ඇන්ඩ්‍රියා හවස් වරුවේ කෛලාශ් හට දුරකථන ඇමතුමක් ගන්නා විට ඔහු උන්නේ රාත්‍රී අහාරය ගනිමිනි.
“හෙලෝ අම්මා “
කෛලාශ් ගේ හඬෙහි තැවරී තිබූ උදාසීන බව හඳුනා ගන්නට ඇන්ඩ්‍රියාට අපහසු වූයේ නැත.සමහර විට ඔහුට තමා සහ එරික් නැති අඩුව සහ පාළුව මේ වන විටත් දැනෙන්නට පටන් අරන් ඇතැයි ඇන්ඩ්‍රියා සිතුවාය.
” පුතා ඩිනර් ගත්තද ?”
” මේ ගන්න ගමන් ඉන්නෙ අම්මා.හොටෙල් එක බලන්න ගිහින් දැන් ආවේ “
” මොනාද ඉතින් අලුත් විස්තර ?”
” කියන්න තරන් දෙයක් නෑ අම්මා ”
ඇන්ඩ්‍රියා තප්පර ගණනාවක් නිහඬව උන්නේ කෛලාශ් මව්බිමට ගොස් ව්‍යාපාරයක් කිරීමට ගත් තීරණය බලාපොරොත්තු වූ තරම් සුබවාදී වී නැතැයි යන දෙගිඩියාව හිතේ දරාගෙනය.
” මම හිතුවා වගේ හොටෙල් එකේ වැඩ වෙලා නෑ අම්මා.තව සති දෙකක් ඇතුළත මේවා කොහොම ඉවර කරන්නද කියලා මට හිතාගන්න බැහැ “
කෛලාශ් කීවේ සංවේගාත්මකවය.ඔහු මේ ව්‍යාපාරය පිළිබඳව අහස උසට බලාපොරොත්තු තබා ගෙන උන්නේය. දිවා රෑ නොබලා සැලසුම් ඇන්දේය.ඔහු මේ ශෝකයෙන් පසු වන්නේ බලාපොරොත්තු වූ ආකාරයට කටයුතු සිදුවී නැති නිසාය.
” සත්සර ඒවා හරියට බලලා නැද්ද පුතා ?”
” මෙතන තියෙන්නේ එයාගේ වැරැද්දක් නෙමෙයි අම්මා.එයා interior කරන්න දීපු කම්පනි එකේ වැරද්දක් “
සිදු වී ඇති අඩුපාඩුකම් පිළිබඳව බොහෝ විස්තර කෛලාශ් පවසන තුරු ඇන්ඩ්‍රියා සාවදානව අසා උන්නාය.ඔහු කුඩා කල සිටම හැදී වැඩුනේ ඉතා පිළිවෙලටය.ඔහු ඒ පිළිවල අන් සියල්ලන්ගෙන්ම ද බලාපොරොත්තු වූයේය.එය එසේ නොවූ විට ඔහු ඉතා ඉක්මනින් කලකිරීමට පත්වීම සාමාන්‍ය දෙයක් වුවත් එය කළමනාකරණය කරගන්නා ආකාරය ඔහු දැන සිටියේ නැත.
” ඕක කතා බහ කරලා මේ සති දෙක ඇතුළත කර ගන්න බැරි වෙන එකක් නෑ පුතා.දැන් ඉතින් ඔයත් ලංකාවෙ ඉන්න එකේ පොඩ්ඩක් මහන්සි වෙලා කලබල නොවි ඔය ටික කර ගන්න.ඔයා ආවෙම ඔය වැඩේට නිසා ඔයාට ඕන තරම් වෙලාව තියෙනව නේ ”
ඇන්ඩ්‍රියා ගේ වචන හමුවේ කෛලාශ් මදක් නිවුණු බව පෙනෙන්නට තිබුණේය.තවත් විනාඩි පහක් පමණ කතා කිරීමෙන් පසුව ඇන්ඩ්‍රියා දුරකථන ඇමතුම අවසන් කළ අතර කෛලාශ් ආහාර ගැනීම අවසන් කර පුටුවෙන් නැගී සිටියේ ඒ වන පිටත් සිතෙහි වූ නොසන්සුන් බව පහව ගොස් නොතිබූ නිසාය.
මන්දාකිණි බලා උන්නේ පසුදින උදෑසන එළඹෙන තුරුය.සවස් වරුවේ ශෙනාල් සමග ඇති වූ කතා බහ නිසා සත්සර හට ඇමතුමක් ලබා දීමට නොහැකි වූ බැවින් කාර්යාලයට ගිය සැණින් ඒ සඳහා වෙලාවක් වෙන් කර ගැනීමට මන්දාකිණි කල් බලමින් උන්නාය.හැකි තාක් කඩිමුඩියේ උදෑසන කාලයේ නිවසේ රාජකාරී කොටස නිමා කළ මන්දාකිණි විදුලි සෝපානය ඔස්සේ නිවාස සංකීරණයේ බිම් මහලේ පිහිටි වාහන අංගනයට පැමිණ වාහනයට නැගී දුරකථනය අතට ගත්තේ කාර්යාලයට යනතුරු වත් ප්‍රමාද වීමට සිත් නොදුන් නිසාය.දුරකථනය පිරික්සා සත්සර ගේ අංකය සොයා ගෙන තවත් තත්පර කිහිපයකට පසුව ඔහුගේ අංකය අමතා ඇමතුම සම්බන්ධ වෙනතුරු මන්දාකිණි නොඉවසිල්ලෙන් යුතුව බලා උන්නාය.
” හෙලෝ. ගුඩ්මෝනින් මන්දාකිණි “
සත්සර ගේ හඬෙහි වූ මිත්‍රශීලී බව මන්දාකිණිගේ සිතට සැනසුමක් ගෙන ආවේ නිරායාසයෙනි.ඔහු හට නැවත ඇමතුමක් දීමට තමා මේ තරම් ප්‍රමාද වීම පිළිබඳව මේ වන විට ඔහු නොරිස්සුමෙන් පසු වනවා යැයි සිතා සිටියත් එවැන්නක් සිදු නොවී තිබීම පිළිබඳව මන්දාකිණි හදවතින් දෙවියන් හට ස්තූති වන්ත වූවාය.
” ගුඩ්මෝනින් මිස්ටර් සත්සර. අනේ I am extremely sorry. “
” For what ? ”
” මට ඊයේ කෝල් බැක් කරන්න බැරි උනා.ඇත්තටම කිව්වොත් මම හිටියේ කෝල් කරන්න පුළුවන් සිටුවේෂන් එකක නෙවෙයි “
මන්දාකිණි දුන් පිළිතුරෙන් සත්සර බොහෝ දෑ වටහා ගත්තේය.
” ආ. ඒකට කමක් නෑ මන්දාකිණි “
” මිස්ටර් සත්සර කෝල් කරේ?”
” කෛලාශ් ට ඕන මේ ප්‍රොජෙක්ට් එක ඔයාටම ආපහු බාර දෙන්න.හැබැයි … “
සත්සර පැවසූ දෙය ඇසූවිට මන්දාකිණි ගේ සිතට සතුටකුත්, එසැණින්ම ප්‍රශ්නාර්ථයකුත් පැමිණියේය.
” ඇයි මිස්ටර් සත්සර ? “
” මේ හැමදේම හරිගස්සන්න අපිට තියෙන්නේ පොඩි කාලයයි මන්දාකිණි.මේ ටික දවස ඇතුළත ඔයා මේ හැමදේම හරිගස්සයි කියලා කෛලාශ් බලාපොරොත්තුවෙන් ඉන්නවා.මොකද මේ වෙලාවේ තව කෙනෙක් හොයලා මේ වැඩ ටික බාර දෙන්න අපිට ඇත්තටම බෑ කියලා ඔයාට තේරෙනවනේ.ඊට වැඩිය ලේසිම දේ තමයි ඔයාටම කියලා මේ ටික කර ගන්න එක.හැබැයි මේක ඔයාට කරන්න පුළුවන්ද කියන එක තමයි ප්‍රශ්නේ “
මන්දාකිණි දිගු සුසුමක් හෙලා ඉදිරියෙන් පෙනෙන වාහන පේළිය දෙස බලා ගෙන මොහොතක් උන්නාය.
” අනිත් එක තමයි මන්දාකිණි මම දන්නෙ නැහැ මේ වැරදිච්ච දේවල් හරිගස්සන්න කෛලාශ් මේකට වෙනමම වියදමක් කරයිද කියලා වත්.එයා මට කිව්වේ මේ හැමදේම ආපහු ඔයාට බාර දෙන්න කියලා විතරයි “
” හරි.සල්ලි ගැන ප්‍රශ්නයක් නෑ මිස්ටර් සත්සර.මේ අඩුපාඩුකම් උනේ මගෙන් නිසා මං ඒ හැමදේම කරලා දෙන්නං “
” ඕකේ.තැන්ක් යූ මන්දාකිණි “
මන්දාකිණි ආයාසයෙන් සිනාසුනාය.
” මමයි මිස්ටර් සත්සර තෑන්ක්ස් කියන්න ඕන.ඇත්තම කිව්වොත් මගේ පර්සනල් ලයිෆ් එකේ තිබුන පොඩි පොඩි ප්‍රශ්න වගයක් නිසා පහුගිය ටිකේ මගෙන් මේ වගේ මිස්ටේක්ස් උනා.හැබැයි ඉස්සරහට ඒක වෙන්න මං ඉඩ තියන්නෙ නැහැ.මිස්ටර් සත්සර ට පුලුවන්ද මට මිස්ටර් කෛලාශ් එක්ක මීටින් එකක් ඇරේජ්න් කරලා දෙන්න ? ”
” මං ඔයාට ඊළඟට කියන්න ගියේ ඒක ගැන තමයි.අද දවස ඇතුළත මම ඔයාට ටයිම් එකක් ඇරේන්ජ් කරලා දෙන්නං.ඒ ටයිම් එකට ඔයාටත් පුළුවන් නම් අපි මීටින් එකක් අරගෙන කෛලාශ් ට ඉස්සරහට වෙන්න ඕන මොනවද කියලා හරියටම දැන ගෙන වැඩ ටික ඉක්මනට කරමු.මොකද මොනවා කරන්නත් අපිට හරියටම සති දෙකයි තියෙන්නේ ”
මන්දාකිණි කාර්යාලය වෙත පැමිණියේ වෙනදාට වඩා පිරුණු හැඟීමෙනි.පසුගිය කාල වකවානුවේදී තමා අතින් සිදුවුණු අතපසුවීම් සහ අඩුපාඩුකම් නිසා මේ වන විට ව්‍යාපාරය තුළදී තමාට අහිමි වූ දෑ බොහෝය.සම්පූර්ණයෙන් අහිමි වන්නට ගොස් නැවත මේ අහම්බයකින් තමා වෙත නැවත ලැබුණේද එවැන්නකි. එය කිසිසේත්ම නැවත අහිමි කරගත යුතු නැත. ආයතනයට යම් තරමකින් පාඩුවක් සිදු කර ගෙන හෝ මේ ව්‍යාපෘතිය හෝටල් හිමිකරුට අවැසි ආකාරයට සම්පූර්ණ කර දී තමාගේ මෙන්ම තම ආයතනයේද ගරුත්වය ආරක්ෂා කර ගන්නට සිතමින් මන්දාකිණි කාර්යාල කාමරයට පැමිණ අසුන් ගත්තාය.
laptop පරිගණකය අතැතිව මීනූ මන්දාකිණිගේ කාර්යාල කාමරය වෙත පැමිණියේද ඒ මොහොතේමය.
” ගුඩ්මෝනින් මැඩම, අද මීටින්ග්ස් දෙකක් තියෙනවා “
මීනු ලැප්ටොප් පරිගණකය පරීක්ෂා කර එය මන්දාකිණි වෙත පෙන්වන අතරේ කීවාය.
” ඒ තියෙන එකක් කැන්සල් කරලා හරි කමක් නෑ අද අර මනුස්සයා කියන වෙලාවට මීට් වෙන්න යමු මීනූ “
මීනූ මුහුණේ ප්‍රශ්නාර්ථයක් සහිතව මන්දාකිණි දෙස බැලූවාය.
” මොන මනුස්සයද මැඩම් ? ”
” අර හොටෙල් ප්‍රොජෙක්ට් එකේ owner ට.එයා ප්‍රොජෙක්ට් එක ආපහු අපිටම දෙනවලු “
” අනේ ෂෝක් නෙ මැඩම්.කීයටද මීටින් එක? “
” මිස්ටර් සත්සර කතා කරල බලල ඉන්ෆෝම් කරන්නම් කියලා කිව්ව මට.හැබැයි මීනූ මේක ලේසි වෙන්නේ නැහැ.අතින් පාඩු කරගෙන හරි මේක අපි කරලා මිනිහව ෂේප් කර ගමු ”
” ඒකෙ ඕපනින් එකට තව සති දෙකක් වගේ නේද මැඩම් තියෙන්නේ? ඉතිං අපිට මේක කර ගන්න පුළුවන් වෙයිද ? ”
හෝටලයක් වැනි විශාල ඉදිකිරීම් ව්‍යාපෘතියක අභ්‍යන්තර නිර්මාණ කටයුතු සිදු කිරීම එතරම් පහසු කටයුත්තක් නොවේ.සත්සර ලබා දුන් සැලසුමට අනුව තමා එම හෝටලයෙහි අභ්‍යන්තර කටයුතු නිර්මාණය කළද එහි බොහෝ අඩුපාඩුකම් දක්නට තිබිණි.මේ එළඹ ඇත්තේ එම අඩුපාඩුකම් නිවැරදි කිරීමට අවස්ථාව නිසා කුමන ආකාරයකින් හෝ එය කළ යුතුව ඇත.
” මේක මොන විදියකින් හරි කරලා ඉවර කරන්න වෙනවා මීනූ. එහෙම වුණොත් අපි එළියෙන් කට්ටියව හරි අරගෙන හොඳ ප්ලෑන් එකක් හදලා මේක කරමු.මට මේ වැඩේ ගොඩ දාගන්න උදව් කරන්න මීනූ ”
ව්‍යාපෘතිය නැවත ලැබීමේ උද්‍යෝගය සහ සතුට මන්දාකිණි තුළ පැහැදිලිවම දක්නට තිබිණි.මේසය මත තිබූ දුරකථනය නාද වූයේ ඒ අතරය. මීනූ එය රැගෙන මන්දාකිණි අත තැබුවාය.
” කවුද ? ”


