සඳ දිය දහරා – 7

0
188

“මට හිතෙනවා අම්මේ අපේ කෙල්ල අර ගෙදර ඉන්නේ සතුටින් නෙමෙයි කියලා…”

සාමා එසේ පැවසූයේ බාල්දිය තුළ වූ රෙදි එකෙන් එක ගෙන වැලට දමමින්ය. දහරා ගැන නිදහසේ යමක් කතා කළ හැක්කේ සොහොයුරා නිවසේ නැති වේලාවටය. දහරාට නරකක් නපුරක් සිදුවේයැයි ඇසීමම ඔහුට මනුජිත් හා රණ්ඩුවකට පැටලීමට කාරණයක්ය.

“කෙල්ල උඹට මොනවා හරි කිව්වද…”

“නෑ අම්මේ මට විශ්වාසයි දහරා මේ ගෙදරින් ගියේම එන ඕන දේකට මුහුණ දෙන්න හිත හදාගෙන. එයාට ඕන වුණේ සිද්ධවෙච්ච වරද නිවැරදි කරගන්න විතරක් නෙමෙයි. මේ ලැජ්ජාවෙන් නින්දා අපහාස වලින් මිදෙන්න…”

“අනේ බං පොඩි කාලේ ඉඳලම ගේ ඇතුලට වෙලා හැදිච්ච කෙල්ලට මොකද වුනේ කියලා මට තාමත් හිතාගන්න බෑ. මේක සහ ගහන අපරාධයක් වගේ…”

“ඈ බං සාමෝ…දහරට දැන් කොහොමද. කෙල්ල ගියත් හරි මේ පැත්තට ආපහු ආවේ නෑනේ…ඒකිට වත්තත් එපා වෙලාද..”

සිලි උරයකුත් කිහිලි ගන්නා ගෙන ඇවිද යමින් උන් මිලීනා නතර වූයේ සාමාත්, රීටාත් දෙදෙනාම කුඩා නිවස ඉදිරිපස වූ මිදුලේ උන්  නිසාය.

“ඒකි දැන් බඩ දරු ගෑනියෙක්නෙ බං. එහෙම හිතූ හිතූ හැටියට එහෙ මෙහෙ යන්න ඉඩ දේය මහත්තයා. මේකි ඊයේ පෙරේදත් ගිහිල්ලා බලලා ආවේ.”

රීටා එසේ පැවසූයේ සාමා  නිහඬ වද්දීය. වැඩට යද්දීත් එද්දීත් හමුවන සියල්ලෝම අදටත් අසන්නේ දහරා ගැනය. සමහරුන්ගේ සිතෙහි සැබෑවටම කම්පාවක් වුවත් තවත් සමහරෙකුගේ සිතෙහි ඇත්තේ ‘ඕකිට හොඳ වැඩේ..’වන් හැඟීමක් බව විශ්වාසය. සේකර වත්තේ විවිධාකාරයේ මිනිසුන් ජීවත් වේ. ඒ අතරින් සාමාත් රීටාත් ඇසුරු කළේ අතලොස්සක් පිරිස ය. එවිට ප්‍රශ්න අඩුය.

“උඹ එහෙ යද්දි මටත් කියහන් සාමා. ඒකිට කන්න මොනවා හරි හදල යවන්න. වත්තේ හිටියනං ඉතින් එක වේලකට කෑම පිඟානක් දෙකක් වරදින්නෙ නෑ.” 

ඇය පවසන්නේ මුසාවක් නොවේ. රණ්ඩු, හිත් රිදීම්, එකිනෙකාට බැණ අඬ ගසා ගැනීම් චෝදනා කර ගැනීම් තරමටම මේ වත්තේ මිනිසුන් විපතට, කරදරයට  හිතවත්ය. එකිනෙකාට ආදරේය. කොතරම් තරහ මරහා සිත්වල තිබුණත් එකිනෙකා වෙනුවෙන් එකතු වීමට බොහෝ වේලා ගත වන්නේ ද නැත. 

“උඹ ඔය මල්ලකුත් කිහිල්ලේ ගහගෙන  කොහේ යන ගමන්ද…?”

සාමා තිගැස්සුනේ යළිත් අම්මාගේ උස් හඬ ඇසෙද්දීය. 

“මං මේ මාර්කට් යනවා”යැයි පැවසූ ගැහැණිය ඉදිරියට ඇවිද ගියේ අම්මාගෙනුත් දුවගෙනුත් සමු නොගනිමින්මය. 

“මොකක්ද බං උඹ කිය කිය හිටියේ..එහෙම කියන්න මොනවා හරි දෙයක් වෙන්න එපැයි. මොකක්ද එහේ ගිය වෙලාවේ උනේ”

“නෑ අම්මේ.. කෙල්ල හිටියේ බය වෙච්ච ගානට. හැම තිස්සෙම මොනවා හරි හංගන්න හදනවා කියලා මට හිතුනා.”

“ඉතින් උඹ ඇහුවෙ නැද්ද?”

“ඇහුවා..ඇහුවා…කීප පාරක්ම කටට උත්තරේ දීලත් ඇහුවා. මනුජිත්ගේ අම්මයි තාත්තයිනං වැඩිය කතාබහ කරන්නේ නෑ කියලා කිව්වා. මනුජිත් පුතා කිව්වලු අම්මයි තාත්තයි කොහොමත් එහෙමයි කියලා. ඒ උනාට කිසි අඩුවක් කරන්නේ නෑ කියලත් කිව්වා.”

“එහෙම උනත් ඒක පුදුම වෙන්න දෙයක් නෙමේ බං. හදිසියේ ගහෙන් ගෙඩි එන්න වගේ මෙහෙම දේවල් වෙද්දි මොන අම්මා තාත්තද කැමති වෙන්නේ. ඒ මිනිස්සුන්ටත් අපිට වගේම තවමත් මේ වෙච්ච දේවල් හිතාගන්න බැරුව ඇතිනේ.”

“මමත් එහෙම තමයි අම්මේ හිතුවේ…ඒ උනාට ඒ මනුස්සයාට තිබුණා මට මුහුණ දීලා එක වචනයක් කතා කරන්න. අපේ දරුවනේ එතැන ඉන්නේ”

“මනුජිත්  ළමයා අපේ කෙල්ලට හොඳට සලකනවද බං?”

“එහෙම තමයි කිව්වේ. හොඳට හොයලා බලනවා කියලත් කිව්වා. කන්න බොන්න ආස කරන හැමදේම ගෙනත් දෙනවා කියලත් කිව්වා. ඒ උනාට අම්මේ කෙල්ල එහාට මෙහාට යනකං ඉඳලා මම හට්ටි වලං ඇරලා බැලුවා. බත් කටවල් දෙකකුයි මොන මොනවදෝ එළවලු චූට්ටකුයි විතරයි ඒවායේ තිබුනේ. මං එපා කිව්වට කෙල්ලට වුවමනාව තිබුණා මට මොනවා හරි හදලා කන්න දෙන්න. ඒ උනාට ගෙදර බඩුමුට්ටු කිසි දෙයක් තිබුණෙ නෑ අම්මේ. මෙච්චර දුප්පත් වෙලත් අපේ ගෙවල් වල  හාල් ටිකක් පරිප්පු ටිකක් කරවල කෑල්ලක් වරදින වෙලාවක් නෑ. මට හිතෙනවා ඒ මිනිස්සු ඕනවට වඩා ලෝබ මිනිස්සුද කියලා…”

“උඹ ඕනවට වඩා හිතනවා වෙන්න බැරිද…මම මල්ලිගෙ ෆෝන් එකෙන් කෝල් එකක් අරගෙන දවල්ට කතා කරහමත් කෙල්ල කියන්නේ කාලා බීලා නිදාගන්නවා කියලා.”

“අනේ මන්ද …ඒ උනාට අර ගෙනියපු බත් එකත් ඒක ඇටයක් නැති වෙන්න කෙහෙල් කොලේ අතගා ගෙනත් කෑව අම්මේ…”

“උඹ ඔහොම කියද්දි මගේ පපුව පත්තු වෙනවා. ගෙදරදිත් ඕකි  කොයි වෙලාවකවත් කිසි අඩුපාඩුවක් කියපු කෙල්ලෙක් නෙමෙයි. අපිම හිතල අහල මොනවා හරි ගෙනත් දුන්නොත් මිසක්කා.”

සාමාගේ දෑස් දෙපසින් කඳුළක් බේරී යමින් තිබිණි. ඈ හිස් බාල්දිය එතැනම තබා නිවස තුළට ගියේ පාරේ යන එන අයෙකු ඒ කඳුළු  දුටුවහොත් ප්‍රශ්න දහසක් අසන නිසාය. මහා වත්  පොහොසත් කමක් නොතිබුණාට ඈ සැමියා සමග ගත කළේ සන්සුන් දිවියකි. ලැබූ දෙයින් සැනසෙන්නට තරම් හැකියාවක් ඇයටත් සැමියාටත් දෙදෙනාටම විය. කීර්ති ඒ ආසන්නයේම වූ රබර් කර්මාන්ත ශාලාවක රියදුරෙකු ලෙස සේවයේ නිරත වූවේය. රිය අනතුරකින් ඔහු මිය යද්දී දහරාගේ වයස අවුරුදු තුනකි. 

එදා සිට සාමා ජීවත්  වූයේ දහරාව තම ලෝකයම කරගෙනය. සැමියා මිය යද්දී තරුණ වයසේ පසුවූ ඇයට ආ විවාහ යෝජනා ඕනෑ තරම්ය. ඒ සමහර ඒවාට අම්මාත් කැමති වූයේ තමාට යන කල දවසක් තිබිය යුතුයැයි සිතූ නිසා වන්නට ඇත. එහෙත් එදවස  සිටම ඈ එසේ පැමිණෙන අයෙකුගෙන් දහරාට වෙනස්කමක් වෙතැයි බිය වූවාය. 

කාලය ගෙවීයත්ම දහරාගේ සුරතලය මැද දවස ගෙවී යනවා සාමාට දැනුනේ නැත. එකී ජීවිතයේ සියලු බලාපොරොත්තූන් සිය දියණිය වටා ගොඩ ගැසිණ. දහරා යනු අම්මා පැවසූ අයුරින් කුඩා කලවත් කරදර කළ දරුවෙකු නොවේ. ඇය තමාගේ නැති බැරිකම් සේම මේ ජීවිතයේ වන අපහසුකම් ද හොඳින් හැඳින්නාය. එවන් දියණියකට ජීවිතය වැරදුනේ කෙසේදැයි සාමාට අදටත් නොතේරේ. අතීතයට එක් වූ එදවස් අදටත් මහා අඳුරක් සමගින් සාමාගේ ජීවිතය වෙලා⁣ ගෙනය.

සති දෙක තුනක්ම දියණිය සිටියේ හේබාගිය  මුහුණින් යුතුව ය. උසස් පෙළ ප්‍රතිඵල වලින් නිශාදී විශ්ව විද්‍යාලයට තේරීමත් ඇය ඊට අපොහොසත් වීමත් ඒ දුකට හේතුව වන්නට ඇතැයි සාමා සේම රීටාත් විශ්වාස කළාය. දෙවෙනි වතාවටත් විබාගයට පෙනී සිටින්නයැයි සාමා දහරාට පැවසූයේ එනිසාය. ඒ වෙද්දීත් දහරා උන්නේ දෙවන වර උසස් පෙළ විභාගය ලියන්නට සූදානමින්ය.

“අනේ මන්දා බං. ඒකි කන්නෙ බොන්නෙත් නෑ.  වෙලාවකට පාඩම් කරනවා. තව වෙලාවකට ඔහේ බලා ගත්ත අත  බලාගෙන ඉන්නවා. තව සැරේකට ඇද බදාගෙන නිදා ගන්නවා. අන්න අර නිශාදි ළමයා ආපු වෙලාවෙත් ඇඟට කිසි ෆිට් එකක් නෑ කියලා කියනවා මං අහගෙන. අද හවස දෙහි එකක් හදලා දෙන්න අහද්දිත් අප්පිරියයි කියලා කිව්වා. බඩේ අජීරණයක්වද්ද  දන්නේ නෑ….අද උදේ වමනේ දැම්මා.”

අවසන සාමා දියණියව වෛද්‍යවරයකු වෙත කැඳවාගෙන යාමට තීරණය කළේ අම්මා දිගින් දිගටම මැසිවිලි නඟද්දීය. ගෙවී ගිය සති දෙකට ඇය රූපයෙන් පමණක් නොව සිරුරෙන්ද වැහැරී ගියාය. 

“මොනවද චූටි මිස්..විභාගයක් ෆේල් වුණා කියලා ඔහොම නොකා නොබී  ඉන්න ඕනෙ නෑ. නැට්ට පිටින් අලි මැරෙන ලෝකයක් මේක. චූටි මිස් ආයේ විභාගේ කරනවනේ. එතකොට අපි කැම්පස් යං..එහෙම බැරිවුනොත් ඔය ප්‍රයිවට්  කැම්පස් දැන් ඕන තරං තියෙනවනේ….මං කොහොම හරි සල්ලි ටිකක් හොයලා දෙන්නම්…”

ගෙයි පඩිය මත වාඩිවී උන් සොහොයුරා එසේ පැවසූයේ දහරා අපහසුවෙන් සාමාගේ අතෙහි එල්ලී නිවසින් එළියට බසිද්දීය. දියණියව වෛද්‍යවරයා වෙත රැගෙන යන්නට ත්‍රී රෝද රථයක් නවතා දුන්නේත් ඔහුය. බඩේ අජීරණයක් යැයි පැවසූ වෛද්‍යවරයා බෙහෙත් පෙති කිහිපයක් ඇය වෙනුවෙන් ලබා දුන්නාය. සතියක් ගතව කීයද ඇගේ පෙනුමෙහි වෙනසක් වූයේ නැත. දවසක් දෙකක් වමනය කළේත් අප්පිරියාවෙන් පසුවන බව කියා කෑම නොකා සිටියේත් සාමාත් රීටාත් බියපත් කරමින්ය. 

“මල්ලිව යවලා ලොකු හාමුදුරුවෝ පන්සලේ ඉන්න වෙලාවක් බලලා එක් කරගෙන ගියා නම් හොඳයි. උන්වහන්සේ දෙහි ගෙඩියක් හරි තැඹිලි ගෙඩියක් හරි මතුරලා දුන්නහම ඔය අජීරණය අඩුවෙලා යයි. කෙළ ගැල්මක් වගේනං ලේසියෙන් හොඳ වෙන්නෙ නෑ.”

අවසන සාමා නිවාඩුවක් දැමුවේ දියණියවත් කැඳවාගෙන ලොකු හාමුදුරුවන් වෙත යාමටය. සාමාට හදිසියේම යමක් සිහි වූයේ ගිය මස පඩියෙන් ගෙන ආ සනීපාරක්ෂක තුවා පැකට්ටුව අල්මාරිය තුළ එහෙමම තිබෙනු දකිද්දීය. 

ආපසු හැරුණු ඈ තමාට පිටුපා ඇඳ මත නිදා සිටින දියණියගේ උරයකට අතක් තැබුවේ ඇයව ඇහැර වන්නට සිතාගෙනය. තරුණ වයසේ දියණියන්ට මාසික ඔසප් වීම නිසි ලෙස සිදු නොවීමෙන් ද විවිධාකාරයේ රෝගාබාධ  හටගන්නා බව සාමා අසා තිබිණ. දහරා මවක් වන්නට යතැයි සිහිනෙකින්වත් නොසිතූ සාමා “මේ මාසේ සනීප නැති උනේ නැත්දැයි…” ඇසුවාය. 

බියෙන්  විසල් වූ දහරාගේ දෑස් දුටු සාමාට දැනුනේ අමුත්තකි. ආපසු හැරුණු ඕ  අල්මාරියේ යට ඇඳුම් ඇති කොටස හොඳින් අවුස්සා බැලුවාය. ගිය මස වැටුපෙන් පමණක් නොව ඉන් පෙර මාසයේ වැටුපෙන්ද ගෙන ආ සනීපාරක්ෂක තුවා පැකට්ටුවත් එහෙමමය. 

“දහරා…ඊට කලින් මාසෙත්….”

දහරා හිස වැනුවේ නැතැයි කියන්නටය. සමා යුවතිය උන් ඇඳ මතම අසුන් ගත්තේ දෙපා අවසඟව ගිය රෝගියෙකු විලසෙන්ය. කිසිවෙකු හෝ අතින් ඇයට වරදක් සිදුවූයේදැයි බියෙන් තැතිගෙන උන් සාමා අපහසුවෙන් වදන් පෙළක් ගලපා ගන්නට උත්සාහ කරද්දීම දහරා හඬාගෙන ඇයව බදා ගත්තාය. 

(යළිත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here