සඳ දිය දහරා 18

0
1317

ජීවිතය මේ ගතව යන්නේ සිතූ පැතූ විලසකින් නොවන බව විශ්වාසය. එහෙත් ආපසු හැරී යා හැකිකමක් නොවේ. අම්මා පිටව ගොස් බොහෝ වේලාවක් ගතව යනතුරුත් දහරා උන්නේ ආලින්දයට වීගෙනය. මාමා සිරගත වූවාට පසුව ආච්චී සිටින්නේ ලෙඩ ගානේයැයි පැවසූයේ අම්මාය. එපමණක් නොව අම්මා තුළද වෙනදා වූ හයි හත්තිය ගිලිහී ගොස් ඇතැයි ඇයට සිතිණ. අද දහරා දුටුවේ සිටියාට වඩා වසර කිහිපයකින්  වැඩිමහළු පෙනුමක් ඉසිලූ ගැහැණිකි.

“එක පාරටම නොහිතපු වෙලාවක උඹට මේ වගේ දෙයක් වුණා. දැන් චූටි මාමා. ආච්චිටයි අම්මටයි උනත් තවම නිකන් විශ්වාස කරන්න බැරුව ඇති මේ වෙච්ච දේවල්.”

නිශාදී පෙරදා සැන්දෑවේ පැවසූයේ ඒ අයුරින්ය.

“මෙතනට වෙලා මොනවද ළමයෝ කරන්නේ කරන්නේ? පාරේ යන මිනිස්සුන්ට හිනාවෙන්න හේතුවක් දෙන්නද හදන්නේ. ගෙට ගිහිල්ලා තමන්ගේ වැඩක් බලාගන්න. එනව මෙතන මහ එවන්  අවුස්සලා  තියලා යන්න.”

මනුජිත්ගේ  අම්මා උස් හඬින් එසේ පවසද්දී දහරා තිගැස්සී ගියාය. ඕ නිවස තුලට  ගියේ අඩියට දෙකටය. “එනව  මෙතන මහ එවුං අවුස්සල තියලා යන්න’ යනුවෙන් ඈ පැවසූයේ අම්මාටය. ඔවුන් කිසිදු වරදක් නොකළද අදටත් මනුජිත්ගේ මව අම්මාගේ මුහුණ බලන්නේ නැත. විවාහය ලියාපදිංචි කළදා පවා ඈ සිටියේ ඉවත බලාගෙනය. 

විවාහ ලියා පදිංචියක් යැයි පැවසූවාට එය හදිසියේම සිදු වූ එකකි. දහරාට අවසන මනුජිත්ව  හමුවීමට අවස්ථාවක් ලැබුණේ ඔහුට දුරකථන ඇමතුම් සිය ගණනක් දුන්නාට පසුවය. කෙටි පණිවිඩ සිය ගණනක් ලිව්වාට පසුවය. ඒ බොහෝමයක්ම පිළිතුරු නොදී මගහැරී ගිය ඒවාය. නිශාදිත් සමඟ මනුජිත්ව හමුවීමට යාමට අවසන දහරා සාමාව  කැමති කරවා  ගත්තේ බොහෝ වෙහෙසක් දරාය. 

“මග යන්නවත් පණ නැතුව කොහොමද පුතේ පාරෙ බැහැලා යන්නේ. දැන් ඉතින් මෙච්චර දේවල් වෙච්ච එකේ ඒ ළමයට ගෙදරට එන්න කියලා කියන්න. වෙන්න තියෙන දෙයක් විසඳගන්න තියෙන ප්‍රශ්නයක් අපිට එහෙම විසඳගන්න පුළුවන්නේ.”

“නෑ නැන්දේ අදට දහරා ඔහොම ගිහිල්ලා මනුජිත්ව හම්බ වෙච්ච දෙන්. හිතූ  හැටියෙම එක පාරටම මේවට ගෙන්නන්නත් බෑනේ නැන්දේ.”

නිශාදී එසේ පැවසූයේ දහරාගේ බල කිරීමටය. ඒ  වද්දී  තමා ගැබිනියක යන පුවත නිශාදි ඇරෙන්නට වත්තේ අන් කිසිවකු දැන සිටියේ නැත. 

“අනිත් එක මේක මෙහෙම ඇවිල්ල විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නෙකුත් නෙමෙයිනෙ නැන්දේ. ඉස්සර වෙලා මේ දෙන්න කතා කරපුදෙන්. අනිත් එක මෙව්වා අපි කවුරුත් කියල කරලා කරගතපු දේවල් නෙමෙයිනේ නැන්දේ. මේ දෙන්නගෙ ඉක්මන්කම මිසක්කා.”

නිශාදී එසේ පවසන අතරේත් දහරාට රැවුවාය. අවසන දහරාට මසකට පමණ පසුව මනුජිත්ව මුණ ගැසුණේ විහාර මහාදේවී උද්‍යානය අසලදීය. ඒ හමුව අඩ හෝරාවක් පමණ තරම් කෙටි එකක් විය. 

“මට කොහොමටවත්ම දැන්ම ඔයාව මැරි කරන්න බෑ. කැම්පස් අවුට් උනා විතරයි. ජොබ් එක හම්බවුනා විතරයි. මං ඔයාව මැරි කරන්න බෑ කියලා කවදාවත් කියලා නෑ. ඒත් මෙච්චර ඉක්මනට බෑ.  හැබැයි ඔයා දන්නවා මගේ හිතේ ගොඩක් හීන තිබුණා කියලා. ඔයා මට ආදරේ කළානම් කවදාවත් මෙහෙම කරගන්නේ නෑ. ඔයාට එදා ටැබ්ලට් එක වමනෙ ගියා නං මට ආපහු කියන්න තිබුණා. ඔයා මේ හැමදේම කරලා තියෙන්නේ ප්ලෑන් කරලා.”

නිශාදි උන්නේ ඈත කෙළවරක වූ  බංකුවක වාඩිවී ගෙනය. එහෙත් ඇගේ දෑස් තිබුනේ දහරාත් මනුජිතුත් ලඟය.  ඒ අඩ හෝරාව පුරාම දහරා කලේ මනුජිත්ට යමක් තේරුම් කර දෙන්නට උත්සාහ කරමින් හඬා වැටීමය.

“කටක් ඇරලා  මම මේවා මගේ අම්මටයි තාත්තටයි කියන්නේ කොහොමද දහරා. එයාලා මං ගැන මොනතරම් බලාපොරොත්තු තියාගෙනද ජීවත් වෙන්නේ. අනිත් එක මිනිස්සු මට ගල් නොගැහුවොත් ඇති.”

අවසන දහරා යළි නිවසට පැමිණියේ තීරණයක් ගත නොහැකි තැනක නතර වී ගෙනය. නිශාදී දිගින් දිගටම ප්‍රශ්න කලත් ඇය කිසිවක් නොකීවාය. 

“අපිට බැරිද අම්මේ මේ දරුව තනියම හදාගන්න…”

පසුව ඈ සාමාගෙන් එසේ ඇසුවේ හඬා ඉදිමී ගිය දෑස් ඇතුවය. දින  තුනකට පසුව  දහරා ආච්චි සාදා දුන් අඹ ඇඹුලකුත් සමග බත් කටවල් දෙක තුනක් කෑවේ එදාය. 

“ඇයි ඒ ළමයා කියනවද ඔයාව බඳින්න බෑ කියලා….”

සමා එසේ ඇසුවේ වෙනදා නොවූ තරම් සන්සුන් ස්වරයකින්ය. පිරිමින් විශ්වාස කර අතරමං වන ගැහැණුන් මේ වත්තට හෝ ඇගේ  ජීවිතයට අමුත්තක් නොවේ. එහෙත් දහරාට ඒ ඉරණම අත්වේ යැයි සාමා සිහිනෙකින්වත් නොසිතුවාය.

“එන විදිහකට මුහුණ දෙනවා මිසක් වෙන මොනවා කරන්නද බං..”

මින් විනාඩි කිහිපයකට පෙර අම්මා පැවසූයේ ඒ අයුරින්ය. හරි හැටි නින්දක්වත් කෑමක් බීමක්වත් නොමැතිව ගෙවී ගිය සති තුනක පමණ කාලය ඇතුළත දහරා පමණක් නොව සාමාද රීටාද සිය සිරුරුවලින් වැහැරී සිටියහ. 

එනිසාම සාමා දහරාට පිළිතුරක් දෙන්නට නොගියාය. කොහොමටත් ඈ සිටියේ මේ සියල්ල නිවැරදිව හරි හැටිම විසඳේවියැයි  සිතූ තැනක නොවේ. 

“මේකේ ඇතුලේ මං නොදන්න මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා. අන්න ඒක මට උඹලා තේරුම් බේරුම් කරලා නොකිව්වොත්. මොනවයින්  මොනවා වෙයිද කියලා කියන්න බෑ. මට මේවා හොයාගන්න බැරිකම නෙමෙයි. ඒත් ගෙදර එකට වැටීගෙන කාගෙන බීගෙන ඉන්න මිනිස්සු ඉඳිද්දී පිට තැන්වල ගිහිල්ලා මට මේවට හේතු හොයන්න බෑ. වත්තේ මිනිස්සුත් කතාවෙනවා චූටි මිස්ට මොනව වෙලාද කියලා. ඒක නිසා කරුණාකරලා මාව නරක මිනිහෙක් කරගන්නෙ නැතුව වෙලා තියෙන්නේ මොකක්ද කියලා සහ සුද්දෙන්ම කියන්න.”

ධාරාගේ නිවසේ ඇවිලෙමින් තිබූ ගින්න බුරු පුරා නැගෙන්නට පටන් ගත්තේ එතැන් පටන්ය. අවසන සියල්ල තේරුම් බේරුම් කරමින් ඔහුට පැවසූයේ අම්මාය. එතැන් සිට චූටි මාමා  උත්සහ කලේ මනුජිත්ව සොයන්නටය. 

දිනෙක ආච්චීත් අම්මාත් මනුජිත්ගේ නිවස සොයා ගොස් තිබුනේ දහරාටත් හොර රහසේමය. ඒ චූටිමාමා සොයා ගත් මං සලකුණු ඔත්සේය. මනුජිතත් එදා නිවසේ රැඳී සිට තිබුනේ ඔවුන්ගේ වෙලාවටය. 

“ඒ මිනිස්සු මෙහෙම දෙයක් වුණා කියල පිළිගන්නවත් මේ ළමයා බාරගන්නවත් කැමති නෑ…අපිට පුළුවන්ද බලෙන් අපේ ළමයා පිට තැනකට ගෙනිහිල්ලා අතාරින්න.”

ආච්චී එසේ පැවසූයේයේ රාත්‍රියේදීය. ඒ වනවිටත් “ඔයාලගේ අම්මලට කියන්න මට මේ ප්‍රශ්නෙ විසඳගන්න ඉඩ දීලා පැත්තකට වෙලා ඉන්න කියලා….” යනුවෙන් දහරාට  මනුජිත් විසින් කෙටි පණිවිඩයක් එවා තිබිණ. 

“අද උන් ඇවිත් මාව කෑවා.”

යනුවෙන් පිළිතුරු පණිවිඩයක් ඒවා තිබුණේත් ඇය ඇසූ ප්‍රශ්නයකටය. 

නිවසේ වූ කුඩා සාලයේ අම්මාත්, ආච්චිත්, චූටි මාමත් පිළිවෙලකට ඉඳගෙන සිටියහ. දහරා උන්නේ උළුවස්සට හේත්තුවී බිම  බලාගෙනය. ඉන් මදක් එහාට වන්නට බිත්තියට  පිට දී  සිටගෙන උන්නේ නිශාදිය. මේ ප්‍රශ්නයෙන් පසු ඇය දහරාගේ නිවසේ සාමාජිකයෙකු වූ ගණනය. 

“ඒ මිනිස්සු කොහොමත් ටිකක් එක විදිහක මිනිස්සු. සෑහෙන්න උත්සාහ කරලා තමයි වචනයක් දෙකක් කතා කරන්න අවස්ථාවක් හදා ගත්තෙත්. ඒ ළමයා අතින් වරදක් වුණා කියලා පිළිගන්න කොහොමටවත් ඒ මිනිස්සු කැමති වුණේ නෑ. අම්මයි තාත්තයි පැත්තකින් තියන්නකො ඒ ළමයා කැමති උනෙත් නෑ. ඒ ගොල්ලො අහනවා ප්‍රේම සම්බන්ධයක් තිබුණු පළියට ළමයෙක් ලැබෙන්න ඉන්නවා කියලා කොහොම ඔප්පු කරන්නද කියලා.”

“ඒක යකාගේ කතාවක්නේ. ප්‍රේම සම්බන්ධයක් තිබුණනං ඔය ඔක්කොම වෙන්න ඇත්තේ ඌ එක්කනේ…”

එසේ කෑ ගැසුවේ චූටි මාමාය. කොහොමටත් මේ සියල්ල දැනගත් මොහොතේ සිටන් ඔහු සිටියේ කෝපයෙන්ය. 

“ගෙයි තරමට කතා කරපන්. මේවා කෑ ගහලා හා හෝ ගාලා ලෝකෙම දැනගන්න ඕන කාරණා නෙමෙයි. මේ වෙලා තියෙන ප්‍රශ්නෙට විසඳුමක් හොයනවා මිසක්කා කේන්ති අරගෙන කෑ කෝ ගහලා තේරුමක්නෑ. ඒකෙන් වෙන්නේ තවත් අපේ එකී අසරණවෙන එක.”

ආච්චී  මදක් උස් හඬින් එසේ පැවසූයේ වටපිට බලමින්ය. එහෙත් ඒ තරවටුව සීමා වූයේ එවේලේට පමණි.  එනිසාම ආච්චිට සිදුවූයේ කිහිප වතාවක්ම ඔහුට නිහඬ වන්නයැයි මතක් කර දෙන්නටය.

කලබලයෙන් පැමිණි මනුජිත් කාමරයට කඩා වැදුනේ දහරාගේ  සිතුවිලි වලට විරාමයක් තබමින්ය. සාමාන්‍යයෙන් මේ ඔහු නිවසට පැමිණෙන වේලාව නොවේ. එනිසාම දහරා ඇඳ මතින් නැගී සිටියේ කලබලයෙන්ය. එහෙත් වෙනදා සේ  ඇයට දැන් එකවර යමක් කිරීමට අපහසුය. ශ්‍රියාලතා ගමන් බෑගයක් රැගෙන කාමරයට එබුණේ එවේලෙහිය. 

මනුජිත් කලබලයෙන් අල්මාරිය ඇරියේත් ඇඳුම් කිහිපයක් ඊට දමා ගත්තේත් දහරා දෑස් විසල් කරගෙන බලා සිටියදීය. ඊට උදව් කළේ අම්මාය. 

“ඕ ඔයා කොහේ යන්නද මේ හදන්නේ…”

“ඒ ළමයා ඔෆිස් එකේ වැඩකට ටික දවසකට කොළඹින් පිට යන්න හදන්නේ.”

පිළිතුරු දුන්නේ මනුජිත් නොව අම්මාය. විනාඩි කිහිපයකට පසුව ඔහු නිවසින් පිටව ගියේ දහරා හා එකඳු  වදනක්වත් කතා නොකරමින්ය. 

(යළිත් හමු වෙමු ආදරයෙන්)

2026 නව වසර ඔබ සැමට සතුට, සාමය පිරි සුබ නව වසරක් වේවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here