හමුවීම සඳහා වේලාව ලෙස කෛලාශ් දහවල් තුන ලබා දී තිබූ අතර ඒ හමුවීම මන්දාකිණිගේ කාර්යාලයේ පැවැත්වීමට හැකිදැයි ඔහු විමසීමක් ද කර තිබුණි.මන්දාකිණි ඒ සඳහා ඉතා කැමැත්තෙන් අවසර ලබා දුන් අතර ඇය දහවල් වරුවට යෙදී තිබුණු වැඩ සියල්ලම ලහි ලහියේ උදෑසන කාලය තුළදී අවසන් කිරීමට යුහුසුළු වූවාය.
” ඔය ගෑනු මනුස්සයා ඔෆිස් එකේදිවත් හරියට වැඩ කරනවද කියල බලාගන්නයි මට ඕන වුණේ “
කෛලාශ් කීවේ සත්සර ගේ වාහනයට නගින අතරේය.
” මං ඒත් බැලුවා මීටින් එකකට මෙච්චර මේ අවට තැන් තියෙද්දි උඹ මොකටද ඒ ඔෆිස් එකේම මේක දාගත්තේ කියලා “
සත්සර වාහනය දැමූයේ සේපාල ගේට්ටුව වසන ආකාරය පැති කන්නාඩියෙන් බලමිනි.කෛලාශ් මද සිනහවක් කට කොනකට නගා ගන්නා අතරේ අව් කන්නාඩිය පැළඳ ගත්තේය.
” උඹ දන්නවනේ හේතුවක් නැතුව මං කිසි දෙයක් කරන්නෙ නෑ කියලා “
සත්සර කිසිවක් කීවේ නැත.මන්දාකිණි මේ මොහොතේ සිටින්නේ කුමක් හෝ අවුල් සහගත තත්ත්වයක බවත්,ඇය අතින් සිදුවී ඇති සියළුම අඩුපාඩුකම්වලට හේතුව එය බවත් සත්සර ඒ වනවිට තේරුම් අරගෙන උන්නේය. නමුත් එවැනි කාරණා කෛලාශ් හට කිසිසේත්ම අදාළ නොවන නිසා ඔහු ඒ පිළිබඳව කිසිවක් කෛලාශ් සමග නොකියා සිටියේය.
දහවල් වරුවේ යෙදී තිබුණු වැඩ පවා උදෑසන කාලයේ අවසන් කිරීමට වෙහෙසුණු නිසා මන්දාකිනි උදෑසන ආහාරය සඳහා වත් විනාඩියක් හෝ වැය කළේ නැත. කෛලාශ් සහ සත්සර තමා හමුවීම සඳහා පැමිණෙන්නේ දහවල් තුනට නිසා මන්දාකිණි දහවල් ආහාරය ලබා ගැනීම සඳහා කෑම කාමරය වෙත යන්නට සූදානම් වූයේ දහවල් දෙකට පමණය.
” ඔක්කොම ලෑස්තියි නේද මීනූ ? ”
මන්දාකිණි නැවත වාරයක් මේසය මත තිබුණු ලැප්ටොප් පරිගණකයට නැඹුරු වෙමින් අසල හුන් මීනු ගෙන් විමසා සිටියාය.
” කලින් වැඩ වෙච්ච විදිහයි , ඉස්සරහට අපි කරන්න හිතන් ඉන්න වැඩවල ප්ලෑන් එකයි ඔක්කොම මං එක ෆයිල් එකකට දාලා ලෑස්ති කරලා තියෙන්නේ මැඩම්.මැඩම්ට තියෙන්නේ එයාලට ඒ ටික හරියට explain කරන්න විතරයි අපි කතා කර ගත්ත විදිහට “
මීනූ සැහැල්ලු හඬකින් එසේ කීවත් මන්දාකිණිගේ හදවතට දැනෙමින් තිබුණු බර බිඳකින් හෝ අඩු වී තිබුණේ නැත.
” මට හිතා ගන්න බෑ ඒ මනුස්සයා මොන වගේ කෙනෙක්ද කියලා. එයා මීටින් එක තියන්න මේ ඔෆිස් එකම ඉල්ලුවේ මොකක් හරි හේතුවක් හින්දා කියලමයි මට හිතෙන්නේ “
” ඔය හොටෙල් එකේ owner මං හිතන්නේ මිස්ටර් සත්සර ගේ වයසම වගේ ඇති මැඩම්.හැබැයි ඉතින් ගති පැවතුම් නම් වෙනස් ඇති පිටරටක හැදිච්ච හින්දා “
” එන විදිහක් බලමුකෝ.කොහොමත් ඒ මනුස්සයා තීරණය කරලා ඉවරයිනෙ මේ ප්‍රොජෙක්ට් එක ආපහු අපිටම දෙනවා කියලා “
මන්දාකිණි කෑම පෙට්ටිය සහිත කුඩා බෑගය ගෙන කෑම කාමරය වෙත පැමිණියේ බර වූ හදවතිනි. කෛලාශ් යනු කුමන ආකාරයේ පුද්ගලයෙකුදැයි කියා හරියටම දැන ගත හැකි වන්නේ තවත් හෝරාවකිනි. ඒ කෙසේ වුවත් තමන්ට අයත් රාජකාරිය නිසි ආකාරව මින් ඉදිරියට සිදු කරන්නට මන්දාකිණි සිතා ගත්තේ දැඩිවය.
කෛලාශ් සහ සත්සර Elegant Space By Mandi වෙත පැමිණෙන විට වේලාව සවස දෙකයි විස්ස පමණ විය.කෛලාශ් මද වේලාවක් ඉදිරියෙන් පෙනෙන ගොඩනැගිල්ල දෙස බලා උන්නේය.
” අපි යමු නේද ඇතුලට ? ”
කෛලාශ් කමිසයේ කොළරය සකස් කර ගනිමින් සත්සර ගෙන් ඇසුවේය.
” මචං අපි ගොඩක් කලින් ඇවිල්ලා තියෙන්නේ.පොඩ්ඩක් ඉඳලා යමු නේද? ”
” හරි හරි අපි කලින් ආවට මීටින් එක තුනටනේ ගන්නෙ.ඔන්න ඔහේ යන් “
කෛලාශ් , සත්සර සමඟ රථයෙන් බැස ඉදිරියට ආ අතර සත්සර ඉස්සර වී Elegant space By Mandi වෙත ඇතුළු වූයේය. සිත පහන් වී යන තරමේ ලා පැහැයන් වලින් සමන්විත වූ බිත්ති සහ තැන තැන තබා තිබූ ස්වභාවික පැල සහිත පෝච්චි ද කෛලාශ් ගේ සිතට ගෙන ආවේ පහන් වූ හැඟීමකි. සුඛෝපභෝගී හෝටල් වලින් පමණක් නැඟෙන මනස සන්සුන් කරන ආකාරයේ සෞම්‍ය සුවඳකින් ද යුතු ආයතනයකට තමා පැමිණියේ ප්‍රථම වතාවට යැයි කෛලාශ් සිතුවේය. අවේලාවේ ආයතනයට ඇතුළු වූ තරුණයන් දෙදෙනා පිළිබඳව මුලින්ම විමසිලිමත් වූයේ පිළිගැනීමේ නිලධාරිනිය ය.
” අපිට මිස් මන්දාකිණි එක්ක තුනට මීටින් එකක් තියෙනවා ”
සත්සර කීවේය.පිළිගැනීමේ නිලධාරිනිය laptop පරිගණකය පරීක්ෂා කර බලා අනතුරුව සිනාමසු මුහුණක් පෑවාය.
” මිස්ටර් සත්සර නේද? ”
” යස් “
” මේ කොරිඩෝ එක දිගේ ගිහින් දකුණු පැත්තෙ තියෙන office එකට යන්න. මිස් මන්දාකිණි මේ වෙලාවෙ මං හිතන්නේ ලන්ච් ගන්නවා.මිස්ටර් සත්සරලා ඇවිල්ලා ඉන්න කියලා මම inform කරන්නම් ”
” ලන්ච් ගන්නවා නම් ඩිස්ටර්බ් කරන්න එපා.මොකද අපි තමයි කලින් ආවේ “
එසේ කියූ සත්සර ,කෛලාශ් සමග පිළිගැනීමේ නිලධාරිණිය කියූ සලකුණු ඔස්සේ මන්දාකිණිගේ කාර්යාලය වෙත ඇතුළු වූයේය.එයද ආයතනයට ඇතුළු වන තැනටම නොදෙවනි ආකාරයේ සුන්දර සහ පිළිවෙල කාර්යාල කාමරයක් විය.
” මොකද බං උඹ බය වෙලා වගේ ? ”
ආයතනයට ඇතුළු වූ මොහොතේ පටන් වචනයක් හෝ නොදෙඩූ කෛලාශ් දෙස බලා සත්සර විමසුයේය.
” කම්පනි එකේ interior නම් next level.මගේ වැඩේ තමයි අනලා තියෙන්නේ ”
සත්සර පිළිතුරක් නොදී සිනාසුනේය. තමාගේ කාර්යාලයේ අභ්‍යන්තර නිර්මාණ කටයුතු මන්දාකිණි තමා බලාපොරොත්තු වූවාටත් වඩා ඉතා හොඳින් ඉටුකර දුන් නිසා මේ සිදු වූ අතපසුවීම් වලට යම් හේතුවක් ඇතැයි සත්සර සෑම මොහොතකම ඇය හට සමාව දීමට සිතුවේය.එහෙත් කෛලාශ් ගේ සිතුම් පැතුම් ඊට හාත්පසින්ම වෙනස් නිසා ඔහු මේ හමුවීමේදී සියල්ලක්ම කතාබහ කර අවසන් කර ගනු ඇතැයි සත්සර බලාපොරොත්තු වූයේය.
” වෙලාවට වැඩක් කරන්න නම් දන්නේ නෑ වගේ මේ මනුස්සයා “
කෛලාශ් උවමනාවෙන්ම මන්දාකිණි පිළිබඳව පහන් හැඟීමක් ඇතිකර ගත්තේය.
” හා හා මේ.අමතක කරන්න එපා උඹයි මමයි තමයි මෙතනට කලින් ආවේ කියලා.ඒ මනුස්සයා කාලා බීලා තුන වෙනකොට මෙතනට එයිනේ.අනික අර කෙල්ල කියන්න ඇතිනේ අපි ආවා කියලා “
” උඹට මාර අනුකම්පාවක් නේද තියෙන්නේ? ”
කෛලාශ් සමච්චල් සහගත සිනහවක් පාමින් මදක් නුදුරින් ඇති බිත්තියේ එල්ලා තිබුණු මන්දාකිණි ගේ සහතික පත්‍ර සහ රාමු කර තිබූ අනෙක් පින්තූර වෙත අවධානය යොමු කළේය.එකවරම කෛලාශ් ගේ දෑස් යොමු වූයේ විශාල කර රාමු කර තිබුණු මන්දාකිණි උපාධිය ලබාගත් දින ගෙන තිබූ ඡායාරූපයක් වෙතය.කෛලාශ් වාඩි වී සිටි තැනින් නැගී සිටියේ ඉබේටමය.අනතුරුව ඔහු සෙමෙන් පියවර තබා ඡායාරූපය අසලට පැමිණ තත්පර ගණනාවක් ඒ දෙස බලා උන්නේය.
” මට මෙයාව හොඳට දැකල පුරුදුයි ”
කෛලාශ් සත්සර බලා නැවත මන්දාකිනිගේ ඡායාරූපය දෙස දෙනෙත් හෙළුවේය.
” වෙන්න බෑ.මං හිතන්නේ නෑ මන්දාකිණි ඕස්ට්‍රේලියාව පැත්ත පලාතෙ වත් ඇවිල්ලා ඇති කියලා “
සත්සර සිනාසෙමින් පිළිතුරු දුන් අතර කෛලාශ් මන්දාකිණි ගේ ඡායාරූපය වෙතින් දෑස් ඉවතට ගත්තේම නැත. මොහොතක් ඒ දෙස බලා හිඳ කෛලාශ් මොහොතකට දෑස් තදකර පියා ගෙන දිගු හුස්මක් ගත්තේය.නැවත දෑස් හැර ඡායාරූපයේ සිටින මන්දාකිණිගේ දෑස් දෙස හොඳින් බැලුවේය.
තවත් තත්පර ගණනාවක් ඇතුළතදී කාර්යාල කාමරයේ දොර විවෘත වී මන්දාකිණි කලබලයෙන් ඇතුළු වූයේත් කෛලාශ් හැරී බැලුවේත් එකවරමය.
” අනේ I am sorry මිස්ටර් සත්සර. මං ලන්ච් ගන්න ගියා “
මන්දාකිණි සමාව අයදින ස්වරයෙන් කියමින් තම අසුන වෙත පැමිණි අතර පසෙක සිටි කෛලාශ් මන්දාකිණි දෙස එක එල්ලේ බලමින් පැමිණ අසුන අසලින් සිට ගත්තේය.වාඩි වී සිටි සත්සර අසුනෙන් නැගී සිට සිනා මුසු මුහුණින් කෛලාශ් වෙත යන්තමින් අත දිගු කරමින් මන්දාකිණි වෙත ඔහුව පෙන්වා සිටියේය.
” මන්දාකිණි මේ කෛලාශ් “
මන්දාකිණි පැහැදිලි සිනහවකින් කෛලාශ් දෙස බලා අත දිගු කලේය.
” හායි මිස්ටර් කෛලාශ් “


