සඳ දිය දහරා – 15

0
93

එකවරම නිවසට මනුජිත්ගේ  මිතුරන් කඩා වදිද්දී දහරා උන්නේ නාන කාමරය තුළය. දැන් නිවාඩු දවසකටවත් මනුජිත් නිවසේ රැඳෙන්නේ නැත. සමහර දිනවල ඔහු කුමක් හෝ වැඩක පටලා නිවසින් පිටත් කරන්නේ අම්මා සහ තාත්තාය. 

“අන්න අර පුංචිලයි ගෙදර බාස්ල වගයක් වැඩලු. ඒ මිනිස්සු අපිට කොච්චර උදව් කරනවද පුතා. ඒ පැත්තේ ගිහිල්ලා ආවනම් හොඳයි…” 

ශ්‍රියාලත මනුජිත්ට  උදෑසන එසේ පැවසූයේ දහරාටත් ඇසෙන්නටය. දැන් ඇයට මේ පිළිවල පුදුමයක් හෝ අමුත්තක් නොවේ. එකම නිවසක් තුළ සිටියාට මනුජිත් නිවසට පැමිණෙන වේලාව හෝ ආපසු පිටව යන වේලාව දහරා නොදන්නා තරම්ය. 

ඈ මනුජිත්ගේත් තමාගේත් ඇඳුම් රැගෙන නාන කාමරයට යද්දී වෙනදා සේම රෙදි බේසමක් ඒ තුළ විය. අදත් දහරා  ඒ සියල්ලම සෝදා දැමුවාය. ආපසු යමක් බලාපොරොත්තු නොවීම යුතුකම් ඉටු කරන්නට ඈ පුරුදු වූයේ මනුජිත්ගේ නිවසේදීය.

“මක් කරනවද ළමයෝ මෙච්චර වෙලා ඕක අස්සේ රිංගගෙන. අන්න පුතාගේ යාළුවො වගයක් ඇවිල්ලා. හොඳ ඇඳුමක් ඇඳගෙන ඉස්සරහට එනවා අපිට ලැජ්ජ කරන්නේ නැතුව.”

එසේ පැවසූ ශ්‍රියාලතා දහරාගේ අත වූ මනුජිත්ගේ දිග කලිසම උදුරා ගත්තාය. ඈ උන්නේ එය මිරිකමින්ය. මුළුතැන් ගෙයත් නාන කාමරයත් යා කරන කෙටි කොරිඩෝවේ රෙදි සෝදන යන්ත්‍රයක් වුවත් එය කිසිදාක පාවිච්චි කරන අයුරු දහරා දැක තිබුණේ නැත.

දහරා ශ්‍රියාලතාට එකඟව කාමරයට ගොස් එදා අම්මා ගෙන ආ අලුත් ගවුම ඇඟ ලා ගත්තාය. අඳුරේ අතපත ගාමින් සිටි ඇයට මේ  හමු වූයේ ආලෝකයකි. හිත රිදෙන දහසක් හේතු කාරණා මැද සතුට මුසු වූ අංශුවක් වුවද ඇයට දැනුනේ මහ මෙරක් සේය. මේ එවන් සතුටේ අංශුවකි. තමාව ගේ ඇතුළේම හංගාගෙන උන් මනුජිත්ගේ මව අද පැවසූයේ යහළුවන් ඉදිරිපිටට එන ලෙසය. 

දහරා බලාපොරොත්තු වූවාසේම පිරිස විසිත්ත කාමරයේ තැන් තැන්වල අසුන්ගෙන සිටියහ. මනුජිත්ගේ තාත්තා වූයේ ඔවුන් සමඟ කතාවකය. දහරාගේ  මතකයේ හැටියට මේ ඇය විවාහ වී පැමිණියාට පසුව නිවසට මනුජිත්ගේ පාර්ශවයේ අමුත්තෙකු ආවාමය. ඉඳහිටක හෝ නිවසට පැමිණ ගියේ අම්මාත් ආච්චීත් පමණි. මනුජිත්ගේ මව පවසන්නේ මේ විවාහයෙන් සිත රිදවාගෙන සිටින ඥාතීන් නිවසට නොපැමිණෙන බවය.

“නංගි…මාව මතකද දන්නෙ නෑ අපේ අනිත් උන්නම් ඔයාව මං හිතන්නේ දැකලා නෑ”

එසේ පැවසූයේ මනුජිත් හා බෝඩිම් කාමරයේ වූ මිතුරාය.

“මචං මටත් එක දවසක් හම්බවෙලා තියෙනවා.”

තවත් මිතුරෙකු ඉස්සර වූයේ දහරා යමක් පවසන්නට ප්‍රථමවය.

“එන්න හිතන් ඉඳපු ගමනක් නෙමෙයි. හදිසියේ අපි කට්ටිය සෙට් උනේ ඇත්තටම කිව්වොත් වෙන වැඩකට යන්න. අද නිවාඩු දවස නිසා අපි හිතුවා මනුවා ගෙදර ඇති කියලා. ඌ ඒ කාලෙත් හිටියේ ඔයාට ඇලිලා ගැලිලා වගේනේ. මේ දවස්වල වයිෆ් ළඟින් හෙල්ලෙන්නේ නැති වෙයි කියලා අපි හිතුවා. “

කසුන් පැවසූයේ හිතා මතාම මනුජිත්ගේ  දෙමව්පියන් රිදවන අරමුණින්ය. ඔහුට ඕනෑ වූයේ එදවස මනුජිතුත් දහරාත් අතර වූ  සම්බන්ධයේ ස්වභාවය වචනයෙන් හෝ ඔවුනට පැහැදිලි කර දෙන්නටය…

“අම්මෝ ඔව්…ආන්ටි දන්නෙ නෑ ඉස්සර මුන් දෙන්න හරියට නිකං  රොමියෝ ජුලියට් වගේ. ඌ දහරාට  ආදරේ කරන හැටි බලන් ඉඳලා තමයි අපිටත් ආදරය කරන්න හිතුනේ..නංගි ඔයා නං මාර වාසනාවන්තයි අපේ මනුවා  වගේ කොල්ලෙක් ලැබෙන්න.”

මනුජිත්ගේ  මවත් පියාත්ම මුහුණට මුහුණ බලාගන්නා අයුරු මිතුරන් පිරිස හොඳටම දුටුවේය. “කෙහෙම්මල් ආදරේ”යැයි සිතුනාට ශ්‍රියාලතා ඒ වදන් තම මුවින් පිට කරන්නට ඉස්සර නොවුණාය.

“පුතාලා එන්න කලින් අපේ පුතාට කතා කලේ නැද්ද…”

“ඇත්තමයි ආන්ටි  අපිට ඕන වුණේ ඌව සප්‍රයිස් කරන්න. අපේ යන්න කතාවුන ගමන  නොගිහිල්ලා තමයි අද මේ ආවේ.”

“කොහෙද නංගි මනුවා ගියේ..”

දහරා  උන්නේ ඔවුන්ගේ  ගැන පුදුමයෙන්ය. වරක් දෙවරක් බෝඩිමෙහි උන් මිතුරා හමුවූවා ඇයට මතකය. එසේ වුවත් අන් කිසිවෙකු ගැන දහරාට වගක් නොවූ තරම්ය. ඉඳහිටක විශ්ව විද්‍යාලයේ අයෙකු හමු වුවත් මනුජිත් තමාව ඔවුනට හඳුන්වා නුදුන් බව දහරාට මතකය. ඔවුන් මේ කතා කරන්නේ තමනුත් මනුජිතුත් දෙස බලා උන් ගණනටය.

“මේ අපේ නංගිලයි ගෙදර අද පොඩි වැඩක් කරනවා. එහෙට ටිකක් ගිහිල්ලා එන්න කියලා ගියේ.”

පිළිතුරු දුන්නේ දහරා නොව ශ්‍රියාලතාය. 

“මේ ළමයින්ට බොන්න මොනවා හරි හදන්නද…”

“මනුවා එන්න පරක්කු වෙන්නේ  නැත්තං අපි තව  ටිකක් වෙලා ඉන්නද?”

“මං කෝල් එකක් දෙන්නං පුතා….”

“අම්ම ඉන්න මම බොන්න මොනවා හරි හදන්නම්..”

දහරා එසේ පැවසූයේ මිතුරන් අතරින් මිදී යාමට වුවමනා වූ නිසාය. සැබවින්ම ඈ සිටියේ අපහසුවෙන්ය. 

“එපා.. එපා..දුව ඔහෙන් වාඩිවෙන්නකෝ.”

“නෑ ආන්ටි  කරදර වෙන්න ඕනෙ නෑ.”

එසේ පැවසූයේ කසුන්ය.

“අනේ මොන කරදරයක්ද දරුවනේ. මං මේ දහරාට ඉඳගන්න කියලා කිව්වේ නිකමට. මං එයාට මේ දවස් ටිකේ මුකුත්ම කුස්සියේ වැඩක් කරන්න දුන්නේ නෑ. කොච්චර කිව්වත් මේ දරුවා අහන්නෙ නෑ.”

ශ්‍රියාලතා මවා පෑවේ  වෙනදා කවදාවත් නොවූ තරමේ සෙනෙහසකි. 

“එහෙනම් ආන්ටි මෙන්න මේ ටිකත් ඇතුලෙන්ම  තියන්නකෝ.”

කසුන් එසේ පැවසූයේ කුඩා මේසය මත වූ බෑග් පෙන්වමින්ය. පලතුරු වර්ග බොහොමයක් එක්කොට සැදි  පලතුරු කූඩයකුත් චීස් බටර් බිස්කට් ඇතුළු ගැබිණි මාතාවකට අවශ්‍ය වේයැයි සිතිය හැකි ආහාර වර්ග කීපයකුත් ඒ තුල විය. 

“මෙච්චර දේවල් මොකට උස්සගෙන ආවද මන්දා මේ ළමයි..”

ශ්‍රියාලතා එවේලෙහි පැවසූයේ වාන් දැමූ තණ්හාවක්ද සමගින්ය. ඈ ඒ සියල්ලම ගෙන ගොස් තැබුවේ ඇගේ කාමරයය තුළය. 

“හදිසියේම ආපු හින්දා ඉතින් ගෙවල් වලින් කෑම ටිකක් හදාගෙන එන්න බැරි උනා ආන්ටි. දහරට මේ දවස්වල ගැලපෙනව කියල හිතපු දේවල් ටිකක් තමයි ගත්තේ..”

“අනේ ඒ හොඳටම ඇති  ළමයිනේ…”

ශ්‍රියාලතා  මුළුතැන් ගෙයට ගියේ හිතා මතාම දහරාව මග හරිමින්ය. ඒ අතරේම ඕ මනුජිත්ට  කතා කරමින් විස්තරය පැවසුවාය. 

“අම්මා උන්ව තේ ටිකක් දීලා යවන්න. මට ගත්තට ෆෝන් එක වැඩ කරන්නේ නෑ කියලත් කියන්න. දහරට තනියම කතා කරන්න දෙන්නත් එපා. ඔය ඇවිත් තියෙන්නේ විස්තර හොයන් යන්න තමයි”

මනුජිත් පැවසූයේ ශ්‍රියාලතා කියන්නට සිතාසිටි ටිකමය. 

‘කොලුකමට ඒ වගේ වැරැද්දක් වුනාට එදා වගේම තමයි මගේ දරුවා මට පිටින් යන්නේ නෑ.’

ශ්‍රියාලතා පිටිත් සීනිත් මිශ්‍ර කරගත් කෝප්පයට උතුරන උණු වතුර වත් කළේ එසේ සිතමින්ය. දහරා මුළුතැන් ගෙයට පැමිණියානම් පිටි බෝතලයම තේ කෝප්පයට හලණු නියතය. තත්පර කිහිපයක්ම ශ්‍රියාලතා කාලය ගත කළේ පිටි  සාදනවාද එසේත් නොමැතිනම් නිකම්ම තේ සාදනවාද සිතමින්ය. ඔවුන් ගෙන ආ කෑම බීම දහ පහළොස් දහසකට වඩා වැඩි වටිනාකමක් තිබිය යුතුය. අවසන ඕ කිරි තේ සාදන්නට සිතුවේ එනිසායය. ඒත් යාන්තමට පිටි මුහුකලා පමණි.

“ඉතින් දහරා ගෙදර ගියේ නැද්ද ළඟදී…”

මිතුරන් ඇසූ ප්‍රශ්න වලට දහරා පිළිතුරු දුන්නේ කෙටියෙන්ය. සැබවින්ම ඇය සිටියේ බියපත්වය. ඒ බව  හඳුනා ගන්නට මිතුරන් අපොහොසත් වූයේ නැත. මේ නිවසට පැමිණියාට පසුව ඇයට අමුත්තෙකු හා කතා කරන්නට ලැබුණාමය. ඒ සියල්ලටම වඩා ඔවුන් මනුජිත් ගැන ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නට ඈ දැන සිටියේ නැත. 

“මේ ළමයින්ටත් ඕනේ නැති දෙයක් නෑ…”

තේ කෝප්ප පහක් තැටිල්ල මත තබාගෙන පැමිණි ශ්‍රියාලතා සිතුවේ කෝපයෙන්ය.

“මට කියල ඉතින් දරුවෝ දහ පහළොස් දෙනෙක් නෑනේ. මුණුබුරා හරි මිණිබිරි හරි මේ අපේ පරම්පරාවට හම්බවෙන්න ඉන්න පළවෙනි දරුවනේ.. මං ඇත්තටම මේ ළමයට ගෙදරින් එළියට බහින්න දුන්නේ නෑ පුතේ. මේ ළමයාගේ අම්මයි අත්තම්මයි නිතරම මෙහෙ ඇවිල්ලා නතර වෙලා ඉඳලා යනවා.”

ශ්‍රියාලතා ඉන්පසුව තම ලේලිය ගැන අතිශෝක්තියෙන් කළ වර්ණනා මිතුරන් අසා සිටියේ මුව මත අවඥා සහගත සිනහවක් තබා ගෙනය. අඩු තරමේ  එවේලෙහි ඈ තම ලේලියට පුටුවෙන් නැගී සිටින්නටවත් ඉඩක් ලබා දුන්නේ නැත. 

ඔවුන් පිටව ගියේ තවත් අඩ හෝරාවක් පමණ කාලය ගත කලාට පසුවය. 

“මේ කියපු කරපු දේවල් ඔක්කොම ඇත්ත නෙමෙයි කියලා අපි දැනගත්තා. නංගි අපි ඔයා එක්ක ඉන්නවා. යාළුවෙක් වැරදි පාරක යනවනම් ඌව අතෑරලා දාන එකවත් ඌට ඒ පාරේ යන්න දීලා නිහඬව බලන් ඉන්න එකවත් නෙමෙයි යුතුකම. මෙතන මගේ නම්බර් එක තියෙනවා. ඔයා ඕනම වෙලාවක කතා කරන්න. අපි උත්සාහ කරමු මනුජිත්ව වෙනස් කරගන්න…”

මිතුරන් එකිනෙකා සමු ගනිද්දී දහරා ළඟට පැමිණි කසුන් පැවසූයේ දුරකථන අංකයක් ලියූ කොලයක් ඈ අත තබමින්ය. 

“ඔව් නංගි…ඔයා උනත් තව කොච්චර කාලයක් මේ විදිහට බලන් ඉන්නද. අපිටත් සමාවෙන්න අපි අතින් ඌව අතෑරුණු එකත් වැරැද්දක්.”

තවත් මිතුරෙකු එසේ පැවසූයේ දහරා ඒ දුරකථන අංකය තම අත්ලෙහි ගුලිකර ගනිද්දීය. ඉන්පසු පිරිස පිටව යනතුරු බලා  උන් ඈ කාමරයට වැදුනේ ඉක්මනින්ය. දහරාට උවමනා වී  තිබුණේ මේ ගැන යෙහෙළිය හා පවසන්නටත් ඇගෙන් උපදෙසක් ලබා ගන්නටත්ය. 

“එහෙනම් බං ඇවිල්ලා තියෙන්නේ මොනවා හරි දැනගෙනම වෙන්න ඕනේ. හැබැයි මංනං කියන්නේ නිතර නිතර උන් සෙට් එක යනව එනවනම් මනුජිත්ගේ අම්මට ඕන ඕන විදිහට නටන්න බැරි වෙයි. යස වැඩේ හැබැයි…”

“එයාලා හරියට කතා කළේ මනුජිතුයි මමයි ගැන හැම දෙයක්ම දන්නවා වගේ. සමහර දේවල් අහගෙන ඉදිද්දි අම්මටයි තාත්තටයි උන් හිටි තැනත් අමතක වෙලා ගියා. මනුජිත්  අතින් වරදක් වුණා කියලා මෙහේ අම්මවත් තාත්තවත් කවදාවත් පිළිගත්තේ නෑනේ. යාළුවෝ  සමහර දේවල් කියද්දී එයාලගේ මූණු ඇද වෙලා ගියා. දැන් දැන් මනූගේ යාළුවන්ට බනී කියලා මම බයේ හිටියේ.”

“දැන් මට කියහන්කෝ ඔය අම්මණ්ඩි අර ගෙනාපු පලතුරුයි කෑම ජාතියි ඔක්කොම ගෙනිහිල්ලා කාමරේ තියා ගත්තද?”

“ඔව්…කොහොමටත් ඉතින් එයා ඒ වගේ දේවල් වලට හරි ආසයි නේ.”

“පුදුම මිනිස්සු නේද බං..අපේ අම්මල තාත්තලා කියනවා මිනිස්සු සේකර වත්ත කියලා කිව්වහම බලන්නේ හරි අමුතු විදිහට කියලා. උඹට මතකද අපි දෙන්නා ඉස්සර වෙලාම නුගේගොඩ ටියුෂන් ක්ලාස් යන්න ලෑස්ති වෙලා උඹ  ගෙදරින් එළියට එනකං මං උඹේ ගේ  ඉස්සරහට වෙලා බලාගෙන හිටියා. ඒ වෙලාවේ උඹලයි චූටි මාම කිව්වා ‘චූටි මිස්ලා දෙන්නා කවුරු ඇහුවත් බොරැල්ලෙ කියලා කියනවා මිසක් සේකර වත්තේ කියලා කියන්නේ නෑ හරිද…’කියලා. මට අදටත් හිතා ගන්න බෑ බං මනුජිත්ගේ අම්මල වගේ මිනිස්සුත් මේ ලෝකේ ජීවත් වෙද්දී ඇයි මිනිස්සු සේකර වත්තේ කිව්වහම කට ඇද කරලා බලන්නේ කියලා.” 

“අනේ මන්දා…ඇත්තටම බං එච්චර නරක මිනිස්සු අපිට කවදාවත් හම්බ වුණේ නෑ.”

“ඔය යාළුවගේ නම්බර් එක මට දීහංකෝ. මං වෙච්ච දේවල් ඌට ඒ ටූ ඉසෙඩ්  කියන්නම්. බලන් ගියහම  බං මනුජිත් රවට්ටලා  තියෙන්නේ උඹ විතරක් නෙමෙයි යාළුවන්වත් රවට්ටලා..අනිවාර්යයෙන් උන් උඹගේ පැත්තෙ හිට ගන්නවා. ඒකෙ දෙකක් නෑ.”

නිශාදි එසේ පැවසුවත් ඒ ගැන දෙවරක් සිතිය යුතුයැයි දහරා සිතුවාය. එනිසාම දුරකථන ඇමතුම නිමා කළ ඕ ඒ අංකය සුරක්ෂිතව ඇඳුම් අල්මාරියේ වූ පොතක් තුළ සඟවා තැබුවාය. ජීවිතයේ මේ සා විඳවීමට බලපෑවේ දුරදිග නොබලා ගත් තීන්දු තීරණය. තව දුරටත් එසේ නොවිය යුතුයැයි දහරා සිතුවේ අද ඊයේක නොවේ. 

(යළිත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here