සඳ දිය දහරා – 10

0
552

ඉදිරියට නෙරා ආ බඩ නිසා එක් ඇළයකට සිටීමට අපහසුය. එනිසාම දහරා අනෙක් පස හැරුණේ සිහින් කෙදිරිල්ලක්ද නගමින්ය. “චක්…” යන හඬ නැගූ තරුණයාත් දහරාට පිටු පා අනිත් පසට හැරුනේ එවේලෙහිය. 

මිනිසුන්ට මේසා ඉක්මනින් වෙනස් විය හැකිදැයි සිතීමත් පුදුමයකි. 

ඒ හුස්මක්වත් නොවැදී එක ඇඳක නිදියන මේ රාත්‍රීන් ගෙවී යන්නේ හෙමින්යැයි දහරාට සිතිණ. ඉඳහිට මත්පැන් බී නිවසට පැමිණෙන ඔහු අම්මාගේ කාමරයේ නිදා ගනී. හුස්ම ගැනීමටවත් නොහැකි වෙන තරමට තදින් තමාව ඒ දෑත් වලට තුරුළු කරගනිමින් ජීවිතය සෙවූ තරුණයා වෙනස්ව ගොස් තිබුණේ පුදුමාකාර ලෙසය. දහරා යළිත් අතර මං වූයේ අතීත සිතුවිලි අතරය. 

විශ්ව විද්‍යාල මිතුරන් සමග මන්දාරම් නුවර විනෝද චාරිකාවක් ගොස් සිටි මනුජිත්ගේ  දුරකථනයට දිගින් දිගටම ඇමතුම් ලබා ගැනීමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැත. ඔහු ‘සිග්නල් නැතැයි…’ යනුවෙන් සඳහන් කරමින් කෙටි පණිවිඩයක් එවා තිබුණේ දහරා වෛද්‍යවරයා වෙත පැමිණීමට ප්‍රථමය. 

“අනේ මනෝ ඔයාට පුළුවන් තරම් ඉක්මනින් මට කතා කරන්න ලොකු ප්‍රශ්නයක්…..”

යනුවෙන් ඈ යැවූ පිළිතුරු පණිවිඩය තවමත් ඔහු කියවා තිබුනේ නැත.

හෝරාවකට පමණ පසු දහරාත් සාමාත් වෛද්‍යවරයා අසලින් නික්මුණේ ජීවිතයේ වූ සිහින සියල්ල ගිනිබත් කර දමමින්ය. වදනක්වත් කතා නොකලාට සාමා සිය දියණියව අතින් අල්ලා ත්‍රීරෝද රථයට නැංවූවාය. දිගින් දිගටම ඉකි බිඳීම් සිටින දියණියගේ දකුණත තදින් අල්ලාගෙන සිටියාය. වරෙක ඇය දෙස අනුකම්පාවෙන් බලා හිස අත ගෑවාය. අදටත් හරාට දරා ගත නොහැකි වන්නේම ඇගේ ඒ හැසිරීමය. 

“මොකද බං කිව්වේ.. මං මල්ලිට කිව්වා එන ගමන ගිහිල්ලා හාමුදුරුවොත් බලාගෙන එන්න කියලා. ඕවට දොස්තර බෙහෙත් හරියන්නෙ නෑ…”

අම්මාත් දුවත් එනතුරු මග බලා උන් රීටා ඇසුවේ ත්‍රී රෝද රථය නවතත්දීමය. ඇය ඊයේ සිටම පැවසූයේ කෙල ගැල්මක් වන්නට ඇතැයි කියාය. කිසිත් නොකියා පසුම්බිය ඇර රියදුරාට මුදල් දුන් සාමා සිය දියණියව වත්තම් කරගෙන ත්‍රීරෝද රථයෙන් බැස ගත්තේ ඉන්පසුවය. 

“මොකක්ද බං කිව්වේ කියහන්කෝ….”

ආච්චී එසේ ඇසුවේ සාමා වදනක්වත් කතා නොකර දියණියව කාමරයටම කැඳවාගෙන එද්දීය. දෙදෙනාගේම මුහුණු හොඳ නැත. දහරා තවමත් සිටින්නේ ඉකිබිඳිමින්ය. රීටාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේත් ඇගේ ඒ පෙනුම නිසාය. 

“කියහන්කො බං මොකක්ද කිව්වේ කියලා…..”

අවසන ඇය ඇසුවේ පෙර දෙවරටම වඩා උස් හඬින්ය. 

“අනේ අම්මේ වද දෙන්නෙ නැතුව එළියට යන්න. මොකක්ද උනේ කියලා මං ඇවිත් කියන්නම්..පස්සෙන් එන්න තියා ගත්තා”

සාමාගේ ඒ හඬ රළුය. ඒ ඇගෙන්  පෙර කෙදිනකවත් අසා නොතිබූ තරම් රළු හඬකි. රීටා  මතක් පසුබා ගත්තේ ඒ හඬ නිසාය. එහෙත් කාමරයෙන් එළියට යාමට තරම් සිතක් ඇයට වූයේ නැත.

“අනේ අම්මේ……”

දහරා යළිත් සාමාව වැළඳ ගත්තේ ඒ වේලෙහිය. මෙතෙක් වෙලා වූ ඉකිය හැඬුම් හඬක් බවට පත් වූයේ ඇයත් නොදැනීමය. සාමාට තවදුරටත් දරා සිටින්නට  හැකියාවක් වූයේ නැත. අවසන දියණියගේ හැඬුම් හඬට මවත් හවුල් වී සිටියාය. 

“අනේ බං මගේ ඇඟේ ලේ ටික පුච්චන්නේ  නැතුව කියහං මොකක්ද උනේ කියලා. මම මේ වයසක ගෑනි මට මේවා දරන්න බෑ…”

යළි රීටා ඇසුවේ පපුවට අතක් තබාගෙනය. ගෙවී ගිය තත්පර කිහිපයක් ඇයට දැනුනේ පැය ගණනාවක් සේය.

“මං එයාට කතා කරන්නම් අම්මේ..අම්ම අඬන්න එපා..එයා හරි හොඳයි…අපි  කතා කරමු….”

අවසන දහරා එසේ පැවසූයේ ඒ ඉකි බිඳුම මැදින්මය.

“කවදද පුතේ මෙහෙම වුණේ..ඔයා  ගොඩක් කල් ඉදල ඒ  ළමයව දන්නවද?”

“ඔව්.. අම්මේ! ටිකක්කල්..අම්ම බයවෙන්න එපා. එයා හරි හොඳ කෙනෙක්. අනේ මට  සමාවෙන්න අම්මේ. මං මෙහෙම හිතුවේ නෑ…”

“මොකක්ද බං වෙලා තියෙන්නේ……”

“සමා තම දියණිය අසලින් නැගිට්ටේ හතරවෙනි වරටත් රීටා එසේ අසද්දීය. තත්පර කිහිපයක් දහරා දෙස බලා උන් ඈ කාමරයෙන් පිටතට පැමිණියේ මුළු ලොවම අහිමිව ගිය ගැහැණියක විලසින්ය. දියණිය තමාට කැඳවීමක් නොකළත් රීටා  ඇය පසු පසින් ඇවිද කියාය.”

“ඈ බං කෙල්ලට ලොකු අමාරුවක්ද..?”

“අනේ  අම්මෙ එයාට බබෙක් හම්බවෙන්න…”

“මොකක්….අනේ දෙයියනේ එහෙම උනේ කොහොමද?”

“එයා කාත් එක්ක හරි සම්බන්ධකමක් තිබිලා අම්මේ. අපේ හීන ඔක්කොම ඉවරයි අම්මේ.”

“අනේ බන් දැන් අපි මොකක්ද කරන්නේ?….”

රීටා සිමෙන්ති පොළොවේ ඉඳගත්තේ දෑත් වලින්ම හිස බදාගෙනය. මේ පාත් වූයේ කුමන හෙන ගෙඩියක්දැයි ඈයට නොතේරෙයි. මෙතරම් නොදියුණු වූ කාලයකත් ඇය සාමාව උස්මහත් කලේ දෑස් වල තබා ගෙනය. ඒ මේ වත්තේ කෙල්ලන් කොටහළු වූ ගමන් කවුරුන් හෝ පිරිමියෙකු සමග පැන යන කාලයකි. ඉගනීමට දක්ෂයකු නොවූ සාමා පාසල අත් හැරියේ දහය වසරේදීමය. එයත් මේ වත්තේ කෙල්ලන්ට අමුත්තක් වූයේ නැත. යාන්තම් අවුරුදු 19 විස්ස සම්පූර්ණ වද්දී සමහරුන් අතේ දරුවෙකුත් බඩේ දරුවෙකුත් දරාගෙන සිටි කාලයකි. සමහර කෙල්ලන් විවාහ සහතිකයේවත් අත්සන් නොකර පවුල් කෑ කාලයකි. එහෙත් රීටා සාමාට එසේ වන්නට ඉඩ  නොදුන්නාය. සැමියා පිටකොටුවේ සිදුවූ කොටි ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වන තුරුම රීටාගේ  ඇස් වූයේ සාමා අසලමය. ඒ ඇස් බැල්ම මදකට හෝ ලිහිල් වූයේ ඈ තේ කොල පැක්ටේරියේ වැඩට යන්නට පටන් ගත්තාට පසුවය. එහෙත් සමහර දිනවල  තමා නිවසින් පිටවද්දී වසා දමන දොර සවස් වද්දීත් ඒ අයුරින්මය. දුකකට වන්නේ සාමාගේ සොහොයුරා නිසි මඟක යැවීමට නොහැකි වීමය. තාත්තාගේ මරණයෙන් පසුව ඔහු රස්තියාදුකාර කොළු  නඩයට වැටුණේ රීටාට ඔහු පසු පසින් සිටින්නට වූ නොහැකියාව නිසාය. අවසන සාමා  රැකියාව කළ  ප්‍රදර්ශනාගාරයට නිතර ආ ගිය කීර්ති හා ඈ විවාහ වූයේ චාම් අයුරින් ගත් විවාහ මංගල්‍යයකට පසුවය. සැමියාට රජයෙන් ලැබුණු වන්දි  මුදල සුරක්ෂිතව තබා ගෙන සිටි රීටා දියණියට  තමාට හැකි අයුරින් දෑවද්ද  පවා සාදා දුන්නාය. එසේ වී තිබියදීත් සාමාට කණවැන්දුමම් ගැහැණියක ලෙස තනිවන්නට සිදු වූයේ ඇගේම පවක් නිසා විය යුතුය.

ඒසා අමාරු කාලයකත් ඇයව රැක ගනිද්දී දහරාව ඇස් මානයේ තබාගෙන රැක ගන්නට තමාට නොහැකි වූයේ මන්දැයි රීටා තමාගෙන්ම ප්‍රශ්න කළාය. 

දෑතින්ම හිස බදාගෙන වැලපෙන තම දියණිය අසලට ගිය රීටා ඈ දෙස බලා සිටියේ මහත් වේදනාවකින්ය. 

“ඉස්කෝලේ හැමෝම කියන්නේ කෙල්ල හරි දක්ෂයි කියලා මේ කෙල්ලට කොහොම හරි උගන්න ගන්න ඕනේ…

ඒ හා සමගම පපුව රිදවමින් ඇගේ දෙසවන්තුල දෝංකාර නං වන්නට වූයේ කිහිප වරක්ම පාස⁣ලේ රැස්වීම් වලට  ගොස් පැමිණ සාරිය උනා දමද්දී සාමා පැවසූ වදන්ය. 

“අම්මගේ ඔලුව හොඳ නැද්ද අම්මේ.. මට ඉන්නේ කෙල්ලෙක්. ඒකි බාප්පලගේ අතින් විනාශ වෙලා යනවා මට බලන් ඉන්න බෑ. ගෑනියෙක් කසාදයක් බඳින්නම ඕනෙ කියලා නීතියක් නෑනේ. මට පුළුවන්තාක් කාලයක් මං ඒකිව රැක ගන්නවා. තාත්තා නැතිවුණා කියලා අම්ම වෙන මිනිහෙක් ගාවට ගියේ නෑ අපි දෙන්නව බලා ගත්තා මිසක්කා. ඇයි මට එහෙම කරන්න බැරි.” 

එදවස ඇයට විවාහ යෝජනා ගෙන එද්දී ඈ පැවසූයේ ඒ කතාවය. 

“උඹ කෙල්ලගෙන් ඇහුවද ඒ කවුද කින්ද මන්ද කියලා.”

“මට එච්චර දෙයක් අහන්න හයියක් නෑ අම්මේ. කෙල්ල අඬන ගමන් කිව්වා එයා හරි හොඳයි මං කතා කරන්නම් කියලා. රස්සාවට ගියපු හින්දා මට වෙන අම්මල වගේ මගේ දරුවාව පන්තිය ළඟට එක්කන් යන්න එක්කන් එන්න බැරි වුණා. කොතැනකදි හරි දරුවා අතර මං වෙන්න ඇති අම්මේ…”

“උඹ කෙල්ලට බැන්නද… ගැහුවද ….”

“මං මොන හිතකින් එහෙම කරන්නද අම්මේ. ඔය කවදාවත් මගෙන්වත් අම්මගෙන්වත්  නියපිටින් පාරක් කාපු කෙල්ලෙක් නෙමෙයි නේ. මගේ අහිංසකීට මොකද වුණේ කියලා මට තවම හිතාගන්න බෑ.”

“මගේ පපුවත් එක්ක පත්තු වෙනවා බං. කවුරු හරි නොසන්ඩාලයෙක් මේකිව රවට්ටලා පැනල ගිහිල්ලවත්ද..හෙට අනිද්දා අපි කොහොමද බං මේකේ ඉන්න උන්ට මුහුණ දෙන්නේ. ඒ සේරටම හපන් අර වසවර්තිය දැනගත්තට පස්සේ මෙතන මොන නාඩගමක් නටයිද මන්දා.”

“මේ ප්‍රශ්නෙ විසඳගන්න කල් එයාට චුට්ටක් මේවා නොකියා ඉන්න අම්මේ. එයා ප්‍රශ්නෙ විසඳන්නේ අපේ ක්‍රමයට නෙමෙයිනේ. මතකනේ අර චූටි අක්කගේ   කොල්ලා දහරට ලියුමක් දුන්නා කියලා ඒ කොල්ලට නහයෙන් ලේ එනකම්ම ගහලා තිබුනේ.” 

“මොකක්ද බං දැන් අපි ඇත්තටම මේකට කරන්නේ..”

“ඉස්සර වෙලා අම්මේ ඒ පිරිමි ළමයා හොයාගෙන අපිට කතා කරන්න වෙනවනේ. වයස සම්පූර්ණ එකේ කසාද බන්දල දානව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. ඩොක්ටර් කියන විදිහට තුන් මාසෙකුත් පහුවෙලා ඇති. අපි දහරාව ඕනවට වඩා විශ්වාස කළානේ අම්මේ. වැරදුනේ එයාට නෙමෙයි අපිට…අනේ අම්මේ මං මේ කෙල්ල ගැන හරියට හීන දැක්කා. මගේ ජීවිතේම මං දිය කලේ මේ කෙල්ල වෙනුවෙන්. කෙල්ලට අවනම්බුවක් වෙයි කියලා බයට මං මේ වත්තේ පිරිමියෙක් එක්කවත්  ඔළුව උස්සලා  කතා කළේ නෑ. මතකයිනේ අම්මට මිනිස්සු කිව්වේ සාමා දැන් මේ වත්තේ ඉන්නේ කොළඹ හතෙන් ආවා වගේ කියලා. හැම වෙලාවකම මං හිතුවේ එයාගේ නම්බුව ගැන…අනේ අම්මේ මේ කෙල්ලව  විශ්ව විද්‍යාල යවන්න මං දැකපු හීනයක්…”

සමා මහ හඬින් හඩා වැටුණේ සිය දෑත් වලින් මුහුණ වසාගෙනය. දියණියව අස් වසන්නට කුමක් පවසන්නේදැයි සිතූ රීටා ඇගේ දෙපා පාමුලම සිමෙන්ති පොළොවේ අසුන් ගත්තාය. 

දහරා එවේලෙහිත් උන්නේ මනුජිත්ව අමතන්නට උත්සාහ දරමින්ය.

(යළිත් හමුවෙමු ආදරයෙන්………)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here