කෛලාශ් සහ සත්සර නැවත හෝටලය කරා පැමිණෙන විට සවස හතර පමණ විය.හෝටලය ඉදිරියේ වාහනය නතර කරන විට මන්දාකිණිගේ වාහනය ඒ වන විටත් පෙර තිබූ ස්ථානයේම නවතා තිබෙන බව දුටු විට කෛලාශ් ට දැනුනේ අස්වැසිල්ලකි. වාහනය නවතා ඉන් බැස අනතුරුව දෙදෙනාම ඉදිරියේ පිහිටි ලොබියට අවතීර්ණ වී වටපිට බැලුවේ තැන තැන වැඩ කරමින් හුන් පිරිස අතර මන්දාකිණි සිටිනවා දැයි විමසිලිමත් වෙමිනි.
සේවකයන් විවිධ කාර්යයන් වල නිරත වී හුන් අතර එකී පිරිසෙන් දන්නා හඳුනන අයෙකුට උන්නේ මීනූ පමණකි. කෛලාශ් සහ සත්සර ඇය වෙතට ගියේ මන්දාකිණි ගේ වාහනය හෝටලය ඉදිරියේ පෙනෙන්නට තිබුණු නමුත් ඇය පෙනෙන්නට නොසිටි නිසාය.
” Excuse me මීනූ ”
සේවකයෙකුට යමක් පැහැදිලි කරමින් සිටි මීනූ හැරී බැලුවේ කෛලාශ් ගේ හඬ ඇසුණු පසුවය.
” මන්දාකිණි කෝ මීනූ ”
කෛලාශ් නැවත වටපිට බැලූ අතර මීනූ සුන්දර මදහසක් පෑවාය.
” තර්ඩ් ෆ්ලෝර් එකට අපි ඉල්ලපු ප්ලාන්ට්ස් වගයක් ආවා මිස්ටර් කෛලාශ්. මැඩම් කට්ටියත් එක්ක උඩට ගියා “
මීනූ කීවේ සිනාසෙමිනි.ඒ සිනහවේ නොකියූ තවත් යමක් ඇති බව කෛලාශ් ට මෙන්ම සත්සරට ද වැටහුනු අතර ඒ පිළිබඳව වඩාත්ම කුතුහලයෙන් උන්නේ සත්සරය.
” ඇයි මීනූ ? ”
” නෑ මිස්ටර් සත්සර. මැඩම් ඇඳුම් එහෙමත් මාරු කර ගෙන කට්ටියත් එක්ක වැඩට බැහැලා ඉන්නේ. දැන් විනාඩි පහකට විතර කලින් මං ගිහින් බලනකොට අපේ මැඩම් හිටියේ ඉනිමගක් උඩ. කවදාවත් ප්‍රොජෙක්ට් එකකදී අපේ වැඩ බලනවා මිසක් මැඩම් වැඩ කරලා නැහැනේ. ඒකයි ”
හෝටලයේ ඉතිරි වැඩ කටයුතු නිසි ආකාරයෙන් සිදු වෙමින් පැවතීම කෛලාශ් ගේ සිතට ගෙන ආවේ සැනසීමකි.මීනූ ගෙන් අවශ්‍ය තවත් විස්තර කිහිපයක් අසා දැන ගත් පසුව කෛලාශ් සහ සත්සර විදුලි සෝපානයට නැගී තෙවන මහලට පිවිසුණේ මන්දාකිණි ව මුණගැසී තමාට අවැසි කාරණාව දැන ගැනීමේ අරමුණෙනි.
මීනූ පැවසූ ආකාරයටම මන්දාකිණි උන්නේ තෙවන මහලේ ලොබියේ කෙළවරක තිබූ ඉනිමඟකට නැග විසිතුරු පැලයක් එල්ලමිනි.තමා සත්සර සමඟ පැය කිහිපයකට පෙර හෝටලයෙන් පිට වන විට කාර්යාලයට අඳින පන්නයේ බ්ලවුසයක් සහ කලිසමකින් සැරසී සිටි මන්දාකිණි සැහැල්ලු ඩෙනිමක් සහ ටී ශර්ට් එකකින් සැරසී කොන්ඩය හිස් මුදුනට වෙන්නට බැඳ උන්නේ පෙරදී ඇය තුළින් දුටු මහා පෞරුෂයක් සහිත ව්‍යාපාරික කාන්තාව වෙනුවට ලාබාල පෙනුමැති තරුණියකගේ පෙනුම ගනිමිනි.
ඉනිමග මත සිට එල්ලන ලද පැලයේ කුඩා ඉති කිහිපයක් කපමින් හුන් මන්දාකිණි ,කෛලාශ් සහ සත්සර පැමිණි බව දුටුවේ නැත.කෛලාශ් ගැහෙන දෙපා වලින් යුතුව පියවර තබමින් මන්දාකිණි අසලට පැමිණි අතර ඔහුගේ දෑස් පුදුමයෙන් විසල් වූයේ අත් කොට ටී ෂර්ටයකින් සැරසී සිටි මන්දාකිණිගේ දකුණතේ වැලමිට මත වූ තුවාල කැලල දුටු පසුවය.
තමාගේ අනුමානය සියයට දහසක් නිවැරදි බව කෛලාශ් පසක් කර ගත්තේ ඒ මොහොතේදී ය.ඔහු මෙතෙක් වේලා අතේ තබා ගෙන හුන් හතරට නවන ලද කඩදාසිය දිග හැර එහි ඉහල කොණේ වූ කුඩා දැරියගේ ඡායාරූපය දෙස බලා නැවත ඉණිමග මත සිටින මන්දාකිණි දෙස බැලුවේය.
” මන්දාකිණි ”
කෛලාශ් මිමිනුවේය.මන්දාකිණි පහත හැරී බලා සිනාසී අත වූ කතුර සාක්කුවට දමා ගෙන සෙමෙන් ඉණිමග බැස අත් පිසදා ගෙන කෛලාශ් අසලට පැමිණියාය.
” මිස්ටර් කෛලාශ් දැන්ද ආවේ ? ”
” ඔ…ඔව් මන්දාකිණි ”
කෛලාශ් ට ඒ මොහොතේ දී වචන ගලපා ගැනීම අතිශය අසීරු විය.සත්සර ද පසෙකට වී බලා උන්නේ එළඹෙන තත්පරයේ දී කුමක් සිදු වේ දැයි සිතා ගත නොහැකිවය.
” මන්දාකිණි මං මේ අහන්න ගියේ.. මේ ”
කෛලාශ් නතර වූයේය. තමා ගේ හදවත තුළ වසර ගණනාවක් පුරාවටම සක්මන් කළ රූපය සැබවින්ම තමා ඉදිරියේ සිට ගෙන සිටීම අදහා ගත නොහැකිව කෛලාශ් බලා උන්නේය.
” මොකද්ද මිස්ටර් කෛලාශ් ? ”
මෙවර සියල්ල සැලසුම් සහගතව සිදු වෙමින් පවතින නිසා ව්‍යාපෘතියේ කිසිදු අඩු පාඩුවක් නොවුනු බවට සහතික නිසා මන්දාකිණි ඇසුවේ සැහැල්ලුවෙනි.
” ඔ..ඔයා ගේ ඔය අතේ තියෙන පැච් එක… ”
මන්දාකිණි දකුණතේ වැලමිට හරවා බලා සිනාසුනාය.
” ආ.. ඒක මේ චූටි කාලේ වැටිලා තුවාල වෙච්ච එකක් මිස්ටර් කෛලාශ්. මට හරියටම මතකත් නෑ ”
මන්දාකිණි නැවත සිනාසුනේ නළලත මතට වැටුණු සිහින් කෙස් රොදක් අතින් සකස් කරමිනි.කෛලාශ් චකිතයෙන් යුතුව සත්සර දෙස බලා නැවත මන්දාකිණි දෙස බලමින් අත වූ කඩදාසිය දිග ඇර මන්දාකිණි වෙත දිගු කළේය.
” මේක බලන්න “
මන්දාකිණි කෛලාශ් දිගු කල කඩදාසිය අතට ගෙන බලන ආකාරයත් අනතුරුව ඇගේ දිගු දෑස් පුදුමයෙන් විසල් වන ආකාරයත් ඇගේ මුහුණ මත ප්‍රශ්නාර්ථයක් ඇඳෙන ආකාරයත් කෛලාශ් මෙන්ම සත්සරත් පැහැදිලිවම දුටුවෝය.
” මේ.. මිස්ටර් කෛලාශ් ට මේක කොහෙන්ද ? ”
මන්දාකිණි පුදුමයෙන් විසල් වූ දෑස් වලින්ම කෛලාශ් එක එල්ලේ බලා ඇසූ අතර කෛලාශ් තවත් තප්පර ගණනාවකට මුණිවත රකිමින් සිටියේය.
” කියන්නකො මිස්ටර් කෛලාශ්. ඔයාට කොහෙන්ද මේක ? ”
මන්දාකිණි කෛලාශ් දෙසට පියවරක් තබා කඩදාසිය දිගු කර පෙන්වමින් නැවත ඇසුවාය.
” ඇත්තටම ඔයාට මාව මතක නැද්ද ලියානා? ”
කෛලාශ් හඬ අවදි කලේ ආයාසයෙනි.තමා මෙතෙක් කාලයක් සොයන්නට වෙහෙස, අවසානයේදී තමා ඉදිරියේ සිටින ඇයව වැළඳ ගැනීමට දැඩි උවමනාවක් කෛලාශ් හට දැනුනද ඔහු ඒ හැඟීම යටපත් කර ගෙන නොසන්සුන් වී සිටින මන්දාකිණි දෙස බලා උන්නේය.
” මං කෛලාශ්…. ළමා නිවාසෙ ඉඳලා ඉස්කෝලේ ආවේ? ළමයි මාව කොන් කරන කොට ඔයා හැම වෙලාවේම මාත් එක්ක හිටියේ? මාව බේරගන්න ගිහින් අත කඩා ගත්තේ ? “
මන්දාකිණි ගෙ දෑස් වලින් කඳුළු කඩා වැටුණේ කෛලාශ් සහ සත්සර බලා සිටියදීමය.
” මාව හදා ගන්න ගත්ත අම්මයි තාත්තයි මාව ඔස්ට්‍රේලියා එක්කන් ගියාට පස්සෙත් මට ඔයාව හැමදාම මතක් වුණා.යන්තම් තේරෙන කාලේ වෙනකොටත් මට ඕන වුනේ ඔයාව හොයා ගන්න. මට අවුරුදු විස්සකුත් පහු උනාට පස්සේ තමයි මං අම්මටයි තාත්තටයි ඔයාව හොයා ගන්න ඕනේ කියලා කිව්වේ.ඒත් ඒක කරන්න විදිහක් මං දැන ගෙන හිටියේ නැහැ.ඔයා දන්නවද ? මං බිස්නස් එකක් කරන්න අම්මවයි තාත්තවයි එහෙ දාලා ලංකාවට ආවේම මට ඔයාව හොයා ගන්න ඕන හින්දා? ”
කෛලාශ් බිඳුනු හඬින් කියා ගෙන ගිය අතර මන්දාකිණි කිසිවක් අදහා ගත නොහැකිව කඳුළු වගුරවමින් කෛලාශ් දෙස බලා උන්නාය.
” ඔයාගේ ඔෆිස් එකට ඇවිල්ලා එතන වෝල් එකේ තිබුණ ඔයාගේ ෆොටෝ එකක් දැක්ක ගමන්ම මට ඔයාව හොඳට දැකලා පුරුදුයි කියලා හිතුනා.ඊට පස්සේ එදා රෙස්ටුරන්ට් එකේදී ඔයාව හම්බ වුණාම ඔයාගෙන් අහලා දැන ගත්ත සමහර දේවල් වලින් මම ගෙස් කරා ඒ ඔයා තමයි කියලා.ඒත් ඒක හරියටම දැන ගත්තේ අද. ඒත් ඔයාට මාව මතක නැත්තේ ඇයි කියලා මං දන්නෙ නෑ මන්දාකිණි”
” මට.. මට ඔයාව දැක්කම දැකල පුරුදුයි වගේ හිතුනා.ඒත් ඒ කොහෙද කොහොමද කියලා මට හිතා ගන්න බැරි වුණා.මට දවසකට ගොඩක් දෙනෙක් හම්බ වෙන නිසා ඔයත් එහෙම කෙනෙක් වෙන්න ඇති කියලා මං හිතුවා.ඒත් මෙහෙම දෙයක් මං ඇත්තටම හීනෙකින් වත් හිතුවේ නෑ. අනේ මට ඇත්තටම මේක හිතාගන්නවත් බෑ කෛලාශ් තාම ”
මන්දාකිණි තවත් පියවරක් දෙකක් ඉදිරියට පැමිණ සීතල වී ගිය දෑතින් කෛලාශ් ගේ අතින් අල්ලා ගත්තාය.කෛලාශ් අවුරුදු ගණනාවක් මුළුල්ලේම සොයමින් හුන්, බලාපොරොත්තු තබා ගෙන හුන් මොහොත එළඹී තිබීම ගැන සත්සර උන්නේද උතුරා යන සතුටෙනි.
” කවුරුත්ම අනුකම්පා නොකරපු මට අනුකම්පා කරේ ඔයා විතරයි මන්දාකිණි. මට ඒ ඉස්කෝලෙට එන්න ඉගෙන ගන්න එක ඇරුනම තිබුණ එකම හේතුව ඔයා. අම්ම තාත්තා නැති පොඩි ළමයෙක් විදිහට මට ඒ දවස්වල වෙච්ච දේවල් මං මතක් කරන්න වත් කැමති නැහැ ”
” අනේ කෛලාශ් ”
” මට ඔයා ගෙන් තව දෙයක් අහන්න තියෙනවා ”


