සඳ දිය දහරා – 8

0
916

නැන්දණිය තමා මනුජිත්ගේ බිරිඳ ලෙස හඳුන්වාදී නොමැති බව දහරා හරි හැටිම දැනගත්තේ දැන්ය. විවාහ වී මෙම නිවසට පැමිණි දාම ‘අහල පහල කිසි කෙනෙක් එක්ක කතාවට යනවා එහෙම නෙමෙයි. අපි මේවයේ වැදගත් විදිහට ජීවත් වෙච්ච මිනිස්සු. ඔය වතුවල පුරුදු මෙහේ නෑ. අපිට උන් හිටි තැන් නැති කරන්න ලෑස්ති වෙන්න එපා.’ යැයි ඈ පැවසූ අයුරු දහරාට සිහි වූයේත් ඒ හදිසියේමය. ගමේ සායනයට ලියාපදිංචි වන්නට නොදී ඇයව නගරයේ  සායනයට කැඳවාගෙන ගියේත් මනුජිත්ගේ  අම්මාමය. එහි ඇගේ හිතවතියක විය. සායනයට ලබා  දී තිබුනේත් ඒ හිතවතියගේ නිවසේ ලිපිනයයි. එහිදී මනුජිත් පැවසූයේ පාසල් සෙවීම පහසු බැවින් නගරයේ ලිපිනයක් ලබාදුන් බවය.  මේ සියල්ලම කුමක් හෝ සැලැස්මක ප්‍රතිඵලයක් යැයි දහරාට වරෙක සිතේ. 

“හැම දවසකම සිදුවෙන අලුත් අලුත් සිදුවීම් වලට පස්සේ මම ඒ අතරිනුත් ජීවත් වෙන්න පුංචිම හරි  බලාපොරොත්තුවක් හොයනවා. අද දවසේ ඒ අක්කගෙ වචන වලින් මං ඇහිඳ ගත්තේ බලාපොරොත්තුවක් ‘ශ්‍රියාලතා නැන්දා හැමදාම එයාට දුවලා නැති එක ගැන ගොඩක් දුකෙන් හිටියේ. දැන් ඔයා ගෙදර ඉන්නවා කියන්නේ එයාට දුවෙක් ඉන්න මහා සමානයි.. ‘මේ මොහොතේ ඉඳන් මං වෙහෙසෙන්න ඕනේ අම්මගේ හිතේ එයා හැමදාම බලාපොරොත්තුවෙන් ඉඳපු දුව වෙන්න..සමහර විට ඊට පස්සේ නිකම්ම මට මනුජිත්ගේ  හිතේ ඉඩක් හොයාගන්න පුළුවන් වෙයි.”

දහරා අවසන සංෂිප්තය එකතු කරමින් තමාගේ සැලැස්ම පමණක් ලියා තැබුවාය. උදේ  වරුවේ නිවසින් පිට වූ මනුජිත්ගේ මව තවමත් නිවසට පැමිණ සිටියේ නැත. දහරා ප්‍රථම වරට ඇගෙන් නොඅසාම කැකුළු හාලේ බතක් ලිප තබා. හාල්මැස්සන් හොද්දකුත් පොල් සම්බෝලයකුත් සෑදුවාය. පපඩම් මිරිස් බැදුමක් තිබුණානම් හොඳයැයි  සිතුනත් ඊට අවැසි කළමනා නිවසේ වූයේ නැත. අවසන ඈ මල් පහන් පූජා කර උණුවේ බත් ඩිංගකුත් කෑවාය. 

තමාගේ ජීවිතයේ සියල්ල උඩු යටිකුරු වූ ඒ දිනය දහරාට අමතක කළ හැකි එකක් වූයේ නැත. දේශානි  විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබා ඇති පුවත සිත රිදවන කාරණයක් වූයේ නිරායාසයෙන්මය. අපේක්ෂා කළ ප්‍රතිඵල නොවීම පිළිබඳව පුදුම වූයේ දහරා පමණක් නොවේ. පාසලේ ගුරුවරුන් පවා ඒ ගැන පුදුම වූ බව පැවසූයේත් දේශානිමය.

“ඔයා පාඩම් කරනවා කියලා පෙන්නුවාට ඇත්තටම පාඩම් කරලා නෑ දහරා. මනුජිත්ව හිතේ තියාගෙන ඔයා පොත දිහා බලන් ඉඳලා විතරයි. එහෙම නොවුනනම් මේ රිසාල්ට් එක තියෙන්න ඕනේ මට නෙමෙයි උඹට.. පළවෙනි පාර අපි දෙන්නම මිස් උනේ  අනූනවයෙන්. දෙවැනි පාර ඒලෙවල් කලේ කොහොම හරි කැම්පස් යනවා කියන බලාපොරොත්තුවෙන්. කරුමෙකට උඹට  මනුජිත්ව හම්බ නොවුනනම් අද අපි දෙන්නම එකට කැම්පස් යනවා. කට කැඩෙනකල් කිව්වත් උඹ කලේ ක්ලාස් කට් කරකර උගේ පස්සේ එල්ලිලා එහේ මෙහේ ගියපු එක”

නිශාදී එසේ චෝදනා කළේ වරක් දෙවරක් නොවේ. අම්මා, චූටි මාමා, හෝ ආච්චී කිසිවක් නොකීවද දහරා උන්නේ බලාපොරොත්තු කඩවීමේ ශෝකය සිතෙහි තබාගෙනය. 

“තුන්වෙනිපාර  ට්‍රයි කරන්න මමත් පළවෙනි පාරෙන්ම කැම්පස් ගියේ නෑ.” 

මනුජිත් පවා සැහැල්ලුවෙන් පැවසුවේය. ඒ දහරාට තමන් පිළිබඳවවත් වගක් නොවූ කාලයකි. දෙමසක් පුරාම තමාට මාසික ඔසප්වීම සිදු වූයේ නැතැයි කල්පනා වද්දී ඕ බියෙන් ඇළලී ගියාය. දෙමසක් නොව තුන් මසක්ම එය එසේ වූයේයැයි සිහිවූයේ මඳක් ප්‍රමාදවය. 

ඒ වද්දීත් ඕ  මනුජිත්ව ඇසුරු කළේ සීමාවටත් එහා ගිය පරාසයක සිටය. ජීවිතයේ සියල්ල ඔහු කරගෙනය. ඇය විශ්ව විද්‍යාලයට තේරුණහොත් එහි යන්නට ප්‍රථමව විවාහය ලියාපදිංචි කළ යුතු යැයි මනුජිත්  පැවසූයේ ප්‍රතිඵල එන්නට කලින්ය.  ඒ ඔහු හා නගරයේ අවන්හලක උඩුමහලේ කාමරයක ගත කළ සවස් යාමයේය. කුමක්දෝ අහේතුවකට ඒ ගැහැණු සිත ඒ වන විටත් මනුජිත්ට  ඇබ්බැහි වී සිටියාය. මිදෙන්නට බැරි වූ ලෝබකමකින් ඔහු හා බැඳී සිටියාය. හරි වරද නොසොයාම ඔහු පැවසූ සියල්ලකටම එකඟ වෙමින් සිටියාය. අවසන ඔහු රැගෙන දෙන පෙත්තක් දෙකක් ගිල දමන්නේත් කිසිවක නොවිමසාමය. ඒ සෑම විටකම ඔහු විවාහ ලියා පදිංචියක් ගැන පැවසුවා ඔහුට මතකය. මනුජිත්ට  දුරකථන ඇමතුමක් ලබා දෙන්නට කිහිප වරක්ම උත්සාහ කළ දහරා ඇඳ මත දිග ඇදී අනෙක් පස හැරුනේ වෙහෙසකරවය. පපුව ගැහෙමින් තිබුණේ ඇයටත් සිතාගත නොහැකි වූ වේගයකින්ය. අම්මා කාමරයට පැමිණ වානේ අල්මාරිය විවර කරන හඬ ඇසුණේ එවේලෙහිය. මුළු නිවසටම වූ එකම කාමරයේ වූයේ එකම වානේ අල්මාරියකි. එහි එක් පසක් දහරා පාවිච්චි කළ අතර අනෙක් පස අම්මාත් ආච්චීත් වෙනුවෙන් වෙන්ව තිබිණ. ගැහැණුන් තිදෙනාම නිදා ගත්තේ මේ කාමරයේය. චූටි මාමා නිදාගත්තේ මුළුතැන් ගෙයත් සාලයත් වෙන් කරන කුඩා කෑම කාමරයේ වූ ඇඳකය. ප්ලාස්ටික් මේසයත් පුටු දෙක තුනත් විසිත්ත කාමරයේ කෙළවරකම වූ නිසා කෑම කාමරය සම්පූර්ණයෙන්ම ඔහුගේ පරිහරණය සඳහා වෙන්ව තිබිණ. 

අම්මා සිය උරහිසක් අතින් තදකර ‘ගිය මාසේ අසනීප වුණේ නැද්ද දහරා….’යැයි  අසද්දී යුවතිය තිගැස්සුණාය. ආපසු  අල්මාරිය වෙත ඇවිදගෙන ගිය ඈ ‘කලින් මාසෙත් නැද්ද…’යැයි ඇසුවේ දෑස් උඩ තබාගෙනය. තවදුරටත් මේ බියත් සැකයත් දරා ගත නොහී වූ දහරා අම්මාව බදා ගත්තේ ඉකි බිඳුමකුත් එක්කය. 

“සමහර වෙලාවට ඔය වයසෙදි එහෙම වෙනවා. මං අහලා තියෙනවා බඩේ ගෙඩි වලටත් එහෙම වෙනවා කියලා. කන්න බැරි වෙලා වමනෙ ගිහිල්ලා ගොඩක් අමාරු වෙනවලු. මුලින්ම ඔයා මට ඒක කිව්වනං අපිට ඒ සම්බන්ධව ඉන්න ඩොක්ටර්  කෙනෙකුටම පෙන්නන්න තිබුණා. සමහර ගෙඩි බඩේදීම පුපුරනවලු. එතකොටනම් කැක්කුම ඉන්න බෑලු. ලොකු කැක්කුමක් දැනෙන්නේ නෑ නේද දහරා…”

දහරා හිස වැනුවේ ‘නැතැයි’ කියන්නටය. ඒ අම්මා තමා ගැන තබා තිබූ විශ්වාසයය. ඇගේ හදවතට දැනෙමින් තිබුණේ වෙනමම බියකි. සිතුවිලි පවසමින් සිටියේ වෙනමම කතාවකි. එහෙත් ඈ අම්මා කියන්නා සේ තමාට එවන් අසනීපයක් වේවායැයි පැතුවාය. 

“අපි කෝකටත් පෙරේරා මහත්තයට පෙන්නමු. එතකොට කරන්න ඕන දෙයක් හරි කියයිනේ.”

අවසන හිස වනා සාමාට එකඟ වූ දහරා ඇඳෙන් නැගී සිට සැහැල්ලු ගවුමක් ඇඟලා ගත්තාය. 

දහරාගේ  සිතුවිලි වලට විරාමයක්ලැබුණේ අඩවල් කර තිබූ දොර පලු දෙක දෙපසට විවර වන හඬ ඇසෙද්දීය. ඕ ඇඳෙන් නැගිට ආලින්දය කරා ඇවිද ගියේ දෑස් වල වූ කඳුළු සඟවා ගන්නට ඇසිපිය සලනා ගමන්ය. අම්මාට පෙර මනුජිත්  නිවසට පැමිණේවායැයි සිතූ 

යටි සිතේ බලාපොරොත්තු ඉටු නොකරමින් තිදෙනාම  නිවසට පැමිණ සිටියේ එකටමය. දහරාව ගණනකට නොගත් අම්මාත් තාත්තාත් ඔවුන්ගේ කාමර දෙසට ඇවිද යද්දී මනුජිත් දහරාව පසුකරමින් ඔවුන්ගේ  කාමරයට ඇවිද ගියාය. 

“මං ඔයාට තේ එකක් හදන්නද…..”

ඈ එසේ ඇසුවේ ඔහු පසුපස ඇවිද එමින්ය. 

“හ්ම්….”

ඇය පවසන යමකට ඔහු එකඟ වූයේනම් ඒ ලැබුණේ කෙටි පිළිතුරුය. 

“අම්මටයි තාත්තටයි තේ හදන්නද…”

එතනම නතර වූ ඈ එසේ ඇසුවේ විසිත්ත කාමරයේ සිටය. 

“පිටියි සීනියි අඩුවෙන් දාලා හදන්න.”

ශ්‍රියාලතා එසේ පවසා කෑ ගැසුවේ කාමරයේ සිටමය. අම්මා එද්දී අතුරුදන් වූ පිටි බෝතලය යළිත් කබඩය තුළ තිබෙනු දහරා  දුටුවේ පසුදා උදෑසන තේ සාදද්දීය. 

ඕ වතුර කේතලය ලිප තබා ආපසු හැරෙද්දීම ශ්‍රියාලතා ගෙදරට අඳින සැහැල්ලු ගවුමක් ඇද මුළුතැන් ගේ තුළට පැමිණ සිටියාය. 

“මගේ දෙයියනේ උයලා නේද..ඈ ළමයෝ මං කියනකං ඉන්නේ නැතුව මොකක්ද මේ කරලා තියෙන විනාසේ..”

ඈ නළලේ අත ගසාගෙන කෑ ගැසුවේ දහරාගේ  දෑස් උඩ හිඳුවාලමින්ය. 

“ඉතිං අම්මේ තාත්තයි මනුයි එන්නේ බඩගින්න නිසා…”

“ඒ පැහිච්චකම් කවුද ඔයාට කරන්නේ කියලා කිව්වේ. හැමදාම මම මේසේ උඩින් තියෙන දේ විතරයි ඔයාට උයන්න කියලා තියෙන්නේ. මං ගියේ නංගිලාගේ ගෙදර. එහේ ගිහින් එද්දී කවදාවත් හිස් අතින් අත් දෙක වන වන ආවේ නෑ. රෑට කන්න ඔක්කොටම කෑම අරගෙන ආවේ. මේ ගෙදර ඉන්න ඕනනම් මං කියන විදිහට වැඩ කරන්න. දැන් ඉතින් හෙට උදේ රත් කරලා කන එකයි තියෙන්නේ. අනිත් දවසේ හොඳට මතක තියාගන්න කියන දේ විතරක් කරන්න.” 

ඕ කෑගැසුවේ නිවස ගෙදරවා යන තරම් උස් හඬකින්ය. දහරාගේ දෑස් වල වූ කඳුළු තවදුරටත් සඟවා ගන්නට ඇයට හැකිවූයේ නැත. වැඩිපුරම දුක සිතුනේ මුළුතැන් ගේ හරහා නාන කාමරයට යන්නට ආ මනුජිත් ඉවත බලාගෙන නෑසුනා සේ සිටිද්දීය. 

“තේ එක ඔච්චර හැදි ගාන්නෙ ඇල් වතුර වෙනකල්ද…අයින්ට වෙන්න. ගෙවල් වල නාස්ති  පුරුදු මෙහෙට අරගෙන එන්න එපා. එහෙම නාස්ති කලානම් මේ වගේ පැත්තක ගෙවල් දොරවල් හදාගෙන මට මේ දරුවට උගන්නගෙන ඉන්න හම්බවෙන්නේ නෑ.”

දහරා බිම බලාගෙන කාමරයට පැමිණියේ ඇය තමා සාදමින් උන් තේ කෝප්පය බලෙන් මෙන් උදුරා ගනිද්දීය. ඉන් විනාඩි කිහිපයකට පසුව දහරාට ඇසුණේ මනුජිත් යමක් පවසන උස් හඬය. එයට අම්මාත් තාත්තාත් හිනැහුනේ එකටමය. ඔවුන් සියල්ලෝම එකමුතුය. අන් තැන්වල නොවූ ලෝභ හිතෙනා තරමේ සහයෝගයක් එකමුතුකමක් මේ පවුල තුළ විය. ඔවුන්ගේ ජීවිතවලට ආගන්තුකයෙකුව පැමිණ විඳවන්නේ තමාය. 

‘චූටි පුතේ අපි තව ටික දවසක් ඉවසමු. අනේ මන්දා. මගේ හිතේ ලොකු විශ්වාසයක් තියෙනවා ඔයාට පුළුවන් මේ හැම දුරස්ථ භාවයක්ම නැති කරන්න කියලා. අම්මට බැරි උනත් ඔයා ඒ හිත් වලට නැතුවම බැරි කෙනෙක් වෙන්න. අද මට හිතෙනවා මං මේ සටන් කරන්නේ මං වෙනුවෙන් නෙමෙයි ඔයාගේ අයිතිය වෙනුවෙන් කියලා. තාත්තල නැතුව අම්මලා අමාරුවෙන් දරාගෙන උස්මහත් කරන දරුවෝ මං ඕන තරම් දැකලා තියෙනවා පුතේ. හැබැයි එහෙම ජීවිතවල දුක් වේදනා හිස්තැන් අඩුපාඩු වැඩියි. මට ඕන වුණේ ඊට වඩා චුට්ටක් හරි එහාට ගියපු සැනසීමක් ඔයාගේ ජීවිතේ ඉතුරු කරන්න….”

අවසන දහරා තමාටම මුමුණා ගත්තේ කුස අතගාමින්ය. ඕ බොහෝ විට ඔහේ කියවමින් උන්නේ කුසෙහි වැඩෙන දරුවා පිරිමි දරුවෙකු යැයි සිතාගෙනය.

(යළිත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here