හදේ කොතැනක හෝ හිඳී – 03

0
16

විසල් ගේ ඇස් මත වූයේ මහත් බලාපොරොත්තුවකි. දවල් නගරයේ සරණ විට ඔහු එක් තරුණියක දුටුවේ ය. ප්ලාස්ටික් බංකුවක් මතින් කෑම පාර්සල් ටිකක් තබාගෙන ඇය ඒවා විකුණමින් සිටින හැටි, ඔහු බස් නැවතුම් පොළෙහි කණුවකට හේත්තු වී බලා සිටියේ ය. තරුණ ගෑනු ළමයෙකුට සිය ජීවිකාව වෙනුවෙන් එහෙව් ධෛර්යයක් උපදවාගත හැකි නම් ඔහු ට බැරි ඇයි? අම්මා කැමති ඔහු ලොකු මහත්තයෙක් වාගේ ලොකු රැකියාවකට යනවාට බැව් සැබවි. නමුත් එහෙව් රැකියාවක් තව කොයි තරම් කාලයක් නම් සොයන්න ද? අඳුරට ශාප කරනවාට වැඩිය එක පහනක් හෝ දැල්වුව මනා වේ. එන ගමන් ඔහු මංසන්ධියේ ගොඩනැගිල්ලක් ඉදිකරන තැනට ගොඩවූයේ ය. මීට පෙර ද දෙතුන් වරක් විසල් එහි ආවේ ගියේ ය. ඒ එතැන අත් උදව් දෙන වැඩක් හෝ ඉල්ලාගන්නටයි.

“උඹට මේව හරියන්නෑ මල්ලි. අපි මේවයෙ කන කට්ට දන්න නිසයි කියන්නෙ. හැබැයි කොල්ලෙක් විදිහට ලැජ්ජාවට බම්බු ගහගන්න කියල උඹ එහෙමහරි කරන්න හිතුව එකට රෙස්පෙක්ට් හරිද…”

මේසන් බාස්ලා වශයෙන් රැකියාව කරන තරුණ පිරිමි කිහිප දෙනෙක් ම විසල් ට එසේ කීහ.

“මේවට ඇවිත් නාස්ති වෙන්නෙපා. උඹ වෙන පාරක යන්න ඕන මිනිහෙක්”

ඔවුන් එසේ කීවේ හදවතින් ම ය. ලොකු තැන් ද අහිමියි නම්, පොඩි තැන් වලින් ද ප්‍රතික්ශේප වේ නම්, ඔහු ට හිමි තැන කුමක් දැයි විසල් නො දත්තේ ය. විශ්ව විද්‍යාලයට ප්‍රමාණවත් ලකුණු නො ලැබ උසස් පෙළ සමතෙකු ලෙස ජීවිතය ඇරඹුමෙහි ම අතරමං වෙන්නට සිදු වීම, දැන් පමණ ඉක්මවා ඔහු අපේක්ෂා භංගත්වයට පත් කොට තිබේ.

“වරෙංකො. අපිත් එක්ක බත් ඩිංගක් කමු”

ලන්ච් ශීට් එක දිගහරිත්දී ආවේ පිළුණු සුවඳක් සේ විසල් ට දැනිණ. පෙර දා පිසූ යමක් බත් මුලට දමා ඇතිවාට සැක නැත. නමුත් කවුරුත් ඒ ගැන හාවක් හ්ම්වක් නැතිව හම්බන් අහුරු වලින් ගිල දමන්නට වූහ. විසල් බත් පතක කොනක් අත පත ගාමින් සිටියේ ය. ඒ කෑම වල මොන රසයකුදු නැත. කන බත් පතට පවා වංචා කරන මිනිසුන්ට හරියනවා දැයි ඔහු සිතුවේ ය.

“කෑම පාර්සල් ටිකක්වත් දෙන්න තැනක් සෙට් කරගන්න තියනවනං අප්ප”

විසල්ට කියවුණේ මීට පෙර ඔහු සිතා තිබූ යමක් නොවේ.

“අන්න කරනවනං වැඩේ. ටයි කෝට් දාං ගිහිං වුණත් අනුන්ට කඹුරනවට වැඩිය, තමංගෙ දෙයක් කරගන්න එකා තමයි බං දිනන්නෙ දවසක”

බුලත් කහට බැඳුණු මුවින් කී ඒ වචන ටික විසල් ගේ හදවත පසාරු කරගෙන ගැඹුරට ම කිඳා බැස්සේ ය.

“ඒත් කෝ ඉතිං සල්ලි…”

ඔහු ගේ මුහුණේ මඳහසකි. ඒ මඳහස අසරණ ය. කාගේ කවුරු වුණත් මේ කොල්ලා ගැන අනුකම්පාවක්, වැලි සිමෙන්ති ගල් අතරේ රළු ජීවිත ගෙවනා මිනිසුන් තුළ ඇති කළේ ම ඔහු ගේ මේ අහිංසක සිනහවයි.

“මල්ලි. උඹ වැඩේට බහිනවනං අපි හෙට දවසෙ දවල් කෑම වලටයි රෑ කෑම වලටයි සල්ලි එකතු කරල දෙන්නං. උඹ ඒකෙං ඕන කරන කලමනා ටික අරං අපිට බත් පාර්සල් ටික ගහල ගෙනත් දියං. බලපං මේ කෑම වල මෙලෝ රහක් තියනවද කියල. අම්මප මල්ලි අපි ඇඟ පත මහන්සි කරල වැඩ කරන මිනිස්සු. අපිට බඩ කට පුරා කන්න ඕනෙ. හැමදේම කරන්නෙ කන්නනෙ බං. අපිට වැඩි දේවල් ඕන නෑ. උඹ මේ ගේමක් ගහන්න හදන පොඩි එකා. කටට රහට කරෝල බැදුමකුයි පරිප්පුවකුයි එක්ක හදං වරෙං. ඒ ඇති”

විසල් ගේ යෝජනාව ගැන මේධා ට දැනුණේ දෙගිඩියාවකි. මෙතෙක් ජීවිතයෙහි සිය පුතු ඇගෙන් ඉල්ලා සිටි එක ම ඉල්ලීමට පිටුපෑ නො හැකි ය. නමුත් සේනක ගේ ප්‍රතිචාරය කෙබඳු වනු ඇත් ද?

එදා දවසේ ම සව්මිය විටින් විට හැඬුවේ ය. ඔහු ඉල්ලා සිටියේ විසල් ව යි. නමුත් ජාන්වී සිය පුතුට නන්නාඳුනන තරුණයෙකු ගෙනැවිත් දෙන්නේ කොහොම ද? හැන්දෑවේ ඔහුව වෛද්‍යවරයා වෙත රැගෙන යන්නට සිදු විය. සව්මිය ට සහලවා උණ ගෙන තිබිණ. උදයේ ඔහුව පෙර පාසල් යැවිය නො හැකි විය. විටින් විට උණ නගිමින් බැස්සේ ය. බසිමින් යළිත් වැඩි විය. ජාන්වී දවසේ ම ඔහු වඩාගෙන සිටියා ය. මහ කන්දක බරක් ඇගේ හදවත මත පැටවී තිබේ. මේ දේවල් කාට කියන්න ද? තනි හිතින් උහුලා දරාගන්නවා මිස කාට කියන්න ද?

සව්මිය ඇකයේ හොවාගෙන ඕ මිදුලේ සිමෙන්ති බංකුව මතින් හිඳගත්තා ය. දවස පුරාම ඔහු වඩාගෙන ඒ මේ අත ඇවිද ඇගේ දෙපා රිදුම් දේ. පුංචි හිත ඊටත් වැඩියෙන් රිදෙනා බව ද ඈ නො දන්නවා නොවේ.

නටුවෙන් ගිලිහුණු නිල් ජැකරැන්ඩ මලක් කැරකී විත් බංකුව මත පතිත විය. ජාන්වී, දැවී ගිය පපුව ලොකු හුස්මකින් පිරිමැදගත්තා ය. ජැකරැන්ඩ ගස කුළුඳුළේ ම මල් පූදාගත්තේ මෙවරයි. ඈ චමුපති සමගින් මේ පැළය සිටවූ මොහොත අද අද මෙන් සිහි කරගන්නට ජාන්වී ට පිළිවන. ඒ සව්මිය ඇගේ කුසට ඇවිත් බව දැනගත් මුල් දින යි.

“මේ දවස අපේ ජීවිත වල සදාකාලික දවසක් වෙන්න ගහක් හිටෝමු. ඔයා මට පොරොන්දු වුණා කොයි ලෝකෙන් හරි බ්ලූ ජැකරැන්ඩ පැළයක් හොයල දෙනව කියල”

චමුපති හතර අතේ පැළ තවාන් වලට කතා කොට ජැකරැන්ඩ පැළයක් සොයාගත්තේ ය. නමුත් එහි මල්බර සමය එළඹෙත්දී ඔහු ඇය ළඟ නැත!

මේධා කෑම පිසුවේ සේනක ට නො දන්වා ය. මේසන් බාස්ලා කී පරිදි ම උදේට සුදු කැකුළු බතට පරිප්පු හා කරවල බැදුමකි. කරවල බැදුමට වත්තේ නයි කොච්චි ගසෙන් කරල් කිහිපයක් පලා දැමූ විට සුවඳේ බැරි විය.

“වැඩ කරන පිරිමින්ට හොඳට කන්න ඕනනෙ”

කියමින් මේධා බත් ගොඩ කළා ය. දවාලට පොළොස් මාළුවක්, සාලයන් මාළු කිරට, බෝංචි හා මුකුණුවැන්නා මැල්ලුමක් සෑදිණි. කෑම වල රසය ගැන වාඩියේ පිරිමි මුව නොසෑහෙන්න ගුණ වැයූහ. එයින් විසල් ගේ හිත පිරිණි. මුලින් මුදල් නො ගෙවූ අය ද  රස ගැන විශේෂයෙන් කියවුණ නිසා පසු දාට කෑම ඇනවුම් කළෙන් සම්පූර්ණ බත් මුල් ගණන දහයක් විය. හැන්දෑවේ මහරගම පොළට ගොස් විසල් හා මේධා දින දෙකකට සෑහෙන්නට එළවලු හාල් පහේ මිල දී ගත්හ.

“බත් දෙන එක නියම වැඩේ. හරියට ඕඩර් ටික අල්ලගෙන කළානං ගෙදර වියදං පියවගන්න පුළුවන්නෙ”

රෑ කෑම කන ගමන් විසල්ගේ අලුත් ව්‍යාපාරය ගැන දැනගත් සේනක කීවේ ය. එදායින් පස්සේ ඔහු මේධා අතට ගෙදර වියදමට කියා මුදලක් දුන්නේ ම නැත.

දැන් විසල් ට වැඩ තිබේ. පොළේ යන්නේත් බඩු ගේන්නේත් ඔහු ය. උයත්දී  පොල් ගාන්නේත් ළිපට දර ලං කරන්නේත් ඔහු ය. සමහර වෙලාවට අම්මාට කොළ මිටි සුද්ධ කොට සෝදා දෙන්නේ පවා ඔහු ය. පෙර කිසි දාක නො දැනුණු උද්‍යෝගයක් දැන් ඔහු තුළින් දෝරෙ ගලයි. ටිකක් වෙහෙසෙන්නට සිදු වන බව ඇත්ත ය. නමුත් ඒ වෙනුවෙන් දිනපතා මුදලක් අතට එයි. මහා ලොකු ඉතිරියක් නැත ද සුළු මුදලක් හෝ ඉතිරි කරගෙන දිනපතා ගෙදර වියදම් පියවා ගත හැකි වීම ලොකු දෙයකි. ඔහුගෙන් මුදල් වැය නොවී ම යහමින් කන්නට බොන්නට ලැබෙන නිසා සේනක ගේ කිසිදු විරෝධයක් නැත. මහරගම පොළට ගිය විට මේධා කන බොන දේ වලට අමතරව ගෙදරට අවශ්‍ය අඩුම කුඩුම මොනවා හෝ මිල දී ගනී. ඒ විදිහට මුදලක් වියදම් කරන්නට ඇගේ ජීවිතයෙහි අවස්ථාව ලැබී තිබෙනුයේ ඉතා අඩුවෙනි. ඒ නිසා මඳක් වෙහෙසකර වී ද ඇය මේ දෙවේල කෑම පිසීම කළේ දැඩි උනන්දුවෙනි. ඊටත් වැඩිය ගෙදර අයට කටට රසට කෑම ටිකක් කන්නට අවස්ථාව ලැබීම ගැන ඇය සතුටු වූවා ය. විසල් ට බත් ටිකක් දීම වෙනුවෙන් සේනක පෙන්වූ ආඩම්බර, කිසි දා අමතක කළ නො හැකි ය.

විසල් ගේ තුරුණු හදෙහි දැන් හීන යන්තමින් ඇහැ අරිමින් හිඳී. අතේ මුදලක් ඉතිරි වෙත්දී ඔහු බොහෝ දුර දිග හිතයි. දිනපතා කෑම දහයක් විස්සක් විකුණා ගන්නට මේ අවස්ථාව ලැබී තිබෙනුයේ හන්දියේ ගොඩනැගිල්ල ඉදිකොට අවසාන වනතුරු පමණකි. නමුත් එතනින් නතර විය නො හැකි ය. ඔහු දිගින් දිගට ම සිතුවේ ඒ නුදුරු අනාගතය ගැන යි.

ඒ දුරකතන ඇමතුම පැමිණෙන විට විසල් සිටියේ හිරමනය මත හිඳ පොල් ගාමිනි. තිරය මත සනිටුහන් ව තිබුණේ ‘බොන්සායි’ යන නමයි. ඒ, බෝ පැළය ලබා දෙන ලෙස ජාන්වී ගෙන් ඇමතුමක් පැමිණි දිනයේ ඔහු ඒ අංකය දුරකතයෙහි ගබඩා කරගත් ආකාරයයි. දැන් එදායින් දෙතුන් සතියක් කාලය ගෙවී ගොස් තිබේ. වරින් වර ඔහු ට බෝ පැළය ද මූණ රතු කරගෙන හඬන සව්මිය ද සිහි නොවුණා නොවේ. නමුත් එපමණ ය. එම දුරකතන අංකයෙන් ඇමතුමක් එන්නේ ඇයි? බෝ පැළය ජීවිතය අත් හැරීමට තීරණය කර ඇතිවාවත් ද? හිතට දිරිය ගෙන විසල් ඇමතුම හා සම්බන්ධ වූයේ ය.

“හෙලෝ…”

“ඔයාට මතකද දන්නෑ… මං ඔයාගෙන් බොන්සායි බෝ ට්‍රී එකක් ගෙන්නගත්ත කෙනා. අර… නාවල සමන් මාවතේ…”

“අ… ඔව් මැඩම්… ඇයි මැඩම් බෝ පැළේට මුකුත්…”

“නෑ නෑ එහෙම දෙයක් නෙවේ. ඒත් ඒ බෝ පැළේ ගෙනාපු දා ඉඳං බබා අසනීපෙන්”

ඇය පවසන්නේ මුදල් ආපසු ගෙවා බෝ පැළය රැගෙන යන ලෙස ද? විසල් තුළ දෙගිඩියාවක් ඇති විය.

“ප්ලීස් ඔයාට එක විනාඩි පහළවකට ඇවිත් යන්න පුළුවන්ද ෆ්‍රී වෙලාවක… බබා ඔයා ගැන කිය කිය සැරෙන් සැරේ අඬනව. උණ හරියකට බහින්නෙත් නෑ. ඩොක්ටර් තමයි කිව්වෙ පුළුවන්නං ඔයාට ඇවිත් චූට්ටක් බබාව බලල යන්න කියන්න කියල. අනේ ප්ලීස්… ලොකු උදව්වක්… එයා තමයි මගෙ ජීවිතේ. මට එයාව සනීප කරගන්න උදව් කරන්න”

ජාන්වී ගේ ඇස් තෙත් වෙමින් තිබිණ. ඇය ඒ අන්තිම වචන ටික කියාගත්තේ උගුර යටින් අසීරුවෙනි.

අසනීප තත්වයත්, දිගින් දිගට ම හැඬීම නිසා සිතට ගතට දැනුණා වූ කෙඩෙත්තුවත් නිසා වෙහෙසට පත්ව සිටි සව්මිය, හැන්දෑවේ නින්දකට වැටිණි. ජාන්වී ට ද මහන්සියක් දැනේ. පසුගිය දින ගණනාව පුරා සව්මිය සමග දිගින් දිගට ම ඔට්ටු වන්නට සිදු විය. ඔහු රාත්‍රියේ පවා එක දිගට නිදි ලැබුවේ නැත. වරින් වර අවදි වූයේ ය. ඔහු ගේ දේහ උෂ්ණත්වය විටින් විට ඉහළ ගිය බැවින් ජාන්වී ට වුව හිතේ සැනසීමෙන් ඇස් දෙක පියවා නිදි ලොවට අවතීර්ණ විය හැකි නො විණ. යන්තම් නෙතු පියවීගෙන එත්දී ඇය තිගැස්සී අවදි වෙයි. ඒ නින්දක් ඇතැම් විට දිගු වන්නේ විනාඩි තුන හතරකි. ඇය වහ වහා පුතු ගේ සිරුර මත පිටි අත්ල තබා උණුහුම බලයි. උණ වැඩියි වගේ නම් ඕඩිකොලෝන් වලින් සිඟිති අත් පා හා හිස තෙමයි. විදුලි පංකාව ක්‍රියාත්මක කරයි. පුතු ගේ හිස පිරිමදිමින් ඉතිපිසෝ ගාථාව කියයි. දෙවියනි එහෙව් ගින්දරක්!

“මේක ඇන්සයිටි තත්වයක් වෙන්න පුළුවන්. ඒ කියන්නෙ බබා තාත්තව බලාපොරොත්තු වෙලා නැති තැන කාංසාවට පත් වෙලා. අඩු ගානෙ එයා ඔය සෙල්ලං කරන්න ඕන කියන බෝයි එක්ක ටිකක් වෙලාව ගතකරන්න දෙන්න බලන්න”

ජාන්වී විසල් ට දුරකතන ඇමතුමක් දුන්නේ වෛද්‍යවරයා සව්මිය ගේ මානසික තත්වය ගැන අනතුරු ඇඟවූවාට පස්සේ ය.

චමුපති ඔවුන් හැර ගොස් වසරකට වැඩි කාලයක් ගත ව ගොස් තිබේ. ඔහු ගැන මතකයක් සව්මියට වෙතැයි සිතිය නො හැකි ය. නමුත් තාත්තා යන සංකල්පය ඔහු තුළ වර්ධනය වන සේ කටයුතු කළේ ජාන්වී ම ය. ජාන්වී, චමුපති ඇය සමගින් සිටිනා පින්තූර රාමු සියල්ල ඉවත් කළා ය. මංගල ඡායාරූපයක් හෝ ගෙදර පේන තැනක නො තබා අනවශ්‍ය බඩු දමා ඇති කබඩ් එකකට කළා ය. නමුත් ඔහු සව්මිය සමගින් සිටිනා පින්තූර රාමු කිසිත් ඉවත් නො කොට එසේ ම තිබෙන්නට හැරියා ය. ඒ, සව්මිය ගේ සිතේ තාත්තා ගැන සියුම් හෝ හැඟීමක් ඉතිරි කොට තබන්නට යි. ඇය පුතු සමගින් ඒ පින්තූර ඉදිරියෙහි හිඳ තාත්තා ගැන කතා කියා තිබේ. තාත්තා යන නම සමග පුංචි සිතේ ඇඳී තිබුණේ ඒ සේයාරූ වල සිටිනා රුවයි. නමුත් සව්මිය සජීවී තාත්තා කෙනෙකු හොයන්නට පටන් ගත්තේ පෙර පාසල් යන්නට පටන් ගත් පසු ය. එහි සිටිනා මිතුරු කැළට වාගේ ඇත්ත තාත්තෙකු ඔහුට ද ඕනෑ විය. පින්තූර වල ඉන්නා තාත්තා පෙන්වමින් ඔහු ව ඉල්ලා හඬන්නට ගත්තේ ය. අන්තිමට ඒ පින්තූර රාමු ද පරණ බඩු කබඩ් එකේ සිර කරන්නට ජාන්වී ට සිදු විය. නමුත් ඉන් ලොකු යහපතක් වූවා නොවේ. බොන්සායි බෝ පැළය ද සමගින් විසල් පැමිණියේ එහෙව් පසුබිමක් තුළ යි. එදා පටන් සව්මිය විසල් ට ‘තාත්තා’ යන නම ආදේශ කරගත්තේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here