මන්දාකිණි යමක් කියන්නට කෛලාශ් ව නතර කර ගත් නමුත් ඒ මොහොතේදී සත්සර ගේ වාහනය පැමිණ Hotel Sunzet පරිශ්‍රයේ නතර කල බැවින් මන්දාකිණි නිහඬ වුවාය. සත්සර සිනා මුසු මුහුණින් වාහනයෙන් බැස මන්දාකිණි සහ කෛලාශ් අබියස නතර වී දෙදෙනාම දෙස විමසිල්ලෙන් බැලුවේ දෙදෙනා තුළින්ම කිසියම් අමුත්තක් දුටු බැවිනි.
” මොකක් හරි අවුලක්ද මචන් ? ”
සත්සර ඇසුවෙ කෛලාශ් දෙස බලාය.
” නෑ මචන්. යමන්. මන්දාකිණි ත් දැන් මේ ආවා විතරයි ”
මන්දාකිණි ට හෝටලයට තුළට යන්නට හැර කෛලාශ් සත්සර කැටුව පසු පසින් පැමිනියේය. එළිමහනේ කිහිප දෙනෙක් කාර්‍යබහුල ව සිටි අතර මීනු ඒවායෙහි අඩු පාඩු පෙන්වා දෙමින් සිටියාය. තමා ගේ අයෙක් දුටුවා වැනි සැහැල්ලු හැඟීමකින් යුතුව මන්දාකිණි මීනු කරා පැමිණියේ ඉක්මන් ගමනිනි.
” මැඩම් ”
මීනූ මන්දාකිණි දෙස බැලුවේ පුදුමයෙනි.
” මැඩම් එනවා කිව්වට ඇත්තටම එයි කියලා මං හිතුවේ නෑ ”
” නෑවිත් කොහොමද ළමයෝ මේ වැඩ කර ගන්නේ. මේ පාර වත් මේක හරියට ඉවර කරලා බාර දෙන්න එපැයි මේ මිනිස්සුන්ට ”
මන්දාකිණි කීවේ මීනූ අත තිබූ ලැප්ටොප් පරිඝණකය අතට ගනිමිනි.පෙනෙනා මානයේ හිඳින කෛලාශ් තමා දෙස බලා හිඳිනවා දැයි නොබලා ඉන්නට ඒ අතරතුර මන්දාකිණි ප්‍රවේසම් වූවාය.
ඇත්තටම කෛලාශ් උන්නේ මන්දාකිණි දෙස බලමිනි. එය සත්සර පවා හොඳින්ම දුටු අතර ඒ ගැන විමසන්නට ඔහු සිතුවේ උදෑසන දී කෛලාශ් හදිසියේම මන්දාකිණි ගේ දුරකථන අංකය ද ඉල්ලා ගත් බැවිනි.
” මචන් ”
මන්දාකිණි දෙස බලාගෙන කල්පනාවෙ හුන් කෛලාශ් එක වරම තිගැස්සී ගොස් සත්සර දෙස බැලුවේ ය.
” උඹ වෙන කල්පනාවක නේද හිටියේ ? ”
” හ්ම් ”
” මොකක් හරි අවුලකද උඹ ඉන්නේ ? ”
සත්සර ඇසුවේ අසල වූ බැම්ම මතින් වාඩි වන අතරේ ය.ඒ අනුව කෛලාශ් ද ඒ අසලින්ම වාඩි වූයේ ය.
” අවුලක්ම නෙමෙයි බන් ”
” එහෙනම් ? ”
” මට හිතෙනවා මං ලියානාව හොයා ගත්තා කියලා. හොයා ගත්තා නෙමෙයි , එයා මගේ ඉස්සරහට ඇවිල්ලා කියලා ”
කෛලාශ් කියන්නේ ගැඹුරු කතාවකි. මතක ඇති කාලයක පටන්ම කෛලාශ් කලේ මතකයේ ඇඳුනු ගැහැණු ළමයෙකු සෙවීමය. කුඩා දැරියකගේ මතකයකින් වැඩුනු යුවතියක සොයා ගැනීම පහසු නැත. අනෙක් අතට ඔහු දන්නේ එකී ගැහැණු ළමයා ගේ නම පමණි. ඇය ඉන්නා තැනක් හෝ වෙනත් කිසිඳු තොරතුරක් හෝ කෛලාශ් සතුව නැත.
” මට තේරෙන්නෑ බන් ”
” මන්දාකිණි දිහා බලපන් ”
තමන් සිටිනා ඉසව්වට මදක් එපිටින් සේවකයන්ට උපදෙස් දෙමින් එහා මෙහා යමින් කාර්‍යබහුල වී හිඳින මන්දාකිණි දෙස සත්සර මෙන්ම කෛලාශ් ද බැලූහ. අව් රශ්මිය නොතකා ඇය තමා ගේ සිහිනය සැබෑ කිරීම උදෙසා කැප වන්නේය යන හැඟීමක් කෛලාශ් තුළ ඇති වූයේ ඒ මොහොතේය.
” මට මන්දාකිණි ව පේන්නෙම ලියානා ගේ ලොකු වර්ශන් එකක් වගේ ”
තමා ගේ සිතට දැනුනු සැකයට අනුව කෛලාශ් වචන ගලපා ගත්තේය. සත්සර පුදුමයට පත් වූයේය.මෙය විය හැක්කක්ද ?
” ඒ කිව්වේ ? ”
” මට හිතෙනවා මං හොයන කෙනා මන්දාකිණි කියලා ”
” ඇයි උඹට එහෙම හිතෙන්නෙ ? ”
කෛලාශ් මදක් නතර වී මන්දාකිණි ගේ කාර්‍යාලයට ගිය පෙර දිනය සිහිපත් කලේය.
” අපි ඊයේ මීටින් එකට ගිය වෙලාවේ මන්දාකිණි ගේ ඔෆිස් රූම් එකේ එල්ලලා තිබ්බ ෆොටෝස් දැක්ක ගමන් ම මට හිතුනා එයාව මං මීට කලින් හම්බ වෙලා තියෙනවා කියලා ”
” එහෙම වෙන්න විදියක් නෑ නේ බන්.උඹ ලංකාවේ හිටියේ නෑ නේ ”
” ඒකම තමයි මාත් මේ කියන්නේ.ලංකාවේ ඉන්නෙත් නැතුව මට මෙහෙම එකපාරටම දැනෙන්නෙ අපි දෙන්නා කලින් හම්බ වෙලා තියෙන නිසා වෙන්න බැරිද? මං කියන්නේ බන් මේ මට පොඩි කාලේදි හම්බුන ලියානා වෙන්න බැරිද ?”
” එක වගේ මිනිස්සු ලෝකේ කොච්චර ඉන්නවද කෛලාශ් ? අනිත් එක අපිට උනත් ඕන තරම් පාරේදි සමහර මිනිස්සු හම්බුනාම කලින් හම්බ වෙලා තියෙනවා වගේ කියලා හිතෙනවා නේ බන් ”
සත්සර එසේ කී පසු දෙදෙනා අතරම මොහොතකට වූයේ නිහැඬියාවකි. කෛලාශ් ඒ අතරතුර කුඩා ළදැරියකගේ රුව ඈතින් පෙනෙන මන්දාකිණි ගේ රුව හා සසඳා බලන්නට නැවත නැවත උත්සහ කලේය.
” ඒත් ලියානා ගේ හුඟක් දේවල් මන්දාකිණි ට සමානයි ”
” දෙන්නගේ නම ම ගැලපෙන්නේ නෑ නේ බන් ඒ උනාට ? ”
” නම නම් මොකක් හරි කියමුකෝ. ඒත් මට මේ දැනෙන දේ වරදින්න පුලුවන්ද බන් ? මන්දාකිණි ගේ ගමත් මේක.මගේ ගමත් මේක. ඉතින් මේ මම හොයන කෙනා වෙන්න බැරිද බන් ? ”
” හරි දැන් උඹ මොකද්ද කරන්න හදන්නේ ? ”
” මං මේක මන්දාකිණි ගෙන් අහනවා ”
කෛලාශ් මේ මොහොතේ දී තීරණ ගන්නේ හදවතිනි. එහෙත් මේ එසේ විසඳා ගත යුතු කාරණාවක් නොවේ.
” උඹට පිස්සුද ? උඹ ඒකි ගේ ක්ලයන්ට් කෙනෙක්. මෙහෙම දෙයක් ඇහුවොත් ඒකි හිතයි උඹට පිස්සු කියලා. විකාර නොකර අපි තව ටිකක් බලමු කෛලාශ් ”
සත්සර කෙසේ කීවත් කෛලාශ් උන්නේ නොසන්සුන්වය. ඒ නොසන්සුන් බව හමුවේ ඔහුට උවමනා වූයේ මන්දාකිණි ගෙන් ඇත්ත විමසා දැන ගන්නටය. තමා අවුරුදු ගණනාවක් පුරාවටම හිතේ වූ ඡායාවක් ඔස්සේ සොයනා යුවතිය සැබැවින්ම මන්දාකිණි නම් තමා තව දුරටත් ප්‍රමාද විය යුතු නැත.
” මට එයාව හොයා ගන්න පරක්කු වෙන එකනේ බන් වෙන්නේ තවත් ”
” ඒක හරි. එහෙමයි කියලා හම්බෙන හම්බෙන කෙල්ල ගෙන් ඕක අහන්න ගිහින් උඹට ගුටි කන්නයි වෙන්නේ “
කෛලාශ් බලාපොරොත්තු සුන් වූ දෑස් වලින් කඩිසරව එහා මෙහා යන මන්දාකිණි දෙස බලා උන්නේය.මොහොතකට දෑස් පියා ගෙන කුඩා දැරිය ගේ ඡායාව මනසින් මවා ගත් කෛලාශ් නැවත දෑස් හැර මන්දාකිණි දෙස බැලුවේය. හිස පුපුරන්නට එනවා වැනි හැඟීමක් දැනුනු බැවින් කෛලාශ් ඇඟිලි තුඩු වලින් නළලත මිරිකා ගත්තේය.
” මචන් උඹ හොඳින් නේද ? ”
කෛලාශ් හිසේ සිට දහඩිය වගුරවමින් ඇඟිලි තුඩු වලින් නළල මිරිකා ගෙන සිටිනවා දුටු විගස සත්සර වහාම වාඩි වී සිටි තැනින් නැගිට්ටේ බොහෝ සේ කලබල වී ය.
” ඔලුව ටිකක් රිදෙනවා බන්”
” උඹ ඉන්නේ ඕනවට වඩා හිතලා ස්ට්‍රෙස් වෙලා.මං උඹට බොන්න මොනා හරි ගේන්නද ?නැත්තම් යමන් මොනා හරි බීලා එමු ? ”
” නෑ නෑ ශේප් බන් මේක ටිකකින් ඇරිලා යයි ”
” පොඩ්ඩක් හිටපන්කෝ ”
එසේ කියූ සත්සර අඩියට දෙකට මන්දාකිණි හුන් තැනට ගියේ කෛලාශ් හට කිසිවක් සිතන්නට වත් ඉඩ නොතබාය.
” Excuse me මන්දාකිණි ”
මන්දාකිණි කරමින් හුන් කාර්‍යය නවතා සත්සර දෙස හැරී බැලුවේ අත වු ලැප්ටොප් පරිඝණකය මීනූ අතට දෙන අතරේය
” Yes මිස්ටර් සත්සර ”
” මේ. කෛලාශ් ට පොඩ්ඩක් සනීප නෑ වගේ.ඔයාලා ලග පේන් කිලර්ස් මොනා හරි තියෙනවද වැරදිලා වත් ? ”
මන්දාකිණි බොහෝ සේ කලබල වී මෑතින් පෙනෙන බැම්ම මත වාඩි වී හිඳින කෛලාශ් දෙස බැලුවාය. ලේන්සුවකින් මුහුණේ දහඩිය තෙත මාත්තු කරමින් හුන් කෛලාශ් දුටු විට මන්දාකිණි තුළ වූ ඒ කලබලය දෙගුණ තෙගුණ විය.
” දෙයියනේ.. පොඩ්ඩක් ඉන්න “
මන්දාකිණි තම වාහනය තිබූ තැනට දිව විත් එහි තබා තිබූ අත්බෑගය ගෙන එහි වූ වේදනා නාශක පෙති දෙකක් සහ වාහනයේ වූ වතුර බෝතලය ගෙන වාහනයේ දොර වසා දමා වේගයෙන් කෛලාශ් හුන් තැනට නැවත දිව ආවාය.
” මිස්ටර් කෛලාශ් ? ”


