“ඔයා ඊයෙ එද්දී රෑ උන නිසා මට ක්ලිනික් එකේ විස්තර කියන්න බැරි උනා. මනූ ඩොක්ටර් කිව්වා බබාගේ බර මදියි කියලා. මට පෝෂ්‍යදායි ආහාර ගන්න කියලා තමයි කිව්වේ….”
දහරා මනුජිත් පැවසූයේ උදෑසනය. ඔහු උන්නේ කාර්යාලයට යාමට සූදානම් වන අතරේය. උදෑසන උයා පිහා දහරා කාමරයට පැමිණියේ අම්මා පැමිණ මනුජිත්ගේත් පියාගේත් කෑම පාර්සල් බෙදෙනා අතරේය. අන් සියල්ල මගහැරියත් ඈ ඒ කාර්‍යය තමා වෙතම පවරා ගනී. සුදු පසුබිමේ නිල් පැහැ ඉරි වැටුණු කමිසයත් කළු කලිසමත් අයන්කර මින් විනාඩි කිහිපයකට පෙර ඇඳ මතින් තැබුවේත් දහරාමය.
“ඉතින්…”
මනුජිත් පැවසූයේ නොසැලකිලිමත් අයුරින් කණ්නාඩිය දෙසට හැරෙමින්ය.
“ඔයා මට කන්න නොදෙනවා කියලා කියනවා නෙමෙයි. ඒ උනාට ඩොක්ටර් කෑම ලිස්ට් එකක්ම කිව්වා. මිඩ්වයිෆ් මිස් කීප සැරයක්ම ඒ ගැන මට අවවාදත් කලා. දරුවාගේ වැඩීම මදි වෙද්දි එක එක රෝගාබාධ එන්න පුළුවන් කියලත් කිව්වා.”
“ඉතින්…..”
“අනේ හැමදේටම ඉතින්… ඉතින් කියන්න එපා මනුජිත් මේ අපේ දරුවා.”
“නෑ අපේ නෙමෙයි ඔයාගේ. මොකද මට දරුවෙක් ඕන කාලෙක නෙමෙයි මෙයා අපේ ළඟට ආවේ.”
“අනේ එහෙම කියන්න එපා මනුජිත්. අපි දන්නෙම නැතුව කොහොම හරි එයා අපි ළඟට ඇවිත්. ඒ ඔයාගෙයි මගෙයි දරුවා කියලා ඔයා හොඳටම දන්නවා.”
“මං කොහොමද දන්නේ? තවම ඩී එන් ඒ ටෙස්ට් එකක් කලේ නෑනේ.”
ඔහුගේ ඒ වදන් ඊයම්බරු සේ ලය පසාරු කරගෙන ගොස් ඇමිණෙන්නේ ඇගේ හදවත පතුලේමය. එහෙත් ඕ ඉවසා සිටියාය.
“මොන හිතකින් ඔයා ඔහොම කතා කරනවද කියන්න මට තේරෙන්නෙ නෑ. මනූ මං මේ කතා කරන්නේ අපි දෙන්නගෙම දරුවා ගැන.”
“ඔය කෙහෙල්මල් මට වැඩක් නෑ මට පරක්කු වෙනවා. ඩොක්ටර් කන බොන පිළිවෙල කියල දුන්නනම් ඔයාට තියෙන්නේ ඒ විදිහට කාලා බීලා ඉන්න. කවුරුවත් ඒක තහනම් කරලා නෑනේ. හැමදාම උදේ පාන්දර එක එක ඒවා කියවලා මට හිසරදයක් වෙන්න එපා.”
“එතකොට මං මොන වෙලාවටද කතා කරන්න ඕනේ. මේ දේවල් ඔයත් එක්ක නොකිය මං කාත් එක්ක කියන්නද. හවසට ගෙදර ආවහම ඔයා කියනවා ඔෆිස් එකේ මහන්සි වෙලා ඇවිල්ලා ඉන්න වෙලාවට කියවන්න තියාගන්න එපා කියලා. ඊට පස්සෙ කියනවා උදේටත් කතා කරන්න එපා කියලා.”
“දහරා මේ….මාත් එක්ක එකට එක කියන්න ලෑස්ති වෙන්න එපා. ඔයාගේ ප්‍රශ්න වලට උත්තර තියෙන්නේ මගේ ළඟ නෙමෙයි ඔයාගේ මාම ලඟ. මතක තියාගන්න එයා ඔයාව මෙහෙට ගෙනත් දැම්මේ බලෙන්. එයාගේ ලොකුකම් පෙන්නලා. මේ කසාදෙ අපි කාගෙවත් කැමැත්තකින් කෙරුණු දෙයක් නෙමෙයි. ඒක ඔයාලගේ ගෙදර මිනිස්සුන්ගේ කැමැත්තෙන් විතරයි සිද්ධ වුණේ.”
“මනෝ මේ දරුවා අපි අතරට ආපු හින්දයි එහෙම දෙයක් කරන්න අපේ ගෙදර අය හදිස්සි උනේ….”
“ඒකත් මගේ පිට පටවන්න එපා. මං තමුන්ට ඒකට අවශ්‍ය කරන දේවල් ගෙනත් දීලා තිබුණේ.”
අපි දෙන්නා ආදරය කළේ කවද හරි එකතු වෙන්න බලාගෙන මනූ. ඒක ටිකක් කලින් සිද්ද වෙන්න ඇති. ඒ උනාට මේ සිද්ධ වුණේ වෙන්න ඕන දේ..
මනුජිත් කාමරයෙන් පිටවූයේ දහරා අවසන් වදන් කිහිපය පවසද්දීය. ආපසු හැරී බලා යන්නම් කියා කියන්නටවත් ඔහුට උවමනාවක් වූයේ නැත. මෙම නිවසට පැමිණ ගතව ගිය දෙමාසයම ගතවූයේ මේ අයුරින්ය. දිගු සුසුමක් මුදා හල යුවතිය ඔහු තෙත පිටින් ඇඳ මත දමා ගිය තුවාය අතට ගත්තේ වැලෙහි වනන්නටය. අම්මාගේත් තාත්තාගේත් දෙපා නැමද සමුගන්නට අවසර පැතූ මනුජිත් අම්මාව සිප ගන්නා අයුරු දහරා හොඳටම දුටුවාය. දෑස් මත කඳුලක් මෝදු වූයේ තමා ගැනම උපන් ආත්මානුකම්පාවටය.
‘ආදරෙයි කියලා සමහර මිනිස්සු සුරංගනා හීන පෙන්නනවා. දන්නෙම නැතුව දවසක ඒ හීන පිටිපස්සේ ඇවිදගෙන ගිහිල්ලා අපි තනි වෙනවා. ඒ ලෝකේ ඒ පෙන්නන තරම් ලස්සන නෑ කියලා දැන ගතපු දවසට හිතට දැනෙන්නෙ හරියට මහා කන්දක් උඩට ගෙනිහිල්ලා පල්ලෙහාට තල්ලු කරනවා වගේ හැඟීමක්. අද මං ඉන්නෙත් ඒ හැඟීම ඒ විදිහටම විඳින ගමන්. වෙලාවකට මට හිතෙනවා මං වැරදිලා වෙන කෙනෙක් කසාද බැන්දද කියලා. මිනිස්සුන්ට ඒ තරමටම වෙනස් වෙන්න පුළුවන්ද…හැමදේම නිවැරදි නොවෙන්න පුළුවන්. හැබැයි ඉතින් මනුස්සයෙක් වෙනුවෙන් තවත් මනුස්සයෙක්ගේ හිතේ පුංචිමවත් අනුකම්පාවක් උපදින්නේ නැද්ද…ජීවිතේ මේ තරම් ගැඹුරුයි කියලා මට කියලා දෙන්න කෙනෙක් හිටියේ නෑ. සමහර විට මං මේ තරම් මෝඩියෙක් වෙයි කියලා අම්මා හිතන්නත් නැතුව ඇති’
තුවාය වැලෙහි දමා ආපසු නිවස තුළට පැමිණි දහරා එසේ ලියා තැබුවාය. දුක සිතෙන සෑම විටකම ඇය කතා කළේ මේ අකුරු සමගය. ඒ පුරුද්ද කවදා කොතැනකදී ඇති වූ එකක්දැයි ඇගේ මතකයේ වූයේ නැත. මාස එකහමාරකට පමණ ඉහත සිට ඈ මේ සටහන් පොත ලියන්නට පටන් ගත්තේ දරා ගනු නොහී වූ තැනකදීය.
උදෑසනට කංකුං තෙල් දමා පරිප්පු හින්දවා ලින්නා මාලු කෑලි හතරක් මිරිසට ඉව්වේ මනුජිත්ටත් ඔහුගේ පියාටත් ගෙන යාම සඳහාය. ගෙදර මසක් මාළුවක් නොවූ දවසට මනුජිත්ගේ මව උම්බලකඩ කෑල්ලක් තම බත් පතට එක් කරගන්නා අයුරු දහරා දැක තිබේ.
“උඹ ඔබේ ළමයා වෙනුවෙන් කාල බීල ජීවත් වෙයං. මනුජිත් ළමයා පෙන්නලා එයාගේ ආදරේ ගන්න හරි අනුකම්පාව ගන්න හරි උඹේ දරුවා හොඳින් මේ ලෝකෙට ඉපදෙන්න ඕනේ. අන්න ඒ නිසා එයා මෙයා ගැන හිතන්නේ නැතුව ඔය හන්දියේ කඩේකට ගිහිල්ලා මොනවා හරි ගෙනල්ලා හදාගෙන කාපං. මාමා පුළු පුලුවන් වෙලාවට උඹට කීයක් හරි එවන්නේ ඒවා එකතු කරලා තියලා ඒ මනුස්සයා ආපහු ගන්න හිතාගෙන නෙමෙයිනේ…”
ඊයේ නිශාධි පැවසූයේ ඒ අයුරින්ය.
“වමනෙ ගියාට කමක් නෑ වමනේ දාන දාන සැරේට මොනවා හරි බඩ ඇතුලට දාගන්න ඕනේ එහෙම නැති උනොත් ළමයගෙ වැඩීම බාල වෙනවා.”
ඒ හා සමගම දහරාට සිහිවූයේ සේකර වත්තේ ජීවත් වද්දී ආච්චී යාබද නිවසක ගැබිනියකව උන් කාන්තාවකට පැවසූ අයුරුය. දැන් දැන් දහරාගේ සිතෙහි ඇත්තේ බියකි. වරින් වර තමා බලන්නට ආ අම්මා අත චූටි මාමා එවා තිබූ මුදල් වල එකතුව රුපියල් විසි දහසක් පමණ විය. ඔහුට මේ මුදල් කෙසේ ලැබෙනවාද යන්න අදටත් දහරා දන්නේ නැත. විමසූ විට කියන්නේ “චූටි මිස් මං ඉතින් හම්බවෙන ඕන වැඩක් කරන මිනිහනේ…” යනුවෙන්ය.
රුපියල් දහසක් අත මිට මොලවා ගත් දහරා නිවසින් පිටව යන්නට තිබූ හොඳ ගවුම් දෙකින් එකකින් සැරසුණේ හන්දියට යාමට සිතාගෙනය. මාළු පන්සියයකුත් පලතුරකුත් මිලදී ගන්නට ඒ මුදල හොඳටම ප්‍රමාණවත්ය.
මනුජිත්ගේ මව දුරකථනයෙන් කවුරුන් හෝ සමඟ කතා කරමින් සිටින හඬ දහරාට ඇසුණේ විසිත්ත කාමරය හරහා ආලින්දයට යමින් සිටියදීය. නිවසින් පිටව යාමට ඇගෙන් අවසර පතන්නට බලා උන් දහරාට ඒ හඬ හොඳින් ඇසෙන්නට විය.
“නෑ…. නෑ මං බලවපු තැන් දෙකකින්ම කිව්වා. කොල්ලගේ බඩට දෙයක් දීලා තමයි අල්ලගෙන තියෙන්නේ..හොඳ මිනිස්සු නෙමෙයිනේ.”
නැන්දම්මා නිහඬ වූයේ එහා පසින් කිසිවෙකු යමක් පැවසූ නිසා විය යුතුය.
“එව්ව කොහෙද මමත් එක්ක. දුන්න දේ දෙපිටින් යන්න වැඩ කරන්න මමත් දන්නවා. මේ අවස්ථාව නිසා කවුරුත් වැඩේට අත ගහන්නේ නෑ. අනේ ඉතින් මගේ අහිංසක කොල්ලගේ ජීවිතේ විනාස වුණා. බඩට නොකා අමාරුවෙන් උගන්නලා විශ්ව විද්‍යාලේ යවලා අපිට ගැලපෙන හරි හමන් තැනකින් ගෑනියෙක් ගේනකල් බලාගෙන හිටියා. නංගියේ මට දුප්පත් උනත් කමක් නෑ අපිට නෑකම් කියන්න පුළුවන් වැදගත් තැනකනම්…”
යළිත් ඕ නිහඩව තත්පර කිහිපයක් ගත කරන්නට විය. දුරකථනය එහාපස සිටින්නේ මනුජිත්ගේ නැන්දායැයි දහරා අනුමාන කළාය. මෙන් පෙර කිහිප වතාවක්ම නැන්දම්මා ඇය හා තමාට දෙස් දෙවොල් තබනු දහරා අසාගෙනය.
“නෑ නංගියේ…ගුණසේකර කපු මහත්තයා බලන් හිටියා වගේ කිව්වා. අපේ ගෙදරට මූ දේවි ආවා වගේ තමයි. කාටවත් කිසි වගතුවක් නෑ. මට නං තේරෙන්නේ නෑ මොනව කරන්නද කියලා.
එහෙනම් එහෙම කරමු නංගි. පුතාලයි තාත්තට නිවාඩුවක් දාන්න කියලා හරි මං එන්නම්කෝ..”
සංවාදය නතර වූවත් දහරා ආලින්දට යාම මදක් පමා කළාය. තමා අතින් ඔවුනට සිදු වූ වරදක් නොවූවත් මනුජිත්ගේ මවත් පියාත් මේ අයුරින් තමාගෙන් පළිගන්නේ කුමන හේතුවක් නිසාදැයි දහරාට නොතේරේ. දැන් ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ ගුරුකම් වලින් තමාත් මනුජිත්වත් වෙන් කිරීම විය යුතුය. හන්දියට යාම පසෙක තබා දහරා ආපසු හැරුනේ කලකිරී ගිය සිතුවිලි වලින්ය. එහෙත් ගේට්ටුව ඉදිරිපස ත්‍රී රෝද රථයක් නවතන හඬ ඇයට ඇසුණේ එවේලෙහිය. ආපසු හැරුණු තරුණිය දුටුවේ දෑත් වලින් එල්ලාගෙන යාමට නොහැකි තරම් බඩුමලු සිය දෑත්වල එල්ලාගෙන ත්‍රී රෝද රථයෙන් බැසි අම්මාය. සිනහවත් කඳුලත් එකට එක් වූයේ නිරායාසයෙන්ය. දහරා ගේට්ටුව වෙත දිව ගෙන ගියේ තමා ගැබිනියක බවද අමතක කරමින්ය.
(යළිත් හමුවෙමු ආදරයෙන්…)


