සඳ දිය දහරා – 20

0
1652

ශ්‍රියාලතා පසුදින  උදෑසනම මෑණියන් සමීපයට ගියේ පලතුරු වට්ටියකුත් රැගෙනය. උදෑසන පූජාවට සහභාගී වූවාට පසුව ඈ පසෙකට වී රැඳී සිටියේ මෑණියන් හමුවන්නට ආ පිරිස පිටව යනතුරුය. හදිසියේම කාර්යාලයේ කටයුත්තකට  තමාට ඩුබායි රටට යාමට සිදුවන පුවත මනුජිත් ශ්‍රියාලතා හා පැවසූයේ මින්  සති කිහිපයකට පෙරය. ඒ ගමන නිසා ඔහු කෙටි කාලයකට හෝ ලංකාවෙන් ඈත්ව සිටීම වඩා හොඳයැයි ඈ විශ්වාස කළාය. මනුජිත්ට වෙනම  කාමරයක ජීවත්වීම වඩා සුදුසුයැයි ඈ තීරණය කළේද මෑණියන්ගේ උපදෙස්  පරිදිය. 

“ගින්දරයි පුළුනුයි…ආයෙ ඇවිලෙන්න බැරි කමක් නෑ. උන්ට ඒක අමුත්තක් නෙමෙයි. එහෙම උනොත් වෙන් කරනවා බොරු”

මෑණියන් පැවසූයේ සාස්තර ඇසූ සවසකය

“මෑණියනි..ඔබතුමියට පින් සිද්ධ වෙන්න ඕනෙ. ඔබතුමී  කියපු විදිහට ඔක්කොම වැඩ සිද්ධ වෙනවා.”

“මම වැඩක් කලොත් ඒකෙ ආයේ වරදින්න දෙයක් නෑ. මොනවද දැන් ගෙදර අලුත් තොරතුරු..”

“පුතා සති තුනකට ඩුබායි ගියා.”

“ඒක මං දැනගෙන හිටියා. එතනට මග පාදගන්න ඕන හින්ද තමයි මම දෙන්නට වෙනම කාමර දෙකක නිදාගන්න කියලත් කිව්වේ. ඔය ගමන යන බව ලේලි දන්නෙ නෑ නේද?”

“ගෙදරින් පිට වෙනකල්ම දැනගෙන හිටියේ නෑ මෑණියෝ.”

“චුට්ටක් හරි දැනගෙන හිටියනම් ඔය ගමන යන්න සිද්ධ වෙන්නෙ නෑ. මේ ගතවෙලා යන්නේ බොහොම නරක කාලයක්. දැන් ඔය ගෑනි තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න,  සටන් කරන්න පටන් ගන්නවා. ඒක තමයි දෙවනි තුරුම්පුව”

“එහෙමයි මෑණියෝ…”

ශ්‍රියාලතාගේ සිතෙහි මෑණියන් කෙරෙහිවන භක්තිය තවත් වැඩි වූයේ ඈ එසේ පැවසුවාට පසුවය. මින් පෙර කෙදිනකවත් කිසිවක් ප්‍රශ්න නොකළ දහරා ඊයේ සවස මනුජිත්ගේ නික්ම යාම පිළිබඳව තමාගෙන් ප්‍රශ්න කළ බව ඇයට සිහි වූයේ එවේලෙහිය. 

“දෙන්න අතර මොනම විදිහකටවත් කතාවකින් බහකින් සම්බන්ධකමක් ඇතිවෙන්න දෙන්න නරකයි. සමහර විට පුතා ටෙලිෆෝන් එකෙන් ඔය ගෑනු ළමයා එක්ක කතා කරන්න පුළුවන්. එහෙමවත් සම්බන්ධකමක් ඇතිවෙන්න දෙන්න බෑ. තේරුණානේ”

“නෑ මැණියෝ කොහොමටවත්ම නෑ. මෙයා කතා කලොත් ඇරෙන්න පුතා කතා කරන්නේ නෑ.”

“පුතාට ඒක කියලා තියන්න. දැන් මාස කීයද බඩට.”

“කියන විදිහට මාස හත සම්පූර්ණ වෙන්න තියෙන්නේ මේ විසි හතර වෙනිදාට.”

“හත් මාසෙන් ළමයා එළියට එන්න වැඩක් සිද්ධ කරන්නත් මට පුළුවන්. එහෙම උනොත් නිකං හැමෝම අමාරුවේ වැටෙනවා. අපි තව ටිකක් ඉවසමු.” 

ශ්‍රියාලතා දේවාල භූමියෙන් පිටව ආවේ සම්පූර්ණයෙන්ම සැහැල්ලු වූ මනසකින්ය. ඉන් පෙර ඈ රුපියල් පන්දහසේ නෝට්ටුවක් බුලත් කොළයක තබා ගෞරවයෙන් මෑණියන් වෙත පිළිගැන්වූවාය. ඇය දහරාව මෙම නිවසින් පිටත්කර හැර මිසක් නොනවතින බව විශ්වාසය. නිවසට පැමිණි හැටියේම ශ්‍රියාලතා ඈ බොහෝ අර පරිස්සමට කුඩා මංජුසාවක බහා දුන් වැලි මිට නිවස වටේම ඉස දැමුවාය. සැමියා නිවසට පැමිණියේ එවේලෙහිය. 

“මෑණියෝ අපි වෙනුවෙන්ම මතුරපු වැලි එකක් දුන්නා. හරි පරිස්සමට මේක ගේ වටේ සමානව ඉහින්න කියලා කිව්වේ. එතකොට බාහිරෙන් කිසිම කෙනෙක්ට අපිට වරදක් කරන්න බැහැලු. ඔය මහ අම්මණ්ඩි එන වෙලාවට මොන මොනවා මතුරලා මේකට අරන් එනවද කියලා කවුද දන්නේ?..ඒකයි මං ඔය ගේන කෑමක්වත් නොකා පරිස්සමට විසි කරල දාන්නේ.”

මනුජිත් නිවසේ නොමැති නිසා උදෑසන කෑම සාදන්ට අවශ්‍ය නැතැයි දහරාට පැවසූයේ ශ්‍රියාලතාය. මනුජිත්ගේ පියාට පිටතින් ආහාර ගන්නයැයි උපදෙස් දෙන අයුරුද ඈ අසාගෙනය. එනිසාම දහරාට උදෑසන ආහාරය වෙනුවෙන් ගැනීමට සිදුවූයේ ශ්‍රියාලතා අසල කොල්ලෙකු ලවා කඩෙන් ගෙන්වාගත් පාන් භාගයකින් කොටසකි. දහවලටත් හරිහැටි කෑමක් නොවූ නිසා ඇය උන්නේ කෙඩෙත්තු වූ ගණනටය. මනුජිත්ගේ පියා ආප්ප ගෙනැවිත් තිබිණ. ඒ බව දහරා දුටුවේ තේ එකක් සාදා ගන්නට සිතාගෙන මුළුතැන්ගේ දෙසට ඇවිද යද්දීය.

“ඔන්න ඔහේ දෙකක් දෙන්න කොච්චර උනත් බඩ දරු ගෑනියෙක්නේ. මං වැඩිපුරත් එක්ක හතරක් ගෙනාවා.”

මනුජිත්ගේ  පියා එසේ පවසනු ඇසුනෙන් දහරා එහෙමම ආපසු හැරුණාය. ඇගේ සිතට දැනුනේ දුකකි. ඉස්සර වත්තේ වූ  ගැහැණුන් කවුරුන් හෝ වේවා දරුවෙකු ලැබෙන්නට සිටියදී ආච්චී අතින් ඉවෙන බත් පතක් වරදින්නේ නැත. ඈ ඊට සූදානම් වන්නේ දින කිහිපයක සිටය. මාමාව මාළු කඩයට යවා තලපත් හෝ පරාමාලු වැනි යමක් ගෙන්වා ගන්නේ සැර නැතැයි පවසමින්ය. ඉන්පසු බොරැල්ලේ එළවළු මාර්කට් එකෙන් ගෙන එන අඹ ව්‍යාජනයක් හෝ පොළොස් ව්‍යාංජනයක්  සැකසෙන්නේ කලින් දවසේ හැන්දෑවේය. අනිකුත් එළවලු තෝරා ගන්නේ ඊට ගැලපෙන පරිද්දෙන්ය. බොහෝ විට ඒ බත් පත එතෙන්නේ කෙසෙල් කොළයකය. ඒ කෙසෙල් කොළය ගෙන එන්නේත් චූටි මාමාය. අත්තම්මා දින කිහිපයක සිට කෙසෙල් කොළය ගැනත් ඔහුට සිහි කරන්නට අමතක කරන්නේ නැත. තමා ඉපදුනේත් ජීවත් වූයේත් ඒ සා පින්වත් මිනිසුන් සිටි නිවසකය. තමාට පමණක් ජීවිතය වැරදුනේ කෙසේදැයි දහරා සිතුවේ දෑස් වලට කඳුළක් උනා එද්දීය. 

“අන්න කුස්සියේ මේසෙ උඩ ආප්පයක් තියෙනවා. අපි දෙන්නනම් රෑට කන්නෙ නෑ. මේක කෑවහම ඇති…”

යනුවෙන් පවසමින් ශ්‍රියාලතා කාමරයට එබුණේ එවේලෙහිය. දහරා හිස වනා ඇයට එකඟ වූවාය. සායනයෙන් දුන් ත්‍රී පෝෂ පැකට් දෙකෙන් එකක් ඇය අම්මා අත යැව්වේ බලෙන් මෙන්ය. චූටි මාමා ත්‍රී පෝෂ වලට කෑදර බව දහරා දනී. 

රෑට ත්‍රිපෝෂ ගුලියක් සාදා  කන්නට දහරා සිතුවේ මින්  තත්පර කිහිපයකට පෙරය. 

ආප්පයකුත්  ලුණු මිරිස් ස්වල්පයකුත් මුළුතැන් ගෙයි මේසය මත විය. දහරා ආප්පය කා කිරි තේ එකක් සාදා ගත්තාය. මනුජිත් යළි නිවසට පැමිණෙන තුරුම මෙම නිවසේ බතක් නොඉඳේවියැයි  බියක් දහරාට විය. ගියවර සායනය සඳහා සහභාගී වූ වේලේත් වෛද්‍යවරයා පැවසූයේ පෝෂණය ගැන වෙනදාට වඩා සිතිය යුතු බවය. දහරා දරුවා ලැබීම සඳහා රෝහල් ගතවන්නට සිතා සිටියේත් සායනය පැවති රෝහලටමය. 

“මෙහෙම ගියොත් ඔයාට ලේ දෙන්නත් සිද්ධ වෙයි අපිට..”

වෛද්‍යවරයා එසේ පැවසූයේ ගියවර සායනයට සහභාගී වූ වේලෙහිය. 

අතෙහි  මුදල් වුවත් නිවසට බඩු ගෙනැවිත් තනිවම තමා වෙනුවෙන් යමක් සකසා ගන්නට දහරාගේ  සිතෙහි වූයේ බියක්, සැකක්, සාංකාවක්ය. එහෙත් තවදුරටත් තමා එසේ සිටීමෙන් දරුවාට අයහපතක් මිස යහපතක් නොවන බව විශ්වාසය. මෙවේලෙහි උත්සාහ කළ යුත්තේ තමා රැකෙන්නට නොව දරුවා රැක ගන්නටය. ඒ වෙනුවෙන් මේ සා බැරෑරුම් තීරණයක් ගත් තමාට ඉදිරියට වරදින්නට විදිහක් නැතැයි දහරා  විශ්වාස කළාය. ඈ බතක්, එළවළුවක් සාදා ගන්නට නිවසට ගෙන ආ යුතු ද්‍රව්‍යවල ලැයිස්තුවක් සකස් කලේ යළි කාමරයට පැමිණියාට පසුවය. ලැයිස්තු සකස් කරමින් නිවසට බඩු ගෙන එන පුරුද්දක් දහරාගේ නිවසේ අයවලුන්ට වූයේ නැත. වත්තේ කඩ දෙක තුනක්ම වූ නිසා ඔවුන්ට අපහසුවක් වූයේද නැත. රමාෂ්ලා වත්තෙන් නික්ම ගිය පසුව සිරි මාමාගේ කඩයෙන් පොතට ගන්නා බඩු වලට මුදල් ගෙවන්නේ අම්මා වැටුප ගන්නාදාය. චූටි මාමා කුලියක් මලියක් කර අත්තම්මා අතට දෙන මුදල්ද අර පරිස්සම් කරගෙන ඈ එදිනට අම්මා අතට ලබා දේ. නිවසට අමතර කෑමක් රැගෙන එන්නේනම් ඒ අම්මා වැඩ අහවරව පැමිණෙද්දී හෝ චූටි මාමා පැමිණෙද්දීය. අම්මා කෙසේ වුවත් චූටි මාමාගෙන්නම්  දහරාට රස කැවිල්ලක්, මුරුක්කුවක්, අච්චාරුවක් වරදින්නේ නැත. 

“රමාෂ්ගෙන් වදේ  බං උඹ ගැන එක එක දේවල් මගෙන් අහලා.” 

නිශාදී පැවසූයේ රාත්‍රියේ කතා කරද්දීය. එවේලෙහින් දහරා උන්නේ මනුජිත්ව වට්ස්ඇප් මාර්ගයෙන් අමතන්නට කිහිප වරක්ම උත්සාහ කර වෙහෙස වූවාට පසුවය. 

“ඉතිං අමුතු දෙයක් මං ගැන කියන්න නෑනේ. ඔයා කියන්න ඕන ඔක්කොම කියලානේ  තියෙන්නේ.”

“දහරා රමාෂ් කියනවා එකම එක සැරයක් එයාගේ ළඟට ඔයාව එක්කරගෙන එන්න කියලා. ඔයා මමත් එක්ක ඩොක්ටර් කියන සමහර දේවල් කිව්වනේ. රමාෂ්  වී ඕ ජී ඩොක්ටර් කෙනෙක් නිසා මම ඒවා එයා එක්ක කිව්වා. දහරා පළවෙනි වතාවට  සාම නැන්දා ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා ඔයාව පෙන්නුවට අපිට ආපහු ඒ විදිහට ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න යන්න බැරි උනානේ. ක්ලිනික් එකේ ඩොක්ටර්ස්ලා නරකයි කියනවා නෙමෙයි. හැබැයි ඉතින් එයාලා ඔයා වෙනුවෙන් වැඩි සැලකිල්ලක් දක්වන්නෙවත් ඔයා වෙනුවෙන් ලොකු කාලයක් වෙන් කරන්නෙවත් නෑ. එතන අම්මලා ගොඩක් නේ.  ඒ නිසා අපි එකම එක පාරක් රමාෂ්ව මුණගැහෙන්න යමුද…යාළුවෙක් විදිහට නෙමෙයි. ඩොක්ටර් කෙනෙක් විදිහට.”

“දැන් රමාෂ්ව හම්බවෙන්න යන්න මට වඩා උවමනාව තියෙන්නේ උඹටද මන්දා…”

දහරා උස් හඬින් එසේ පවසා සිනහසුනේ සියල්ල අමතක කරමින්ය. රමාෂ් මුණගැසුණාට පසුව ගත් දුරකථන ඇමතුම් වලදී නිශාදි  වැඩි හරියක්ම කලේ ඔහු ගැන කතා කිරීමය.  ඇය ඔහු ගැන උනන්දුවෙන් පසු වෙනවායැයි  දහරාට සිතුනේ එනිසාය.

“පිස්සුද බං…උඹ හිතනවද මට රමාෂ්ව හම්බවෙන්න ඕනනම් මේ  එහා වැට පනින්න බෑ කියලා.”

“ඒ වුනාට හේතුවක් නෑනේ…”

“හරි හරි මාව හේතුවක් කරගෙන හරි වරෙන්කෝ ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න යන්න. ක්ලිනික් ගියපු කවදාවත් උඹට එක දොස්තර කෙනෙක්වත් කිව්වේ නැහැනේ උඹයි  බබයි දෙන්නම හොඳින් කියලා. රමාෂ් කියනවා දරුවා නීරෝගී නොවුනොත් ඔයා තවත් අපහසුතාවයට පත්වෙයි කියලා. කෑම බීම ටිකක් අඩුවෙන් ගත්තත් සමහර විටමින් වර්ග තියෙනවලු ඒ වෙනුවට ගන්න ඕන. රාමාෂ් කියන්නේ අපේ යාළුවෙක් උනාට එයා ඩොක්ටර් කෙනෙක්නේ. ඉතිං උඹව චෙක් කරන්නේ නැතුව ඒවා දෙන්න බය ඇති.”

“මට ලැජ්ජයි බං…”

“එහෙනම් ඉතින් රමාෂ්ට කියලා වෙන ඩොක්ටර් කෙනෙක් චැනල් කරගමු. හැබැයි ඉතින් අපේ එකා වගේ උවමනාවකින් වැඩ කරන එකක් නැහැ වෙන කවුරුවත්.”

නිශාදි එසේ පැවසූයේ කෝපයෙන්ය. 

“උඹ ගැන හිතන්නෙ නැතුව දරුවා ගැන හිතපන්. මේ උඹ ගැන හිතන්න ඕන වෙලාවක් නෙමෙයි. දරුවා ගැන හිතලා හරි මේ දේ කරපන්….රමාෂ්  අපෙන් සල්ලි ගන්න බලාගෙන එපොයිමන්ට්  ටිකක් දෙන්න හදනව නෙමෙයිනේ. දැන්වත් ඔය හිතුවක්කාරකම් අතෑරපන්. ලෙඩ දරුවෙක් එක්ක තනිවෙන්නද ඕනේ…”

නිශාදී දුරකථනය විසන්ධි කළේ දහරාට බැණ වැදුනාට පසුවය. මුල් මාස තුනම ගෙවී ගියේ හැඬූ කඳුළින්ය. එදවස තමාට කෑමක බීමක අවශ්‍යතාවයක් නොවූ බව දහරා දනී. සාමාන්‍යයෙන් ගැබිණි  සමයේ මුල් කාලයේ ඇතිවිය හැකි සංකූලතා ගැන හෝ අපහසුතා ගැනද ඇයට වගක් නොවූවාය. ඒ වෙනුවට වූයේ සිතේ ගින්දරකි. ‘දරුවා නිරෝගී නොවුනහොත්…’යනුවෙන් සිහිවද්දී දහරා වෙවුලා ගියාය. 

“එහෙනම් අහලා දිනයක් දාගන්න හැබැයි අපි සල්ලි ගෙවලා පෙන්නමු..”

යනුවෙන් දහරා අවසන මිතුරියට කෙටි පණිවිඩයක් යැව්වාය. 

(හෙටත් හමුවෙමු ආදරයෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here