සයමස් ගැබිනියක වූ දහරා සුභානි රත්නායක ත්‍රී රෝද රථයකින් පැමිණ තම නිවස ඉදිරිපසින් බැස ගත්තේ වෙහෙසකර අයුරින්ය. අලින්දයට වී කාන්තා පත්තරයක් කියවමින් උන් නැන්දම්මා ගස්සාගෙන නිවස තුළට යන අයුරු ඇය දුටුවේ ගේට්ටුව අරිද්දීය. දැන් ඇයට මේ ගැස්සිලි, පිප්පිලි හොඳින් හුරු පුරුදුය. දහරා නිවසට ඇතුළු වූ හැටියේම කලේ එන ගමනේදී රැගෙන ආ ඉඳිආප්ප පාර්සලය ලිහා පිඟානකට දමා ගැනීමය. අවසන වතුර උගුරු දෙකක් බී පිපාසය සංසිඳවාගත් ඕ පුටුවක් ඇද වාඩි වූවාය.
“කඩෙන් කෑම අරන් එනවනම් කලින් කියන්න තිබුනනේ. මෙතන උයල පිහලා අහක දාන්න හතර මහා නිධානේ පහළ වෙලා නෑ. මගේ කොල්ලා එපැයි හම්බ කරන්න. පිනට කකා බිබී ඉන්න මිනිස්සුන්ට කොහෙද ඒවයෙ වගක්.”
නැන්දම්මාගේ ගෙරවිලි පිප්පිලි තරමටම මේ ඇනුම් බැනුම්ද දැන් දහරාට හොඳටම හුරුය. ඈ මුළුතැන් ගෙයි වූ වලන් වලට එබුණේ ශ්‍රියාලතා නික්ම ගියාට පසුවය. ඇතිලියක පතුලේ ඉතිරිව තිබුනේ කඩල ඇට හත අටකි. උයා පිහා අහක දමන්නට සිදුවේයැයි පැවසුවේ ඒ කඩල ඇට ටික විය යුතුය.
දහරා බෑගයේ වූ ෆයිල් කවරය අතට ගත්තේ කාමරයට ගොස් විනාඩි කිහිපයක් ගිමන් හැරියාට පසුවය. නැන්දම්මා විසින් පැත්තකට කර තිබූ කාන්තා පුවත්පතක වූ කුඩා පිරිමි දරුවෙකුගේ ඡායාරූපයක් කපා ඕ ෆයිල් කවරය මත ඇලවූයේ ඊයේ පෙරේදාය. තත්පර කිහිපයක් ගතව යනතුරු ඒ සේයා රුව දෙස බලා උන් දහරා ඒ මත ඇඟිලි තුඩු ඇවිද්දෙව්වේ සීරුවටය. ඕ පැතුවේ පිරිමි දරුවෙක්ය. මනුජිත්ගෙන් ඇසූ සෑම විටකම ඔහුගේ පිළිතුර වූයේ “මොකා උනත් එකයි” යන්නය. එහෙත් මේ දුක් කන්දට ගැහැණු දරුවෙකු නොපැමිණිය යුතුයැයි දහරා සිය දහස් වතාවක් සිතුවාය.
“මීට වඩා බරක් තියෙන්න ඕනේ. වැඩීම බාල වුණොත් බබාට එක එක ලෙඩ එන්න පුළුවන්. චීස්, බටර් වගේ දේවල් ටිකක් වැඩිපුර ආහාර වේලට එකතු කරගන්න ඕන. මස් මාළු කිරි බිත්තර ටිකක් වැඩිපුර කැවෙන්න ඕනේ. පලා වර්ග…කොළපාට එළවළු වර්ග අනිවාර්යයි.”
සායනයේදී වෛද්‍යවරයා පැවසූයේ ඒ අයුරින්ය. දරුවා නිසාම ආහාරයක් ගත්තා විනා විටෙක දහරාට කුසගින්නක් නොදැණුන තරම්ය. සිතෙහි ගින්න ඊට වඩා වැඩිය. මේ ඕ පැතූ ජීවිතය නොවේ.
මනුජිත්ගේ නිවසේ ආහාර රටාව අමුතු එකකි. තමා මෙහි පැමිණෙන්නට පෙර සිටියේ අම්මාත් තාත්තාත් මනුජිතුත් පමණි. තාත්තා ටවුමේ කඩයක බිල් ලියන්නෙකු ලෙස රැකියාවෙහි නිරත වේ. මනුජිත් මූල්‍යමය ආයතනයක ගිණුම් පරීක්‍ෂකවරයකු ලෙස රැකියාව කරයි. උදෑසනම නිවසේ ආහාර සැකසෙන්නේ ඔවුන් දෙදෙනා මූලික කරගෙනය. පිරිමින් දෙදෙනාම උදෑසනත්, දහවලත් ආහාරය රැගෙන යන්නේ නිවසෙන්ය. යළිත් දහවල ආහාරය ගැන කිසිවෙකු සිතන්නේ නැත. අම්මා යළිත් උයන්නට පටන් ගන්නේ හවස හතර පහ වද්දීය. මනුජිත් සේම තාත්තාත් සවස නිවසට පැමිණෙන්නේම ‘ශ්‍රියාලතා බත් බෙදන්න… ‘යැයි පවසාගෙනය. ඒ ආහාර වේල අයත් වන්නේ රාත්‍රියටද දහවලටද යන්න තවමත් දහරාට සිතාගත හැකි කමක් නොවේ. රාත්‍රී අටට පමණ තේ එකක් සාදා ගන්නා නිවැසියන් තාත්තා පුරුද්දට සවසට ගෙන එන පාන් පෙත්තක් දෙකක් ඒ තේ එකෙහිම පොඟවාගෙන ආහාරයට ගනී. දහරා ඒ සබයට පැමිණෙන්නේ නැත. අවසන වලන් ඇතිලිවල ඉතුරු වී තිබෙන ආහාර ටික තම පිඟානට දමාගන්නා ඈ ඒවා සෝදා මුළුතැන් ගේ අස්කරන්නේ ඒ වේලාවටය. ඒ සමාගමයට තමා එක්වනවාට මනුජිත්වත්, අම්මාවත්, තාත්තාවත් කැමැත්තක් නොවන බව ඈ තේරුම් ගත්තේ මේ නිවසට පැමිණි මුල් කාලයේදීමය.
“ඔයා වෙනුවෙන් එහෙම කාල බීලා හරියන්නෙ නෑ කියලා මම දන්නවා පුතේ. ආච්චියි, සීයයි, තාත්තයි තුන්දෙනාම ඔයා හම්බ වුණාට පස්සේ වෙනස් වෙයි කියලා මට විශ්වාසයි. ඔයාගේ චූටි සීයා ඇවිල්ල යනකොට අතේ ගුලි කරලා යන සල්ලි අම්ම ලඟ නැතුව නෙමෙයි. ඒ උනාට ඒ සල්ලි වලින් මොනවා හරි ගෙනල්ලා මං කොහොමද තනියම කන්නේ. ජීවිතේ සමහර දේවල් ළං කරගන්නනම් ඉවසන්නම වෙනවා පුතේ. ඔයා අම්මට උදව් කරනවා නේද…අපි දරාගමු රත්තරනේ…”
දහරා එසේ පැවසූයේ තම කුස අතගාමින්ය. යමක් තේරුම් ගත්තා සේ කුස තුළ තුල දැඟලූ කුඩා ජීවියා යළි නිහඬ වූයේය. දහරා දවස පුරාම ඔහු හා කතා කරමින් සිටී. එය පුදුමාකාර සැහැල්ලුවකි.ඇඳ ඉහපත්තට කොට්ටයක් දමාගත් දහරා ඊට හේත්තු වූයේ දිගු සුසුමක් මුදා හැරියාට පසුවය.
ඇඳ මත මඳක් එහාට වන්නට වූ ජංගම දුරකථනය නාද වූයේ එවේලෙහිය. ඇමතුම නිශාදිගෙන්ය. ඒ නොදන්නා කුඩා කාලයේ සිටම දුකටත් සැපටත් දහරාට වූ එකම යෙහෙළියයි.
“ක්ලිනික් ගියාද….”
“ඔව් දැන් චුට්ට වෙලාවකට කලින් ආවේ.”
“මනුජිත් ආවද…”
“අපි ඒ ගැන කතා නොකර ඉමු..”
ඔහුට තවමත් මේ දරුවා ගැන වගක් නැති ගණනය. ඉඳ හිටක හෝ තමාගේ උවමනාවක් ආසාවක් පිළිබඳව ඔහු විමසූ බවක් ඇගේ මතකයේ නොවේ. අඩු තරමේ සායන වලට සහභාගී වනවාද නැද්ද පිළිබඳවවත් ඔහු සොයා බලන්නේ නැත. යුතුකමක් ලෙස දහරා කුමක් පැවසුවත් ඔහු කරන්නේ හිස වැනීම පමණි.
“එහෙම උනහම ඌට පුළුවන්නේ වගකීම් වලින් ලිස්සලා යන්න…”
ඒ පිළිවෙත ගැන දන්නා යෙහෙළිය පවසන්නේ ඒ අයුරින්ය.
“ඩොක්ටර් මොනවද කිව්වේ.”
“හොඳට කාල බීලා සතුටින් ඉන්න කියලා තමයි ඉතින්…”
“ඔය දෙක තුනම උඹ කරන්නේ නෑනෙ..මං නං කියන්නේ එක්කෝ ගෙදර වරෙන් බං. කවුරු නැතත් උඹව බලා ගන්න මේ වත්තේ මිනිස්සු ටික ඉන්නවා. ඇයි බං තමන්ගෙ දරුවා ගැන තාත්තට හැඟීමක් නැත්නම් වෙන කාටද හැඟීමක් තියෙන්නේ.”
“ඒක කරන්න බෑ…අමාරුවෙන් හරි මං මේ වැටුණු තැන පැල වෙන්න ඕනේ. සමහර විට ඒකට මට දීපු හයිය තමයි මේ දරුවා.”
“අනේ මන්ද බං.. උඹ මොන මොන දේවල් කරන්න හිතාගෙන ඉඳපු කෙනෙක්ද. පොඩි කාලේ ඉඳලම උඹ අපි හැමෝටම වඩා දක්ෂයි. මට මතකයි මනුජිත් ඉස්සර පිස්සුවෙන් වගේ උඹට ආදරේ කරපු හැටි. උඹ එනකල් කට්ට කාගෙන පැය ගානක් බොරැල්ලේ බස් ස්ටෑන්ඩ් එකට වෙලා බලාගෙන ඉඳපු හැටි. ක්ලාස් කට් කර කර එහෙ මෙහෙ යද්දි මං උඹට කිව්වා පරිස්සම් වෙයන් කියලා. දැන් ඉතින් මේ දේවල් කතා කරලා වැඩක් නෑ. මට තියෙන්නේ ඒ අතීතෙ මතක් වෙද්දි කේන්තියක්.”
“හැමදේම වෙන්නේ අපි පතාගෙන ආපු විදිහට. දන්නෙම නැතුව මගේ ලෝකෙම එයා වුණා. ඊට පස්සේ ආදරයකට කොහෙද සීමා මායිම්. මං වැරදි බව මං දන්නවා. ඒ උනාට දැන් ඉතින් කරන්න දෙයක් නෑ. මගේ හිතේ ලොකු විශ්වාසයක් තියෙනවා මේ දරුවෝ නිසාම මනූ වෙනස් වෙයි කියලා.”
“එහෙමවත් හිතාගෙන ඉමු. මොනවද දවල්ට කෑවේ..”
“මං එන ගමන් ඉඳිආප්ප ගෙනාවා. තව ටිකකින් උයනවනෙ බං.”
දහරා දුරකථනය විසන්ධි කළේ විනාඩි කිහිපයක්ම යෙහෙළිය හා කතා කරමින් සිටියාට පසුවය. සුපුරුදු ලෙස සායනයට සහභාගී වී යළි නිවසට පැමිණි බව පවසා මනුජිත්ට කෙටි පණිවිඩයක් තැබුවත් ඔහු එය කියවා තිබුණා මිස පිළිතුරු පණිවිඩයක් එවා තිබුනේ නැත.
දිගු සුසුමක් මුදා මුදාහළ දහරා දෑස් වසා ගත්තේ නින්දක අවශ්‍යතාවය දැනුණ නිසා නොවේ. කොහොමටත් සවසට ආපසු උයනා තුරුම මේ නිවසේ ඇයට කිරීමට තරම් දෙයක් වූයේ නැත. දහරා පැමිණෙද්දී වල් වැදී තිබූ මිදුල මේ ආකාරයෙන් හෝ සකස් කළේ ඇයය. මල් පැලයක් හෝ එළවළු පැලයක් සිටවනවාට මනුජිත්ගේ මව කැමති වූයේ නැත.
“ඕව තමයි අයිතිවාසිකම් පෙන්නන්න මුලින් මුලින් කරන්නේ. ඒකි හිටවපුවාවේ මං උගුලලා දානවා.”
නැන්දණියගේ ඒ හඬ අහම්බෙන් ඇසුණාට පසුව දහරා ගේ අතු ගෑවේත් ඇගෙන් අවසර ගත්තාට පසුවය.
දහරාට මනුජිත් හමු වූයේ ඇය උසස් පෙළ සඳහා පන්ති යමින් සිටියදීය. ආර්ථික විද්‍යාව සර් පන්තියට නොපැමිණි එක් සවසක ඒ වෙනුවට ඒවා තිබුනේ ඔහුගේ හොඳම ගෝලයා වූ මනුජිත්ය. ඒ ඔවුන්ගේ මුල්ම හමුවයි. පන්තියෙන් පිටවීමට පෙර දහරාගේ විස්තර අසා දැනගත් මනුජිත් ඉන්පසුව කිහිප වතාවක්ම ඈ එනතුරු බොරැල්ලේ රැඳී සිටියේය. ඒ සමහර හමුවීම් අහම්බයක් සේ ඇයට දනවන්නට උත්සාහ කළ කාලයක් ද විය. එහෙත් එය එසේ නොවන බව දහරා බොහෝ කල් නොගොස්ම වටහා ගත්තාය. ඒ වද්දී ඔහු ආර්ථික විද්‍යා ගුරුවරයා හමුවීමේ මුවාවෙන් පන්තිය ලඟට පැමිණෙන වාර ගණනද වැඩිවී තිබිණ.
“උඹට දැන්වත් තේරෙනවද ඌ එන්නේ උඹව බලන්න කියලා..”
මුලින්ම එසේ පැවසූයේ නිෂාදිය. දහරාගේ සිතෙහි වූ සැකය සැබෑවක් වෙන්නට තවත් බොහෝ කල් ගත වූයේ නැත. එදා නිශාදී ඇය හා පන්ති නොපැමිණි දිනයකි.
“ඔයාට තේරුනේ නැද්ද මං එන්නේ ඔයාව බලන්න කියලා. දහරා මං ඔයාට කැමතියි. කැම්පස් එකේදි කෙල්ලො ඕන තරම් මුණ ගැහුනට මට ඔයා තරම් විශේෂ කෙල්ලෙක් කොහෙදිවත් හම්බවෙලා තිබුනේ නෑ. ප්ලීස් දහරා…කල් ගන්නෙ නැතුව ඔයාගේ කැමැත්ත මට කියන්න.”
මනුජිත් එසේ පැවසූයේ එකසිය හැත්තෑ හය කරගම්පිටිය දෙහිවල බස් රථයක එකිනෙකට සමාන්තරව සිට ගෙන සිටියදීය. ඔහු සිය දකුණත යවා අසුනක කෙළවරක් අල්ලා ගත්තේ ඇයව තම දෑත් වලට මැදිවෙන පරිද්දෙන්ය. ප්‍රථම වරට පිරිමි සුසුමක උණුසුම ඒ සා ළඟින් දැනුණු යුවතිය කිති කැවී ගියාය.
තමාගේ පිළිතුර කුමක්දැයි නොඅසාම ඔහු අනාගතය ගැන සිහිනයක් සිත්තම් කරමින් සිටියේය. දහරා ඊට සවන් දීගෙන සිටියේ ආසාවෙන්ය. ඉන්පසු ගතව ගිය කාලය ඇයට ඇයව අමතක කරවන තරම් එකක් විය. නිශාදී එපා කියද්දීත් පන්ති කට් කළ ඇය මනුජිත්ගේ දකුණතෙහි එල්ලී මුහුදු වෙරළේත් උද්‍යාන ගානේත් ඇවිද ගියාය. ජීවිතයේ තිබූ සියලු හිස්තැන් පිරවී ගියාක් බඳු හැඟීමක් ඇයට දැනෙන්නට විය. කොළඹ විසිතුරු බඩු නිපදවන කර්මාන්ත ශාලාවක සේවය කරමින් තමාව උස්මහත් කරමින් උගන්වන අම්මාගේ හීන පිළිබඳව ඇයට වගක් නොවූ තරම්ය.
එහෙමම දෑස් පියවී ගිය දහරා අවදි වූයේ ශ්‍රියාලතාගේ කෑ ගැසීමෙන්ය. කොහොමටත් ඈ කතා කරන්නේ නිවස දෙදරා යන තරම් උස් හඬකින්ය. කලබලයෙන්ම නැගී සිටි දහරා කාමරයෙන් පිටතට ගියේ සිය හිසකේ ඇඟිලි තුඩුවලින් සකසා ගත්තාට පසුවය.
(හෙටත් හමුවෙමු ආදරයෙන්…..)

