සඳ දිය දහරා – 14

0
122

දහරා නිවසට පැමිණියේ සවස තේ බොන්නට කෙටි කෑමකුත් රැගෙනය. එදා අම්මා ගෙන ආ කිරිපිටි පැකට්ටුව ඕ තම කාමරය තුළ තබා ගත්තේ හිතා මතාමය. සමහර වෙලාවට දැනෙන කුසගින්න නිසා දරුවාට අයහපතක් වේයැයි දහරා උන්නේ බියෙන්ය. බොහෝ විට දැන් මනුජිත් මේ කාමරයට පැමිණෙන්නේ ඇඳුමක් හෝ ඔහුගේ පොතක් පතක් ගැනීමට පමණි. රෑ බෝ වී  නිවසට පැමිණෙන ඔහුගේ රාත්‍රිය ගතවන්නේ අම්මාගේ කාමරයේය. ඒ දිනවල තාත්තා සාලයේ පුටු සැටියේ හෝ බිම එලාගත් පැදුරක රාත්‍රිය ගත කරන අයුරු දහරා දැක තිබේ. 

ඇය රැගෙන ආ කෙටි කෑම වර්ගය ඔහු මනුජිත්ගේ අම්මාටත් දුන්නේ අහිතකින් තොරවය. ‘ලැබෙන දේවල් ගැන නොහිතා කරන දේවල් කරන්න…’ ඒ තමා කොතනින් උගත් පාඩමක්දැයි හරිහැටි මතකයේ නොවුනත් දහරා ඒ වදන් විශ්වාස කළාය. 

“උඹට කතා කරන්න පුලුවන්ද මේ වෙලාවේ…..”

නිශාදිගෙන් කෙටි පණිවිඩයක් පැමිණියේ එවේලෙහිය. මනුජිත් නිවසේ සිටිනවායැයි සිතෙන වේලාවට ඈ කෙටි පණිවිඩයක් තබනවා විනා ඇමතුම් ලබාගන්නේ නැත. දහරාත් එසේ නොකරන්නට තරම් ප්‍රවේසම් වූවාය. 

එනිසාම ඕ  එවේලෙහි යෙහෙළියට ඇමතුමක් ලබාගත්තේ මනුජිත් නිවසට පැමිණ නොසිටි නිසාය. 

“මම රමාෂ්ට කතා කළා…..”

ඇය පැවසූයේ සතුටින්ය. එවේලෙහිම කාඩ් පතෙහි වූ දුරකථන අංක  නිශාදි ඇගේ ජංගම දුරකථනයේ සුරක්ෂිත කරගත් අයුරු දහරාට සිහි වූයේ එවේලෙහිය. 

“උන්ට මාර මාර දේවල් බං වෙලා තියෙන්නේ. උඹ දන්නවද ගෙට  ගිනි තියපු එකත් බං  ප්ලෑන් එකක්ලු. ඒකට අපේ වත්තේ අයත් සම්බන්ධයිලු බං. අපි පුංචි කාලෙත් උන්ට මාර විදිහට කරදර වෙලා තියෙනවලු. වේළු මාමා එල්.ටී.ටී.ඊ එකට සම්බන්ධයි කියලා කටකතා යැව්වේ කඩේ සමරදිවාකරලු. වේළු මාම කඩේ අයින් කරගත්තනම් මිනිස්සු කෙලින්ම සමරදිවාකරගේ කඩේට එයි කියලා ඒ මනුස්සයා බලාපොරොත්තු උනාලු. ඒ උනාට හීනෙකින්වත් තාත්තා එහෙම දේවල් වලට සම්බන්ධ වුණා කියලා රමාෂ් හිතන්නෙ නෑලු.”

නිශාදී විසින් කළ දීර්ඝ විස්තරය දහරා  අසා උන්නේ නිහඬවය. ඔවුන්ට අකටයුතුකම් සිදු වූ බව ඈ දැන සිටියාය. දැන හෝ නොදැන චූටි මාමාත් ඒවාට සම්බන්ධ වූ බව දහරා දනී. 

“කොහොම හරි රමාෂ් හොඳට ඉගෙන ගෙන බං. ඌ ඩොක්ටර් කෙනෙක් වෙලා තියෙන්නේ කැනඩාවෙදිම තමයි. කැනඩා ඉඳලා කෙලින්ම ආවේ ජැප්නා වලටලු.  උගේ බාප්ප කෙනෙක් එල්.ටී.ටී.ඊ එකට සපෝට් කලා කියන කතාව ඇත්තලු. ඒ නිසාම තාත්තා ඉඳලා තියෙන්නේ ඒ බාප්පත් එක්ක සම්බන්ධකම් අතෑරලා. අන්තිමට ඒ මනුස්සයා ඒ කාලෙම නැතිවෙලා. වේළු මාමගෙ එක නංගි කෙනෙක්  විතරයි ජැෆ්නාවල ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ. තංගමනී නැන්දා තවමත් ඉඳලා හිටලා අප්සට් වෙනවලු. ආබාධිත කෙනෙක් වුණාට එයා මුළු ජීවිතේම කරගෙන හිටියේ රමාෂ්ගේ මල්ලිවලු. අම්මා කෙනෙක් ඒක කොහොම දරා ගන්නවා ඇත්ද. තමන්ගේ එකම දරුවා අමු අමුවේ පිච්චුනාම.”

“එච්චර වෙලා කතා කළාද බං….”

“එච්චර වෙලා නෙමෙයි. තව ගොඩක් වෙලා කතා කළා. වෙලාවෙන් කිව්වොත් හරියටම පැයයි විනාඩි විස්සක්.” 

“මම හිතුවේ නෑ උඹ මේ ඉක්මනට කෝල් එකක් ගනියි කියලා…”

“පිස්සුද බං ඌ අපි ගන්නකල් බලාගෙන ඉඳලා තියෙන්නේ. අපි කතා කරන එකක් නැතිවෙයි කියලා හිතුවලු. අපරාදේ අපි දෙන්නගේ නම්බර්ස් ඉල්ලගන්න බැරි උනා කියලා හරි අවුලෙන් හිටියේ.”

“උඹ ඇයි මේ තරම් ඉක්මනට මැරි කලේ කියලත් ඇහුවා. උඹ ඔන්න මොකක්ද ඒ කාලේ පිහාටු පොතක් දුන්නා කියල ඒක තවමත් ළඟ තියාගෙන ඉන්නවා කියලා හිනා වුණා. අපි දෙන්නට එයාව මතක් උනේම නැද්ද කියලා ඇහුව බං.”

“කාලෙත් එක්ක ඇත්තටම අපිට රමාෂ් ගැන තිබුණු මතකේ  අමතක වෙලා ගියා නේද?”

“මටනං ඉදල හිටලා මතක් වුනා. ඒ උනාට ඉතින් මෙච්චර ලස්සන වෙලා ඇති කියලා හිතුනේ නෑ.”

ඉස්සරත් සාමාන්‍යයෙන් රමාෂ් අනිත් අයට වඩා පිරිසිදුවට හිටියා. 

“එයාලට ඉතින් සල්ලිත් තිබුණනේ යම් තරමකට..”

“හ්ම්…ඉතින් තව මොනවද කිව්වේ..”

“උඹ ගැන හාර හාර අහද්දි ඉතින් මට කියන්නත් උනා. මං නොකිව්වත් බං මේ වත්තට ඇවිල්ලා කවුරු හරි ඇහුවහම ඕක නොකියා ඉන්නෙත් නැහැනෙ. කිව්වත් ඒ වැරදි විදිහකට වෙන්න පුළුවන්. සොරි මං උඹෙන් අහන්නේ නැතුව එහෙම කිව්වට.”

“ඒකට කමක්  නෑ. ඕක හංගන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ.”

“උඹේ  නම්බර් එක ඉල්ලුවහම මං ඒකනම් චුට්ටක් මිස් කළා. උඹ  අපිත් එක්කත් හරියකට කතා කරන්න බය එකේ රමාෂ් එක්ක කතා කරයිද නැද්ද කියන්න මම දන්නෙ නැහැනේ. අනිත් එක මේ ඉන්න තත්වෙත් එක්ක කොල්ලෙක් එක්ක කතා කරන එක වැරැද්දක් වෙන්න පුළුවන්නේ.”

“ඔව්.. කොහොමටත් මගේ නම්බර් එක දෙන්න එපා. ඔයා කතා බහ කරන්න. අපේ අම්මටත් කියන්න රමාශ්ව හම්බ උනා කියලා. අපේ අම්මත් ඉස්සර හරි ආදරෙයිනේ.” 

“හ්ම්…කවදද ආපහු අපි දෙන්න හොස්පිට්ල් එකට එන්නේ කියලත් ඇහුවා. තංගමනී නැන්දා එයාට හැම තිස්සෙම කියනවලු සේකරවත්ත පැත්තේ යන්න එපා කියලා. හිතේ ආසාව තිබුණත් ඒකයි නෑවිත් හිටියේ කියලා කිව්වා. හැමෝම ගැන මගෙන් විස්තර ඇහුවා.”

නිශාදී දුරකථනය විසන්ධි කළේ තවත් බොහෝ දේ පැවසූවාට පසුවය. රමාෂ්ලා පිටව යන්නට වාහනය පැමිණ තිබියදීත් නිශාදිත් තමාත් එතනැට වී උන් අයුරු දහරාටට මතකය. නිවස පිළිස්සුනාට පසුව ඔවුන් තාවකාලිකව සිටි කුලී ගෙදර වූයේ ප්ලාස්ටික් පුටු කිහිපයකුත් මුළුතැන් ගෙයි උපකරණ කිහිපයකුත් පමණි. 

“මේවා නැති බැරි කෙනෙක් බලලා දීලා දාන්න අක්කේ…”

තංගමනී නැන්දා නිශාදිගේ  අම්මාට එසේ පැවසූ අයුරුත් දහරාට මතකය. 

“හොඳට ඉගෙන ගෙන ලොකු නෝනලා දෙන්නෙක් වෙලා මේ වත්තෙන් එළියට ගිහිල්ලා ලස්සන ගෙවල් හදාගන්න ඕනේ..ෂරිය…”

දෑස් වල කඳුළු පුරවාගෙන බලා උන් තමාත් නිශාදිත් දෙපසින් තුරුළු  කරගෙන ඈ එසේ මිමිණූයේ දෙදෙනාගේම හිස් අතගාමින්ය. 

රමාෂ්  උන්නේ සුදු පැහැ දිග කලිසමකුත් තද නිල් පැහැ පසුබිමක  සුදු ඉරි වැටුණු කමිසයකුත් ඇඳගෙනය. ඔහුගේ දෑස් වල කඳුළු පිරී තිබුණු අයුරු දහරාට මේ දැනුත් මැවී පෙනෙන්නට විය. සුදු පැහැ කුඩා වෑන් රථයේ වීදුරුවට අත තබාගෙන බොහෝ දුරක් යනතුරුත් ඔහු ආපසු හැරී බලා සිටි අයුරු ඈ සිහි කළේ වේදනාවෙන්ය. 

ඉන් වසර දෙක තුනක් ගත වූ පසුව චූටි මාමා ගෙදරට ගෙන ආ දේව්දාස්  සීඩී තැටිය බලද්දී දහරාට  රමාෂ්ව සිහිවූවාය. ඒ හින්දි චිත්‍රපටි වත්තේ කෙල්ලන්ට පිස්සුවක් වූ කාලයකි. ජාතික හැඳුනුම්පත ඇපයට තබා රුපියල් දෙසිය පනහක් දී  හින්දි චිත්‍රපට තැටි රැගෙන ආවේ චූටි මාමාය. දහරා, නිශාදි පමණක් නොව තව කෙල්ලන් හත් අට දෙනෙකුම ඒ වේලාවට දහරාගේ  නිවසට එක්වේ. 

“රමාශුත් කවද හරි එහෙම ඒවි….”

තමාට සිතුණු දේම  නිශාදිටත් සිතුනේ කෙසේදැයි සිතා දහරා ඈ දෙස බැලුවේ දෑස් විසල් කරගෙනය. එහෙත් යමක් අසන්නට සිත් නොවුනේ ඕ දෑසත් මුවත් අයාගෙන චන්ද්‍රමුඛීගේ ඇකයෙහි හිස තබාගෙන සිටින දේව්දාස්  දෙස බලා සිටි නිසාය. 

                               ***************

මනුජිත්  කාර්යාලය නිම වී කඩුවෙල ප්‍රදේශයේ දේවාලයකට පැමිණියේ අම්මාගේ ඉල්ලීමටය. තමාට කළ යුතු යැයි පැවසූ මේ ශාන්ති කර්මයට ඈ සූදානමින් සිටියේ සති කිහිපයකට පෙර සිටය. නක්ශ්‍රාස්ත්‍ර හෝ අදෘශ්‍යමාන බලවේග ඒසා  විශ්වාස නොකල මනුජිත්ට අම්මාගේ මේ කාර්යයන් විටෙක වදයක් විය. 

මනුජිත් අසුන්ගෙන සිටියේ මල් බුලත් තට්ටුවක් ඉදිරිපසය. සුදු ඇඳුමක් ඇඳගෙන ගෙල වටා රතු පැහැ සළුවක් පලදාගෙන උන් කාන්තාවක් මොනවදෝ මුමුණමින් උන්නාය. මනුජිත් වරක් දෙවරක්ම නාද වූ ජංගම දුරකථනය නිහඬ කර දැමුවේ අම්මා දෙතුන් වරක් රැව්වාට පසුවය. 

රුපියල් පන්දහසක් තැබූ බුලත් කොළය මනුජිත් අතට දුන් ශ්‍රියාලතා එය මෑණියන් වෙත ලබා දෙන්න යැයි පැවසූයේ හස්ත මුද්‍රාවෙන්ය. 

“යහපතක්ම වේවා දරුවා….”

ඈ එසේ පැවසූයේ මනුජිත් බුලත් කොළය ඈ දෙසට දිගු කලාට පසුවය. 

“අපිට මේ කරදරේ අයින් කරගන්න පුළුවන් වෙයිද මෑණියනේ…”

“මේ ළමයාගේ බඩට තමයි දෙයක් දීලා තියෙන්නේ. ඒ කාලෙම අයින් වෙන්න වුවමනාව තිබුනත් අයින් වෙන්න ඉඩක් දීලා නෑ. එහෙම නේද ළමයෝ.”

මනුජිත් මෑණියන්ගේත් අම්මාගේත් මුහුණ බැලුවේ මාරුවෙන් මාරුවටය.

“දහරා ඔයාට කන්න බොන්න මොනවා හරි දීලා අල්ලගෙන කියලා තමයි කියන්නේ. ඇත්ත නං ඇත්ත කියලා කියන්න දරුවෝ.”

“මේක මෙහෙමයි කියලා දීලා නැතුව ඇති. ඇල් වතුර උගුරක් මතුරලා දුන්නත් ඒක ඇති. ලේසි පහසු ගෑනියක් නෙමෙයි. ඉස්සරහට සෑහෙන්න කරදර ඇති වෙනවා. ඔය ගෙදර ඉන්න අම්මා, තාත්තා,  පුතා තුන් දෙනාම එකතුවෙලා එළියට තල්ලු කළත් වැඩක් නෑ. ආපහු ගේ ඇතුලට ඇදිලා එනවා.”

“ඒකනේ මං කිව්වේ පුතේ…”

“ඔය දරුවා ඉපදුණාට පස්සේ ගෑණි ඔහොම නිහඩව ඉන්නෙත් නෑ. තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න සටන් කරනවා. හොඳින් නැත්තං නරකින් මෙතන ඉන්නවා කියන තැනට පත්වෙනවා. හිතන තරම් ලේසි වෙන්නේ නෑ. දරුවා ඉපදිලා මාස තුනක් යනකල් අපිට කිසි දෙයක් කරන්නත් බෑ.”

“ඊට පස්සේ මොනවද මෑණියනි කරන්න පුළුවන්….”

“ඒවට ඉතින් කරන්න පුළුවන් දේවල් තියෙනවා. මේ කාලේ මොන ප්‍රශ්න ආවත් අපිට ඉවසීමෙන් බලාගෙන ඉන්න වෙනවා. මේ දරුවාගේ ඇඟේ තියෙන ඒ දෝෂ අයින් කරන්න තමයි මං අද මේ ශාන්ති කර්මය කළේ. මෙන්න මේ සුරේ බොහොම පරිස්සමට දරුව නිදාගන්න කොට්ටේ  යටින් තියාගන්න ඕනේ. දෙන්නා එක කාමරේ නෙමෙයි වෙන්න ඇතිනේ  ඇත්තේ.” 

“නෑ… නෑ…පුතා දැන් බෙදාගන්නේ බය කාමරයේ..”

“මේක මහා නරක කාලයක්. ගෙවන්නම සිද්ද වෙනවා. ඔය පූරුවේ කරපු පවක් තමයි පස්සෙන් කරකැවෙන්නේ. ගෑනියෙකුට ගහන්න තියෙන අන්තිම තුරුම්පුව තමයි ඔය. දැන් ඔය ළමයා ඒකට අහුවෙලා ඉවරයි. නිකම්ම මූණ බැලුවහම තේරෙනවා මේ අහිංසක දරුවෙක්නේ. බයවෙන්න එපා. මට ඔය බඩේ ඉන්න ළමයා ඉපදිලා මාස තුනක් දෙන්න. ආයෙ ඔය හතර මායිමක් දිහා හැරිල බලන්නේ නැති වෙන විදිහට මං වැඩේ කරලා දෙන්නම්. හැබැයි පුතේ මං කියන විදිහට වැඩ කරන්න ඕනේ…”

මනුජිත්  හිස වැනුවේ  අම්මා දෙස බලමින්ය. මේ කිසිවක් ගැන ඔහුගේ සිතෙහි විශ්වාසයක් නොවූවත් දහරා එළවා ගන්නට  හැකිනම් ඕනෑම දෙයක් කරන්නට ඔහු සූදානම්ය. 

“හැබැයි ඉතින් එයාට මේපා වෙලා යන්න ඕනේ.”

මනුජිත් එසේ පැවසූයේ දහරාගේ මාමා සිහිවීමත් සමගමය.

“ඒක මේ මහත්තයා බලාපොරොත්තු වෙන විදිහටම සිද්ධ වෙයි. මං ගැන දන්න මිනිස්සුන්ගෙන් අහලා බලන්න. ඔයිට වඩා අමාරුකාරියෝ එක්ක මං හැප්පිලා තියෙනවා” 

මෑණියන් පැවසූයේ උස් හඬින් හිනැහෙමින්ය. ඒ වචන මත විශ්වාසය තැබූ ශ්‍රියාලතා දෑත් එකතුකර ඇයට වැන්දාය. ඒ දෙපා මුල පහත් නොවූවත් මනුජිත්ගේ  දෑත්ද එක් වූයේ නිරායාසයෙන්ය.

(යළිත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here