විසල් ගෙදර පැමිණියේ රෑ වී ය. ඔහු පැමිණෙන තුරු ම මේධා වරින් වර අඳුරෙහි දෑස් පා කරමින් මග බැලුවා ය.
‘මොනාද ඔච්චර බලන්නෙ… විසල් කියන්නෙ බබෙක් නෙවෙයිනෙ. එයා එන වෙලාවක ගෙදර එයි’
සේනක මේධා ගේ මේ නො ඉවසිලිමත් මග බැලීම දෙස බලා ඉන්නට බැරි ඊර්ෂ්‍යාවකින් ගුගුළේ ය. මේධා බිම බලාගෙන පසුබෑවා ය.
‘මෙච්චර රෑ වෙන්නෑනෙ වෙනදට… ඒකයි බැලුවෙ…’
ඇය එසේ මිමිණුවේ ඔහු ට මතු නොව ඇයට ම වුව ඇසෙන නෑසෙන ගානටයි. සේනක ගේ මේ ගති පැවතුම් ගැන මේධා ගේ සිත්හි වන්නේ කලකිරීමකි. නමුත් එහෙමය කියා ඔහු ට එරෙහිව වචනයක් කියාගන්නා හයියක් ඇයට එදා වූයේත් නැත. අද ද නැත.
ඇගේ සිත්හි වූයේ ගින්දරක රස්නයකි. පමා වෙනවා නම් වෙනදාට විසල් ගෙදරින් පිටත් වීමට පෙර ඒ බව දැනුම් දෙයි. දුරකතන ඇමතුමක් ගෙන විමසා බලන්නට ඇයට දුරකතනයක් නොවේ. මෑතක් වනතුරු ම ගෙදරට වූ එක ම ජංගම දුරකතනය තිබුණේ සේනක සතුවයි. තාවකාලික පොඩි රැකියාවකින් ලැබුණු මුදලකින් විසල් ඔහු ගේ දුරකතනය ගත්තේ මෑතකදී ය. සේනක ඒ වෙලාවේත් මේධා සමගින් ජල්ලියක් ඇල්ලුවේ ය.
‘අඩුපාඩුවකට තියෙන්නෙ ඒකනෙ. අනිත් ඔක්කොම සම්පූර්ණයිනෙ. ඇයි යකෝ ඒ සල්ලි වලින් ගෙදරට හාල් පහේ ටිකක් ගේන්න බැරි වුණාද…’
‘අනේ ඉතිං ඒ ළමයගෙත් ආසාවනෙ අනේ. ඔය වයසෙ මොන කොල්ලටද ෆෝන් එකක් නැත්තෙ… කොල්ල දහදුක් විඳල ඔය පොඩි ගාණක් හොයාගෙන ඕක ගත්ත මිසක් අපිට කරදර කළේ නෑනෙ අරං දෙන්න කියල…’
‘අරං දෙන්න… මේ මටද කියන්නෙ අරං දෙන්න…’
මේ මනුස්සයා මේ තරම් ඒ අහිංසකයා එක්ක තරහ ඇයිදැයි මේධාට වටහා ගත නො හැකි ය. විසල් ප්‍රමාද මන්දැයි බලන්නට ඇමතුමක් දෙනු වස් දුරකතනය ඉල්ලා සිටියහොත් සේනක ගේ නහරයක් පුපුරා ඔහු මැරේවියි දන්නා නිසා මේධා එසේ නොකර සිටියා ය.
අන්තිමට විසල් ආවේ මේධා ගේ පපුව මැද ඇවිලෙමින් තිබූ ගිනි මැලයට සීතල වතුර පහරක් එක් කරමිනි. ඇය ඉක්මන් කොට ඔහු ගේ බත් පත බෙදුවා ය. විසල් ට කුස ගින්නක් වූයේ නැත. ජාන්වී පිළියෙළ කොට තිබූ ස්පැගටි තෙම්පරාදුව හා කුකුළු මස් කරිය ඔහු ගේ ආමාශයෙහි සියලු ඉඩ අවුරාගත්තේ ය. සැබවින් බෑ කියන්නට හොඳ නෑ වගේ දැනුණ නිසා ඔහු බෙදාගත්තේ සුළු ප්‍රමාණයකි. නමුත් ‘බඩ පිරෙන්න කන්න විසල්’ කියමින් ජාන්වී තවත් ස්පැගටි හැන්දක් පුරවා සිය පිඟානට බෙදුවා ය. තව කන්න ඉඩක් දැන් කුසයෙහි නොවුණත් විසල් රෑ කෑම ප්‍රතික්ෂේප කළේ නැත. ඒ ‘කාල ආවෙ අම්මෙ’ කියා මේධා ට කිව නො හැකි බැවිනි. ඔහු අස්වාමික තරුණ බිරිඳක ගේ ගෙදර ගොස් රෑ කෑමත් ගෙන පැමිණියා යි දැනගත හොත් මේධාගෙන් විසුමක් නොවන බව විසල් දනී. එහෙම අතීත අත්දැකීමක් ඔහු සතු වේ. එකල ඔහු උසස් පෙළ ආරම්භ කළ අලුත ය. ප්‍රථම වාර විභාගයේ දී පාඩම් කරන්නට මිතුරෙකු ගේ නිවසට ගිය බව දැනගත් දා මේධා අනපේක්ෂිත ලෙස කෝපයෙන් ගිනිගත්තා ය.
‘ආයෙ එහෙම ඒ ගෙදරට ගිහිං අහුවුණොත් මං උඹව හමගහනව’
ඈ එසේ තර්ජනය කළේ කෝපයෙන් වෙව්ලමිනි. පාඩම් කරන්නට මිතුරෙකු ගේ ගෙදර හෝරා කිහිපයක් ගත කළ එක ගැන අම්මා ඒ තරම් තරහ ගත්තේ මන්දැයි ඒ වෙලාවේ විසල් ට වැටහුණේ නැත. එකී මිතුරා ගේ පියා විදෙස්ගතව රැකියාවක නියුතු ය. ඔහු ගේ මව ඒ තරම් හොඳ චරිතයක් ඇති ස්ත්‍රියක නොවන බවට කසුකුසුවක් ඒ ගෙදරට යන එන මිතුරන් අතරේ ඇති වූයේ ඊට ටික කාලයකට පසුයි. අම්මා ඔහු ඒ ගෙදරට යන එකට තහනම් නියෝග දැම්මේ ඇයි කියා විසල් තේරුම් ගත්තේ එදින ය. එහෙව් අම්මා ඔහු සව්මිය වෙනුවෙන් හෝ ජාන්වී ගේ ගෙදරට යන එකට ඉඳුරා විරුද්ධ වන බව විසල් දනී. එබැවින් එහි යන්නට පෙර හෝ ඔහු මේධාට ඒ ගැන පැවසූයේ නැත. රෑ වුණේ මිතුරෙකු හමුවන්නට ගිය නිසා යයි බොරුවක් කියන්නට පවා ඔහු ට සිදු විය.
‘මොකද්දෝයි කරන්නෙ ඔතනට වෙලා… නිදාගන්නෙ නැද්ද අද…’
සේනක කාමරයේ දොරකඩ සිට යක්ෂයෙකු සේ විචාලේ, මේධා විසල් කෑම කන තෙක් ඔහු අස කැරකෙමින් සිටියදී ය. ඈ ගැස්සී ගියේත්, ඇදෙස බැලූ පුතු ගේ දෑස් වලින් මුවහ වූයේත් එකට ම ය.
‘අම්ම නිදාගන්න. මං කාල නිදියන්නං’
විසල් මිමිණුවේ ය. මේධා ට ලැජ්ජාවක් දැනිණ. සේනක ඔය ඈ සොයන්නේ සිය අසීමිත ලිංගික ආශාවන් වෙනුවෙන් බව ඕ දනී. කරදඬු උස් මහත් වූ, වයසින් වැඩිහිටියෙකු වූ තරුණ පුතෙකු ගෙදර සිටියදී, සේනක මේ විදිහට හැසිරෙන එක ගැන ඇයට වන්නේ ඉවසා දරාගත නො හැකි පිළිකුළකි. ඔහු වූ කලී යමක් හෙමින් පැහැදිලි කර දිය හැකි මිනිසෙකු නො වෙන නිසාවෙන් සියල්ල දරාගන්නට ඇයට සිදුව තිබේ.
අම්මා කාමරයට ගිය එක හොඳ යයි විසල් ට සිතිණ. නැත්නම් ඔහු බත් පත නොකන එක ගැන ඇය ප්‍රශ්න කරනු ඇත. බත් එක අනා බල්ලෙකුට කන්න දමා විසල් කාමරයට යන විට ජාන්වීගෙන් වට්සැප් පණිවිඩයක් පැමිණ තිබිණ.
‘පරිස්සමට ගෙදර ගියාද විසල්… ඔයාට හුඟක් පින්!’
‘ඔව් මැඩම් මං ගෙදර’
යනුවෙන් ලියා යවා හෙතෙම යහනට වැටුණේ ය.
ජාන්වී සිඟිති පුතු තුරුලු කරගෙන නිදන්නට නෙතු පියවාගත්තේ සැනසුමෙනි. සව්මිය ගේ මොළකැටි බිලිඳු වත මත කිරි සිනහවකි. ඔහු හීනයෙන් සිනහ වෙයි. ඒ සිනහව අයිති මේ මිනිස් ලෝකයට නොව සුරංගනා ලෝකයට මෙනි. එය එපමණට දිව්‍යමය ය. පවිත්‍ර ය. නමුත් ඒ සිනහව පුතු ගේ මුහුණෙහි සදහට රැක දෙන්නේ කෙලෙසින් ද? ඒ සිනහවේ අයිතිකාරයා විසල් බවට පත්ව තිබෙන්නේ ඇය සිහිනෙනුදු නො සිතූ ලෙසයි. සව්මිය සමගින් දවස ගෙවීම රැකියාව කරගන්නට විසල් රිසි වේ නම් ඔහු ඉල්ලන ඕනෑම මුදල් ප්‍රමාණයක් වැටුප් ලෙස ගෙවන්නට ඇය සූදානම් ය. නමුත් පෙර දා ඇය දුන් මුදල් සහිත කවරය ඔහු විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ එදෙස බලන්නේ හෝ නැතිවයි. දිගට ම මෙලෙසින් ඔහු ගේ උදව් සව්මිය වෙනුවෙන් අපේක්ෂා කළ නො හැකි ය. අනිත් අතට සේවිකාවක් පමණක් ගෙදර රඳවාගෙන ගත වෙන මේ තනි ජීවිතය අතුරේ යනවා වාගේ එකකි. අස්වාමික තරුණ ගැහැනියක වශයෙන්, නිතර නිතර ගෙදරට තරුණ පිරිමියෙකු පැමිණෙන එක අවදාම් බව ඇය දනී. විසල් අහිංසක පෙනුමක් ඇත්තෙකු බව ඇත්ත ය. නමුත් බාහිර පෙනුමෙන් කිසිවෙකු තක්සේරු කළ නො හැකි ය. ඔහු සැබවින් ම අවංක හා අහිංසක කෙනෙකු වන්නට පිළිවන. නමුත් මේ ගෙදරට නිතර නිතර තරුණ පිරිමියෙකු යන එන එක ගැන ලෝකයා අසන ප්‍රශ්න වලට දිනෙක ඇයට පිළිතුරු දෙන්නට සිදු වනු ඇත.
‘ඕන කෙනෙක් ඕන දෙයක් කියන එකයි ඇත්තෙ. මගෙ දරුවගෙ තාත්තයි මගෙ හොඳම යාළුවයි අපි දෙන්නව මෙහෙම අසරණ කරල ගියා. ඒ ගැන කාටවත් මොනාද කරන්න පුළුවන් වුණේ… අදටත් මං ඒ දෙන්නට විරුද්ධව වචනයක්වත් කියල තියනවද… නෑ. මගෙ දුක තනියම දරාගෙන මං තනියම ජීවත් වෙනව. ලෝකෙට බ ම් බු ගහගහන්න කියන එකයි’
ඇගේ ම හිතේ එක පැත්තක් කැරැල්ලක් ගැසුවේ ය. මේ සිතිවිලි දෝලනය අතරේ සිටියදී යම් කිසි මොහොතක ඇය නිදි ලොව වෙත අවතීර්ණ වී තිබිණ. යළි ඈ අවදි වූයේ දෙකොපුල් වලට දැනුණා වූ සීතල පහසකිනි. නෙතු විවර කරත්දී සව්මිය සිඟිති දෑත් වලින් ඇගේ දෙකොපුල් අල්වාගෙන සිටියේ ය.
‘මැණික’
‘නගිතින්න. තාත්ති එයි…’
හදවත නාය යනවා සේ ජාන්වී ට දැනිණ. ඈ සිය රෝස මල් පොහොට්ටුව පපුවට තුරුලු කරගෙන තදින් සිපගත්තා ය.
දවල් කෑම පාර්සල් ටික වැඩ බිමට ගෙන ගොස් දීමෙන් පසු විසල් හා මේධා මහරගම ගියහ. පසු දාට අවශ්‍ය කලමණා ගෙන එන්නට ඔවුන් මහරගම යන්නේ රාත්‍රියට පිසීම සඳහා අවශ්‍ය සියල්ල කපා කොටා සූදානම් කොට තබා ය.
‘මට ටී ශර්ට් එකක් තෝරල දෙනවද අම්මෙ…’
කියා හදිසියේ ම මහරගම දී විසල් ඇසුවේ ය. මේධා ගේ මුහුණට පැමිණියේ සිනහවකි. කාලයකට පස්සේ දැන් ඔහු ට ඇඳුමක් හෝ මිල දී ගන්නට හැකි වී තිබේ. අවුරුදු විසි තුනක් ඉක්මවන තරුණ කොල්ලෙකු ගේ හදවත තුළ මොන තරම් ලස්සන සිහින තිබෙන්නට පිළිවන් ද? නමුත් විසල් ඒ සියල්ල පපුවේ ම හිර කරගෙන සිටියේ සුසුමකින්වත් ආඩපාලි නො කියමිනි. මුවින් කිසිවක් නො ඉල්ලා සිටීම ගැන මේධා ගේ හදවත තුළ වැරදිකාර හැඟීම් කෝටි ගණනක් රළ නංවමිනි. අද ඔහු ට තමන් වෙනුවෙන් ඇඳුමක් හෝ ගත හැකි වීම ගැන ඇයට දැනෙනුයේ අපමණ සැනසුමකි.
ටී බැනියම් කිහිපයක් ම ගෙන විසල් ඒවා ගැන අම්මාගේ අදහස් විමසුවේ ය.
‘මං නෙවෙයි ඉතිං… ඔයා ආස එකනෙ ගන්න ඕනෙ’
ඇය එසේ මිමිණුවේ උතුරා පිටාර ගලන දාරක ස්නේහයෙනි. ජීවිතයෙහි දුක් ම විඳි සිය පුතණුවන් කොයි තරම් හොඳ දරුවෙකු ද යන හැඟීම, අම්මා කෙනෙකු වශයෙන් ඇයට සැනසෙන්නට ප්‍රමාණවත් ය.
‘ඒ වුණාට ගෑනු කට්ටියට තමයිනෙ ලස්සන කැත හොඳට තේරෙන්නෙ’
සිනහවකින් වුව විසල් එසේ කීවේ මඳ ලැජ්ජාශීලී බවකිනි. මේධා පුතු ගේ බඳ වටා අතක් යවා, ඔහු ගේ අත් ගොබයක හිස ස්පර්ශ කළා ය. ඇය දැන් සාඩම්බර අම්මා කෙනෙකි. කොතක් වගේ ලස්සනට පේන පුතෙක් ඉන්නා අම්මා කෙනෙකි.
‘ඔයාට ඕන එකක් ලස්සනයි පැටියො’
ඈ ඒ කීවේ හදවතින් ම ය. විසල් සිඳුරංග වූ කලී දැන් උසින් හා පිරිමි පෞරුශයෙන් අනූනව වැඩුණ තරුණයෙකි. ශරීරය මහත දෙහෙත නැත ද ඒ කෙට්ටුව ඔහු ට හැඩ ය. මේධා දෑසින් ම සිය පුතු ගේ හැඩ රුව වින්දා ය.
රෑ කෑම පාර්සල් ගෙන යන්නට පෙර විසල් දිය නා අලුත් ටී කමිසය හැඳගත්තේ ය. ඔහු වෙතින් විද්‍යමාන වූයේ උතුරා දෝරෙ ගලන තාරුණ්‍යයකි. කටු රැවුල, විසල් ගේ පියාගේ හැඩකාර මුහුණ මේධාගේ මතක පුරාණය තුළින් යළි ඇහැරවයි. දැන් පුතු ට පෙම්වතියක සිටිනවා විය හැකි ද යන පැනය ප්‍රථම වතාවට අම්මා තුළ පිළිසිඳිණි. එක අතකට එහෙම නොවේ නම් පුදුම විය යුතු ය. පොපියන යෞවනය දැක සොබා දහම ඉවත බලාගන්නට හැකියාවක් නැති බැවිනි.
සව්මිය සිටියේ බලාපොරොත්තු දල්වාගෙනයි. නමුත් ජාන්වී මැදිහත් සිතින් පසු වූවා ය. ජීවිතයට ළඟින් ම සිටි දෙදෙනා පවා ඇයට ද්‍රෝහි වූ එකේ, වෙනත් කිසිවෙකු ගැන නිශ්චිත නිගමන වලට එන්නේ කොහොම ද? සිද්ධ වෙන දේවල් දෙස බලා හිඳිනු විනා දැන් ඇය බලාපොරොත්තු වලින් හදවත පුරවාගන්නේ නැත. වතාවක් වේදනාවේ ගැඹුරු ම පත්ල වෙත කිමිදී එහි දිග පළල මැනවින් හැඳිනගත් බැවිනි. ඇයට වන එක ම ගැටළුව කුඩා පුතු ගේ හිත හදන එකයි!
විදුලි සීනුව නාද වූ වහා ම සව්මිය සිනහවෙන් පිරී කෑගසාගෙන මිදුලට දිව්වේ ය.
‘තාත්ති ආවා…’
ජාන්වී විසින් ගේට්ටු පියන විවර කළ විගස ඔහු විසල් ගේ දෙකකුල් බදාගෙන එහි එල්ලීගත්තේ ය. ජාන්වී ගේ පපුව හිර විය. විසල් ඔහු දෝතින් වඩාගත්තේ ය. සව්මිය විසල් ගේ ගෙල වැළඳගෙන ආදරණීය හාදු වරුසාවකින් ඔහු නැහැවූයේ ය.


