මතකයක සේයා – 06

0
1631

කෛලාශ් හවස් වරුවේ සූදානම් වී සත්සර සමග බෙන්තොට නගරයේ සුන්දර ඉසව්වක ඉදි වෙමින් පවතින හෝටල් සංකීර්ණය වෙත පැමිණියේය.ගොඩනැගිලි කිහිපයකින් සමන්විත එහි පිහිනුම් තටාක දෙකක්ද වූ අතර එළිමහන් අවන්හල් කිහිපයකින්ද සමන්විත විය.වාහන අංගනයේ නැවැත්වූ වාහනයෙන් බැස හෝටලයේ ප්‍රධාන පිවිසුමෙන් ඇතුල් වූ කෛලාශ් ලොබිය හරහා මහ මුහුද පෙනෙන මානයේ තනා තිබූ පිහිනුම් තටාක ආසන්නයට පැමිණියේය.මේවා ඉදිකිරීමට වුවමනා වී තිබුණේ ස්වභාව සෞන්දර්යයට කිසි ලෙසකින්වත් හානි නොවන ආකාරයේ අභ්‍යන්තර නිර්මාණ සැලසුමකට අනුව වුවත් කෛලාශ් හට උවමනා වූ ආකාරයටම ඒ කිසිවක් නිමා වී තිබුණේ නැත.කෛලාශ් ගේ හදවතේ කොනක තිබුණු කෝපය නැවත මතුව ආවේ අනතුරුවය.

” මං කොච්චර කිව්වද බන් මේ හැම තැනක්ම කොල පාටට පේන්න ඕනේ කියලා “

” ඒවනං අපිට වුණත් දාන්න පුළුවන්නෙ බං.මගේ ඔෆිස් එකටත් මං මේ ඊයේ පෙරේදාත් පැල වගයක් ගෙනල්ලා දැම්මා “

“අපිට දාගන්න පුලුවන්නම් මොකටද බං අපි උන්ට සල්ලි දෙන්නේ ?”

කෛලාශ් පිහිනුම් තටාකය අයිනෙන් ඇවිද ගොස් හෝටලයට පිවිසෙන කොරිඩෝවකට පිවිසියේ හෝටලය මධ්‍යයේ ඉදිකර ඇති තවත් ලොබියක් වෙත ඇතුළු වෙමිණි.එයට ඇතුළු වූ කෛලාශ් හිස ඔසවා ඉතා උස් වූ වහලය දෙස බැලුවේ කෝපය සහ කලකිරීම මුසු වූ දෑස් වලිනි.

” මේවත් මට ඕන හැටියට වෙලා නැහැ බං. මම කිව්වනේ මේවට වුඩ් වලින් කැටයම් ටිකක් ඕනේ කියලා.ඒක දාලා තියෙන්නේ ඉස්සරහ ලොබි එකට විතරයි “

සත්සර ඉවසීමෙන් අසා උන්නේය.මේ සියල්ල ඉදි කළේ කෛලාශ් ගේ සැලසුම් වලට අනුවය.ඉදිකිරීම් අතරතුර ඡායාරූප පවා ඔහුට යැවීම තමා නිසි ආකාරයෙන් ඉටු කළේය.එහෙත් කෛලාශ් යනු අමුතු ආකාරයේ සිතුම් පැතුම් ඇති තරුණයකු නිසා සත්සර ඔහුගේ මේ හැසිරීම පිළිබඳව පුදුමයට පත් වූයේ නැත.

” හරි අපි මෙහෙම වැඩක් කරමු සත්සර “

තවත් විනාඩි ගණනාවක් අවට විමසිල්ලෙන් බැලූ කෛලාශ් අසල වූ ලීයෙන් නිම කරන ලද කවිච්චියක් මතින් වාඩි වෙමින් කීවේය.

“මොකක්ද?”

” මේ කෙල්ල මේක මෙච්චර අවුල් කරල තියන එකේ මේ අවුල ලිහන්නත් එයාටම අපි දෙමු.මං හිතන්නේ නෑ මේ හදිසියේ මේක වෙන කෙනෙක් බාර අරගෙන කරයි කියලා “

“උඹට ඕනේ උඹට වෙච්ච පාඩුව ඒකිගෙන් පියවගන්නද?”

“සල්ලි නම් මොනවද බං.මට මේ වැඩේ වෙන්නයි ඕනේ “

සත්සර මොහොතක් කෛලාශ් දෙස බලා උන්නේ ඕනෑකමිනි.අනතුරුව සාක්කුවේ තිබූ දුරකථනය අතට ගෙන මන්දාකිණිගේ අංකය සොයා එයට ඇමතුමක් ගන්නට පෙර සත්සර තප්පර කිහිපයකට නතර වූයේය.

“උඹට ෂුවර් නේද?ඔන්න මං ඒකිට ආපහු කතා කරනවා? “

” ශුවර් “

කෛලාශ් තනි වචනයෙන් පිළිතුරු දී ඉවත බලා ගත්තේය. සත්සර මන්දාකිණිගේ අංකයට ඇමතුමක් ගෙන ඇමතුම සම්බන්ධ වනතුරු බලා උන්නේය.

නිවසට පැමිණි මන්දාකිනි ස්නානය කර රාත්‍රී ආහාර සකසමින් උන්නේ කුසගින්නක් නැතත් ශෙනාල් හට රාත්‍රී ආහාරය සකස් කර දිය යුතු නිසාවෙනි.එවැන්නක් වුවද ගැටුමකට මුල පිරීමට ශෙනාල් හේතුවක් කරගන්නා නිසා රූපවාහිනිය නරඹමින් කාලය ගෙවන ශෙනාල් පිළිබඳව තැකීමක් නොකරමින් මන්දාකිණි චීස් යෙදූ පැස්ටා සකස් කරමින් විවෘත මුළුතැන්ගෙයි කාලය ගත කළාය. සෝෆාවේ ටීපෝව මත තිබූ මන්දාකිණිගේ දුරකථනයට සත්සර ගේ ඇමතුම ආවේ ඒ අතරතුරදීය. දුරකථනය වයිබ්‍රේට් වන හඬට ඒ අසල සිටි ෂෙනාල් එය අතට ගෙන මොහොතක් ” සත්සර  පළිහවඩන ” යන නම දෙස බලා හිඳ ඇමතුම ක්‍රියාත්මක කළේය.

“හෙලෝ මන්දාකිණි “

ශෙනාල් තවත් තත්පර කිහිපයක් අසා උන්නේය.

” හෙලෝ කවුද මේ ?” 

ශෙනාල් තරමක නොරිස්සුම් සහගත හඬකින් විමසුවේ විවෘත මුළුතැන්ගෙයි ආහාර පිසිමින් සිටින මන්දාකිණි දෙසද බලන අතරතුරය.ඇමතුමේ අනෙක් පස හුන් සත්සර මන්දාකිණිගේ දුරකථනයෙන් ගලා එන පිරිමි කටහඬ කාගේ විය හැකිදැයි සිතමින් නැවත හඬ අවදි කළේය.

” මිස් මන්දාකිණි ප්ලීස් “

” මන්දාකිණි වැඩක ඉන්නේ. මං එයාගේ හස්බන්ඩ් “

සත්සර නැවත තත්පර ගණනාවකට නිහඬ වූයේය.දන්නා තරමින් මන්දාකිණි යනු අවිවාහක තරුණියකි.දුරකථන ඇමතුමට පිළිතුරු දෙන තරුණයාගේ රෞද්‍ර හඬෙහි විලාසය අනුව ඒ ඇයගේ සැමියා වීම කිසිසේත්ම විය නොහැකි යැයි සත්සර සිතුවේය.

” ආ ඕකේ.එයාට කියන්නකෝ මට කෝල් බැක් කරන්න කියලා.හදිස්සි පණිවිඩයකට “

දුරකථන ඇමතුමට පිළිතුරු දෙන තැනැත්තා කවරෙක් වුවත් කම් නැතැයි සිතමින් සත්සර ඉතා ගරු සරු ඇතිව පිළිතුරු දුන්නේය.

” මොකද්ද පණිවිඩේ ? “

ශෙනාල් තරමක් සැරෙන් ඇසුවේය.මේ ආකාරයට පිටස්තර පිරිමින්ගෙන් මන්දාකිණි හට බොහෝ ඇමතුම් එනවා ඇතැයි සිතිවිල්ලක් ශෙනාල් ගේ සිත තුළ ඒ වනවිට මෝදු වෙමින් තිබුණේය.

” බෙන්තොට හොටෙල් එකක project එකක් ගැන. ඒකේ owner ලංකාවට ඇවිල්ලා ඉන්නේ.Interior වල පොඩි වෙනස්කම් වගයක් කරගන්න තියෙනවා.ඒ ගැන මන්දාකිණි ත් එක්ක කතා කරන්න ඕනේ “

වෙනත් කල්පනාවක නිරතව නිහඬව ආහාර පිසින මන්දාකිණි දෙස බලමින් නැවත දුරකථන ඇමතුම වෙත අවධානය යොමු කළේය.

” හරි මම එයාට කියන්නම් “

සත්සර තවත් යමක් කියන්නටත් පෙර ශෙනාල් ඇමතුම විසන්ධි කළ අතර ඇමතුමේ අනෙක් පස හුන් සත්සර ඇමතුම අවසන් කර පසෙක වාඩි වී හුන් කෛලාශ් දෙස බැලුවේ බලාපොරොත්තු සුන් වී ගිය දෑස් වලිනි.

” ඇයි ?”

පිළිතුරක් බලාපොරොත්තුවෙන් හුන් කෛලාශ් ඇසුවේය.

” එයා පොඩ්ඩක් බිසී මං හිතන්නේ”

සත්සර ඇහෙන නෑහෙන ගානට පිළිතුරු දුන්නේ කෛලාශ් නැවත වතාවක් මන්දාකිණි පිළිබඳව නොපහන් හැඟීමක් ඇති කර ගනු ඇතැයි අනුමාන කරමිනි.

” කිසිම වගකීමක් නැති ගෑනියෙක්ද කොහෙද “

බලාපොරොත්තු වූ පරිදිම කෛලාශ් කෝපයෙන් නැවත ඉවත බලා ගත්තේය.

” අපි දන්නේ නෑනේ බං ඒ මනුස්සයා මීටින් එකකවත්ද කියලා. කතා කරපු කෙනාට මම කිව්වා කෝල් බැක් කරන්න කියන්න කියලා “

මන්දාකිණි ආහාර පිස අවසානයේ මුලුතැන්ගෙය පිරිසිදු කර ශෙනාල් වෙනුවෙන් පලතුරු යුෂ වීදුරුවක්ද සකස් කර සාලය වෙත පැමිණ පිළිගන්වා ටීපෝව මත වූ ජංගම දුරකථනය අතට ගත්තාය.

“තමුසෙගේ ඔය ෆෝන් එකට දවසට මිනිස්සු කීයක් කතා කරනවද ?”

ශෙනාල් රූපවාහිනියේ හඬ අඩුකරමින් ඇසුවේය.

” මොන ජාතියේ ප්‍රශ්නයක්ද ශෙනාල් ඒක?”

“ජාතිය මොකක්ද කියලා දන්නේ නැහැ.හැබැයි මං ඇහුවේ ප්‍රශ්නයක්”

” මට ඉතින් සෑහෙන්න ක්ලයන්ට්ස් ලා කතා කරනවා කියලා ඔයා දන්නවනේ “

” ක්ලයන්ට්ස් ලා විතරද ? “

ශෙනාල් සමච්චල් සහගත සිනහවක් කට කොනකට නගා ගනිමින් ඇසුවේ පළතුරු යුශ වීදුරුව තොල ගාන අතරේය.මන්දාකිණි ශෙනාල් වාඩි වී හුන් සෝෆාවට මදක් නුදුරින් වූ කුඩා සෝෆාවෙන් වාඩි වෙමින් දුරකථනය පරීක්ෂා කළාය.

” ඔයාට කෝල් එකක් ආවා සත්සර කියලා කෙනෙක්ගෙන් “

මන්දාකිණි තැති ගත්තාය.ශෙනාල් ගේ ස්වභාවය අනුව පිටස්තර පිරිමියකු තමාගේේ දුරකථනයට ඇමතීම ඔහුට කෝප ගැනීමට තරම් කාරණාවකි. සත්සර නැවත තමාව ඇමතීම පුදුමයට කරුණක් වුවද එයට ශෙනාල් පිළිතුරු දුන් ආකාරය සිතාගත නොහැකිය.

” කොයි වෙලේද ආවේ? ඔයා මොනවද එයාට කිව්වේ? “

මන්දාකිණි දුරකථනයට පැමිණි ඇමතුම් පරීක්ෂා කරද්දී සත්සරගේ ඇමතුම පැමිණ තිබුණේ විනාඩි 40 කට පමණ පෙරය.

“මොනවා කියන්නද ඉතින් මං කිව්වා ඔයා බිසී කියලා “

“කවුරු කතා කරනවා කියලද ඔයා කතා කරේ?”

” මං කිව්වා හස්බන්ඩ් කියලා. ඇයි අවුල්ද ?”

මන්දාකිණි හදවතට නැගුණු කෝපය යටපත් කර ගත්තාය. ශෙනාල් හිතුමනාපයට කරන කියනා දේවල් පිළිබඳව යළි යළිත් අපැහැදුණු සිතින් මන්දාකිණි මුවට ආ වචන නතර කර ගනිමින් දුරකථනය දෙස බලා උන්නාය.

” කතා කරපු එකා ඔයාට හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තහම මොකක්ද තියෙන අවුල?”

“මුකුත් අවුලක් නැහැ ෂෙනාල්. ඒත් හැමෝම දන්නව මම අන් මැරීඩ් කියලා. අනිත් එක එහෙම බිස්නස් කෝල්ස් ආන්සර් කරන එක හරි කැතයි නේද? මං හිටියේ ඔයාට පේන දුරක.ඔයාට තිබුණා මට කෝල් එකක් එනවා කියලා කියන්න “

” දැන් තමුසෙ මොකක්ද කියන්න හදන්නේ? “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here