හදේ කොතැනක හෝ හිඳී – 14

0
2769

විසල් ගෙදර පැමිණෙන විටත් සේනක ගේ කෑගැසීම ඇසෙමින් තිබිණ. ඔහු බයිසිකලය නවතා ගෙතුළට යත්දී සේනක සිටියේ යක්ෂාරූඪයෙනි. මේධා බිත්තියක් අස හිටගෙන බිම බලා සිටියා ය. අම්මා ගේ මූණ රතු වී ඇති බවත්, ඇය හඬමින් සිට ඇති බවත් විසල් වහා වටහාගත්තේ ය. නමුත් විසල් ට හඬනා බවක් නො පෙනෙන සේ ඊට මොහොතකට පෙර මේධා කඳුළු දෙ කොපුල් පිසදාගත්තා ය.

ප්‍රශ්නය හටගැනුණේ රෑ කෑම පාර්සල් ගෙන යන්නට පැමිණි වාඩියේ තරුණයෙකු නිසා ය. ඔහු පැමිණෙන විට මේධා ට කෑම පාර්සල් සාදා නිම කර ගත නො හැකි ව තිබිණ. එදා හවස අනගි සමගින් ම පොළේ ගොස් කළමණා රැගෙන එන විට මඳක් පවා විය. එබැවින් උයා අවසන් වන විට ටිකක් වැඩිපුර වෙලා ගියේ ය.

‘චුට්ටක් ඉඳගෙන ඉන්න. මං ටක් ගාල පාර්සල් කරල දෙන්නං’

කියා ඇය ඉක්මන් කොට සිය කාරිය නිමා කළා ය. කෑම පැකට් ටික බෑග් මල්ලෙහි දමා ඔහු අතට ගෙන ගොස් දෙත්දී තරුණයා වචනයක් දෙකක් කතා කළේ ය.

‘මල්ලිත් නැති නිසා අක්කට තනියම මේව කරගන්න ටිකක් අමාරුයි නේ…’

‘අනේ පුතා හිටියනං ඉතිං ඔක්කෝම කරන්නෙ එයා තමයි’

‘විසල් තාම නෑ නේ… රෑ වෙනවද අද…’

‘දැං එනව ඇති මගෙ හිතේ’

‘කොල්ල ගොඩ ගිය එක ගැනනං අපිට මාර සතුටුයි. වාඩියට ඇවිත් අත් උදව්වට වැඩකරන්න අහ අහ හිටියෙ’

මේධා අහිංසක ව හිනැහුණා පමණකි. සේනක ගෙදර පැමිණියේ එතකොට යි. වාඩියේ තරුණයාත් මේධාත් සිටියේ ආලින්ද කොටසෙහි දොරටුව ට ආසන්නයෙහි ය. සේනක ගිනිගත් දෑසකින් ගෙට ගොඩ විය.

‘එහෙනං මං යන්නං අක්කෙ’

කියාගෙන තරුණයා පිට ව ගියේ ය.

‘තෝ ඒ ගමන එක එකාලව ගෙට දාගන්න පටං ගත්තද ගෑනියෙ…’

කියමින් සේනක කෑගසන්නට පටන් ගත්තේ ඒ වෙලාවේයි. මේධා බියෙන් ගිනිගත්තා ය.

‘කෑම ටික ගෙනියන්න ආවෙ’

ඇගේ හඬ වෙව්ලා ගියේ ය. බියපත් මුවැත්තක ඉදිරියේ රඟ දක්වන කොටියෙකු සේ සේනක ගේ වියරුව පෙනිණ. ඔහු    යන්තමින් හෝ මත්පැන් ටිකක් කට ගා ඇති බව ඇයට ඒ දුගඳින් හැඳිනගත හැකි විය. කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ඔහු කටට එන නො සරුප් වදන් යොදාගනිමින් මේධා ට බණින්නටත් ඇගේ චරිතය ඝාතනය කරන්නටත් වූයේ ය. ඒ ඇතැම් කතාවක් ඇයට අසා සිටිය නො හැකි තරම් අප්‍රසන්න වූයේ ය. පිළිකුල් සහගත වූයේ ය. ජුගුබ්සාජනක වූයේ ය.

‘මොනාද අනේ ඔය කියන ජරා කතා…’

ඇය කඳුළු පිරි දෑසින් බෝ ඉවසීමෙන් කතාකළා ය. සේනක වාගේ මිනිසෙකු සමග කෝපය පෙන්වා තරහ ගෙන කතා කළ නො හැකි බව අවුරුදු විස්සක් ඉක්මවන යුග දිවි ගමන තුළ මේධා අවබෝධ කරගෙන තිබේ.

විසල් පැමිණෙන විටත් පැවතුණේ ඒ කෑ කෝ ගැසීමයි. විසල් පැමිණි බව දැනුණාට පස්සේ සේනක අලුතෙන් වයින් කරන ලද සෙල්ලම් බඩුවක් වාගේ දැඟලීමත් කෑගැසීමත් වැඩි කළේ ය. සිදු වූයේ කුමක්දැයි විසල් අම්මාගෙන් විමසූයේ දෑස් ඉඟියෙනි.

‘කෑම පැකට් ටික හදල ඉවරවෙනකල් අර ළමයෙක් ගෙයි ඉඳං හිටියයි කියල’

මේධා රහසින් ද කෙටියෙන් ද මිමිණුවා ය. විසල් ට පෙරපර ගළපා සිදු වූව සිතාගත හැකි විය.

‘උඹ හිතං ඉන්නෙ උඹ දැං හරී ලොකු ගෑනියෙක් කියල නේ… අනේ ය කෝ… උඹ මේ දඩාවතේ ගිහිං ළමයෙකුත් හදාගෙන අතන මෙතන අගුපිල් වල වැටි වැටි හිටපු එකී… පව් කියල අනුකම්පා කළාම තොපි දැං මගෙ ඔළුවට අතහෝදන්න එනව නේ…’

‘මොකද්ද සේනක මේ ඔයාට වෙලා තියෙන්නෙ…’

තවත් නම් අසරණ ලෙස බලා සිටින්නට මේධා අපොහොසත් වූවා ය. වචනයකින් හෝ ඇගේ ඒ නැගී සිටීම සේනක ට ඉවසාගත නො හැක්කක් විණි.

‘කාටද ගෑ නියෙ උ ඹ සද්ද දාගෙන එන්නෙ… රස්තියාදුකාරයො ගේ ඇතුළෙ දාගෙන මගුල් නටනව මදිවට දැන් එනවද මට ලොකු සීන් පෙන්නගෙන… කාගෙ ලොකුකමක්ද උ ඹට මේ හදිස්සියෙ ගහල තියෙන්නෙ…’

සේනක මේධා ගේ හිස කේ වැටියෙන් අල්වාගත්තේ ය.

‘අනේ තාත්තෙ එපා එපා… අම්මට ගහන්නෙපා’

 තතනමින් එසේ වචන එකතු කරමින් අනගි කෑගැවුවා ය. කාමරයේ ඇඳ මත හිඳ උන් විසල් වහා කාමරයෙන් පිටතට ආවේ ය. එතකොටත් සේනක මේධා ගේ කෙස් වැටියෙන් අල්වාගෙන ය.

‘අම්මට අත කියන්නනං එපා’

විසල් ට එසේ කියවුණේත්, ඔහු ගේ අත මිට මෙලවුණේත්, සේනක ගේ මිටින් මේධා ගේ කෙස් වැටිය අතෑරුණේත් එකට ය.

‘ඇයි… ඇයි උඹ මට ගහන්නද… ආ ගහපං බලන්න… ගහපංකො පුළුවන්නං…’

සේනක එවර මේධා අතැර විසල් සමග පැටළෙන සූදානමක් පෙන්වූයේ ය. මේධා වඩාත් බිය වූයේ එවිටයි. ඔහු සිය පුතු ආවරණය වන සේ සේනක හා විසල් මැදින් හිටගත්තා ය.

‘පුතා ඔයා යන්න. ඔයා යන්න කාමරේට…’

ඇය විසල් ව කාමරය දෙසට තල්ලු කරන්නට ද වූවා ය.

‘යකෝ මුං යන එනමං නැතුව හිටපු උං… මං හම්බ කරපුවගෙං ගිලල… දැං මට ලොකු සීන් දාගෙන එනවනෙ…ගහපංකො බලන්න උඹ හරි ලොකු මිනිහනං’

තව දුරටත් ගෙදර සිටියොත් සිදුවන්නේ සැබවින් ම අම්මා වෙනුවෙන් සේනක ට පහරක් හෝ ගසන්නටයි. එහෙම කරන්නට විසල් ට උවමනා නැත. එහෙම කරන්නට තරම් අධමයෙකු වන්නට ඔහු ට උවමනා නැත. එබැවින් විසල් වහා ම ගෙයින් දොට්ට බැස බයිසිකලය පණගන්වා ගත්තේ ය. ඊලඟට පවනට බඳු වේගයෙන් නික්ම ගියේ ය.

‘අනේ පරිස්සමෙන් පුතේ’

මේධා ගේ හදවත සිය දහස්වර අයැද සිටියේ ය.

එළියට බැස ඔහේ ගියාට කොහේ යන්න දැයි නිනව්වක් විසල් ට වූවා නොවේ. ඔහු ගේ හදවත ගිනිමැළයක් සේ ඇවිළෙමින් තිබේ. අම්මා ගැන විසල් තුළ වන සදාකාලික වේදනාව මේ මොහොතේ පිපිරූ ගිනි කන්දකින් ගලා යන ගිනියම් ලාවා සේ හිත් ඉවුරු දෙගොඩතලා ගලා යමින් තිබේ. අම්මා ඔහු ගේ බව ඇත්ත ය. නමුත් සේනක වනාහි ඇගේ නීත්‍යානුකූල සැමියා ය. තමන් සේනක ගේ කවුරුන්වත් නොවන බව විසල් දනී. ඔවුන් දෙදෙනා අතරේ තැළෙනා එක විසල් කුඩා කල පටන් ම මේධා වෙතින් දුටු දෙයකි. ඇය පණ තරමට විසල් ට ආදරය කරයි. නමුත් ඇයට සේනක ට එරෙහි විය නො හැකි ය. සේනක ගේ දියණිය මේධා ගේ ද දියණිය යි. මෙතැන සිටිනා පිටස්තරයා ඔහු වේ. ඒ පවුලට අයිති නැති තැනැත්තා ඔහු වේ. සේනක සමගින් ඔහු ඇති කරගන්නා ඕනෑ ම මත භේදයකට වන්දි ගෙවිය යුතු වන්නේ අම්මා ට බව විසල් මැනවින් දනී. එබැවින් වඩාත් ම යහපත් වන්නේ ඔහු ඔවුන් වෙතින් ඈත් වී හිඳිනා එකයි.

අරමුණකින් තොර ව වුව විසල් නතර වී තිබුණේ ජාන්වී ගේ ගෙදර ගේට්ටුව ඉදිරියේ යි. එතැන නතර වූවාටත් පස්සේ ය ඔහු ට සිහි වූයේ රෑ බෝ වී එන මේ වගේ වෙලාවක ඇගේ ගෙදරට පැමිණීම නුසුදුසු බව. හෙල්මටය ගලවා අතින් ගෙන, යතුරු පැදිය මත ම හිඳ ඔහු මොහොතක් කල්පනා කළේ ය.

ජාන්වී සිටියේ සව්මිය ගේ පෙර පාසල් ඇඳුම් මදිමිනි. නිකමට වාගේ ඇගේ නෙතු සීසීටීවී කැමරා වලට සම්බන්ධ කළ රූපවාහිනී තිරය වෙත යොමු විය. විසල්!

ඇය වහ වහා ගේට්ටුව වෙත පිවිසියා ය. එතකොට විසල් නික්ම යාම සඳහා යතුරුපැදිය පණගන්වමින් සිටියේ ය.

‘විසල්…’

ජාන්වී ගේ දෑස් ප්‍රශ්නාර්ථයෙන් දැල්වී තිබිණ. විසල් යළිත් බයිසිකලයේ මෝටරය ක්‍රියා විරහිත කොට හෙල්මට් එක ගැලවූයේ ය. ඔහු ගේ මූණ ශෝකයෙන් භරිත ය. දෑස් මත ලියැවී තිබුණේ වියවුල් සහගත බවකි. හෙතෙම සුරතේ අතැඟිලි වලින් හිස කේ පිටුපසට ඇදගත්තේ ය. ජාන්වී ඒ එක මොහොතක කාලයේ දී මුළුමහත් ඔහු ගේ ඉරියව් නිරීක්ෂණය කළා ය.

‘ඇයි විසල්…’

‘නෑ… මං යන්නං… මං හෙට උදේට එන්නංකො’

‘හරි ඉතිං හෙට උදේට එන්න. ඊට කලින් දැන් ඇතුළට එන්නකො’

‘කමක් නෑ. එළියට බැහැල ඔහේ ආවට කොහෙද යන්නෙ කියල හිතුවෙ නෑ. කල්පනා කර කර ඔහේ ඇවිත් තියෙන්නෙ මෙහෙට’

යමක් සිදු වී ඇති බව ජාන්වී ට ඉවෙන් වාගේ දැනිණ. මේ තත්වයෙන් විසල් යළිත් බයිසිකලයෙන් පාරේ යා යුතු නැති බවට හැඟීමක් වහා ඇයට දැනිණ.

‘හරි හරි කමන්නෑ. දැං ඉතිං ආව එකේ තේ එකක්වත් බීලම යමුකො. එන්නකො’

ලොකු හුස්මකින් ළය පුරවා ගත් විසල් බයිසිකලය වත්ත ඇතුළෙන් දමා විත් වැරැන්ඩා පුටුවකට වැටිණ. ජාන්වී පසෙකින් වන කුළුණකට පිට දී ගත්තා ය.

‘මොකක් වුණත් හිතේ අවුළෙන් බයික් එකේ යන්නෙපා. ඔයා කැමතිනං විතරක් වෙච්ච දේ කියන්න. ඉන්නකො මං තේ එකක් හදං එන්නංකො’

කටහඬ ඇසී සව්මිය දිව ආවේ එවිට යි. විසල් දැකීමේ අහම්බයෙන් උද්දාමයටත් සතුටටත් පත් ඔහු විසල් ගේ උකුල මතට පැන ගෙල වැළඳගත්තේ ය.

‘තාත්ති ඇවිත්’

‘විසල් අංකල්ට කරදර කරන්නෙපා බබා… පාඩුවෙ ඉන්න දෙන්න’

ඔවුන් දෙදෙනා ට එහෙම ඉන්නට හැර ජාන්වී ගෙතුළට ගියා ය. හදවත මැද වූ ගිනිමැළය මතට වැස්සක් වැටී සිහිල් වූවා වන් සැනසිලි සුවයක් විසල් ට දැනිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here