අහස අඳුරින් බරිත ව කඩා හැලේ. බරාඳ පුටුවක් මතට වී ජාන්වී වැසි දිය සිඹින මිදුල දෙස බලා සිටියා ය. හදවත ඇතුළේ පාළු අහු මුළු මෙහෙව් හෝරාවක සුසුම් හෙළන එක වැළකිය නො හැකි ය. චමුපති නික්ම ගියාය කියා සිය දිවියෙහි කිසිදු අඩුවක්, වෙනසක් නො සිදු වූ බව ලෝකයාට පමණකුදු නොව ඇයට ම පවා ඒත්තු ගන්වන්නට නිතර ම ජාන්වී උත්සාහ කරන්නී ය. ඒ උත්සාහය හැම විට ම සාර්ථක වේ. නමුත් ඇතුළාන්තයෙහි වන ඈ යටපත් කරනා පාළුවක් පිටතට එන්නට අවසර ඉල්ලමින් ඉකිබිඳ හඬන අවස්ථා නැතිවා නොවේ.
උදේ පෙර පාසල් ගිය ගමන් ජාන්වී සිය නීතීඥවරයා හමුවන්නට ගියා ය. චමුපති ගෙන් නීත්‍යානුකූලව වෙන් වීම අසීරු නොවන බව ඔහු ගේ අදහස විය. ඔහු සැබවින් ම ඇය හා සව්මියව ද්වේශ සහගත ලෙස අතැර ගොස් අනීතික ලෙස වෙනත් කුඩුවක් තනාගෙන තිබේ!
එන ගමන් මෝටර් රථය අක්‍රිය වූයේ ඈ කොහෙත් ම නො සිතූ ලෙසයි. දන්නා හඳුනන පෙදෙසක් නො වුණෙන් කුමක් කරන්න දැයි සිතාගත හැකි වූයේ නැත. කරන්නට තිබුණ එක ම දෙය විසල් ට දුරකතන ඇමතුමක් ගන්නා එකයි. අඩ හෝරාවක් තුළ ඔහු එතැනට පිවිස මෝටර් රථය පරීක්ෂා කොට සැකසීම සඳහා සුදුසු ගරාජයක් සොයා අවශ්‍ය සියලු කටයුතු සිදු කළේ ය. නමුත් මෝටර් රථය ඒ මොහොතේ ම සාදා දිය නො හැකි බවත් පසු දා දවල් වන විට ලබා දිය හැකි බවත් පැවසිණ.
‘මොනා කරන්නද ඉතිං… අද බයික් එකේවත් බබාව එක්කං යං’
යතුරු පැදියට නැගුණාට ජාන්වී ට එහි ගමන් ඒ තරම් පුරුදු නැත. ඊටත් වැඩිය විසල් ගේ සිරුරෙහි ස්පර්ශ නොවන ලෙස එහි යනවා කියන්නේ ම අභියෝගයකි. වරක් තිරිංග තද කළ වෙලාවක ඈ ගැස්සී ගිහින් විසල් ගේ උරහිස අල්වාගත්තා ය.
‘මට බෝවෙන ලෙඩක් එහෙම නෑ හොඳේ. චණ්ඩි රැජිණ වගේ අල්ලන්නැතුව ගිහිං වැටිල හොස්පිට්ල් යන්න වුණොත් තව එකක්…’
ඇය ඔහු ගේ බඳ මත දෑත් තැබුවේ යන්තමිනි. අල්වාගත්තේ කමිසයෙනි. ඇගේ වත රතුවෙමින් තිබිණ.
‘ගෑනු ළමය දැනගත්තොත් එහෙම බයික් එකේ මාව දාං ගියා කියල…’
ජාන්වී ඒ පවසා ගත්තේ වචන අතරේ පරතරයක් තබමින් නැවතිල්ලේ ය. පැති කණ්ණාඩියෙන් ඔහු ඇගේ මුහුණ දෙස බැලුවේ ය. ජාන්වී ගේ රතදර අතරෙහි මඳහසක් විය.
සව්මියව පෙර පාසලෙන් ගෙන යන්නට සිටියාට, මන්දාරම් කොට තිබි අහස වැස්සක් ව කඩා වැටෙන්නට ගති. පදික වේදිකාවේ යතුරු පැදිය නවතා විසල් ජාන්වී ව කඩ පිලට කළේ ය.
ඒ අහඹු වැස්ස පැමිණියේ සුළඟක් ද හාද කරගෙනයි. මොහොතකින් කඩපිළ සෙවණක් සෙවූ මිනිසුන්ගෙන් පිරිණි. ජාන්වී අයිනට ම වූවා ය. හිරිපොදයක් වඩාගෙන පැමිණි සුළං කෝඩයක් ඈ තෙමා දමමින් දඟයක් පෑවේ ය. විසල් ඇය මුවහ වෙන සේ මග හරස් කළේ ය.
ඒ වැහි මේකුළ කඩා වැටී නිමා වන තුරු කඩ පිළේ රැකවරණය පතන්නට ඔවුන්ට සිදු විය. වැස්සේ සව්මියව බයිසිකලයේ ගෙන යා නො හැකි නිසා කුළී රියක සහාය පතන්නට ජාන්වී තීරණය කළා ය.
‘තාත්ති ඕනෙ…’
අඩ නින්දෙන් අවදි වූ සව්මිය ඔහු ගේ සොෆ්ට් ටෝයි බව්වා කනකින් එල්ලාගෙන ම බරාඳය වෙත පැමිණියේ ය. ජාන්වී ඔහු සිය උකුලට ගෙන කොපුලක් සිපගත්තා ය.
‘තාත්ති කොහොමද මේ වැස්සෙ එන්නෙ…තෙමෙන්න බෑනෙ බබා… පව්නෙ… එයා හෙට එයි හොඳේ’
උණුහුම දැනෙන සේ ඈ ඔහු තුරුලු කරගත්තා ය. සව්මිය මූණ නරක් කරගත්තේ ය.
‘අපි තාත්තිත කෝල් එකක් දෙමුකො’
මුල දී සව්මිය විසල් ට ‘තාත්ති’ කියා අමතන හැම වෙලාවක ම ජාන්වී එය ‘විසල් අංකල්’ ලෙස නිවැරදි කළා ය. අවිවාහක තරුණයෙකුට අනුන්ගේ දරුවෙකු තාත්තා කියා අමතන එක අයුතු යයි ඇගේ හෘද සාක්ෂිය විශ්වාස කළ බැවිනි. නමුත් සව්මිය සිය ආමන්ත්‍රණයෙහි කිසිදු වෙනසක් නො කළේ ය. විසල් නැති තැන කෙසේ වතුදු ඔහු ඉන්නා තැනක දී සව්මිය ට ‘විසල් අංකල්’ යනුවෙන් ඔහුව හැඳින්වීමට ඒත් ඇය කටයුතු කළා ය. නමුත් සව්මිය ‘තාත්ති’ කියන ආදරණීය ආමන්ත්‍රණය, ‘විසල් අංකල්’ යන වචන දෙකෙන් කිසි සේත් විස්ථාපනය කරන්නට සූදානම් වූයේ නැත. විසල් ද ඊට වචනයකිනිදු විරෝධයක් නො පෙන්වයි. නමුත් මේ බැඳීම දවසක කෙළවර කරන්නට වන්නේ කෙබඳු සිත් රිදීමකින් ද කියා සිතත්දීත් ජාන්වී ට බිය ය. එදාට අවිහිංසක සව්මිය ගේ මානසික තත්වයට කෙතරම් බිහිසුණු බලපෑමක් එල්ල විය හැකි ද?
ජාන්වී විසල් ගේ දුරකතනය ට ඇමතුමක් ගත්තේ ය. නමුත් පිළිතුරු ලැබුණේ නැත.
‘විසල් අංකල් වැඩක ඇත්තෙ බබා. දැක්කහම කෝල් බැක් කරයි හොඳේ. අපි බෝට්ටු හදල වැස්සෙ පා කරමුද… ම්…’
‘තාත්ති ඕනෙ’
තවත් ජාන්වී ට තුරුලු වෙමින් සව්මිය බිඳුණු හඬකින් කෙඳිරි ගෑවේ ය. ගේට්ටුව ළඟ හැඬවුණු ඒ රිය නලාව විසල් ගේ යතුරු පැදියේ බව වහා හැඳිනගත් සව්මිය අම්මා ගේ උකුලෙන් පැන, දුරස්ථ පාලකය ගෙන ගේට්ටුව විවර කළේ ය. විසල් තෙමීගෙන ම පැමිණ තිබේ!
‘අනේ ඇයි විසල් ඔහොම තෙමුණෙ… ‘
ජාන්වී ගේ ස්වරයෙහි කණගාටුවක් තැවරී තිබිණි. ඔහු පොඩි ළමයෙකු වාගේ සිනහ වී සව්මිය දෙස බැලුවේ ය. සිඟිත්තා උඩ පනිමින් සිනහ වේ.
‘මෙයා බලං ඉන්නවනෙ…’
‘අපි බෝට්ටු හදමු හොඳේ…’
ජාන්වී වහා ගෙතුළට ගොස් අල්මාරියෙන් ටවල් එකක් ගත්තා ය. එය විසල් වෙතට ගෙන එන විට ඔහු ජැකට් එක ඇතුළේ දමාගෙන පැමිණි අලුත් ඇඳුම් බෑගයක් පිටතට ගනිමින් සිටියේ ය.
‘තෙත ඇඳුං ඇඳං ඉන්න බැරි නිසා එනගමං ශොප් එකකට ගොඩවෙලා ටක්ගාල ඇඳුමක් ගත්ත’
‘අනේ ඔයා පව් විසල්’
එසේ මිමිණුවේ ඇගේ හිතයි. මුවින් කීවේ වෙනත් කතාවකි.
‘ඔයා වොශ් දාල චේන්ජ් කරගන්නකල් මං කෝපි හදන්නං’
ජාන්වී කිරි කෝපි තැනුවා ය. ඇගේත් විසල්ගේත් මග් දෙක දෑතින් ගෙන බරාඳයට යත්දී විසල් බොටම් කලිසමක් ද ටී කමිසයක් ද හැඳගෙන, සව්මිය සමග බිම හිඳ කඩදාසි බෝට්ටු හදමින් සිටියේ ය. දිය නාගෙන හින්දා ඔහු ගේ හිස කේ තෙත ය. ඔවුන් යාබද පුටු දෙකක හිඳ වැස්ස දෙස බලාගෙන කෝපි බීවෝ ය. සව්මිය කඩදාසි බෝට්ටුවක් මිදුලට දමා එදෙස සන්තෝෂයෙන් බලාගෙන සිටියේ ය. ජාන්වී නීතීඥවරයා පැවසූ යම් යම් දෑ සිහි කරමින් කීවා ය. විසල් කල්පනාබරව ඒවාට කන් දුන්නේ ය.
‘අම්මි බොලු කිව්ව. තාත්ති එන්නෑ කියල’
සව්මිය ඇවිත් විසල් ගේ උකුලට පැනගත්තේ ය.
‘විසල් අංකල් කියන්න බබා. විසල් අංකල්ට ඇත්තටම බබාල ඉන්න දවසක තාත්ති කියන්න ඔයාට බෑ’
මේ වෙලාවේ එහෙම කියවුණේ ඇයි කියා ජාන්වී දන්නේ නැත. ඇතුළාන්තයේ එහෙ මෙහෙ වෙමින් ඇති රිදුමක්, ඇය බර සුසුමකින් පිරිමැද ගත්තා ය.
‘අනේ… මගෙ තාත්ති’
සව්මිය හැඬුමකට ඔන්න මෙන්නව වාගේ මුව බෙරි කරගත්තේ ය. කෝපි මග් එක කනප්පුව මතින් තැබූ විසල්, ‘බොරු පැටියො’ කියමින් සව්මිය වැළඳගත්තේ ය. සව්මිය ගේ කඳුළක සීතල ඔහු ගේ පපුවට දැනිණ.
‘ළමයට ඕන්නැති ඒව කියන්නැතුව ඉන්නවද…’
ඒ ජාන්වී වෙනුවෙන් කෙරුණ තරවටුවකි. විසල් ගේ පෙනුමේ ඇත්තට ම කේන්ති ගත් විලාශයක් විය. ඇතුළාන්තයේ දැවිල්ලක් ඇතිල්ලී යනයුරු ඇය හුස්ම අල්වාගෙන බලා සිටියා ය.
ජාන්වී පාට කඩදාසි වලින් බෝට්ටු හැදුවා ය. විසල් හා සව්මිය ඒවා පා කොට හැරියහ. එය සතුටු මොහොතකි. කොන්දේසි විරහිතව විසල් ඒ සතුට ජාන්වී ගේ ගෙදර ඇතුළේ වපුරමින් සිටියේ ය.
‘සීදේවි ඉලන්දාරිය’
වැස්ස පායන තුරු හිඳ ඔහු නික්ම ගියාට පස්සේ, මුළුතැන්ගේ අස් පස් කරමින් අමිතා කීවා ය. ජාන්වී හ්ම් කීවේවත් නැත.
‘ඔය නඩු හබ කටයුතු ඉවර වුණාට පස්සෙ ඒකත් එකලාසයක් කරගන්න තියෙන්නෙ’
විදුලියක් වැදුණා සේ තිගැස්සී ගිහින් ජාන්වී අමිතා දෙස බැලුවා ය.
‘මොකද්ද අමිතා ඒ කියපු කතාව…’
‘ඒක තමයි වෙන්නෝනෙ හොඳම දේ නෝනෙ. අපේ බබාට ඔය වගේ ආදරේ කරන පිරිමියෙක් ආයෙ මේ මුළු තුන් ලෝකෙම පීරල හෙව්වත් හම්බවෙයි කියල හිතනවද… ඒක තමයි දෛවයෙ ලියවිලා තියන විදිහ. ඒක තමයි ඒ රත්තරං කඳ අහම්බෙන් හරි දෙවියො මෙහාට එව්වෙ’
‘අනේ මොනාද කියන්නෙ අමිතා… විසල් කියන්නෙ ලස්සන අනාගතයක් තියන කොල්ලෙක්’
‘ඉතිං ලස්සන අනාගතයක් තියෙයි තමයි. ඒ මහත්තයටයි අපේ බබාටයි… මිනිස් දුවක් නෙවෙයි දෙව්දුවක් කියල මං හැමදාම කියන අපේ නෝනටයි…’
‘විසල් කියන්නෙ දරුවෙක් ඉන්න ගෑනියෙක්ට කරගහන්න ඕන කොල්ලෙක් නෙවෙයි’
‘හිතේ ආදරයක් ගෞරවයක් බැඳීමක් තියනවනං ඒ වගේ සුළු දේවල්නං මොනාද නෝනා… මොකෝ දැං ඔය නෝනගෙ යාළුව හොරාටම පන්නගෙන ගියෙත් දරුවෙක් ඉන්න මිනිහෙක්වනෙ. දැං ඔය යසට පවුල් කන්නෙ’
‘විසල්ට ඇහෙන්න එහෙම ඔය වගේ කතා කියන්නෙපා අමිතා’
කියමින් ජාන්වී මුළුතැන්ගෙයින් නික්ම ගියා ය. ඇගේ හදවත මත අලුත් බරක් පැටවුණා සේ විය. විසල් පිළිබඳ විශේෂ ඉඩක් ඇගේ ගැහැනු හද මඬළ තුළ වන බැව් සැබවි. නමුත් එය එයාකාරයෙන් ම පවතිනවාට ඇය වැඩියෙන් රිසි වූවා ය. ඒ සෞම්‍ය වූ කලාපයට කිසිවෙකු ගේ ඇල්මක්, බැල්මක්, අත පෙවීමක් නො වැටී සුරක්ෂිත කලාපයක් සේ පවතිනවාට ඇය රිසි වූවා ය. ඒ කෙතරම් නො ඉඳුල් නැවුම් කලාපයක් ද යත් ඇය වුව ඒ වෙතට එබී බැලීමෙන් වැළකී සිටියා ය. රිසි ලෙස ස්වභාවිකත්වයෙන් ඒ පවතින්නට හැර පාඩුවේ සිටියා ය.
අමිතා මේ අනවසරයෙන් අත තැබූයේ ඒ නිර්මල අවකාශයටයි!
ඇය කාමරයට යන විට දුරකතනය නාද වෙමින් තිබිණ. විසල් ගේ නම තිරයෙහි ලියැවී තිබිණ. ජාන්වී වහා දුරකනය සවනට ගත්තා ය.
‘විසල්…’
‘පුතා නිදිද…’
‘හ්ම්. ඔයා ගියා විතරයි නිදාගත්ත. ඔයා දැන්ද ගෙදර ගියේ විසල්… මග වහිනවද… ආයෙත් තෙමුණද… ඔහොම තෙමිල ඔයා අසනීප වෙයිද දන්නෙත් නෑ’
ඇය කියවාගෙන ගියා ය. එක ප්‍රශ්නයකටවත් පිළිතුරු නො ලබා ම ප්‍රශ්න අසාගෙන ගියා ය. විසල් ලොකු හුස්මකින් පෙනහලු පුරවාගනිමින් සිටියේ ය. ඇයට කියන්නටත් ඇගෙන් අසන්නටත් හුඟක් දේවල් තිබෙනවා සේ ඔහු ට දැනේ. නමුත් ඒ කිසිත් වචන වලට පෙරලාගත නො හැකි ය.


