සඳ දිය දහරා – 12

0
1135

“රාමාෂ්….”

මිතුරියන් දෙදෙනාගේම මුවින් පිට වූයේ එකම වරකය. ඔවුන්ටත් නොදැනීම යෙහෙළියන් දෙදෙනා වූයේ අසුන් වලින්  නැගිට ගෙනය. 

“එහෙනම් අඳුනගන්න පුළුවන් උනා දෙන්නටම…..”

ඔහු එසේ පැවසූයේ වෙනදා මෙන් කැඩුණු සිංහලෙන් නොවේ. ඒ සිංහල උච්ඡාරණය පැහැදිලිය.

“මං හිතන්නේ අවුරුදු අටකට නවයකට විතර පස්සේ…..”

ඔහු යළිත් පැවසූයේ දෑස් විසල් කරගෙන බලා සිටින මිතුරියන් දෙදෙනා දෙස බලාගෙන. රමාෂ් අත වූයේ වෙද නළාවකි. ඔහු උසින් මහතින් වැඩී උන්නේය. දෑස් මත උපැස් යුවළක් ද  විය. 

“මම මෙතනින් පල්ලෙහාට එන ගමන් ඔයාලා දෙන්න ඉන්නවා දැක්කේ. එක පාරටම මට අඳුන ගන්නත් බැරි උනා. ඊට පස්සේ ටිකක් වෙලා බලාගෙන හිටියා.”

ඔහුගේ ඒ  හඬ පවා වෙනස්ව ඇත. බටහිර හුරුවක් ගෙන තිබුනත් ඒ වදන් පැහැදිලිය. යෙහෙළියන් දෙදෙනා ඔහු අත දිගුකල පෙදෙස දෙස බැලුවේ එවේලෙහිය. එහි වූයේ උඩු මහළේ සිට පහළට පැමිණෙන පඩිපෙලකි.

“ප්‍රසව හා නාරිවේද වෛද්‍ය රමාෂ් පිල්ලෙයාන් මහතා හමුවීමට පැමිණි රෝගීන් කරුණාකර දෙවන මහලේ අංක 33 කාමරය අසලට පැමිණෙන්න.”

ඒ නිවේදනය හරි හැටිම ඇසුණේ නිශාදිටය. එනිසාම ඇය උන්නේ සිනහසෙන්නටත් අමතකව ගිය ගණනටය. මේසය මත තබාගෙන සිටි තම දකුණතේ අතැඟිලි කොනිති ගැසෙද්දී දහරා යළිත්  රමාෂ් දෙසට හැරුණාය.

“මොකද අනේ හොල්මනක් දැක්කා වගේ මගේ දිහා බලාගෙන ඉන්නේ.”

“ඔව්…ඔයා ඩොක්ටර් කෙනෙක්ද?”

තත්පර කිහිපයකට පසුව එසේ ඇසුවේ නිශාදිය.

“ඔව්…ඒ කිව්වේ මගේ නම තමයි….”

ඔහු තවමත් පෙර උන් සිනහවෙන්මය. 

“එතකොට ඔයා ලංකාවෙ නෙමෙයිනෙ හිටියේ.”

“ඔව් කැනඩා ඉඳලා මං ආපහු ලංකාවට ආවේ මීට අවුරුදු එකහමාරකට විතර කලින්.”

“එතකොට වේළු මාමයි  තංගමනී නැන්දයි..”

“අම්මයි තාත්තයි ජැෆ්නාවල  එයාලගේ මහ ගෙදර පදිංචි වුනා. ඒගොල්ලෝ කැනඩාවල හිටියට හැමදාම හිතින් ජීවත් වුණේ ලංකාවේ.”

“කොහොමද දහරා… ඔයා ඉස්සර වගේම තවමත් නිහඬයි. හැබැයි ඉතින් ඔයා මෙච්චර ඉක්මනට මැරි කරලා ඇති කියලා මම හිතුවේ නෑ. තවම ඉන්නේ සේකර වත්තෙද..”

අවසන ඔහු එසේ පැවසූයේ දහරාගේ මුව දෙසත් කුස දෙසත් මාරුවෙන් මාරුවට බලමින්ය. 

දහරා පිළිතුරක් නොදුන් මුත් සිනහසී හිස වැනුවාය. 

“මේ තියෙන්නේ මගේ කාඩ් එක. ප්ලීස් මට කෝල් එකක් දෙන්න. අහම්බෙන් හරි මේ විදිහට ඔයාලා දෙන්නා මෙහෙම තැනකදි හරි හම්බ වෙච්ච එක මට ලොකු සතුටක්. මල්ලි මතක් වෙද්දි සේකර වත්තට එන්න හිත හදාගන්න මට බැරි වුණා. හැබැයි මට ඔයාලා දෙන්න අමතක වුනේ නෑ. සමහර මතක තියෙනවා ඒවා හංගගෙන ඉන්න තරමටම හිත හදාගන්න පහසුයි. සේකර වත්ත කියන්නෙත් මට එහෙම මතකයක්.”

රමාෂ් මිතුරියන් දෙදෙනා අසලින් සමුගත්තේ එසේ පවසමින්ය. තත්පර කිහිපයකට පසුව  ඔහු ගිය මග දෙස බලා උන් මිතුරියන් දෙදෙනා ආපසු අසුන් ගත්තත් දෙදෙනාටම වදන් අමතකව ගිය ගණනය. නිශාදී ඔහු තමා අත තැබූ හඳුනා ගැනීමේ කාඩ් පත දෙස බලා සිටියේ විසල්ව ගිය දෑස් වලින්මය. මේ මොහොත වනතුරුත් සැබවින්ම රමාෂ්  යනු දෙදෙනාටම අමතකව ගිය මතකයක් වී තිබිණ. 

“මොකක්ද බං ඒ උනේ උනේ ඒ සේකරවත්තේ හිටිය රමාෂ්මද?”

අවසන නිශාදි ඇසුවේ ඒ හඳුනා ගැනීමේ කාඩ් පත එහෙටත් මෙහෙටත් කරකවමින්ය. 

ඒ වනවිට ඔවුන් දෙදෙනාගේම වයස අවුරුදු දොළහක් පමණ වන්නට ඇත. රමාෂ් දහ අටවන වියෙහි පසු වූයේය. ඔවුන් තිදෙනාම අධ්‍යාපනය ලැබුවේ එකම මිශ්‍ර පාසලකය. හිටි හැටියේම රමාෂ්ගේ නිවස ගිනි ගත්තේ නත්තල් දවසේ රාත්‍රියේය. ඒ කවුරුන් හෝ යැවූ අහස් කූරක් සුළං කවුළුවකින් නිවස තුළට වැටී සිදුවන්නට ඇතැයි  ඇතමුන් පවසනු දහරාට මතකය. එවේලෙහි නිවස තුළ සිට ඇත්තේ ඔවුන්ගේ ආබාධිත සොහොයුරා පමණි. ඔවුන් ක්‍රිස්තියානි ආගමේය. රාමාෂ්ගේ මවත්, පියාත්, ඔහුත් එවේලෙහි සිටියේ පල්ලියේ පූජාවට සහභාගී වෙමින්ය. චූටි මාමා ඇතුළු පිරිසක් වතුර බාල්දි ඔසවාගෙන දිවගිය අයුරු දහරාට මතකය.  ගින්දර නිවා දමන්නට තැත් දැරුවාට නිවස තුළ වූ රමාෂ්ගේ සොහොයුරා සැමටම අමතකව තිබිණ. පණිවිඩය ලැබුණු ඔවුන් නිවසට එද්දී සියල්ල ගිනිබත් වී අවසන්ය. ගිනිබත්ව නිවස තල සිටි සොහොයුරාගේ ඒ දසුන අදටත් දහරා දුටු බියජනකම දසුනය. 

රමේෂ්ලා කැනඩාවේ ජීවත්වන සිය නැන්දණිය සමඟ පදිංචියට ගියේ ඉන්පසුවය. පොඩි පුතුගේ  අභාවය තංගමනී නැන්දාට දරා ගත හැකි එකක් වූයේ නැත. රමාෂ්ගේ බාප්පා කෙනෙකු සෘජුවම එල්ටීටීඊ හමුදාවට සම්බන්ධ වී සිටියායැයි යන පුවත එකල සේකරවත්තේ ප්‍රසිද්ධය. ඔහු ජීවත්ව තිබුණේ යාපනයෙහි වූ රමාෂ්ගේ පියාගේ මහ ගෙදරය. 

වේළු මාමාගේ නිවස ගිනිබත්වීම අහම්බයෙන් සිදු වූ එකක් නොවන බව පසු කලෙක මාමා ආච්චී සමඟ පවසනු දහරා අසාගෙනය. 

“ඕන එකයි ඕනේ නැති එකයි කියවන්නෙ නැතුව කට වහගෙන හිටන්…”

යනුවෙන් ආච්චී  ඔහුට සැරවූ අයුරුත් දහරාට මතකය. 

“ඇත්තටම බං රමාෂ්ලාගේ  ගෙදරට ගිනි තිබ්බද ගිනි ගත්තද…”

නිශාදි  එසේ ඇසුවේ දහරාව තිගස්සවමින්ය. 

“මමත් මේ කල්පනා කර කර හිටියේ ඒක තමයි. මිනිස්සු එක එක විදිහේ කතා කිව්ව නේද බං. මතකනේ ඒ  දවස්වල කතාවක් තිබුණා වේලු මාමා මෙහේ ඉඳගෙන එල්ටීටීඊ එකට සපෝට් කරනවා කියලා. හැබැයි ඉතින් කාට හරි ඒගොල්ලන්ට කරදරයක් කරන්න ඕන නං ඒක කරන්න තිබුණෙ යුද්දේ කාලෙදි. යුද්ධය ඉවර වෙලත් අවුරුදු ගානක් ගියාට පස්සෙනේ වේලු මාමලගේ ගේ ගිනි ගත්තේ..සමහරවිට ඒක ඇත්තටම අර කියන්න වගේ අත් වැරදීමක් වෙන්නත් පුළුවන්.”

“අනේ මන්දා. ඒ කොහොම වුණත් රමාෂ්ව දැක්කහම මට හරි පුදුමයි බං. ඌ තංගමනී නැන්ද වගේම සුදුයි නේද. පුදුමයි බං එයා අපිව අඳුන ගත්තා. මෙච්චර කාලෙකට පස්සෙත්”

“චුට්ටක් පරක්කු වෙලා හරි අපිටත් එයාව අඳුනගන්න පුළුවන් උනානේ.”

දහරා එවර පැවසූයේ සිනහ සෙමින්ය.

“මට ඇත්තටම  තවමත් හිතෙනවා ඒ දැක්කේ හීනයක්ද කියලා. මාර හැන්ඩ්සම්. ඇයි දන් නෑ කැනඩාව වගේ රටක් අතෑරල  ඒගොල්ලෝ ආපහු ලංකාවේ පදිංචියට ආවේ.”

“තමන්ගේ මහගෙවල් අතෑරල දාන්න බැරිකම හින්ද වෙන්න ඇති නේද. ඔයාට මතකද ඉස්සර ඔය වේලු මාමා හරියට එයාලගේ යාපනේ මහ ගෙදර ගැන වර්ණනාා කරනවා. අපේ ආච්චි කියනවා යාපනේ දෙමළ අය හරි ආඩම්බරයිලු”

“රමාෂ්  දැන් ඩොක්ටර් කෙනෙක් කියලා හිතන්නත් අමාරුයි නේද බං. ඉස්සර අපිත් එක්ක සෙල්ලං කරනවා. උඹට මතකද ඉස්සර නදුන්ලා, සමීරලා දෙමළා කියලා කිව්වහම ඌට තද වෙනවා. සමහර වෙලාවට දමල ගහලා යන්න යනවා. ඒ වෙලාවට උඹ තමයි අනිත් උන්ට කෑ ගහන්නෙ ජාතියෙන් වෙනස් වුණාට ඒ අපි වගේම මිනිස්සු තමයි කියලා. අපේ ඔක්කොගෙම ඇගේ දුවන්නේ රතු ලේ කියලා. එයාලටත් අපිට වගේම හිත රිදෙනව අපිට වගේම දුක හිතෙනවා කියලා,  උඹ මහ පණ්ඩිත ආච්චි කෙනෙක් වගේ කියනවා…”

දහරා සිනහසුනේ යෙහෙළිය එසේ පැවසූවාට පසුවය. මිහිරි අමිහිරි  අත්දැකීම් දෙකෙන්ම සුසැදි සේකර වත්තේ ජීවිතය අදටත් ඈ සිහි කරන්නේ මහත් වූ ලෝබ කමක් දරාගෙනය. ජීවිතයේ බරක් පතලක් නොදැනෙන පොඩි එවුන් සේ ගෙවී ගිය ඒ කාලය සැබවින්ම සුන්දර එකකි. ඒ කාලයේම නතර වන්නට තිබුණානම් යනුවෙන් සිතුණුවාර අනන්තය. නිවස ගිනිබත් වූවාට පසුව රමාෂ්ලා රැඳී සිටියේ අසල වූ කුලී නිවසකය. ඔවුන් කැනඩාවට යාමට පෙර දිනයේ රමාෂ් තමාගේ නිවසට පැමිණි අයුරු දහරාට හොඳින් මතකය. 

“අප්පා හිතනවා මේ වෙලාවේ අම්මත් අරගෙන රටින් පිටවෙන එක තමයි හොඳම කියලා. අම්මා ඉන්නේ හොඳ මානසික තත්වයකින් නෙමෙයි. යුද්ධෙ තියෙන කාලෙත් නැන්ද අපිට කැනඩාවට එන්න කියලා කතා කළා. ඒ වුනාට තාත්තා ඒකට කැමති වුණේ නෑ. අම්මා කියනව ඒ වෙලාවේ කැනඩාවට ගියා නං අපේ මල්ලි බේරෙනවා කියලා.”

දහරා වඩාත්ම ප්‍රිය කළේ ඔහු සිංහල භාෂාව හසුරවනවා අසා සිටින්නටය. සමහර වචන ඔහු කතා කරන්නේ දමිළ හුරුවටය. කොහොමටත්  ඒ වදන්වල අරුත දහරාට හරිහැටි වැටහුම් වූයේ නැත. රමාෂ් එසේ පැවසූයේ අම්මා සමඟය. ඉන්පසු ඔහු ඒ සියල්ලන්ටම වැඳ සමුගත්තේය. 

“එහෙනම් දහරා මම ගිහිල්ලා එන්නම්. හොඳට ඉගෙන ගන්න…”

ඔහු ඇය වෙත ගොස් එසේ පැවසූයේ ඒ හිස අතගාමින්ය. කාමරයට  දිවගිය දහරා ආපසු පැමිණියේ කුරුලු පිහාටු එකතු කරමින් සෑදූ පොත් පිංචක්ද රැගෙනය. ඒ කුරුලු පිහාටු ඇයට ගෙනවිත් දුන්නේ චූටි මාමා මිතුරෙකුගේ වැඩකට අම්බලන්තොට ප්‍රදේශයට ගොස් සිට ආපසු පැමිණෙද්දීය. ඒවා එකින් එක පෙන්වද්දී රමාෂ් ආසාවෙන් විස්තර ඇසූ බව ඇගේ මතකයේ විය. 

“දහරා මේක ඔයා ආසාවෙන් ළඟ තියා ගතපු එකක්නේ…”

“කමක් නෑ මේක ඔයා අරගෙන යන්න…”

ඔහු නිවසින් පිටව ගියේ ඈ දුන් ඒ කුඩා පොත් පිංචත්  පපුවට තුරුලු කරගෙනය.

“පහුගිය කාලවල්වල මේකේ එවුන්   උන්ට පුදුම විදිහට කරදර කළා. කොයි වෙලාවක හරි ඒ ජීවිත වලටත් කරදරයක් කරයි කියලා මංනං  බයේ උන්නේ. ඇයි බං කොහේ හරි බෝම්බයක් පුපුරණ  වෙලාවට මේකේ ඉන්න උන් පළිගත්තේ ඒ අහිංසකයන්ගෙන්. එක පාරක් ඔය වේලුවගේ කඩේ කැඩුවා. තව පාරක් පැට්‍රොල් දාලා බයිසිකලේ ගිනි තිබ්බා. තව පාරක් මේකෙන් යන්න කියලා ඌට ගහලා තිබුණා.”

ආච්චි රමාෂ් පිටව ගිය මඟ දෙස බලාගෙන පැවසූයේ අම්මා සමගය. මේ දහරා නොදැන උන් කතාය.

“ඇයි කී පාරක් මේ අහිංසක මනුස්සයව පොලිසියට කුදලගෙන ගියාද. අනේ දන්න කියන කෙනෙකුට හොඳක් මිස කවදාවත් වරදක් කරපු මනුස්සයෙක් නෙමෙයි.” 

ආචීචී තවදුරටත් එසේ පැවසුවාය. 

“එහෙනම් එයාලට පිටරටකට යන්න තිබුණෙ අද නෙමෙයි. ඒ දවස්වලම” 

අවසන දහරාට එසේ සිතුනත් ඕ හඬ පිට නොකළාය. හවසට සෙල්ලම් කරන්නට ඇළ ළඟට රැස්වෙන මිතුරු පිරිස අතර දහරා වඩාත්ම ප්‍රිය කළේ රමාෂ්ටය. ස්වභාවයෙන්ම ඔහු නිවුණු ගතිගුණ ඇති මිතුරෙකු වූවේය. ඒ අතරේත් දහරාට සිහි වූයේ රමාෂ් සෙල්ලම් කරද්දී ඉඳ හිටක ගෙන එන  උළුදු වඩේ එකය. දරුවා ලැබෙන්න සිටියත් ඇයට අද වනතුරුත් විශේෂ කෑමක් ගැන ආසාවක් වූයේ නැත. බඩගින්නේ සිටියදී ඕනෑම දෙයක් කා හැකිව තිබුණි. පළමු වරට දහරාට අද ඒ උළුඳු වඩය ගැන ආසාවක් ඇතිව තිබිණ.  දියට හැදූ පොල් සම්බෝලයත් සමග එකතු වූවාට පසුව එහි වූයේ අමුතුම රසයකි. දමිළ කෑම  වලට ප්‍රසිද්ධ අවන්හල් කිහිපයක්ම දහරා ජීවත්ව උන් සේකර වත්ත අවට විය. එහෙත් තංගමනී නැන්දාගේ උළුදු වඩය ඒ එකකටවත් සම කල හැකි එකක් නොවුණු බව විශ්වාසය. 

“තංගමනී නැන්දගේ උළුඳු වඩේ එක…”

දහරාත් නිශාදිත්  පැවසූයේ එකටමය.  අවසන දෙදෙනාම නිහඬ වී තත්පර කිහිපයකට පසුව උස් හඬින් හිනැහුණාය. විශ්වාසය…දහරා ඒ සා සැහැල්ලුවකින් හිනැහුනේ බොහෝ කාලයකට පසුවය. 

(යළිත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here