සඳ දිය දහරා – 11

0
45

දහරා ඊළඟ සායන වාරයට සහභාගී වීමට තිබුනේ පුද්ගලික රෝහලකින් කරගන්නට යෙදී තිබුණු පරීක්ෂණ කිහිපයක වාර්තාද රැගෙනය. වතාවක් දෙවතාවක් ඒ ගැන පැවසුවත් මනුජිත්ට එහි වගක් වූයේ නැත. අවසන දහරා ඒ සඳහා තනිවම යාමට තීරණය කළාය. 

“අර මොනවද රිපෝර්ට්ස් වගයක් ගන්න තියෙනවා කිව්වා ගත්තද…”

දවස ගානේ කතා කරන නිෂාදි ඇසුවේ එක් හවසකය. දැන් දහරාත් බලා සිටින්නේ මිතුරාගේ මේ ඇමතුම පැමි⁣ණෙන තුරුය. අම්මාත් ආච්චීත් සමග බෙදා ගත නොහී වූ බොහෝ සිතුවිලි ඕ සැකයකින් බියකින් තොරවම නිෂාදි හා බෙදා ගත්තාය. 

“හෙට යන්න කියලා හිතන් ඉන්නේ. ෆාස්ටින් ඉදලා යන්නත් ඕනනේ.”

“මනජිත් එනවා කිව්වද….”

“අද රෑටත් අහලා බලනවා. එයා ආවේ නැත්නම් මං තනියම කර ගන්නවා. මමත් එක්කනම් කිව්වේ නෑ. හැබැයි මං අහගෙන එයා තාත්තත් එක්ක කියනවා මොකක් හරි එග්සෑම් එකකට ලෑස්ති වෙන කතාවක්.”

“මොන එග්සෑම්  එකට ලෑස්ති උනත් තමන්ගේ ගෑනිට කරන්න තියෙන යුතුකම් කරන්න ඕනේ කියලා එයා දැනගන්න එපැයි.”

“අපි ඒ ගැන කතා නොකර ඉමු. මේක සාමාන්‍ය කසාඳයක් නෙමෙයි.”

“මට පෙන්නන්නම බැරි උඹේ ඔය නෝන්ජල් කම තමයි. කතා නොකර හිටියහම හැම ප්‍රශ්නයක්ම විසඳෙනවනම් මිනිස්සු කතා නොකරම ඉඳියිනේ බං. මනුජිත් එන්නේ නැත්තං බල කරන්න එපා. මං හෙට උදේ හත වෙද්දි හොස්පිට්ල් l එක ළඟට ඇවිල්ලා ඉන්නවා. අපි ඒ වැඩ ටිකත් කරගෙන මොනවා හරි කාලා චුට්ටක් ඇවිදලා එමු.”

“එහෙම කමක් නැද්ද…”

“කමක් නැද්ද කියලා අහන්නේ..මට කියහං උඹ ඔය ගෙදරට ගියාට පස්සේ කී දවසක් ගෙදරින් එළියට බැහැල ගියාද කියල.”

“ක්ලිනික්  ගියපු දවස් දෙක තුන විතරයි.”

“අඩු ගානේ බං දරුවෙක් හම්බ වෙන්න ඉන්න  අම්මා කෙනෙක් සතියකට වතාවක්වත්  පන්සලකටවත් යන්න ඕන නේද.” 

“එහෙම යන්න කෙනෙක් නෑ නේ ඉතින්. මං ගෙදර හැමදාම බුදුන් වඳිනවා. අනික මනුජිත්ගේ අම්මා කැමති නෑ මං මේ ගෙදරින් එළියට යනවට”

“උඹ ගැන නෙමෙයි අඩු තරමේ  දරුවගේ මානසිකත්වය ගැනවත් හිතපන්. අනිත් එක උඹ යන එන වෙලාවක් ගැන හොයන්න ඔතන කවුද ඉන්නේ?.”

“ඒත් මම දැන් බැඳපු ගෑනියෙක් නිශා. එහෙම කෙනෙකුට තියන නිදහස හරිි සීමිතයි. ඒ විදිහට ගෙදරින් එළියට බැහැලා යන්න කලින් මං දෙපාරක් හිතන්න ඕනේ.%

“පිස්සු…මිනිස්සු එහෙම ආදරයක් ගෞරවයක් ලබා දෙන්න ඕනේ තමන් ගැන හිතන මිනිස්සුන්ට. අනිත් එක පැය ගානක් ෆාස්ටින් ඉඳලා උඹ තනියම ඔහොම එද්දි කලන්තයක් හැදිලා වැටුනොත් මොන දෙයියන්ට කියන්නද..ගෑනියෙක් තමන්ගේ ජීවිතේ  සහකාරයෙක් තෝරගන්නේ ඇඳේදි සතුටු වෙන්න විතරක් නෙමෙයිනෙ බං. මනුජිත්ට එහෙම කරන්න බැරි වුණා වෙන්න පුළුවන් රස්සාව නිසා  අඩුගානෙ එයාට යුතුකමක් තියෙනවා තමන්ගේ අම්මව ඔයා එක්ක මේ ගමන යවන්න. එහෙම නැත්නම් ඔයාගේ ගෙදර කාට හරි කතා කරලා ඔයාව යවන්න. ඔය පැහිච්චකම් ඔයා ළඟ තියාගන්න මම හෙට උදේ එනවා. මේවා දන්නවනං සාම නැන්දාගේ පපුව පැලෙයි..”

නිශාදී දුරකථනය විසන්ධි කළේ එසේ පවසමින්ය. කතා කරන්නට තබා මනුජිත් රාත්‍රී කීයට නිවසට පැමිණියාද යන්නවත් ඇය දැන සිටියේ නැත. 

“ඔය ළමයත් අද කන්නේ නෑ කිව්වනේ. පුතත් අද ටිකක් දවල් වෙලා  වැඩට යනවා කියලා කිව්වේ. ඊයෙ රෑ ඇවිල්ලා එහෙම්මම මගේ කාමරේ නිදා ගත්තා. මං තාත්තට කිව්වා දවල්ට එළියෙන් කන්න කියලා.”

ශ්‍රියාලතා පැවසූයේ සුපුරුදු ලෙස දහරා උදෑසන මුළුතැන් ගෙයට පැමිණෙද්දීය. ඇගේ මේ ලෝබකම අද ඊයේක පටන් පැවත එන දෙයක් නොවන බව දහරා තේරුම් ගත්තේ කාලයත් සමගමය. මනුජිතුත් තාත්තාත් පුරුදු වී සිටියේ අමුතු ආහාර රටාවකටය. ‘බඩෙන්  බාගයක් කා ඔය මිනිස්සුන්ට නින්ද යනවාදැයි…” ඊයේ පෙරේදා ඇසුවේ නිශාදිය. මෙම නිවසේ තීන්දු තීරණ ගන්නේ තාත්තා හෝ මනුජිත් නොවේ. සියලු තීරණ  අම්මාගේය. මනුජිත් ඉඳහිට ඊට එරෙහිව වදනක් දෙකක් කතා කලත් තාත්තා එසේ නොවේ. ඔහු තරම් නිහඬ පිරිමියෙකු දහරා මේ ජීවිතයේ දැක නොතිබුණු තරම්ය.

පොරොන්දු වූ පරිදිම නිශාදි පුද්ගලික රෝහල අසලට පැමිණ සිටියාය. ඇගේ ඒ පැමිණීමේ වටිනාකම  දහරාට දැණුනේ දියවැඩියා පරීක්‍ෂණය කරද්දීය. ඒ සඳහා  ග්ලූකෝස් ග්‍රෑම් 75ක් ජලය මිලි ලීටර් 250ක දියකර මිනිත්තු පහක් වැනි කාලයකදී පානය කළ යුතුය. දහරා එය පානය කළේ මහත් වූ අප්පිරියාවක් දරාගෙනය. ඒ හා සමඟම ඇයට ඔක්කාරයට ආවේය. රසායනාගාරයෙහි උන් හෙදියගෙන් උපදෙස් ලබාගත් නිශාදි දහරාගේ දකුණත තදින් අල්ලාගෙන ඔහේ කියවමින් උන්නේ ඇයට ඒ අප්පිරියාව අමතක කරන්නට සේය. පැය දහයක් නිරහාරව සිටි නිසා සිරුරට යම් අපහසුතාවයක්ද දැනෙමින් තිබිණ.  අවසන දහරා අසුන්ගෙන උන්  පුටුවේම මඳක් පහතට වී එහි ඇන්දට හිස තබා ගත්තාය. නිශාදිගේ සිහින් ඇඟිලි තුඩු හිස කේ අතර දිවයද්දී දහරාටට දැනුනේ පුදුමාකාර සුවයකි. ඕ එහෙමම දෑස් වසා ගත්තේ එනිසාය.

“අනේ ඔයාට කොහොම පින් දෙන්නද කියලා මට තේරෙන්නේ නෑ. තනියම ආවනං සමහරවිට මට මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ. දරුවෙක් ලැබෙන්න ඉන්න කිසිම අම්මා කෙනෙක් මොන මොහොතකවත් තනි වෙන්න හොඳ නෑ”

“අනේ මේ ඔයාගේ පින තියාගන්නකෝ..ඇත්තටම බං මේ ඉන්න ඉඳිල්ලේ තේරුම මොකක්ද. මට නං මොනම අරමුණක් නිසාවත් ඔහොම ඉන්න බෑ.”

“වත්තේ මිනිස්සු මං ගැන මොනවද කතා වෙන්නේ?…”

දහරා  එසේ ඇසුවේ නිෂාදිගේ කතාව වෙනතකට හරවන්නට වූ උවමනාව නිසාම නොවේ. ඔවුන් උන්නේ පුද්ගලික රෝහලේ කැෆටේරියා  ප්‍රදේශයේය. දහරාගෙන් අවසර නොපතාම නිශාදි අවන්හල් දෙක තුනකින්ම  රැගෙන ආ කෑම වර්ග කිහිපයක්ම කුඩා මේසය මත විය. සිතෙහි ගුලි කරගෙන උන් දුක කඳුලක දියකර හරින්නට ඈ බිය විය. කතාව අතරේත් දහරා වරින් වර වටපිට බැලුවාය.  වටේ උන් කිසිවෙකුත් දන්නා හඳුනන අයවලුන් නොවේ. එහෙත් දැන් ඇයට උවමනාවී ඇත්තේ ලෝකයෙන් සැඟවී සිටින්නටය. තමාට වඩා වසර කිහිපයකින් වැඩිමල් වූ ගැබිණි තරුණියක සැමියාගේ අතෙහි එල්ලී පැමිණියේ දහරා නිශාදි  දිගු කළ අලිගැපේර වීදුරුවෙන් උගුරු කිහිපයක් පානය කරද්දීය. 

“යුතුකම් වගකීම් දන්න  පිරිමි ළඟදී ජීවිතය හරි ලස්සනයි.”

නිශාදී එසේ පැවසූයේ දහරාව තිගස්සවමින්ය. තමා කොතරම් වේලා ඔවුන් දෙස බලා සිටියාදැයි වගක් ඇයට වූයේ නැත. බොහෝ ගැබිනි කාන්තාවන් සායන සඳහා පැමිණෙන්නේ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් සමඟය. සායන තුලට පැමිණීමට අවසර නොවන නිසා ඔවුන් රෝහල ඉදිරිපසට වී පැය ගණනාවක් කල් මරමින් සිටිනවා දහරා දැක තිබේ. 

“මං පැතුව මෙහෙම ජීවිතයක් නෙමෙයි.”

දහරා එසේ පැවසූයේ හිතා මතා නොවේ. මුවින් නිරායාසයෙන්ම පිට වූ වදන් ආපසු ඇදගන්නට තිබුණානං හොඳයැයි ඇයට සිතුනේ ඊළඟ තත්පරයේදීය. ඒ නිශාදිගේ  දිගු අතැඟිලි පැමිණ තම දකුණතේ ඇඟිලිවල ගුලි වෙනු දැනෙද්දීය. දහරාගේ සිතට දැනුනේ පසුතැවිල්ලකි. තමාගේ වරදට ඒ කිසිවෙකුත් විඳවිය යුතු නොවේ. 

“වත්තෙ මිනිස්සු කවුරුවත් ඔයාට නරකක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නෑ. ඉඳහිට  තැනක මිනිස්සු කියනව ඇති දහරට  තිබුණු කුලප්පුවක් කියලා. ඒ උනාට එහෙම කියන කිසි කෙනෙක් එළිපිට  ඔයාගේ වරදක් කියන්නෙ නෑ. ඒකයි මං හැමතිස්සේම ඔයාට කියන්නේ බය නැතුව ආපහු වත්තට එන්න කියලා. තමන්ගේ මිනිස්සු නැති කරගෙන තනි උනහම මහා අසරණ කමක් දැනෙන්නේ. අනේ මන්දා..ඔයා මොනවද  කරන්න හදන්නේ කියලා මට තවමත් තේරෙන්නේ නෑ.”

“අහල තියෙනවද කතාවක් තියෙනවා තියෙනවා, ළිඳට වැටිච්ච මිනිහා ලිං කටින්ම ගොඩ එන්න ඕනේ කියලා. සමහරවිට මං මේ ඒකට උත්සාහ කරනවා ඇති. තමන්ට දරුවෙක් ඉන්නවා කියලා දැනගත්තට පස්සේ අම්මා කෙනෙක්ට ජීවිතේ සැහැල්ලු වෙන්නේ නෑ නිශාදි. මට මං ගැනම දුකයි. මං ගැනම මං පසුතැවෙනවා. ඔයා හිතනවද නැති කරගෙන ආපු හැම දෙයක් ගැනම දුකක් වේදනාවක් මට නෑ කියලා. තියෙනවා… මගේ අම්මා මාව බරක් කරගන්න එකක් නෑ. චූටි මාමා ඉස්සර වගේම චූටි මිස් කිය කිය මගේ පස්සෙන් ඉඳීයි. ආච්චි වද කර කර මට කවයි පොවයි. ඔයාට ඉඩ තියෙන හැම වෙලාවකම ඇවිල්ලා මමත් එක්ක කියව කියව ඉදියි. හැබැයි මේ දරුවට තාත්තා කෙනෙක් වෙන්න ඔය කාටවත් බෑ. අන්න එතැන තමයි ගෑණු ළමයෙකුගෙයි අම්මා කෙනෙක් වෙනස. මටත් ගෙදර දුවගෙන එන්න හිතෙන වෙලාවල් තියෙනවා. හැබැයි තමන් අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා දැනගත්තට පස්සේ ගෑණු කෙනෙක් ජීවත් වෙන්නේ බඩේ ඉන්න දරුවා වෙනුවෙන්. දන්නෙම නැතුව මාත් එහෙම වෙලා. තමන් ආස ගොඩක් දේවලින් ඈත් වෙනවා. සමහර තමන් අකමැති දේවල් ළං කර ගන්නවා. අම්මලා හයියයි කියන්නේ ඒකයි.” 

“ඉතින් කෝ බං ඔය මනුස්සකම, ආදරේ මනුජිත්ගේ අම්මගේ හිතේ. අඩු තරමින් එයාට හිතන්න තිබුණනේ මමත් ගෑනියෙක් කියලවත්. මමත් දරුවෙක් වදපු අම්මා කෙනෙක් කියලවත්.”

“එයත් අම්මා කෙනෙක් නිසා තමයි ඒ තරම් ආත්මාර්ථකාමී.”

“මොන කතාවක්ද බං ඒ…”

“එයත් මනුජිත් වෙනුවෙන් ගොඩක් හීන දකින්න ඇති. ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නත් ඇති. ඒ බලාපොරොත්තු ඉෂ්ඨ නොවුනු වේදනාව එයාටත් ඇති. එයා තමන්ගේ දරුවට සේකරවත්තෙන් ගෑනියෙක් ගේන්න බලාපොරොත්තු නොවෙන්න ඇති. තමන්ගේ එකම දරුවා වෙනුවෙන් හත් දවසක් මඟුල් කාලා ගෙදරට මනමාලියෙක් කැන්දන් එන්න බලාගෙන ඉන්න ඇති. අපි හැමෝම අපි හැමෝගෙම හීන ළඟදි අසරණයි. මේ හැම දෙයක්ම වෙනස් කරන්න පුළුවන් මනුජිත්ට විතරමයි. අදටත් මට හිතාගන්න බෑ නිශා  එයා මාව රැවට්ටුවද එහෙම නැත්නම් එයා මට ඇත්තටම ආදරේ කළාද කියලා. සමහර විට එයා බලාපොරොත්තු නොවුනු මොහොතක මේ මුහුණ දෙන්න වෙච්ච සිටුවේෂන් එක එයාව වෙනස් කෙනෙක් කලාද  කියන්න මම දන්නෙත් නෑ. ඒ මොනවා උනත් මේ දරුවා තාත්ත කෙනෙක් නැතුව ජීවිතයේ අසරණ වෙනව දකින්න මට බැරිවෙයි. එහෙම දරුවෝ දුක් විඳපු හැටි ඔයයි මමයි දෙන්නම දැක්කා”

“අනේ මන්ද බං උඹ මාර විදිහට පරිණත වෙලා. හරි වෙනස් විදිහකට හිතන්න පටන් අරගෙන.”

ජීවිතේ අපිට කියලා දෙන පාඩම් ඉස්කෝලෙකින් ඉගෙන ගන්න පුළුවන් දේවල් නෙමෙයි. 

“මට තේරෙනවා. උඹට ඕනම වෙලාවක සහෝදරියක් වගේ මං උඹේ ළඟ ඉන්නවා.”

නිශාදි එසේ පැවසූයේ යෙහෙළියගේ සිහින් ඇඟිලි තුඩු පිරිමදිමින්ය. සැබවින්ම  දහරා සිනහවෙන් කතාවෙන් පමණක් නොව ගමනින් බිමනෙන් පවා වෙනස් අයකු වී සිටියාය. 

යාළුවො දෙන්නා තවමත් එකටමයි නේද……

අපේක්ෂා නොකළ මොහොතක ඇසුණු හඬින් තිගැස්සී  ගිය දහරාත් නිශාදිත් දෑස් හරවා බැලුවේ එකම වරකය. එකවරම දෙදෙනාගේ ඇස ගැටුණේ කලු කලිසමකුත් අහස් නිල් පැහැ කමිසයකුත් ඊට ගැලපෙන තද නිල් පැහැ ටයිපටියකුත්ය. දෙදෙනාම හිස එස වූයේ ඒ අහස් නිල් පැහැ කමිසය දිගේ දෑස් තබාගෙනය. 

(යළිත් හමු වෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here