කලකට පසු හමු වූ මිතුරන් හා මනුජිත් අවන්හලට ගොඩවැදුනේ මත්පැන් සාදයක් පවත්වන්නට පිරිස කතිකා කරගෙන උන් නිසාය. පසුගිය කාලයේම ඔහු මේ මිතුරු සමාගම් මගහැර සිටියේය. මිතුරන් ඔවුනොවුන්ගේ ජීවිත ගැන කතා කරද්දී ඔහු උන්නේ නිහඬවය. සිය ජීවිතය තුළ පසුගිය දිනවල ඇති වූ හැලහැප්පීම් තවමත් ඔහුට සිතාගත හැකි වූයේ නැත. මේ මනුජිත් පැතූ ජීවිතය නොවේ.
සිය ජංගම දුරකථනය නාද වූයේ අම්මාගේ අංකය සටහන් කරමින්ය. මේසය මත ඔහේ තබා තිබූ ජංගම දුරකථනයේ ‘අම්මා’ යනුවෙන් සටහන් වද්දී මිතුරන් හිස ඔසවා බලනු මනුජිත් හොඳටම දුටුවේය.
“ඇයි අම්මේ…හා…ඔව් ටිකක් පරක්කු වෙයි. යාළුවො වගයක් සෙට් වෙලා ඉන්නේ. හරි..හරි… මං පරිස්සම්…ආ.. මට එපා..විසි කරන්න..
එවැනි වදන් කීපයක් ඔහු පවසනු මිතුරන් අසාගෙනය. විශ්ව විද්‍යාලයෙන් පිටවී වසරකට ආසන්න කාලයක් ගතව තිබුණත් තවමත් සමහර මිතුරන්ට රැකියා ලැබී තිබුණේ නැත. මිතුරන් පිරිස අතරින් විවාහ වී සිටියේ මනුජිතුත් තවත් මිතුරන් දෙදෙනෙකුත් පමණි. ඒ එක් අයෙකු හදිසියේම විවාහ වූයේ දෙදෙනාම පිට රටකට යාම අරමුණු කරගෙනය.
“මොනවද බං තවමත් උඹ ගැන හොයලා බලන්නේ අම්මද..දහරා හොඳින්නේ… අවුලක් නෑනේ…”
රණුල ඇසුවේ දුරකතන ඇමතුම නිමාවී තත්පර කිහිපයක් ගතව ගියාට පසුවය. කොහොමටත් පසුගිය කාලයේම මනුජිත්ගේ හැසිරීම මිතුරන්ට ප්‍රශ්නයක් වී තිබිණ. ඔහු මේ මිතුරු සමාගමය පවා මගහැර සිටියේ හිතා මතාමය. දහරාගේත් ඔහුගේත් හදිසි විවාහය මිතුරන්ට පවා ප්‍රශ්නයක් වී තිබුනේ ඒ සමයේය. අදත් ඔහු මේ පැමිණියේ මගහැරීමට බැරි තැනය.
“මචං…ඇත්තම කියහං උඹ ඉන්නේ මොකක් හරි අවුලකින්ද. හැම ප්‍රශ්නෙකටම උඹට විසඳුම් හොයලා දෙන්න අපිට බැරිවෙයි. හැබැයි ඉතින් එකතු වුණොත් අපිට කරන්න බැරිකමකුත් නැතිවෙයි.”
තවත් මිතුරෙකු පැවසූයේ මනුජිත්ගේ උරහිසට අතක් තබා තද කරගෙනය.
“වෙනදට මචන් මෙහෙම සෙට් උනහම පිස්සු කෙලින්නෙ උඹ. උඹ මෙහෙම නිහඬව ඉන්නවා කියන එක අපිටත් අවුල්..ගෙදර ප්‍රශ්නයක්ද නැත්නම් උඹේ මැරේජ් ලයිෆ් එකේ මොනවා හරි ප්‍රශ්නයක්ද..අපි මේ උඹේ පුද්ගලික ජීවිතේට ඇඟිලි ගහන්න හදනවා නෙමෙයි…වරදවා හිතන්න එපා.”
මිතුරෙකු අඩක් පිර වූ මත් පැන් වීදුරුවත් කට ගැස්ම බඳුනත් ඔහු ඉදිරිපසින් තැබුවේය.
“නැන්දම්මයි ලේලියි වලිද…ඒවා නම් එච්චර හිතට ගන්න එපා බං. කාලයත් එක්ක ඒ ප්‍රශ්නේ විසඳෙනවා. එක්කෝ නැන්දම්මට ඕනේ විදිහට ලේලි හැඩගැහෙනවා. නැත්තං ලේලිට ඕන විදිහට නැන්දම්මා හැඩ ගැහෙනවා. ඔය දෙකම නැත්නම් අන්තිමට උඹලා රෙන්ට් එකට හරි ගෙයක් අරගෙන එලියට බහිනවා. අපේ ගෙදර නං අයියගේ වයිෆුයි අම්මයි කොයි වෙලාවෙත් ඇටෑක්. හැබැයි උන් යන්නෙත් නෑ අපි යන්නෙත් නෑ. දැන් අපිට ඒ දෙන්නගේ වලි ගානකුත් නෑ.”
එසේ පැවසූයේ මිතුරු පිරිසේ සැහැල්ලුවෙන්ම උන් ධනුකය. කොහොමත් ඔහු කිසිවක් ගණනකට ගන්නා අයකු නොවේ.
“මං දහරාව මැරි කරන්න හිටියේ නෑ බං…අන්තිමට මට ඒකිව කර ගහන්න වුණා.”
මනුජිත් එසේ පැවසූයේ දෙවැනි මත්පැන් වීදුරුවත් හිස්කලාට පසුවය. මිතුරන් පිරිස මුහුණෙන් මුහුණ බලා ගත්තේ ඔහු මේ පවසන්නේ කුමක්දැයි වටහා ගත නොහැකිවය. දහරාත් මනුජිතුත් අතර පැවති ප්‍රේම සම්බන්ධය වසර කිහිපයක් පැරණි එකක් බව මිතුරන් දනී. ඒ අතරේම ඔහුට විශ්ව විද්‍යාලය තුළත් ප්‍රේම සම්බන්ධයක් විය. ඒ පළවෙනි වසරේ ශිෂ්‍යාවක සමඟය. එහෙත් එය තාවකාලික වූ එකකි. දහරා සමග තිබූ ප්‍රේම සම්බන්ධය වසර කිහිපයක එකක් වූ නිසා මිතුරන් සිතා සිටියේ මනුජිත් සැබෑවටම පෙම් කරන්නේ දහරාටයැයි කියාය. කිහිප දෙනෙකුටම ඔහුත් දහරාත් තැන් තැන්වලදී හමුවී තිබිණ. ඔහුගේ මේ වදන් පුදුමයක් වූයේම එනිසාය.
“මචං උඹ අවුරුදු දෙක තුනක් ඔය කෙල්ලත් එක්ක හිටියනේ…අපි හිතුවේ සිරා ලව් එකක් කියලා”
“කවුද මචං.. දැන දැනම ගිනි ගොඩවල් වලට අත දාන්නේ..මං එහෙම කළා බං. ඇත්තටම කිව්වොත් මං දහරාව ආශ්‍රය කලේ ඒකිගේ ලස්සනට. මට කරන්න දෙයක් නෑ බං. මං කියන කියන දේවල් වලට ඒකි කැමති වුණා…ඒක මගේ වරද නෙමෙයි…එයාගේ වරද…”
“උඹ ඔය කියන දේ අපිට තේරෙන්නේ නෑ…අපිත් බබ්බු නෙමෙයිනෙ බං. උඹ හදිස්සියේ අපිටත් නොකිය දහරාව මැරි කලේ මොනවා හරි කේස් එකක් නිසා කියන එක අපි දන්නවා. දැන් ඒක පැහැදිලියි නේ. මැරි කරලා මාස දෙකකින් කෙල්ලෙකුට මාස හයක බඩක් එන්න විදිහක් නෑනේ බං. උඹ දැන් අපිට පැහැදිලිව කතාව කියහන්කෝ.”
“මචං දහරා කියන්නේ මේ උඹල අපි වගේ හොඳ පරිසරයක හොඳට හැදුණු කෙනෙක් නෙමෙයි බං. ඒකි සේකර වත්තේ..උන්ගේ අම්මා ඔය මොකක්ද සෙල්ලම් බඩු හදන පැක්ට්‍රි එකක වැඩ කරනවා. තාත්තා මැරිලා. චූටි මාමා කියලා එකෙක් ඉන්නවා හෙන චණ්ඩියෙක්..උඹලට මතක ඇති අර ඒ දවස්වල මාව හම්බවෙන්න හොස්ටල් එකට ආවේ. උස ඩයල් එක..”
“ඔව්..ඔව්..රස්තා පෙනුමකුත් එක්ක..”
“අන්තිමට වූ දහරාව නොබැන්දොත් මාව මරනවා කියලා මට තර්ජනය කළා.”
“නෑ….”
“නෑ නෙමෙයි ඔව්..සිරාවටම මං ඒකිව මැරි කරන්න නෙමේ බන් හිටියේ. උඹල දන්නවනේ ඒ වගේ තැන්වල කෙල්ලන්ට එෆෙයාර් එකක් ඇතුලේ මේ වගේ දේවල් අමුත්තක් නෙමේ. අනික බං මේව මගේ තනි කැමැත්තට සිද්ධ වෙච්ච දේවල් නෙමෙයි නේ. උඹලට කියන්න මං ඒකිට ඕන කරන ටැබ්ලට් ගෙනත් දීලා තිබුනේ. ඒකිගේ මාමට වුවමනාව තිබුනේ ඒකිව මගේ කරේ එල්ලන්න බං. මේක උන් ප්ලෑන් කරලා කරපු දෙයක්. එහෙම නැතුව මෙහෙම දෙයක් වෙන්න විදිහක් නෑ”
මිතුරන් යළිත් ඔවුනොවුන්ගේ මුහුණ බලා ගත්තේ මනුජිත් එසේ පවසද්දීය. ඔහු හදිසියේ විවාහ වූ පුවත මිතුරන් දැනගත්තේත් දුරකථනයෙන්ය.
“දැන් උඹ ඔක්කොටම කලින් කියහන්කෝ ළමය උඹේද කියලා…”
“ඒක හරියට මං දන්නේ කොහොමද බං…”
“උඹ මාර කතාවක්නෙ බං කියන්නේ..ඒ කියන්නේ දහරා එහෙම ගෑනියෙක්ද..තේරෙන දෙයක් සිංහලෙන් කියපං..”
“නෑ නෑ මං එහෙම කියන්නේ නෑ. මං දන්න තරමෙන් ඒකි මට පැලීගෙන ලව් කලා බං. මං ඒක නෑ කියන්නෙ නෑ. ඒ උනාට බං මං ඒක සිරාවට කළ එකක් නෙමෙයි. ඒකි මම කියන හැමදේකටම හා කියලා එකඟ වෙද්දි මං මෙච්චර දුරදිග හිතුවේ නෑ බං. කවුරුත් එහෙම කැමති වෙන්නේ නෑනේ බං. මටත් තිබුණා ප්ලෑන් එකක්. ඔය කැම්පස් එකේදි පොඩි පොඩි ලව් තිබුණත් මං ඕවා සිරාවට නොකළෙත් ඒ නිසා. දහරා දැනගන්න ඕනේ බං එයාගේ සීමාවේ ඉන්න.”
මනුජිත් තවත් මත්පැන් වීදුරුවක් හිස් කලේ මිතුරන් බලා සිටියදීය.
“මං කොහොමත් මචං ප්ලෑන් කරගෙන හිටියේ ටික කාලෙකට හොඳ රටකට යන්න..එහෙම ගියහම දහරාව ශේප් එකේ අයින් කරලා දාන්න. උඹල කියහන් මං වැරදිද කියලා..මචං මේ ලෝකේ ආදර කතා ඕන තරම් තියෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ ඔක්කොම කසාදයකින් කෙළවර වෙනවද..නෑනේ? නෑනේ…අනිත් එක බං ඒ වගේ පැතිවල කෙල්ලන්ට ඕවා අමුතු දේවල් නෙමෙයි. හැබැයි අරූ..බලහංකො ඌට මං හොඳ වැඩක් කරනවා…උන් මේ ගැහුවේ ගේමක් බං…”
“මෙහෙමයි මචං…උඹ මං මෙහෙම කිව්වට වැරදියට හිතන්න එපා. දහරා කියන්නේ නරක කෙල්ලෙක් නෙමෙයිනම් උඹ ඔය ඔක්කොම අමතක කරලා අලුත් ජීවිතයක් පටන් ගනින්. දැන් ඉතින් කරන්න දෙයක් නෑනේ. අනිත් එක දහරාගේ බඩේ ඉන්න දරුවා උඹේ කියලා විශ්වාසයක් තියෙනවානම් උඹට යුතුකමක් තියනවා…ඒ යුතුකම වෙනුවෙන්වත් උඹට පුළුවන් වෙන්න ඕනෙ හිත හදාගන්න. මචං එහෙම නැති උනොත් ඒක වරදක්..”
“මචං උඹ දහරත් එක්ක කීප පාරක්ම මටත් මීට වෙලාා තියෙනවනේ. ඒ කෙල්ල නරක කෙල්ලෙක් කියලා මට හිතෙන්නේ නෑ. අනිත් එක මිනිස්සු ජීවත්වෙන පැත්තෙන් මිනිස්සු මනින්න බෑ බං. නිපුණයා කිව්වා හරි. උඹ දැන් අතීතය අමතක කරලා වර්තමානෙ ජීවත් වෙන්න බලපං..වෙන කරන්න දෙයක් නෑ.”
“උඹලට පිස්සුද බං…එතකොට මගේ හීන..එතකොට මගේ ලයිෆ් එකේ තිබුණ ප්ලෑන්..මේවා මෙහෙම වෙන්න බෑ බං…මං කොහොමද තැනකට ගිහින් දහරා ගැන කියන්නේ..”
උඹට ඒවා ගැන හිතන්න තිබුනේ දහරා බ්රෙක්ටන් වෙන්න කලින්.
එහෙම සම්බන්ධකම් මේ ලෝකේ තිබුනේ දහරටයි මටයි විතරද බං. මිනිස්සු ඒවායේදී පරිස්සම් වුණා. ඒවට කරන්න දේවලුත් තිබුණා. උඹල පිළිගත්තත් නොගත්තත් මේක දහරාගේ ප්ලෑන් එකක්. ඒකයි ඒකි ඕක මාස තුන පනිනකල් ඉඳලා කිව්වේ. මේකි ඒක අර රස්තියාදුකාර මාමත් එක්ක එකතුවෙලා ගහපු ප්ලෑන් එකක්. අනිත් එක බං මේවා සාමාන්‍ය දේවල්. ලව් කරපු එකාම මැරි කරන්නේ කීයෙන් කී දෙනාද බං…
මිතුරන් අවසන නිහඬ වූයේ ඔහු එකම මතයක් දැරූ නිසාය. මේ ඒ මතය වෙනසකල හැකි වේලාවක් නොවේ. කොහොමටත් විඳවන්නේ ප්රශ්නයේ ඇතුලාන්තයේ සිටින මිනිසාය. එනිසාම වරද කාගේදැයි විනිශ්චය කරන්නට මිතුරන් ඉක්මන් නොවුවේය. මනුජිත් පවසන පරිදි සමහරවිට මේ කිසියම් සැලැස්මක ප්‍රතිඵලයක් වන්නට ද ඇත. ලෝකයේ එසේ වූ තැන් ඕනෑ තරම්ය.
“මගේ හීන…මගේ ප්ලෑන්ස්…කොටින්ම කිව්වොත් මගේ ජීවිතේටම ඒකි ගිනි තිබ්බ බං අර මාමා කියන එකාත් එක්ක එකතු වෙලා. මේ බලහං උඹලට පේන්නෙ නැති උනාට දැන් මං පිච්චෙනවා….අරූ..අර දිගංචියා මට ඇවිල්ලා කිව්වා දහරාව නොබැන්දොත් මගේ මිනිය ගඟක මුහුදක පාවෙවී තියෙයි කියලා. ඌට එහෙම කරන්න බැරි එකෙක් නෙමෙයි බං. මං හොයලා බැලුවා. ඌට පාතාලෙත් එක්ක කන්ටෑක් තියෙනවා…… හැබැයි බං මං දැන් ජීවත් වෙන්නේ ගඟක මුහුදක දැම්මට වඩා අන්ත විදිහට. මගේ අතින් දහරට වරදක් උනා. ඒක ඇත්ත…ඒ උනාට එහෙම කරලා ඕන තරම් කොල්ලෝ කෙල්ලන්ව දාලා ගියා බං. මට වගේ කරගහගන්න උනේ නෑ…ඒක බලහත්කාරකමක් නෙමෙයි.”
මනුජිත්ගේ හඬ බිඳී යමින් තිබිණ. ඔහු වැරදි වුවත් නිවැරදි වුවත් මිතුරන් අවසන නිහඬව ඔහුට සවන් දෙන්නට තීරණය කළේය.
“අන්තිමට උනේ මගේ ජීවිතේ විනාශ වෙච්ච එක..දහරා ගැන දැනගත්ත ගමන් මට තිබුණා බං මේ සම්බන්ධෙ නවත්තන්න. එහෙම නොකරපු මං අමුම අමු මෝඩයෙක්…මං මහා මෝඩයෙක්. උන් එකතු වෙලා මගේ ජීවිතේ කෑවා..කෑ…වා…”
අවසන මනුජිත් දෑතින්ම හිස බදාගෙන තමා ගැන පසුතැවෙමින් උන්නේය.
“මචං මූට මොකද උනේ..”
“මචං අපි මේකට මොනවා හරි කරන්න ඕනේ. හැබැයි දැන් නෙමෙයි…”
නිපුණ ආසන්නයේම උන් මිතුරාගේ කනට කර එසේ පැවසුවත් එය අනිත් මිතුරන්ටත් ඇසෙන්නට ඇත. ඔවුන් හිස වනා එකඟත්වය පළ කළේ එනිසා වියුතුය.
(යළිත් හමුවෙමු ආදරයෙන්….)


