මතකයක සේයා – 10

0
1809

” උඹ මන්දාකිනි ගැන හිතාගෙන හිටපු දේ එතනට ගිහින් එයාව හම්බ උනාට පස්සේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා නේද ? “

සත්සර ඇසුවේ චේතනාන්විතවය.දැන් මේ සිටින්නේ පැය කිහිපයකට පෙර මන්දාකිණි ගේ ආයතනයට ගිය කෛලාශ් නොවේ.ඊට හාත්පසින්ම වෙනස් වූ පුද්ගලයෙකි.

” ඇත්තටම ඔව්.මං හිතුවා වෙලා තියෙන දේවල් වල හැටියට මන්දාකිණි කියන්නේ කිසිම වගකීමක් නැති ඕනෑවට එපාවට වැඩ කරන අපිළිවෙල ගෑණු කෙනෙක් කියලා “

සත්සර මුවට ආ සිනහව ආයාසයෙන් මැඩ පවත්වාගෙන රථය ඉදිරියට පැදවූයේ තමා මොහොතකටවත් මන්දාකිණි පිළිබඳව අවතක්සේරු නොකළ සතුට විඳිමිනි.

මන්දාකිණි කාර්යාල කාමරයට වී ලැප්ටොප් පරිගණකය දිග හැර ගෙන ආරක්ෂිත කැමරා පද්ධතියට ඇතුළු වී පසුගිය පැය කිහිපයේ කැමරා දර්ශන පරීක්ෂා කරමින් උන්නාය.කෛලාශ් සහ සත්සර ආයතන ගොඩනැගිල්ල ඉදිරිපිට වාහන අංගනයේ වාහනය නතර කරන තැන සිට සියලු දර්ශන මන්දාකිණි නැරඹුවේ බොහෝ විමසිල්ලෙනි.කෛලාශ් කුඩා කල පටන් ජීවත් වූයේ ඔස්ට්‍රේලියාවේ යැයි ව්‍යාපෘතිය භාර දෙන මොහොතේ දී සත්සර විසින් පවසා තිබුණද මින් පෙර කොහේදී හෝ තමා සහ කෛලාශ් මුණ ගැසී ඇතැයි යන සිතුවිල්ලක් මන්දාකිණි ගේ සිතට වද දෙමින් තිබුණි.

මන්දාකිණිගේ කල්පනාව බිඳ වැටුණේ දුරකථනය නාද වන හඬිනි.එහි ” අම්මා ” ලෙස සටහන් වී තිබුණු නිසා ඇය වහාම දුරකථනය අතට ගෙන ඇමතුමට සම්බන්ධ වූවාය.

” පුතේ ” 

” කියන්න අම්මා “

” මං ඊයෙත් ගත්තා ඔයාට “

මන්දාකිණි හට දැනුනේ වරදකාරී හැඟීමකි.පවුලේ එකම දරුවා ලෙස තමා මීට වඩා දෙමාපියන් පිළිබඳව සොයා බැලිය යුතුය.නමුත් තම ජීවිතයේ මේ වන විට සිදු වෙමින් පවතින දේවල් නිසා තමා හට මගහැරී යන්නේ ජීවිතය හා බැඳී පවතින අනිවාර්ය යුතුකම් සහ වගකීම් ය.

” මේ දවස් ටිකේ මට වැඩ ටිකක් වැඩියි අම්මා “

මන්දාකිණි දුන්නේ බොහෝ දින වලදී දෙන්නට සිදුවන පිළිතුරම වූ අතර තම දියණිය ලබා දෙන්නේ එම පිළිතුර බව පුෂ්පාද නොදැන සිටියා නොවේ.

” පුතා හොඳින් ඉන්නවද ? “

” ඔව් අම්මා ” 

මන්දාකිණි ලබා දුන්නේ කෙටි පිළිතුරකි.ව්‍යාපාරය නොවුනානම් කොළඹ ජීවත් වන මව හා පියා සමග ජීවත් වන්නට තිබුණා යයි හැඟීමක් මන්දාකිණි හට ඒ මොහොතේ දැනිණි.මන්දාකිණි අධ්‍යාපනය අවසන් කළ පසුව තම පියා ඔහුගේ ව්‍යාපාර කටයුතු වල අනාගතය සඳහා කොළඹ පැමිණිමත්, අනතුරුව ඔවුන් දෙදෙනා එහි නතර වීමත්, තමා ව්‍යාපාරය සඳහා උපන් ගම වූ බෙන්තොට නගරය තෝරා ගැනීමත් නිසා මන්දාකිණි හට දෙමාපියන් සමග ජීවත් වීමට අවස්ථාවක් ලැබුණේම නැත.නොසිතූ ආකාරයට ව්‍යාපාරය දියුණු වීම නිසා සුවපහසු ජීවිතයක් ගත කිරීමට ලැබුණද ජීවිතයට සහකරුවකු තෝරාගැනීමේ දී සිදුවූ වරද නිසා පසුතැවිල්ලෙන් යුතු ජීවිතයක් ගත කිරීම පිළිබඳව මන්දාකිණි උන්නේ වරදකාරී හැඟීමෙනි. තමා ගෙවන ජීවිතය පිළිබඳව කිසිවක් නොදත් දෙමව්පියන් හට තමා කරන්නේ මොන තරම් වරදක් දැයි මන්දාකිණි  දුරකථන ඇමතුමේ රැඳී හුන් මොහොතේ දීත් සිතුවාය.

” තාත්ත ඇහුවා මේ සතියේ වත් ඔයාව බලන්න යමුද කියලා. ඔයා අලුත් ගෙදරට ගිහින් මාස ගානක් උනා අපිට තාම එන්නවත් බැරි වුණානේ පුතේ “

මන්දාකිණි තැති ගත්තාය.දෙමව්පියන් තමාව බැලීම සඳහා තම නිවහනට පැමිණීම කම් නැති වුවත් ශෙනාල් තමා සමග ජීවත් වන බව දැන ගත හොත් ඔවුන්ට දැනිය හැක්කේ ලය පැලෙන තරමේ වේදනාවකි.

” මං එන්නම් අම්මා ඔයාලව බලන්න.මේ දවස් ටිකේ මම ටිකක් ලොකු ප්‍රොජෙක්ට් එකක වැඩ.ඒක බාර දීපු ගමන් එන්නම් “

” බලන්න එන එක නෙමෙයි ළමයෝ වැඩේ.ඔයා අලුතෙන් ගත්ත ගේ බලන්නවත් අපිට එන්න බැරි වෙච්ච එකනේ. අපිට ඉන්න එකම ළමයා ගෙයක් අරගත්තහම අපිට මොනතරම් සතුටක්ද කියලා ඔයාට අමුතුවෙන් කියන්න ඕනි නෑනේ.තාත්තයි මායි හරි හම්බ කරපු හැමදේම වියදම් කරලා ඔයාට ඉගැන්නුවේ ඔයා ඔය වගේ තැනකට එනවා බලන්නනේ “

තම මව පවසන්නේ සියයට දාහක් සාධාරණ කතාවක් වුවද මේ මොහොතේ එය කිසිසේත්ම ක්‍රියාවට නැංවිය නොහැකි කාරණාවකි.වැරදීමකින් හෝ එවැන්නක් සිදු වුවහොත් සියලු දේ කණපිට පෙරළිය හැක.

” හරි මං නිදහස් වෙලාවක් බලලා අම්මට කියන්නංකෝ.අම්මලා එතකොට එන්න “

පුෂ්පා හට දැනුනේ දෙගිඩියාවකි.මන්දාකිණි යනු දෑස මානයේ තබාගෙන රැක බලාගත් තමා සතු එකම වස්තුවය.උපන් ගමෙහි වුවත් ඇය මේ වන විට ජීවත් වන්නේ තනිවමය.ඒ කෙසේද කියා වත් දැක බලා ගැනීමට තමාට හෝ සැමියාට සිදුව ඇත්තේ කල් යල් බැලීමටය.

“අපි එනවට ඔයාගේ එච්චර කැමැත්තක් නැද්ද පුතේ ?”

පුෂ්පා ඇසුවේ බැරිම තැනය. එවදන් මන්දාකිණි හට ගෙන ආවේ වේදනාවකි.හැම අතින්ම තමා අසරණ වී ඇති බව තමා වැදූ මවට කියාගත නොහැකිව මන්දාකිණි හදවතින් දැවුනාය.

” අනේ එහෙම දෙයක් නෙමෙයි අම්මේ.මම කොයි වෙලාවෙවත් ගෙදර නැහැනේ.මේ දවස්වල මං වැඩ කරන්නේ හොටෙල් ප්‍රොජෙක්ට් එකක.ඒකට හුඟක් මහන්සි වෙන්න වෙනවා කෝටි ගානක වැඩක් නිසා. සමහර දවසට මම ගෙදර යන්නත් රෑ වෙනවා.ඔයාලා එනවනම් මං නිදහසේ නිවාඩුවක් දාලා ගෙදර ඉන්න බලාගෙනම ඉන්න ඕනනේ.ඒකයි මම කිව්වේ “

පුෂ්පා මොහොතක් නිහඬව අසා උන්නාය.හිතට දැනුනු හිස් බව අමතක කරන්නට ආයාසයෙන් උත්සාහ දරමින් ඊළඟ මොහොතේදී පුෂ්පා හඬ අවදි කළාය.

” එහෙනම් එහෙම කරමු පුතේ.මං තාත්තටත් කියන්නම්කෝ “

” මම තාත්තට හෙමින් සැරේ කෝල් එකක් දෙන්නං අම්මා.තාත්තාට කෝල් කරනවා නම් ටිකක් නිදහසේ ගන්න ඕනේ.දන්නවනේ ඉතින් ඔයා වගේ නෙමෙයිනේ එයා “

මන්දාකිණි දුරකථන ඇමතුම අවසන් කළේ සුවිශාල බරක් හදවතේ රඳවා ගෙනය.මෙතෙක් දවසක් දැනෙමින් තිබුණු කලබලකාරී ගතිය තරමක් හෝ දුරට පහව ගියේ කෛලාශ් සහ සත්සර පිටවී ගිය මොහොතේය.මේ වන විට ඒ වෙනුවට තවත් යමක් හදවත බර කරන්නට ලැබී ඇත.

” ගෙදර යන්නෙ නැද්ද මැඩම් ? ” 

මීනූ කාර්යාල කාමරයේ දොර හැර ගෙන පැමිණියේ සවස පහයි තිහ පසු වී තවත් විනාඩි දහයක් පමණ ගෙවී ඇති තැනය.නිමා කළ යුතු වැඩ කටයුතු කිහිපයක්ම තිබෙන නිසා වැඩිපුර වෙලාවක් කාර්යාලයේ රැඳෙන්නට මන්දාකිණි ඒ වනවිට තීරණය කර තිබුනාය.

” මම තව ටිකක් වෙලා ඉන්නවා මීනු “

“මමත් එහෙනම් ඉඳලම යන්නද මැඩම් ? “

” ඔයා යන්න ළමයෝ “

මීනූ දෙගිඩියාවෙන් පමණ තවත් මොහොතක් බලා හිඳ කාර්යාලයේ දොර ඇරගෙන පිටව ගියාය. මන්දාකිණි මොහොතකට සුවපහසු පුටුවට හිස බර කරගෙන දෑස් පියා ගත්තාය.

ශෙනාල් යනු තමා ජීවිතයේ ගත් අතිශය වැරදි තීරණයකි.ඒ බව මොහොතක් ගානේම පසක් වෙද්දීත් පියවරක් පසුපසට තබන්නට තමා තීරණය නොකරන්නේ මන්දැයි මන්දාකිණි නැවත කල්පනා කර බැලුවේ ශෝකයෙනි.තම පෙම්වතාය යන හැඟීමෙන් ශෙනාල් හට තම නිවසට පැමිණීමට අවසර ලබා දුන්නේ බොහෝ වර සිතීමෙන් පසුවය.ඔහු නිවසේ පදිංචියට පැමිණියේ ඒ අවසරය අවියක් කරගෙනය.ඒ පිළිබඳව පැහැදීමක් නොවූවද ඒ මොහොතේදීත් ඔහුට විරුද්ධව වචනයක් හෝ කීමට තමා මැළිවූයේ ඔහු කෙරේ තිබූ බිය නිසාද එසේත් නැත්නම් ආදරය නිසාදැයි මන්ද ඒ මොහොතේදීත් සිතාගත හැකි වූයේ නැත. 

මේ ගෙවී යන්නේ ශෙනාල් පිළිබඳව තමා දැඩි තීරණයක් ගත යුතුම කාලයක් වුවත් එය කෙසේ කළ යුතු දේ හැඟීමක් මන්දාකිණි  තිබුණේ නැත.අනෙක් අතට තමා එවැනි තීරණයක් ගතහොත් ශෙනාල් තමාට නිදහසේ ජීවත් වීමට ඉඩ නොතබන බව විශ්වාසය.එවැනි තත්ත්වයක් යටතේ තමා කළ යුත්තේ කුමක්දැයි මන්දාකිණි බොහෝ වර කල්පනා කළාය.තමා පැටලී සිටිනා ආකාරය දෙමාපියන් දැනගතහොත් ඔවුන් තමා පවුලේ එකම දරුවා බවද අමතක කරනු ඇත.එම නිසා කළ යුතු යමක් කළ යුතු වන්නේ මේ සියලු කාරණා සිතා බැලීමෙන් අනතුරුවය.එපමණක් නොව තමා ගන්නා තීරණයක් ඉතා ඉක්මනින් ගෙන තම ජීවිතයේ නිදහස් කර ගත යුතුවද ඇත.එසේ නොවුවහොත් ශෙනාල් ගේ ක්‍රියා කලාපය නිසා තම ජීවිතය ,පවුල සහ ඉතා මහන්සියෙන් සහ කැපවීමෙන් ගොඩනඟා ගත් ව්‍යාපාරය ද බිඳ වැටී යනු ඇත.

මන්දාකිණි දෑස් හැරියේ දුරකථනය නාද වන්නට පටන් ගෙන තත්පර ගණනාවකුත් ගත වූ පසුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here