මතකයක සේයා – 23

0
26

” ඔයා මැරීඩ් ද ? ” 

කෛලාශ් මොහොතකට පෙර ඇසු ප්‍රශ්නයට මන්දාකිණි තත්පර ගණනාවක් ගතවනතුරුත් පිළිතුරු දුන්නේ නැත.

” මට ඔයා ගෙන් තව දෙයක් අහන්න තියෙනවා” යැයි කියා කෛලාශ් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට මේ තරම් අපහසු වේ යැයි මන්දාකිණි සිතුවේ නැත.නමුත් තම ජීවිතයේ වර්තමාන යථාර්ථය ඔහු ගෙන් සැඟවිය නොහැකි නිසා මන්දාකිණි බොහෝ වේලාවකට පසුව මුව විවර කළාය.

” මම මැරීඩ් නැහැ කෛලාශ්.ඒත් .. “

මන්දාකිණි එවදන් පිට කළ විට කෛලාශ් ගේ හදවතේ වචනයෙන් විස්තර කළ නොහැකි වේදනාවක් උපන්නේය.මේ කතා බහ මීළඟට දිව යන්නේ අතිශය පෞද්ගලික කාරණා වලට බව අනුමාන කළ සත්සර පසෙකට ගියේ කෛලාශ් ට සහ මන්දාකිණි ට කතාබහ කිරීමට බොහෝ දේ ඇති නිසාය.

මන්දාකිණි දිගු සුසුමක් හෙලා ලොබියේ කොනකට වන්නට තිබූ අලුත්ම සෝෆාව වෙත ගොස් වාඩි වූ අතර කෛලාශ් ද ඇය පසු පසින් ගොස් ඇය සමීපයෙන් වාඩි වූයේ ඇය කියන්නට ගොස් නතර කර ගත් කාරණාව දැන ගැනීම පිණිසය.

” මං මගේ boyfriend එක්ක Living together ඉන්නේ, මගේ අපාර්ට්මන්ට් එකේ ” 

මන්දාකිණි මිමිණුවාය.ඉන් පසුව කෛලාශ් හට දැනුනේ බලාපොරොත්තු රහිත ශෝකය මුසු වූ හැඟීමකි. විවාහයට පෙර එක වහලක් යට ජීවත් වීම තමා කුඩා කල සිට ජීවත් වූ රටේ අතිශය සාමාන්‍ය දෙයක් වුවත් තමා ජීවිත කාලයක් මුළුල්ලේ සෙවූ යුවතිය තම පෙම්වතා සමග එසේ ජීවත් වනවා යයි ඇසූ විට තමා සාම්ප්‍රදායික තරුණයකු ගේ ගණයට වැටුණා නොවේ දැයි කෛලාශ් සිතුවේය.එක් අතකට තමා ආදරය කළේ කුඩා කාලයේදී පාසලේදී තමා වෙනුවෙන් පෙනී සිටි කුඩා දැරියට මිස වැඩුණු යුවතියකට නොවන බව සිතමින් හිත හදා ගන්නට අනතුරුව කෛලාශ් උත්සාහ කළේය.

” ඒ රිලේශන්ශිප් එක කොහෙන් නතර වෙයිද කියලා මම දන්නේ නෑ කෛලාශ්. ඒත් ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරේ ඒක. මගේ ජීවිතේ දැන් ගෙවෙන්නේ මේ විදිහට ” 

ඉන් අනතුරුව දෙදෙනා අතර වූයේ දැඩි නිහඬියාවකි.ඒ නිහඬියාව මධ්‍යයේ දෙදෙනා තුළම වූයේ දැඩි පීඩනයකි.බෙදා ගත නොහැකි ,කියා ගත නොහැකි හැඟීම් බොහෝමයක් දෙදෙනාගේම හදවත් තුළ එක් රැස් වෙමින් තිබුණු අතර අවට ලෝකයේ සිදු වන කිසිවක් පිළිබඳව වත් දෙදෙනාටම වගක් වූයේ නැත.

” කමක් නෑ කොහොම හරි මට ඔයාව අන්තිමේදී හම්බ උනා නේ ” 

කෛලාශ් ආයාසයකින් මවා ගත් සිනහවකින් මන්දාකිණි දෙස බලමින් කීවේය.මන්දාකිණි ද එයට පිළිතුරක් ලෙස පෑවේ ආයාසයෙන් මවා ගන්නා ලද සිනහවකි. ආදරය අතින් තමාට මේ වන විට ජීවිතය බොහෝ සේ වැරදී ඇති බව කෛලාශ් හට කියන්නට කීප වරක්ම සිතුනත් මන්දාකිණි ඒ සිතුවිල්ල තම හදවතේ පමණක් තබා ගත්තාය.

” ඔයා ඉස්කෝලෙන් අයින් වෙලා ගියාට පස්සේ සෑහෙන කාලයක් මට ඔයාව මතක් උනා කෛලාශ්. ඇත්තමයි ඊට පස්සේ මට ඔයාව මතකෙ තිබ්බෙම නැහැ ” 

මන්දාකිණි වරදකාරී හැඟීමකින් යුතුව කීවාය.

” ඒ උනාට මට ඔයාව ඡායාවක් වගේ හැමදාම මතක තිබුණා.මං හිතුවා කවද හරි ඔයාව කොහොම හරි මම හොයා ගන්නවා කියලා ” 

මන්දාකිණි බලා උන්නාය.මෙය සිහිනෙකින් වත් බලාපොරොත්තු නොවූ ආකාරයේ හමුවීමකි. වෙනත් රටක සුව පහසුවෙන් පදිංචිව සිටීමට හැකියාව තිබෙද්දීත් කුඩා කාලයේ මතකයක් ඔස්සේ ඔහු තමා සොයා පැමිණ සිටියි. එවැනි කැපකිරීමක් තමා වෙනුවෙන් කරන්නට තරම් තමා වටිනවා දැයි සිතමින් මන්දාකිණි නැවත මුව විවර කළාය.

” ඔයාගේ ජීවිතේ මේ වගේ ලස්සන වෙලා තියෙන එක ගැන මට හරි සතුටුයි.මේ අම්මවයි තාත්තවයි ඔයාට ලැබිලා තියෙන්නේ  ඔයාගේ වාසනාවට කෛලාශ්. හැබැයි ඒ දෙන්නව දාලා මෙහෙ නතර වෙන්න ආපු එක නම් අපරාධයක් ” 

” ඒ දෙන්නා මාව බලලා යන්න පුළුවන් වෙලාවට එයි. අම්ම හුඟක් සතුටු වෙයි ඔයාව හම්බ වුණා කිව්වම.ඔයා දන්නවද මන්දාකිණි? අම්මා තමයි මට කිව්වේ ඉස්කෝලෙට ගිහින් ඔයා ගැන විස්තරයක් හොයා ගන්න පුළුවන් වෙයි කියලා.මොකද මට වත් සත්සරට වත් එහෙම දෙයක් මතක් උනේම නැහැ “

කෛලාශ් තම මව පිළිබඳව සිහිපත් කළේ සෙනෙහසිනි. ඇය සහ පියා නොසිටින්නට තම ජීවිතය කුමන ආකාරයකට විසඳෙන්නට තිබුණා දැයි සිතා ගන්නට වත් නොහැක.අනෙක් අතට ඔවුන් දෙදෙනාම තමා ගේ සිතුවිලි තේරුම් ගැනීම සහ ඒ අනුව ක්‍රියා කරන්නට ඉඩ ලබා දීමම වාසනාවකැයි කෛලාශ් සිතුවේය.

සාක්කුවේ තිබූ කෛලාශ් ගේ දුරකථනය නාද වූයේ ඒ මොහොතේදීය.දුරකථනය සාක්කුවෙන් පිටතට ගෙන බැලූ කෛලාශ් ගේ මුහුණේ ඇඳුනේ සිනහවකි.

” අම්මා ” 

කෛලාශ් මන්දාකිණි දෙස බලා කියා ඇමතුම ක්‍රියාත්මක කර දුරකථනය කනේ තබා ගත්තේය.

” අම්මා ” 

” මොකද වුනේ පුතා ? ඔයා ඉස්කෝලෙට ගියාද?”

” ඔව් අම්මා. මං ගියා ? ” 

” ඉතින් ? මොකද උනෙ ?මොන හරි හොයා ගන්න පුළුවන් උනාද ? ” 

” ඔයත් එක්ක කතා කරන්න කෙනෙක් ඉන්නවා අම්මා ” 

” කවුද පුතා ? ” 

ඇන්ඩ්‍රියා ඇසුවේ දෙගිඩියාවෙනි.කෛලාශ් ඇය ඇසූ ප්‍රශ්නයට පිළිතුරක් නොදී මන්දාකිණි වෙත දුරකථනය දිගු කර කතා කරනා ලෙස ඉඟි කළ අතර මන්දාකිණි දුරකථනය කනේ තබා ගත්තේ වෙව්ලන දෑතිනි.

” හෙ..හෙලෝ අම්මා ” 

මන්දාකිණි තම මවට ” අම්මා ” යනුවෙන් ඇමතීම පිළිබඳව කෛලාශ් හට දැනුනේ අප්‍රමාණ සතුටකි.තමාගේ හදවත තුළ මෙතෙක් කාලයක් ඇය තදින්ම තැන්පත්ව සිටියේද ඇය තුළ ඇති එවැනි යහපත් ගුණාංග නිසාවෙනි.වැඩුණු යුවතියක වුවද ඇය තුළින් ඒ ගුණාංග ගිලිහී ගොස් නැත.

” ලියානා “

ඇන්ඩ්‍රියා උන්නේ සතුටෙන් ඉපිලෙමිනි.අවසානයේදී කෛලාශ් වසර ගණනාවක් පුරාවටම සිහින දැකි දිනය උදා වී තිබේ. වසර තිස් එකක් පුරාවට ඔහු ගේ මතකයේ සිටි, ඔහු සොයන්නට වෙහෙස වුනු යුවතිය දැන් සිටින්නේ ඔහු අබියස බව සිතද්දී ඇන්ඩ්‍රියාගේ දෑස් සතුටු කඳුළින් පිරුණේ නිමේෂයකිනි.

” අම්මා මාව අඳුර ගත්තා නේද ? ” 

” කෛලාශ් ගේ ෆෝන් එකෙන් වෙන ගෑණු ළමයෙක් කතා කරන්න විදිහක් නෑ ලියානා. එයා මෙච්චර කාලෙකට ගෑණු ළමයෙක් ගැන කතා කරා නම් ඒ ඔයා ගැන විතරයි ” 

මන්දාකිණි හදවතෙන් හඬා වැටෙමින් උන්නාය. ඒ, මෙතරම් සතුටු විය යුතු අවස්ථාවකදීත් ඉමහත් ශෝකයක් හදවතට දැනෙන්නේ කුමක් නිසාදැයි තෝරා බේරා ගත නොහැකිවය.

” ඔයා හරිම හොඳ අම්මා කෙනෙක් “

මන්දාකිණි මිමිණුවාය.තමන්ගේ නොවන දරුවකුට මේ තරම් සැප සම්පත් ලබා දී ආදරයෙන් පෝෂණය කර උස් මහත් කිරීම පහසු කටයුත්තක් නොවේ. කෛලාශ් පාසලේදී විඳි පීඩාවන් පිළිබඳව හොඳින්ම දන්නා නිසාත්, කෛලාශ් ගේ වර්තමාන තත්ත්වය දෑසින් දැක ගන්නට හැකිව ඇති නිසාත් මන්දාකිණි තුළ ඇන්ඩ්‍රියා පිළිබඳව උපන්නේ අසීමිත ගෞරවයක් මුසු සෙනෙහසකි.

” මට හිතා ගන්නත් බෑ ලියානා මගේ පුතා ඔයාව හොයා ගත්තා කිව්වම.ඇත්තමයි එයා මෙහේ ආපු දවස්වල ඔයා ගැන කියවද්දි මට සමහර වෙලාවල් වල හිතිලා තියෙනවා මේක එයා හිතෙන් මවා ගත්ත දෙයක් ද කියලා. ඒත් එයා අවුරුදු තිස් එකක් වෙනකනුත් ඔයා ගැන කියද්දි තමයි මං තේරුම් ගත්තේ ඒක ඇත්තක් කියලා.අනේ පහු වෙලා හරි ඔය දෙන්න හම්බ උන එක කොච්චර දෙයක්ද ? ” 

සතුට දරා ගත නොහැකිව ඔවුන් ඇන්ඩ්‍රියා තවත් බොහෝ දේවල් මන්දාකිණි සමග පැවසුවේ තොරතෝන්චියක් නොමැතිවය.අනතුරුව නැවතත් කෛලාශ් දුරකථනය අතට ගත් අතර ඇන්ඩ්‍රියා සමග වූ දුරකථන ඇමතුම අවසන් වූයේ තවත් විනාඩි දහයකට පමණ පසුවය.

” මට මේ දේ කරන්න තිබුණේ මීට කලින් මන්දාකිණි ” 

කෛලාශ් කීවේ ඉවත බලාගෙනය.මන්දාකිණි හට පෙම්වතෙකු සිටිනවා යැයි කී කාරණාව කෛලාශ් ගේ සිත බොහෝ සෙයින් රිදවා තිබුණු අතර මේ තරම් වෙහෙස වී මන්දාකිණි ව සොයා ගත් පසුවත්  ඔහුට දැනෙමින් තිබුණේ  තමා පරාජිත වූවා යැයි හැඟීමකි.

” ඔයාගේ boy friend මොනා කරන කෙනෙක්ද ? “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here