සඳ දිය දහරා – 4

0
1238

දහරාගේ මුහුණෙහි වූ සිනහව වියැකී ගියේ අම්මා දෑත් වල වූ බෑග් බිම තබා මිදුලේම නතර වද්දීය. ඇගේ දෑස් ඔත්සේම දෑස් ගෙන ගිය දහරා අවසන දුටුවේ ආලින්දයෙහි උන් මනුජිත්ගේ මව නිවස තුළට ඇවිද යන ආකාරයයි. 

“ඇයි අම්මේ…”

“අර මනුස්සයා මාව දැක දැක නොදැක්ක ගානට  ගෙට ගියපු හින්දයි මම නතර වුණේ.” 

“අම්ම එහෙම තමයි. ඒව ගණන් ගන්න එපා. අපි යමු අම්මේ ගෙට…” 

එවර ඉස්සර වූයේ දහරාය. ඈ අත තිබූ බෑග් මළු වලින් දෙක තුනක්ම දහරා තමා අතට ගත්තේ සාමා එපායැයි පවසද්දීය. 

“අම්මා එනවා කියලා කිව්වෙත් නෑනේ…”

දහරාට දුක සිතුනේ ඇයට සංග්‍රහ කරන්නට කිසිවක් නිවසතුල නොමැතිබව සිහිපත්වය. 

“ඊයේ හවස එහෙම තීරණයක හිටියේ නෑ පුතේ. චූටි මාමා ඉස්සො වගයක් ගෙනල්ලා එක පොරයයි ඔයාට හදාගෙන ගෙනියන්න කියලා. ඔයා කන්න ආස බව දන්නවනේ. හැබැයි ඉතින් මේ දවස්වල  ඒ තරම් හොඳ කෑමක්නම් නෙමෙයි.  ආච්චි  මුරුංගා කොළත් දාලා ඔයාට ටිකක් කිරට හදලා දුන්නා. වෙනම තෙල් දාපු ටිකකුත් ඇති. ඒක මනුජිත් පුතාලට තියන්න. එද්දි හවස් වෙනවනේ.”

අම්මා බෑග් මලු ඇද්දේ  ආලින්දයේම අසුන් ගත්තාට පසුවය. 

දහරාගේ කටට කෙළ ඉනුවේ කෙසෙල් කොළයේ ඔතා තිබූ බත් පතෙහි සුවඳ දැනෙද්දීය. අන් සියල්ලටම වඩා එවේලෙහි ඇයට වූයේ එය දිගහැරගෙන කෑමේ උවමනාවයි. 

“පුතේ  ආච්චි මනුජිත්ගේ අම්මටත් වෙනම බත් එකක් බැඳලා දුන්නා. එළියට ආවට පස්සේ කතා කරලා ඒක දෙන්න. මේකෙනම් තියෙන්නේ….”

“අනේ අම්මේ මට ඔය මුකුත් දැන් පෙන්නන්න එපා. මට මේක කාලා ඉන්න ඕනේ. මට හීනෙනුත් ආච්චිගෙ බත්වල රස මතක් වෙනවා අම්මේ. අපි යමුකෝ ගෙට…”

සාමා දියණිය පසුපස ඇවිද ගියේ බිම තැබූ බෑග් කිහිපය ආපසු දෑත් වලින් අල්ලා ගෙනය. කෑම කාමරයේ අසුන්ගත්  සැණින්ම ඈ කෙසෙල් කොළයේ ඔතා තිබූ බත්පත දිගහැර ගත්තාය. 

“දැන්ම කෑවත් නොකෑවත් අර මනුස්සයටත් කන්න කියලා ඉන්න පුතේ.”

“අම්මා කොහොමත් දැන්ම එළියට එන එකක් නෑ අනේ අම්මේ මුකුත් කියන්න එපා මං මේක කාලා ඉන්නම්…” 

සාමාගේ දෑස් වල කඳුලක් උපන්නේ දහරා ඒ සා හදිසියකින් බත් කටවල් දෙක තුනක් කෑ ආකාරය දකිද්දීය. දහරාට හිර වූයේත් දෑස් වලින් කඳුළු පනින තුරු කැස්සක් ආවේත් ඒ හදිසිය නිසාය. සිය දියණියට වතුර උගුරු කිහිපයක් පෙවූ සාමා ඇගේ පිට අත ගෑවේ කලබලයෙන්ය. 

“කවුරුවත් උදුර ගෙන කන්නෙ නෑනේ දරුවෝ හෙමින් කන්න. ඔයා හරියට නිකන් හත් දවසක් බඩගින්නේ ඉඳලා වගේනේ. මොකද මේ…”

“අනේ අම්මෙ ආච්චිගේ කෑම ටික දැක්කහම මට ඉවසිල්ලක් නැතුව ගියා. මේ බලන්න පොළොස් උයලා පරිප්පු හින්දලා මුකුණු වැන්න මැල්ලුම් හදලා ඉස්සෝ කිරට හදලා…මේවා දිව්‍ය භෝජන පරාදයි ඉතින්..”

“හරි.. හරි හෙමින් කන්න…”

සාමා තවත් වතුර වීදුරුවක් ගෙනැවිත් දියණිය අසලින් තැබුවේ එසේ පවසමින්ය. 

“අනේ අම්මට තේ එකක් වත් හදලා දුන්නේ නෑ මම…” 

“ඒක පස්සේ බැරිය කාලා ඉන්නකෝ. චූටි මාමා ඔයාටම ගෙනියන්න කියලා මේ කිරි හට්ටියකුයි පැණි බෝතලේකුයිත් ගෙනත් දුන්නා. තිස්සමහාරාමේ පැත්තේ ඉඳලා ආපු යාළුවෙකුට කියලා ගෙන්න ගත්ත එකක්ලු. මේ බෑග් එකේ තියෙනවා පුතේ පැණි කොමඩු ගෙඩියකුයි, කෝලි කුට්ටු කෙසෙල් ඇවරියකුයි. ආච්චි තමයි ඔය කඩචෝරු පාර්සලේ ලෑස්ති කරලා දුන්නේ.  අනිත් බෑග් එකේ තියෙන්නේ සීනි තේ කොළ ටිකක් දරුවෝ. ආච්චි ඔය අලුත්ම හට්ටියක් ගෙනල්ලා ඔයාට දවසක් දෙකක් තියාගෙන කන්න කියලා මාළු ඇඹුල් තියල් එකකුත් හදලා දුන්නා.”

අම්මා එසේ පැවසූයේ දහරා එක බත් ඇටයක්වත් නැතිවන්නට කෙසෙල් කොළයත් සූරා ගනිද්දීය. යළිත් සාමාගේ පපුවට දැණුනේ බරකි. 

“ඇතිද කෑවා….”

“අනේ අම්මේ මට දැන් බඩ පිරිලා මේ පුටුවෙන් නැගිට ගන්න බැරි තරම්. පින් සිද්ධ වෙනවා.”

“අනේ මොනවද පුතේ මේ කියන කතා. මේවා පින් ගන්න කරන වැඩ නෙවෙයි.  අපේ යුතුකම්. මට ඇත්ත කියන්න කෑම බීම ටිකවත් හරියට හදාගන්නේ නැද්ද…”

සාමා එවර ඇසුවේ මද හඬකින්ය. 

“අනේ නෑ අම්මේ. උදේට කෑවෙත් මේ චුට්ට වෙලාවකට කලින්. මනුජිත් ඒවා කිසි දෙයක් අඩුපාඩු කරන්නේ නෑ අම්මේ මට කන්න බැරිකම මිසක්කා. ඉඳලා හිටලා මෙහෙම දැක්කහමනං ආස හිතෙනව.”

“සතියට දවසක් දෙකක්වත් කෑම ටිකක් චූටි මාමා අතේ එවා ගන්න පුළුවන්. ඒ උනාට ඉතින් ඔය මනුස්සයා මෙහේ එන එකට මගේ හිතට බයයි පුතේ. අපි වගේ ඉවසනවා නෙමෙයිනේ. මනුජිත් පුතාගේ අම්මා අර මං එද්දි ගෙට ගිය විදිහට මාමා එද්දි නැගිටලා ගෙට ගියානං ඒකට මොකක් හරි කතාවක් කියයි. කතාවෙන් කතාව ඊට පස්සේ හිත් රිදීම් ඇති වෙනවා.”

“අනේ එහෙම ඕනේ නෑ අම්මේ මං නිකං කිව්වේ. ඉන්න මං අම්මට තේ එකක් හදන්නම්.”

දහරා නැගී සිටියේ එසේ පවසමින්ය. ඇය කදමළු බැඳගෙන ආවාට ඇය වෙනුවෙන් ලබා දෙන්නට විස්කෝතුවක්වත් මේ නිවසේ වූයේ නැත. ඒවා ඇත්තේ මනුජිත්ගේ මවගේ කාමරයේ ය. උදෑසන කබඩය තුළ වූ පිටි බෝතලය එහි නොවූ බව දහරා දුටුවේ එවේලෙහිය. ඇය කාමරයට යන්නට පෙර එය සගවා තබන්නට ඇත.

දිගු සුසුමක් මුදාහළ ඕ ප්ලේන් ටී එකක් සාදා සාමා වෙත දිගු කළාය.

“අද සිකුරාදනෙ අම්මේ කඩේ යන දවස. මනුජිත් ආවහම තමයි කඩේ යන්න වෙන්නේ. පිටිනං ඉවර වෙලා.”

“අනේ පිටි මොකටද පුතේ….පෙරේදා ක්ලිනික් ගියා කියලා කිව්වට මොකද කිව්වේ කියලවත් මට අහන්න බැරුව ගියා.”

“මොකුත් කිව්වේ නෑ අම්මේ…හැමදේම හොඳින්….”

“අම්මා කාමරේට යන්නකෝ. මම මනුජිත්ගේ අම්මට කන්න කියලා එන්නම්….”

සාමා දියණියගේ කාමරයට ඇවිද ගියේ දහරා කෝප්පය සෝදද්දීය. දහවල උදා වී තිබුණත් නිවසේ දොර ජනෙල් ඇර තිබුණේ නැත. මඳක් විසල් නිවසක් වුවද එනිසාම අඳුරු පැහැයක් ගෙන තිබිණ. එපමණක් නොව නිවස තුළ වූයේත් පාළු ගඳකි. වත්තේ වූ එක කාමරයක් සහිත තමාගේ කුඩා නිවසත් මීට වඩා පිළිවෙල පිරිසිදු එකක් යැයි සාමාට සිතිණ. දහරාගේ කාමරය නම් පිරිසිදුවට පිළිවෙලට අස්කර තිබිණ. සාමා ඇඳ මතින් අසුන් ගත්තේ දියණියගෙන් අසන්නට බලාපොරොත්තුව උන් බොහෝ දේ එකට ගලපාගෙනය. 

“අම්මේ…අපේ අම්මා අම්මටත් කෙහෙල් කොළේ ඔතලා බත් එකක් ගෙනල්ලා. මනූටයි තාත්තලටයි ඉස්සොත් වෙනම හදාගෙන ඇවිල්ලා. මං ඒක ප්‍රිජ් එකට දැම්මා. නිවෙන්න කලින් අම්මත් බත් කාලා ඉන්න.”

දහරා ශ්‍රියාලතාගේ කාමරයට එබෙද්දී ඇය උන්නේ ඇඳ මත දිග ඇදීගෙනය. ඇය හිතා මතාම කාමරයට පැමිණියේ අම්මා දුටුවාට පසුව බව දහරා දනී.  සිත තුළ වූ අපැහැදීම පසෙකලා දහරා එසේ පැවසූයේ අතිශය සාමාන්‍ය ස්වරූපයට පත්වීගෙනය. 

“මං බඩින් ඉන්න ගෑනියෙක් නෙමෙයිනේ. මට ඕනේ නෑ. අපි කන්න අඳින්න නැති මිනිස්සු කියලා හිතුවද දන්නේ නෑ.” 

“අනේ අම්මේ  එහෙම හිතලා නෙමෙයි. දවල් දවසට අපි දෙන්න විතරනේ  ඉන්නේ.”

“මට ඕනේ නෑ. ඔය ළමයා ඒක තියාගෙන හවස් වෙලා කන්න. මේ ළඟදි හඳහන බලපු තැනකින් කිව්වා මට කෑමක් විස වෙන්න තියෙනවා පිටින් ගේන කිසි දෙයක් කන්න එපා කියල…”

ශ්‍රියාලතා අනෙක් පස හැරුනේ එසේ පවසමින්ය. දහරා තවත් කිසිවක් කියන්නට නොගියාය. සේකර වත්තේදී නොයෙක් තරාතිරමේ  මිනිසුන් ඇසුරුකර පුරුදු වූ ඇයට මනුජිත්ගේ මවත් තමාගේ ජීවන ගමනේදී හමු වූ වෙනස්ම අයෙකුයැයි සිතිණ. ඇය නපුරු කමත් ලෝභකමත් දෙකම එක සේ දරාගෙන මේ සා දුක් විඳින්නේ කුමන හේතුවක් නිසාදැයි දහරා සිතුවාය. තමා ගැබිනියක  බව දැනගත් පසුව මුලින්ම මෙම නිවසට පැමිණියේ චූටි මාමාත් අම්මාත්ය. ඔවුන් පැවසූ ඒ කිසිවක් පිළි නොගත් මනුජිත්ගේ අම්මාත් තාත්තාත් පසුදා සේකරවත්තට පැමිණියේ දහරාට දෙවොල් දෙවොල් තබමින්ය. සේකර වත්තේ බොහෝ දෙනකු දහරා කසාද නොබැඳම ගැබිනියක වී ඇති බව දැනගත්තේ එදිනය. ඒ අතරේම චූටි මාමා මනුජිත්ව හමුවීම සඳහා විශ්ව විද්‍යාලය අසලට ගොස් තිබිණ. දෙපැත්තට හුවමාරු වූ වචන, දෝෂාරෝපණ..සිත් රිදීම් බොහෝමයකට පසුව අවසන මනුජිත්ට  සිදුවූයේ දහරාගේ කුසෙහි සිටින දරුවා තමාගේයැයි පිළිගන්නටය. ඒ කාලය ගෙවී ගියේ කෙසේද යන්න පවා සිතන්නට කැමැත්තක් දහරාගේ සිතෙහි වූයේ නැත. ඒ පුදුමාකාර කාලයකි. සිතේ සැනසීම බිංදුවටම අහිමි වී ගිය කාලයකි. 

ඒ සියලු සිත් වේදනා මැදත් දහරා මේ නිවසට පා තැබුවේ බලාපොරොත්තු රැසක් තබාගෙනය. මනුජිත්ගේ අම්මාත් තාත්තාත් තමාගේ කරගෙන රැක බලා ගන්නට වූ කැමැත්ත ඒ අතරින් ඉහළම තැනක විය. 

දැන් මේ දෑස් තෙත් වන්නට හේතුවක් අහේතුවක් නොවේ. දෑස් මුල කඳුලක් නොවන අවස්ථාවක් නැති තරම්ය. එහෙත් දහරා කාමරය තුළට ගියේ හත් අට වතාවක්ම ඇසිපිය සලා ඒ කඳුළු දෑස් තුළම වියලා ගත්තාට පසුවය. 

“දහරා…මං මේ ගවුමක් ගත්ත ටිකක් ලොකුවට. ඒ වුණාට මට හිතෙන්නේ ඔයා ගිය සැරේ මං දැක්කටත් වඩා ඇදිලා ගිහිල්ලා කියලා. කාට හරි කියලා දෙපැත්ත චුට්ටක් ගහගන්න වෙයිද මන්දා. මනුජිත් පුතාටත් ටී ෂර්ට් එකක් ගත්තා. ගෙදරට අඳින්න හරි පුළුවන්නේ…”

දහරාට අම්මා ගැන වූයේ දුකකි. ගෙවී ගිය මාස කීපයක් පුරාවටම ඔහු තමාට යමක් මිලදී ගත්තානම් මනුජිත්ටත් යමක් මිලදී ගැනීමට අමතක කරන්නේ නැත. මේ මහ මෙරක් උපයන ගැහැණියක නොවේ. එහෙත් ඒ සිතෙහි මනුස්සකම වූයේ ඉහළම තැනකය. දහරා අම්මාගේ පසු පසින් පැමිණ ගෙල වටා දෑත් යවා ඇයව තුරුළු කරගත්තේ මහත් වූ ස්නේහයක් දරාගෙනය. ජීවිතය පුරාම දැක්කේ ඇය දුක් විඳි ආකාරයය. කුඩා කල සිට දහරාට උවමනා වූයේත් ඇයව ඒ දුකෙන් මුදවාලන්නටය. එහෙත් තමාට වැරදුනේ කොතැනකදැයි ඇයට අදටත් නොතේරේ. 

(යළිත් හමුවෙමු ආදරයෙන්…….)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here