරයෙන් තමාට සෙනෙහස දැක්වූ මවත් පියාත් වසර ගණනාවක් මුළුල්ලේම තමා ගේ හදවතේ තැන්පත් වී තිබුණු අරමුණ ඉටු කර ගැනීම සඳහා තමාට මේ ආකාරයෙන් තනිවම මව්බිමට පැමිණ කටයුතු කිරීමට නිදහස ලබා දීමම පුදුම සහගතය.

කෑම මේසය මත තිබූ සත්සර ගේ ජංගම දුරකථනය නාද වූ අතර එහි තිරයේ සඳහන් වූයේ Elegant Space ලෙසය. සත්සර එය දෙස බලා නැවත කෛලාශ් දෙසද බැල්මක් හෙලූ අතර කෛලාශ් උන්නේ දෙනෙත් බිමට බර කර ගෙන ආහාර ගනිමිනි. සත්සර ගේ දුරකථනය දිගින් දිගටම නාද වන නිසාත් ඔහු එයට ප්‍රතිචාර නොදක්වන නිසාත් කෛලාශ් හිස ඔසවා සත්සර දෙස බැලුවේ කුහුලෙනි.

” ඇයි උඹ ඕක ආන්සර් කරන්නේ නැත්තේ ? ” 

කෛලාශ් එසේ අසද්දීම දුරකථනය නාද වී අවසන් වූ අතර සත්සර දුරකථනය අතට ගෙන බලා නැවත එය මේසය මතම තැබුවේය.

” Elegant Space එකෙන් ” 

” ඒ කිව්වෙ ? ” 

” Interior company එකෙන් ” 

සත්සර එසේ උත්තර දුන් පසු කෛලාශ් සමච්චල් සහගත සිනාවක් මුහුණට නගා ගත්තේය.

” මගේ මේල් එක බලලා එහෙනම් ” 

කෛලාශ් එසේ කියා අවසන් වනවාත් සමගම නැවතත් සත්සර ගේ දුරකථනය නාද වන්නට පටන් ගත්තේය.

” ඒ පාර කවුද ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here