මතකයක සේයා – 24

0
1315

වැඩ අවසන් වී නිවසට පැමිණෙන අතරතුර මන්දාකිණි බොහෝ දෑ කල්පනා කළාය.තවමත් අදහා ගත නොහැකි සිහිනයක අතරමං වී ඇති වැනි හැඟීමක් ඇයට දැනෙමින් තිබිණි. කෛලාශ් මේ තරම් වෙහෙසක් දරා තමා සොයා පැමිණියේ තමා කෙරෙහි වූ ලෙන්ගතුකම නිසාම පමණක් නොව ආදරයද පතා යැයි මන්දාකිණි හට රහසක් වූයේ නැත. ඒ කාරණාව මන්දාකිණි පසක් කර ගත්තේ කෛලාශ් සමඟ ගෙවුණු සන්ධ්‍යාවේ දීය.

දීර්ඝ දවසක් අවසාන කර මන්දාකිණි නිවසට පැමිණියේ බර වූ හදවතිනි.සියල්ලටම පෙර ශෙනාල් පිළිබඳව නිසි තීරණයක් ගත යුතුය. අනතුරුව තම දෙමව්පියන් පිළිබඳව සිතිය යුතුය.ව්‍යාපාරයද ගොඩනඟා ගත යුතුය. සියලු වගකීම් සහ තීරණ තම හිස මත තිබියදී හදිසියේ තමා සොයා ජීවිතයට පැමිණි කෛලාශ් ද මන්දාකිණි ගේ හිත බොහෝ සේ බර කර තිබිණි.

කෛලාශ් උන්නේද ඒ හා සමාන වූ හැඟීමකිනි.නිවසට පැමිණි පසුව ඇන්ඩ්‍රියා අමතා මන්දාකිණි සහ ශෙනාල් පිළිබඳව වූ විස්තරය පවසා සිටියේ සිත තරමක් හෝ නිදහස් කර ගැනීම පිණිසය. 

” ඔයාට ඕන වුනේ එයාව හොයා ගන්න නේද පුතා ? එහෙම හෙව්වේ එයා ගැන බලාපොරොත්තුවක්  තියා ගෙනද ? ” 

ඇන්ඩ්‍රියා ඇසුවේ කරුණාවෙනි.දරුවකුගේ හැඟීම් සමග ගනුදෙනු කළ යුත්තේ ප්‍රවේසම් සහගතවය.විශේෂයෙන්ම මෙවැනි සංවේදී වූ කාරණාවක දී දරුවන් තරුණ වියෙහි පසුවනවා යැයි වෙනසක් නොමැති බව ඇන්ඩ්‍රියා සිතුවාය.

” එහෙම එකක් නොතිබුනාමයි කියලා කියන්න බෑ අම්මා. ඒත් එයා එයාගේ boyfriend එක්ක ලිවින්ටුගෙදර් ඉන්නේ කිව්වම ඇත්තටම මගේ හිත ටිකක් රිදුනා “

ඇන්ඩ්‍රියා මොහොතක් කල්පනා කළාය.මෙවැනි අවස්ථාවක් හැසිරුවිය යුත්තේ කෛලාශ් ගේ හිත නොරිදෙන ආකාරයට අතිශයින්ම සුමටවය.ඒ සඳහා තමා උපක්‍රමශීලී විය යුතුය.

” අහන්නකෝ කෛලාශ්. ඔය දෙන්නම දැන් ඉන්නේ තරුණ වයසේ. ඒ ළමයට ඔයා ගැන ලොකු මතකයක් තිබුනේ නැති නිසා එයා එයා ගේ ජීවිතේ පාර හොයා ගෙන ගිහින් ඉවර නේ පුතා. දැන් ඒක ඔයාට වත් මට වත් වෙනස් කර ගන්න බැහැ.වෙනස් කරනව නම් වෙනස් කර ගන්න පුළුවන් එයාටම තමයි.ඒ හින්දා අඩුම ගානේ ඔයාට එයාව හොයා ගන්න පුළුවන් වුනා කියලා හරි මේ වෙලාවේ සතුටු වෙන්න පුළුවන්නේ ? “

කෛලාශ් නිහඬව උන්නේය. ගෙවී අවසන් වෙමින් පවතින දවස අවසන් නොවනවා නම්, මන්දාකිණි සමග තවත් මොහොතක් ගත කරන්නට තිබුණා නම් යැයි හැඟීමක් ඔහු තුළ වූයේය.

” ඔයා කියන දේ මට තේරෙනවා අම්මා.ඒත් කියා ගන්න තේරෙන්නේ නැති තවත් මොනාදෝ හිතේ තියෙනවා “

කෛලාශ් කීවේ ශෝකය මුසු හඬකිනි.ඒ වෙනස ඇන්ඩ්‍රියා හොඳින්ම හඳුනා ගත්තාය.

” වෙන දේවල් වලට ඒ විදියට වෙන්න අරින්න.කිසිම දෙයක් වෙනස් කරන්න හදන්න එපා පුතා. වෙන්න පුළුවන් හොඳම විදිහට හැමදේම වෙයි.ඔයා ගේ ජීවිතේ මේ වෙනකං එක එක විදිහට වෙනස් වුණා වගේ මේ දේත් ඒ විදිහටම වෙනස් වෙයි කියලා හිතා ගෙන ඔයා කරන්න ආපු වැඩේ කරන්නකෝ ” 

ඇන්ඩ්‍රියා සමග වූ කතා බහෙන් පසුව කෛලාශ් ගේ හිත මද වශයෙන් සැහැල්ලු වුවත් හිතේ වූ ශෝකී බව සම්පූර්ණයෙන්ම පහව ගියේ නැත.බැල්කනියට පැමිණ එහි වූ වේවැල් පුටුවකට වාරු වී අහස දෙස බලා ගෙන කෛලාශ් බොහෝ වේලාවක් ගත කළේය.

මන්දාකිණි ස්නානය කර අනතුරුව කෝපි කෝප්පයක් සකස් කර ගෙන රූපවාහිනිය ක්‍රියාත්මක කරමින් සෝෆාවට බර වූවාය. ශෙනාල් තවමත් නිවසට නොපැමිණි නිසා මන්දාකිණි බිත්ති ඔරලෝසුව දෙස බැලූ අතර එහි වේලාව අටයි පහළව ලෙස සටහන් වී තිබිණි.කොයි මොහොතේ හෝ ශෙනාල් නිවසට පැමිණීමට හැකියාව ඇති නිසා මන්දාකිණි ආයාසයෙන් මවාගත් ධෛර්යයකින් යුතුව ඒ සඳහා සූදානමින් අවධානයකින් තොරව රූපවාහිනිය දෙස බලා උන්නාය.

නිවසේ සීනුව නාද වූයේ තවත් විනාඩි විස්සකට පමණ පසුවය.කෝපි කෝප්පයේ අවසාන උගුරු කිහිපය එක හුස්මට පානය කර කෝප්පය ටීපෝව මතින් තබා මන්දාකිණි අඩියට දෙකට නිවසේ ප්‍රධාන දොරටුව අසලට ගොස් එය විවෘත කළාය. ශෙනාල් වෙහෙසකර මුහුණකින් යුතුව දොරටුව ඉදිරියේ පෙනී සිටි අතර ඔහු හිස් බැල්මකින් මන්දාකිණි  දෙස බලා ඇයව පසු කරගෙන නිවසට ඇතුළු වූයේය. ටීපෝව මත තිබූ හිස් කෝපි කෝප්පය දුටු විට මන්දාකිණි නිවසට පැමිණ බොහෝ වේලාවක් ගත වන්නට ඇතැයි අනුමාන කරමින් ශෙනාල් සෝෆාවෙන් වාඩි වූයේ උරහිසේ එල්ලා ගෙන හුන් laptop එක සහිත බෑගය පසෙකින් තබන අතරේය.

” මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ ශෙනාල් ” 

මන්දාකිණි ශෙනාල් ට මුහුණලා වාඩි වූයේ ඔහු වෙත තීව්‍ර බැල්මක් හෙලමිනි. තමා ඉදිරියෙහි මේ සිටින්නේ ඊයේ දින වන විට සිටි දුර්වල මන්දාකිණි නොවන බව ශෙනාල් ඒ බැල්මෙන්ම හඳුනා ගත්තේය.

” මොනව ගැනද ? ” 

ශෙනාල් ඇසුවේ ඕනෑවට එපාවටය.එහෙත් මේ කතා බහ යම් තීරණයක් ගෙන මිස නතර කරන්නේ නැති බව මන්දාකිණි තරයේම සිතා ගත්තාය.

” අපි දෙන්නා ගැන.අපි දෙන්නා මේ ගෙවන ජීවිතේ ගැන ” 

” ඇයි ඒකට මොකද වෙලා තියෙන්නේ ? ” 

තමා ගේ ජීවන සහකාරයා ලෙස තෝරා ගෙන සිටින තැනැත්තා මේ තරම් වගකීම් විරහිත ලෙස පිළිතුරු දෙනු ඇතැයි මන්දාකිණි  කිසිසේත්ම බලාපොරොත්තු වූයේ නැත.

” වෙලා තියෙන දේ ගැන තමයි මට කතා කරන්න ඕනේ “

” ඉතින් කියන්න.මම අහගෙන ඉන්නේ “

ශෙනාල් රූපවාහිනියේ දුරස්ථ පාලකය අතට අරමුණක් රහිතව නාලිකා මාරු කරමින් ඒ දෙස බලා උන්නේය.

” මට කිසිම ආදරයක් ගෞරවයක් නැති තැනක තවත් ඉන්න ඕනේ නැහැ ශෙනාල්. මං බලාපොරොත්තු වෙච්ච ජීවිතේ මේක නෙමෙයි. මේ ගෙවන ජීවිතෙන් ඔයාට වත් මට වත් දැන් ලැබෙන දෙයක් නෑ. ඔයා මගේ ජීවිතේ ගැන හැම දෙයක්ම දැනගෙන හිටියට ඔයාගේ රස්සාව ඇරුණු කොට ඔයා කරන්නේ මොනවද කියල වත් හරියට දන්නේ නැහැ. අඩුම ගානේ ඔයා ගන්න සැලරි එකට මොනවද කරන්නේ කියලවත් මම දන්නේ නැහැ “

ශෙනාල් නාලිකා මාරු කිරීම නතර කර මන්දාකිණි දෙස බැලුවේ රෞද්‍ර බැල්මකිනි.

” දැන් තමුසෙට ඒකද ප්‍රශ්නේ? තමුසෙට වගේම තමයි මටත් හම්බ කරන සල්ලි වලට කරන්න දේවල් තියෙනවා ” 

” මෙතන තියෙන ප්‍රශ්නේ සල්ලි නෙමෙයි ශෙනාල්. ඔයාගේ මගේයි තියෙන බැඳීමට ඔයා කිසිම වටිනාකමක් නොදෙන එක.ඔයාට ඒ ගැන ගානක් නැති එක “

” තමුසෙ කියන්නෙ දැන් මට තමුසෙව ඔලුව උඩ තියන් ඉන්න කියලද ? ” 

තමා ඉදිරියෙහි මේ සිටින්නේ ගැහැණියකගේ හදවතෙහි වන හැඟීම් පිළිබඳව කිසිදු වගක් නැති පිරිමියෙකු බව මන්දාකිණි ප්‍රථම වතාවට සිතුවේ කලකිරීමෙනි. 

” ඔයා මාව ඔලුව උඩ තියන් ඉන්න ඕනේ නැහැ ශෙනාල්.ඒත් අඩුම තරමේ ඔයාට පුළුවන් නේද මං කෑවද බිව්වද කියලවත් හොයලා බලන්න? ” 

” හෙව්වත් නැතත් තමුසෙ කනවා බොනවා කියලා මම දන්නවනේ “

ශෙනාල් ගේ මුහුණෙහි ඇඳී තිබුණේ සමච්චල් සහගත සිනහවකි. ඒ සිනහව ඉදිරියේ මන්දාකිණි තව දුරටත් අසීමිත වූ ඉවසීමකින් මේ කතා බහ කෙළවර කරන්නට උත්සාහ දරමින් උන්නාය.

” ශෙනාල් මේකයි.දේවල් වෙන්න ඕන පිළිවෙලක් තියෙනවා.අපේ අම්මල උනත් මං මේ ජීවත් වෙන විදිහ දැන ගත්තොත් පපුව පැලෙයි. එයාල මාව හැදුවේ කාගෙන් වත් ගුටි කකා ජීවත් වෙන්න නෙමෙයි.ඒ නිසා ඔයාගේයි මගේයි තියෙන බැඳීමට තව දුරටත් ඔයා වටිනාකමක් දෙන්නෙ නැත්නම් මාව මේකෙන් නිදහස් කරන්න. ඔයාට පුළුවන් ඔයා කැමති විදිහට කැමති තැනක ගිහින් ජීවත් වෙන්න. එකම ගෙදරක තරහකාරයෝ දෙන්නෙක් වගේ තවදුරටත් ජීවත් වෙන්න මට බැහැ. ඒ නිසා මෙතනින් එහාට ඔයාට පුළුවන් ඔයා කැමති විදිහකට ජීවත් වෙන්න. හැබැයි මේ ගෙදර නෙමෙයි “

මන්දාකිණි කියන්නට අවැසි වූ සියල්ල කියා අවසන් කර දීර්ඝ සුසුමක් හෙළුවාය. එවැන්නක් පැවසීමට පවා ඇය තුළ වූ ධෛර්යය පිළිබඳව පුදුමයෙන් ශෙනාල් තත්පර ගණනාවක් බලා උන්නේය.

” තමුසේ හිතනවද මං එහෙම ලේසියෙන් තමුසෙට ගැලවෙන්න දෙයි කියලා ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here