මන්දාකිණි නිවසේ ප්‍රධාන දොරටුව විවෘත කර ගෙන නිවසට ඇතුළු වී දොර අගුළුලා සෝෆාව මතට ඇද වැටුනේ අප්‍රාණික සහ වෙහෙසට පත් වූ ගතිනි.රැය පහන් වනතුරු වාහනය තුළට වී ගත කළ ඇය වෙත නින්ද පැමිණියේ අලුයම හයද පසු වූ පසුය.රියදුරු අසුනට හිස බර කර ගෙන අඩ නින්දෙහි පසු වූ මන්දාකිණි තිගැස්සී අවදි වූයේ ශෙනාල් පැමිණ වාහනයේ දොරෙහි වීදුරුවට තට්ටු කළ පසුය.මන්දාකිණි කලබලයෙන් අවදි වී වීදුරුව පහත් කළ විට නිවසෙහි යතුර ඇගේ උකුල මතට විසිකර පිටව ගිය ශෙනාල් ගේ රෞද්‍ර බැල්ම මේ මොහොතේ ද මන්දාකිණිගේ හදවත පාරන්නට සමත් විය.
මීනු විසින් මන්දාකිණි ව සම්බන්ධ කරගත හැකි අංකයක් ලබා නොදුන් නිසා කෛලාශ් උදෑසන අට පමණ වනතුරු සිටියේ සත්සර ට ඇමතුමක් ලබා දීම සඳහා නොඉවසිල්ලෙනි. එම වේලාව තුළදී ඔහු කාර්යාලයට යන බව දන්නා නිසා කෛලාශ් උදෑසන ආහාරය ගෙන අවසන් වූ සැණින්ම නිදන කාමරයට පැමිණ සත්සරට ඇමතුමක් ගත්තේය.
” Good morning මචන් ”
කෛලාශ් ගේ හඬෙහි කුමක් හෝ නොසන්සුන්භාවයක් දැනුනත් සත්සර ඒ පිළිබඳව අසන්නට ඉක්මන් වූයේ නැත.සමහරවිට හෝටලයේ ඉදිකිරීම් කටයුතු නිසා කෛලාශ් පීඩනයෙන් පසු වනවා ඇති යයි ඔහු අනුමාන කළේය.
” කියපන්. මොකෝ මේ උදේ පාන්දරම?”
” මට මන්දාකිණි ගේ නම්බර් එක එවපන් ”
සත්සර මොහොතක් කල්පනා කළේය.තමා නොදැනුවත්ව කුමක් හෝ සිදු වී තිබේ.මන්දාකිණි නැවතත් අවුල් සහගත යමක් සිදු කර ගෙන ඇති බව සිතිය හැකි නොවන්නේ පෙර දිනයේ දී ඇය විසින් ලබා දුන් සම්පූර්ණ සැලසුමෙහි කිසිදු අඩුපාඩුවක් ද නොවූ නිසාය.
” මොකක් හරි අවුලක්ද බං ? ”
පෙර දිනයේදී යමක් සිදු වූවා නම් එය සත්සර හමුවේ දිග හැරීමෙන් මන්දාකිණි ගේ ආත්ම ගෞරවයට යම් බලපෑමක් එල්ල විය හැකි යැයි සිතනු නිසා කෛලාශ් ඔහුට දිය යුතු පිළිතුර පිළිබඳව කල්පනා කළේය
” මම දැන් ලංකාවේ ඉන්න නිසා හැම පොඩි දේටම උඹට කරදර කරන්න ඕනෙ නෑ නේ.මට මේවා කරගන්න පුළුවන්කම තියෙද්දි. මොන හරි තිබුනොත් මං උඹට කතා කරන්නම්.මදැයි උඹ දැන් මේකට මහන්සි වුණා “
කෛලාශ් ඒ මොහොතෙහි සිතට පැමිණි දෙය කීවේ එය අසත්‍යයක්ද නොවන නිසාය.
” මං උඹට නම්බර් එක දාන්නං.මොන හරි හදිස්සියක් වුණොත් මට කෝල් එකක් දීපන් මට එන්න පුළුවන් නේ.හැබැයි ඔය කෙල්ලත් එක්ක ටිකක් ඉවසීමෙන් ගනුදෙනු කරපන්.උඹටම ඊයේ තේරුනානේ ඒ කෙල්ල එහෙම අවුල් කෙල්ලෙක් නෙමෙයි කියලා.දැන් ඔය ප්ලෑන් එකට වැඩ ටික කර ගෙන ගියා නං අපිට ඕපනින් එකට කලින් ඔක්කොම ඉවර කර ගන්න පුළුවන් වෙයි “
දුරකථන ඇමතුම අවසන් කළ පසු සත්සර මන්දාකිණිගේ පෞද්ගලික දුරකථන අංකය කෙටි පණිවිඩයක් ඔස්සේ කෛලාශ් වෙත එව්වේය.කෛලාශ් එම අංකය මන්දාකිණි ගේ නමින් දුරකථනයේ ගබඩා කර ගෙන එම අංකය දෙස මද වේලාවක් බලා උන්නේ තමා ඇත්ත වශයෙන්ම මෙම ඇමතුම ලබා ගත යුතු දැයි සිතමිනි.
බොහෝ වේලාවක් උණු වතුරෙන් ස්නානය කල මන්දාකිණි තෙත හිස කෙස් පිස දමන අතරේ කණ්නාඩි මේසය ඉදිරිපිට වාඩි වී කණ්නාඩියෙන් පෙනෙන තම දුක් බර රුව දෙස බලා සිටියාය.පෙර දින උදෑසන නිවසින් පිට වී බොහෝ කාර්යබහුල දවසක් ගත කර අවසානයේ දී නිවසට පැමිණ සුව නින්දක් ලබා ගැනීමට නොහැකි වූ තෙහෙට්ටුව යම් තරමකට හෝ පහව ගියේ ස්නානය කළ පසුවය.ගතට දැනෙන තෙහෙට්ටුවට වඩා හිතට දැනෙන තෙහෙට්ටුව බොහෝ වැඩි බව මන්දාකිණි තවදුරටත් සිතුවේ ඕඩික්ලෝන් බිඳු කිහිපයක් ගැන හිස කෙස් වල තවරමිනි.
කණ්නාඩි මේසය මත වූ දුරකථනය නාද වූයේ ඒ අතරේදීය.නොදන්නා අංකයකින් පැමිණෙන දුරකථන ඇමතුම කාගේ විය හැකි දැයි කල්පනා කරමින් මන්දාකිණි ඇමතුම ක්‍රියාත්මක කර දුරකථනය කනේ තබා ගත්තාය.
” මන්දාකිණි ? ”
මන්දාකිණි මොහොතකට ගල් ගැසී පුදුමයට පත් වූ මුහුණින් යුතුව කණ්නාඩියෙන් තමා දෙසම බලා උන්නාය.දුරකථනයේ අනෙක් පසින් ඇසෙන කටහඬ හඳුනා ගන්නට ඇයට අපහසු වූයේ නැත.තමාගේ පෞද්ගලික දුරකථන අංකය පෙර දින රාත්‍රියේ දී කෛලාශ් හට ලබා නොදෙන්නැයි මීනු වෙත කීවද කෛලාශ් කෙසේ හෝ සොයා ගෙන ඇත.ඒ සත්සර ගෙන් විය හැකි යැයි කියාද මන්දාකිණි අනුමාන කලේ කෛලාශ් හට ඒ සඳහා වෙන මඟක් නොවූ නිසාය.
” කියන්න මිස්ටර් කෛලාශ් “
” කො..කොහොමද ඔයා දන්නේ මම කියලා? ”
තමා මේ දුරකථනයෙන් මන්දාකිණි අමතන්නේද ප්‍රථම වතාවටය.තමා කතා කළ එකම වචනයකින් මන්දාකිණි විසින් තමාව හඳුනා ගැනීම අතිශය පුදුමයකි.
” කට හඬින් ”
මන්දාකිණි කෙටිව සහ සරලව පිළිතුරු දුන්නාය.තමාට දැන ගැනීමට අවශ්‍ය කාරණාව දැන ගන්නේ කෙසේ දැයි සිතමින් කෛලාශ් තවත් මොහොතක් නිහඬව උන්නේය.
” මිස්ටර් කෛලාශ් කතා කලේ ? “
කෛලාශ් නිහඩව සිටින නිසාවෙන් මන්දාකිණි ඒ නිහඬතාවය බිඳිමින් ඇසුවේ කෛලාශ් යමක් අසන්නට පෙරමං බලන බව දැනුනු නිසාවෙනි.
” අ.. නෑ මම මේ කතා කළේ මන්දාකිණි ඔෆිස් එකේද ඉන්නේ අහන්න ? ”
” නෑ මිස්ටර් කෛලාශ් අද මම තාම ඔෆිස් ගියේ නැහැ. ඇයි ? ”
” එතකොට අද අපේ වැඩ ටික පටන් ගන්නේ නැද්ද ? ”
කෛලාශ් හට මන්දාකිණි ගෙන් ඇසීමට වුවමනා වූයේ එය නොවූවත් අසන්නට සිදුවූයේ එයය.
” ඒ හැමදේම වෙලාවට වෙනවා මිස්ටර් කෛලාශ්. ඒ ගැන කිසි දෙයකට බය වෙන්න එපා.කලින් වෙච්ච මිස්ටේක්ස් කිසි දෙයක් ආපහු මගෙන් වෙන්නේ නැහැ. අනිත් එක මම දවල් වෙලා හොටෙල් එකට එනවා වැඩ ටික හරියට වෙනවද බලන්න ”
” මමත් තව ටිකකින් ඒ පැත්තට යන්න තමයි ඉන්නේ. rooms වල එහෙම තව බලන්න දේවල් වගයක් තියෙනවා. මන්දාකිණි ආවොත් මට තව අයිඩියාස් ටිකක් ගන්න ලේසි වෙයි ”
සිදු වන කතා බහෙන් කෛලාශ් කිසිසේත්ම සෑහීමකට පත් වූයේ නැත.අවශ්‍ය වූ දෙය දැන ගැනීමට නොහැකි වන පසුතැවිල්ල ඔහු හට දැනෙමින් තිබුණි.
” හරි අපි එහෙම කරමු. මං හරියටම දවල් දොළහ මාර වෙනකොට හොටෙල් එකට එන්නම්. මොකද මට තව ටිකකින් ඔෆිස් එකට ගිහිල්ලා කරන්න වැඩ ටිකක් තියෙනවා.ඒ ටික ඉවර වෙච්ච ගමන් මම එන්නම් ”
” තැන්ක් යු මන්දාකිණි ”
” මිස්ටර් කෛලාශ් ට තව මොනවා හරි දැන ගන්න තියෙනවද ? ”
” ඔව් ” යැයි කියා පිළිතුරු දීමට කෛලාශ් හට වුවමනා වුවද ඒ සඳහා ඔහු ඉක්මන් වූයේ නැති නමුත් පෙරදින රාත්‍රියේදී යමක් සිදු වූවා නම් එය දැන ගැනීමේ දැඩි වුවමනාව එවන විටත් කෛලාශ් ගේ සිතෙන් පහව ගොස් තිබුණේද නැත.
” මන්දාකිණිට මගේ පැත්තෙන් මොන හරි වෙන්න තියෙනවද ? ”
” දැනට නම් නැහැ මිස්ටර් කෛලාශ් ”
” මං අහන්නේ පේමන්ට්ස් මොනා හරි වත් ? ”
” මං හිතන්නේ දැනට නැහැ. එහෙම අවශ්‍ය වුණොත් මම මිස්ටර් කෛලාශ් ට ඉන්ෆෝම් කරන්නම් ”
” හරි මන්දාකිණි.එහෙනම් අපි දොළහ මාරට හම්බ වෙමු ”
” ඕකේ මිස්ටර් කෛලාශ් “
මන්දාකිනි සූදානම් වූයේ දුරකථන ඇමතුම අවසන් කරන්නටය.එහෙත් කෛලාශ් විසින් එහා පසින් ඇමතුම විසන්ධි කර නොමැති බව මන්දාකිණි දුටුවේ දුරකථනය කණ්ණාඩි මේසය මතින් තබන්නට සූදානම් වන විටදීය.මන්දාකිණි එසැණින් නැවතත් දුරකථනය ගෙන කනේ තබා ගත්තාය.
” හෙලෝ ”
” ඔ..ඔව් මන්දාකිණි ”
කෛලාශ් ගොත ගසමින් පිළිතුරු දුන්නේ තමා තවමත් ඇමතුමෙහි රැඳී සිටින බව මන්දාකිණි දැනගත් ලැජ්ජාව මුසු හැඟීමෙනි.
” මොකක් හරි අවුලක්ද මිස්ටර් කෛලාශ් ? ”
” නෑ මට තව දෙයක් අහන්න තියෙනවා මන්දාකිණි “
කෛලාශ් ඕනෑ එකක් සිදු වන්නට හැර මෙතෙක් වේලා බලාසිටි ප්‍රශ්නය අසන්නට සූදානම් වූයේය
” මොකද්ද මිස්ටර් කෛලාශ් ? ”


