මතකයක සේයා – 16

0
1014

” ඔයා හොඳින් ද මන්දාකිණි ? ” 

යැයි කෛලාශ් ඇසූ පැනයට ” මම හොඳින් ” යැයි සිනහවකින් පිළිතුරු දී දුරකථන ඇමතුම අවසන් කල මන්දාකිණි තවත් බොහෝ වේලාවක් නිසොල්මනේ බලා උන්නාය.තමාට ආදරය කල පිරිමියා පවා තමා හොඳින් දැන් නොඅසන සමයකට මුහුණ දෙමින් හුන් මන්දාකිණි ඒ වන විට උන්නේ වේදනාවේ හිණිපෙත්තේය.

දහවල මන්දාකිණි මුණ ගැසීමේ බලාපොරොත්තුවෙන් කෛලාශ් වහා සූදානම් වී හෝටලයේ ඉදිකිරීමේ වැඩ කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා ඒ වෙත ගියද ඔහුට මනස නිරවුල්ව තබා ගත හැකි වූයේ නැත.එක් පසෙකින් වරින් වර තම මතකයේ ඇඳී නොපෙනී යන කුඩා ළදැරියගේ රුවත් ,අනෙක් පසින් ඉතා පැහැදිලිව පෙනෙන මන්දාකිණි ගේ රුවත් කෛලාශ්ව බොහෝ වියවුලට පත් කරමින් තිබුනි.

නිමා කල යුතු වැඩ කටයුතු බොහොමයක් ආයතනයේ යෙදී තිබුනු නිසා මන්දාකිණි සුව නින්දක් ලබා ගැනීමට හෝ නොනැවතී Elegant space By Mandi වෙත පැමිණියේ උදෑසන දහයට පමණය.දහවල් 12.30 වන විට Hotel Sunzet වෙත යා යුතු නිසා ඉන් පසුව ඇය උන්නේ අතිශය කාර්‍යබහුල හෝරාවක් ගෙවමිනි.

කාර්‍යාල කාමරයේ දොර වේගයෙන් විවෘත කර ගෙන ශෙනාල් පැමිණියේ නොසිතූ නිමේශයකය. laptop පරිගණකයට මුහුණ ඔබාගෙන වැඩක නිරත වී හුන් මන්දාකිණි  ඒ අනපේක්ෂිත පැමිණීමෙන් තිගැස්සි අසුනින් නැගි සිටියාය.

” මේ මොකද ශෙනාල් මේ ? මේක මගේ ඔෆිස් එක ? ” 

ශෙනාල් රෞද්‍ර මුහුණකින් බලා මන්දාකිණි අසලට පැමිණියේ ඇය අඩියක් පසුපසට තබද්දීය.

” තමුසෙගේ ඔෆිස් එක නිසා තමයි ආවේ. වෙන එකෙක්ගේ එකක් නම් එන් නෑනෙ.මෙතන තමුන්ට උඩින් කවුරුත් ඉන්නවද වෙන ? ” 

ශෙනාල් මේ අවභාවිතා කරන්නේ ආදරයේ අයිතිය ය.තමාගේ ආත්ම ගරුත්වය ය.තමා මෙතෙක් කල් රැකගෙන ආ අභිමානය ය.මන්දාකිණි දෙනෙතට නැගුණු කඳුළු නවත්වා ගත්තේ ආයාසයෙනි.

” දැන් ඇයි ඔයා ආවේ ? ” 

” ආවේ? තමුසේ ඊයේ රෑ ෆෝන් එකවත් ආන්සර් නොකර ඇත්තටම මොන මගුලෙද ගියේ කියලා දැන ගන්න “

” ගියේ කොහෙද, මොකටද , කාත් එක්කද කියලා මම ඔයාට කිව්වා. අනික මේ ගෙදර ප්‍රශ්න ඇයි ඔෆිස් එකට අරන් එන්නේ ශෙනාල් ? ” 

ශෙනාල් අඩියක් ඉදිරියට පැමිණ මන්දාකිණි ගේ නිකටින් තද කර අල්ලා ගත්තේ ඇය වේදනාවෙන් ඇඹරෙද්දීය.මන්දාකිණි හට වේදනාව පරයා නැගුනේ තදබල ලැජ්ජාවකි. තම ආයතන ප්‍රධානී තුමියගේ කාර්‍යාලයේ මෙවැන්නක් සිදු වන සේවකයෙකු දුටුවා නම් තම ආත්ම ගෞරවය එතනම බිඳ වැටෙනු ඇත.

” තමුසේ මේ වගේ මඟුල් නටන කොට මට නිදහසේ ඔෆිස් ගිහින් වැඩක් කර ගන්න පුළුවන් කියලද හිතන් ඉන්නේ ? “

” කවුද ඉතින් මගුල් නැටුවේ ? “

මන්දාකිණි හැකි වෙර යොදා තම නිකට මත තිබූ ශෙනාල් ගේ අත ඉවතට ගසා දැමූ අතර එයින් ශෙනාල් වඩාත් පුදුමයට පත් වූයේය.

” තමුසේ ඔය හදන්නේ මට කියලා අතක් පයක් කඩා ගන්න තමයි ” 

ශෙනාල් දත් මිටි කමින් පැවසූයේය.කම්මුල් මතට පතිත වූ කඳුලු බිඳු කිහිපය දෑතින්ම පිසදා ගත් මන්දාකිණි කෝපයෙන් පුපුරමින් සිටිනා ශෙනාල් වෙතට කිට්ටු වූයේ කොහේදෝ සැඟවී තිබුනු ධෛර්‍යයක් සිතට ගන්නා අතරේය.

” මගේ අත පය කඩන්න ? මේවා හැදුවේ ඔයාද ශෙනාල් ? ආ? ඔයාට මට මෙහෙම කරන්න අයිතිය මොකද්ද? ඒකටත් වඩා, ඔයා වෙනුවෙන් හැමදේම කරන මට මෙහෙම කරන්න ඔයාට තියෙන හේතුව මොකද්ද? ” 

ශෙනාල් පුදුමයෙන් බලා හුන් අතර අසීමාන්තික ලෙස සියල්ල ඉවසා දරා හිඳි ගැහැණියකගේ ඉවසීමේ සීමාව පුපුරා හැලෙමින් තිබුනේය.

” තව එක වචනයක් හරි ඔයා මෙතන කිව්වොත් මං බලන්නෑ ඔයා කවුද කියලා. කොටින්ම.. කොටින්ම මම මෙතනදිම අමතක කරනවා ඔයා මං ආදරේ කරන මනුස්සයා කියලා ” 

” තමුසේ දැන් එහෙමද කියන්නේ ? ” 

ශෙනාල් ගේ හඬ බොහෝ සෙයින් බාල වී තිබුනේය. ඒ බව මන්දාකිණි හටද නොදැනුනා නොවේ.

” ඔව්. මගේ ගෙදරින් මාව එලියට දාලා ඔයා කිසිම ගානක් නැතුව සනීපෙට නිදා ගන්නකොට ඔයා හිතුවද මං කොහේ කොහොම ඉන්න ඇතිද කියලා ? ඒ රෑ මං කොහේ යන්නද කියලා? මට මොනා උනාද කියලා? හිතුවද? මගේම ගෙදර ඉඳගෙන මට එහෙම කරන එක හරිද කියලා ඔයාට හිතුනද? ” 

මන්දාකිණි හදවතේ දරා හිඳි වේදනාවන් සියල්ල පිට කරමින් උන්නාය.එහෙත් දෑසින් එකඳු කඳුලක් හෝ වගුරවා නොඉන්නටද වග බලා ගත්තාය.

” ඔයා නිසා මාව මේ තැනට ගෙනාපු අම්මට තාත්තාට පවා මට බොරු කියන්න වෙලා තියෙන්නේ. ඔයාටයි මටයි මේ හැම සැප සම්පතක්ම දෙන මේ බිස්නස් එක පවා මං බේර ගත්තේ කොච්චර අමාරුවෙන්ද කියලා ඔයා දන්නවද? රෑට ඔයාගෙන් ගුටි කාලා , උදේට හිනා වෙලා මුකුත්ම උනේ නෑ වගේ මේ ඔෆිස් එකේ ඔලුව කෙලින් තියන් මං වැඩ කරන්නෙ කොහොමද කියලා ඔයා දන්නවද? මේ බිස්නස් එක වැටුනොත් මගේ හැමදේම නැති වෙනව කියලා ඔයා දන්නවද? ” 

” දැන් එතකොට මමද මෙතන ප්‍රශ්නේ? ” 

සියල්ල අසා හිඳ අවසානයේදි ශෙනාල් කිසිඳු අරුතක් නොමැති ප්‍රශ්නයක් ඇසුවේය.

” ප්‍රශ්නේ ඔයාද, ඔයා හිතන විදිහෙද , එහෙමත් නැත්තම් අපි දෙන්නා නොගැලපෙන එකද කියලා ඔයා හිතලා බලන්න ශෙනාල්. ඇත්තටම මේ දේවල් සිද්ධ වෙන්නේ මෙහෙම නම් මට කෙලින් තීරණයක් ගන්න වෙනවා. මොකද මට ඕන කරේ මෙහෙම ජීවිතයක් නෙමෙයි.මහන්සියෙන් ඉගෙන ගෙන මේ බිස්නස් හදාගෙන මං මේ තැනට ආවේ අම්මා තාත්තාටත් බොරු කරලා මෙහෙම ජිවීතයක් ගෙවන්න නෙමෙයි ” 

” එතකොට තමුසෙට දැන් මොකද්ද වෙන්න ඕන ? ” 

” ඔයාට පේන්නේ මගේ වැරදි විතරක්ම නම්, ඔයාට මාව සැකයි නම් , කොටින්ම ඔයාට දැන් මාව ගැලපෙන්නෑ කියලා හිතෙනවා නම් අපි මේක මෙතනින් නතර කරමු ශෙනාල් ” 

ශෙනාල් අතිශය පුදුමයට පත් වූයේය. තමා කෙසේ හැසිරුනද කෙදිනක වත් මන්දාකිණි මේ තරම් සෘජු තීරණයක් ගනු ඇතැයි තමා සිහිනෙකින් වත් සිතුවේ නැත. අනෙක් අතට මන්දාකිණි තමා ගෙන් වෙන් වීමට දැඩි තීරණයක් ගතහොත් එය හුදෙක් ප්‍රේම සම්බන්ධයක් බිඳ වැටීමක් පමණක්ම වන්නේ නැත. එය තමාගේ ජීවිතයේ විශාල කඩා වැටීමකටද හේතු වනු ඇත.මේ සියලු සැප සම්පත් තමා වෙතින් ගිලිහී ගොස් තමා නැවතත් පෙර සිටි තත්වයටද පත් වනු ඇත.

” ඔයාට ඕන මගෙන් අයින් වෙන්නද ? ” 

මෙතෙක් වේලා තමාට ” තමුසේ ” යැයි රෞද්‍ර හඬින් ඇමතූ , ශෙනාල්ගේ වචන වල මෙන්ම හඬෙහිද වෙනස මන්දාකිණි හඳුනා ගත්තාය.එහෙත්, ඒ වචන හමුවේ හෝ වෙනස හමුවේ වෙනදා මෙන් හිත මෙලෙක් වන බවක් මන්දාකිණි හට දැනුනෙ නැත.

” මට මේවා ඔයාට කියන්න වෙන තැනට මාව පත් කරේ ඔයා නෙමෙයිද ශෙනාල් ? කොච්චර ලස්සනට ඉන්න පුලුවන්ද අපිට ? එහෙම පුලුවන් කමක් තිබිලත් හැමදේකදිම මගෙ අඩුවක් හොය හොය , පොඩි දේටත් මට අත උස්සලා , සතෙකුටත් අන්ත විදියට මට සලකලා මේ හැමදේම මේ තැනට ගෙනාවේ ඔයා නෙමෙයිද ශෙනාල් ? ” 

මන්දාකිණි බොහෝ දුරට හිත හදා ගෙන උන්නාය.තමා පැතූ ආදරය නොලැබෙන තැන එතැනින් නික්මෙන්නට ගැහැණියක් තීරණය කරන්නේ බොහෝ ඉවසීමෙන් පසුවය.තමා ද මේ වන විට පත්ව හිඳින්නේ එවන් තැනකටය.ආදරයේ නමින් හෝ තවදුරටත් ඉවසා බලා හිඳ පලක් ඇත්තේද නැත. එයින් තමා හට හෝ ශෙනාල් හට ලැබෙනා දෙයක් නැත.

” දැන් ඔයා මට මොකද්ද එතකොට කරන්න කියන්නේ ? ” 

” මෙච්චර කල් ඔයා හැමදේම කලේ මගෙන් අහලා නෙමෙයිනේ ශෙනාල්.ඒ නිසා මේක විතරක් මගෙන් අහන්නේ ඇයි ? ” 

” නෑ ඉතින් ඔයා මෙච්චර දේවල් කියන්නේ මගෙන් අයින් වෙන්න ඕන නිසානේ නේද? ඔයාට දැන් ඒකනේ වෙන්න ඕනේ ? “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here