මතකයක සේයා – 25

0
2819

මන්දාකිණි නොසෙල්වී බලා උන්නාය.මින් මතු ගෙවන ජීවිතය තුළදී ශෙනාල් ගේ කීම් වලට හෝ බලපෑම් වලට යටත් නොවී ජීවත් වන්නට ඇය තද තීරණයක් ගෙන තිබුණේ තම අනාගතය මීට වඩා යහපත් එකක් විය යුතු යැයි සිතීමෙන් අනතුරුවය.

” තමුසේ හිතනවද මං එහෙම ලේසියෙන් තමුසෙට ගැලවෙන්න දෙයි කියලා ? ” 

ශෙනාල් වෙනදා සුපුරුදු පරිදි මෙන් තර්ජනාත්මක හඬින් මන්දාකිණි ව බිය වද්දන්නට අසාර්ථක උත්සාහයක යෙදුණේය.එහෙත් මන්දාකිණි බැල්මකින් හෝ වෙනස් නොවුන බව, නොසෙල්වුන බව ශෙනාල් පැහැදිලිවම දුටුවේය. 

ගැහැණියක ජීවත් විය යුත්තේ පිරිමියාට යටත් වී බව සිතමින් මන්දාකිණි ව යටත් කර ගෙන ජීවත් වීමට තමා මෙතෙක් කාලයක් කටයුතු කළද තමා සිටින්නේ මන්දාකිණිගේ වහල යට බවත්, උදෑසන දී පානය කරන පලතුරු යුශ වීදුරුවේ සිට තම සියලු ඕනෑ එපාකම් සලසා දෙන්නේ මන්දාකිණි බවත් ශෙනාල් මොහොතකට සිතුවේය. ඇය තමා ගෙන් වෙන් වී ගිය හොත් හෝ තමාට මෙම නිවසින් පිට වන්නට සිදු වුවහොත් එම සියලු කාරණා සපුරා ගත යුත්තේ තම වැටුපෙන් බව සිහි වූ විට ශෙනාල් උපක්‍රමශීලී වන්නට වෑයම් කළේ තනි පුද්ගලයෙකු ලෙස ස්වාධීනව ජීවත් වන්නට තරම් තවමත් තම සම්පූර්ණ වැටුප ප්‍රමාණවත් නොවන බැවිනි.

” මේක හොඳට අහ ගන්න ශෙනාල්. ඔයාට ඔයාගේ ජීවිතේ කාවවත් බලෙන් තියා ගන්න බැහැ.ඒකට ඔයාට කිසිම අයිතියකුත් නැහැ.මම තීරණය කරලා ඉවරයි තව දුරටත් ඔයත් එක්ක ඉස්සරහට යන්නේ නැහැ කියලා.හැබැයි එහෙමයි කියලා එක පාරටම මේ ගෙදරින් ඔයාව එලියට ඇදලා දාන්න තරම් මම මනුස්සකමක් නැති ගෑනියෙක් නෙමෙයි.ඔයාට පුළුවන් ඔයා ඉස්සර හිටපු විදිහටම කැමති විදිහ තැනක් හොයා ගෙන යන්න.එතකන් ඔයාට මෙහේ ඉන්න පුළුවන් “

මන්දාකිණි ගේ හඬ සෘජුය.ස්ථීරය.ශෙනාල් උන්නේ ඒ මොහොතේ දී එය දරා ගත නොහැකි මට්ටමකය.මන්දාකිණිව මුණගැසී තමා මෙම නිවසේ පදිංචියට පැමිණීමට පෙර ගත කළේ බෝඩිම් ජීවිතයකි.එය මේ තරම් සැප පහසු වූයේ නැත.මෘදුකාංග ඉංජිනේරුවරයකු වුවද තවමත් එමගින් මන්දාකිණි සමඟ ගත කරනවා තරම් සැප පහසු ජීවිතයක් ගත කිරීමට තරම් වැටුපක් ලැබෙන්නේද නැත. මන්දාකිණි සමග ජීවත් වීම ආරම්භ කළ පසු ඇය තමා උදෑසන දී පානය කරන පලතුරු යුෂ වීදුරුවේ සිට රාත්‍රී ආහාරය දක්වාම සියලු දෑ සොයා බලා සැපයූ අතර තම අඩත්තේට්ටම් හමුවේද ඇය නොපිරිහෙලා එම යුතුකම් ඉටු කළාය.එම නිසා  මෙම නිවසින් පිට වීමට සිදු වුවහොත් තමාට සිදු වන්නේ නැවත පීඩාකාරී බෝඩිම් ජීවිතයකට හුරු වීමටය.

මන්දාකිණි මේ මොහොතේ සිටින්නේ ඇගේ ඉවසීමේ සීමාවේ කෙළවරක බවත්, ඇගේ තීරණය වෙනස් කිරීම පහසු නොවනු ඇති බවත් සිතමින් ශෙනාල් මොහොතකට පසු බසින්නට තීරණය කළේය.අනතුරුව ඔහු මන්දාකිණි දෙස රවා බලා පසෙක තැබූ ලැප්ටොප් එක සහිත බෑගයද ගෙන නිදන කාමරය වෙත පියමැන්නේය.

මින් මතුවට හෝ තමාට නිදහසේ ජීවත් වීමට හැකියාව ලැබෙනු ඇතැයි සිතමින් මන්දාකිණි දිගු සුසුමක් හෙලා සෝෆාවට බර වී දෑස් පියා ගත්තාය.

රාත්‍රී ආහාරයෙන් පසුව නිදන කාමරයට පැමිණ යහනට වැටුණු කෛලාශ් බොහෝ වේලාවක් තිස්සේ උන්නේ අඩ නින්දේය. මොහොතකට දෑස් හැර බැලූ ඔහු පසෙක තිබූ ජංගම දුරකථනය ගෙන මන්දාකිණි ගේ අංකය සොයා ගෙන ඒ දෙස බලා සිටියේ ඇය හට ඇමතුමක් ගැනීමේ දැඩි උවමනාවෙනි. එහෙත් ඇය මේ මොහොතේදී අනිවාර්යයෙන්ම සිටිනවා ඇත්තේ නිවසේය.ඇගේ පෙම්වතාද ඇය අසලින් සිටිනවා විය යුතුය. එම නිසා තමා මෙවැනි රාත්‍රියක දී ඇයව ඇමතීම විශාල ගැටලුවකට තුඩු දෙනු ඇතැයි සිතා කෛලාශ් දුරකථනය නැවත යහන මතින් තැබුවේය.

මන්දාකිණි තම පෙම්වතා පිළිබඳව කතා කළේ එතරම් සතුටකින් නොවන බව කෛලාශ් මුල සිටම හඳුනා ගෙන උන්නේය. පෙර දිනයකදී ඇය තත්පර ගණනාවක් තුළ වියවුලට පත් වූ කාරණාවද ඔහුම විය හැකි බවද කෛලාශ් කල්පනා කළේය. ඇතැම් විට මන්දාකිණී බැඳී ඇත්තේ ඇයට නොගැලපෙන බැඳීමක විය හැකිය. කොතරම් සිනාසී සිටියද ඇය ගේ හදවතේ ශෝකයක් තැන්පත් වී ඇති බවත්, මුල් කාලයේ දී තම හෝටලයේ ව්‍යාපෘතියේ බොහෝ අඩු පාඩු සිදු වූයේත් ඇගේ පෞද්ගලික ජීවිතයේ පවතින ගැටලුකාරී තත්වයන් නිසා විය හැකි බවත් සිතමින් කෛලාශ් යහනේ අනෙක් පසට හැරී දෑස් පියා ගත්තේය.

මන්දාකිණි රාත්‍රී ආහාරය සඳහා කුකුල් මස් සුප් එකක් සකස් කර පාන් පෙති කිහිපයක් ද ටෝස්ට් කර ශෙනාල් ගේ කොටස ඔහු වෙනුවෙන් තබා තම සුප් බඳුනද ටෝස් කල පාන් පෙති කිහිපය සහිත පිඟානද ගෙන කෑම මේසයේ කෙළවරක වාඩි වී නිහඬවම ආහාර ගනිමින් උන්නාය. ශෙනාල් භාවිතා කරන සුවඳ විලවුන් වල සුවඳ දැනුනේ ඊළඟ මොහොතේදීය.ඉන් අදහස් වන්නේ ඔහු ස්නානය කර රාත්‍රී ආහාරය සඳහා තවත් මොහොතක් තුළදී සාලයට පැමිණෙන බැව් අත්දැකීමෙන් දන්නා නිසා මන්දාකිණි කිසිදු හේතුවක් මත අසුනින් නොනැගිටින්නටනට සිතා සුප් බඳුන තමා වෙත ලං කර ගත්තාය.

සිතූ පරිදිම ඊළඟ නිමේෂයේදී ශෙනාල් නිදන කාමරයෙන් පිටතට පැමිණ සාලයට විවෘත මුලුතැන්ගෙය දෙසට ගොස් ඔහු වෙනුවෙන් තැබූ සුප් බඳුන සහ ටෝස්ට් කළ පාන් පෙති සහිත පිඟාන ද ගෙන විත් මන්දාකිණිට මුහුණලා කෑම මේසයෙන් වාඩි වූයේය. මන්දාකිණි දැන් දැන් තමා දෙස බලාවි යැයි සිතුවද ඇය මොහොතකට හෝ හිස එසවූයේ නැත. නිසොල්මනේ ආහාර ගෙන අවසන් කළ මන්දාකිණි ඊළඟ මොහොතේ දී අසුනින් නැගිට මුළුතැන් ගෙයට ගොස් පිඟාන සහ සුප් බඳුන සෝදා තබා ශීතකරණය හැර සිසිල් වතුර බෝතලය ගෙන අඩක් පමණ එක හුස්මට පානය කර නැවත බෝතලේ ශීතකරණය තුළින් තබා දොර වසා දැම්මාය.

ශෙනාල් ආහාර ගැනීම නවත්වා මේ සියල්ල දෙස බලා උන්නේ පුදුමයත් දෙගිඩියාවත් මුසු වූ හැඟීමෙනි.තමා මෙතනට පැමිණි මොහොතේ සිට බැල්මකින් වත් මන්දාකිණි තමා දෙස හැරී බැලුවේ හෝ නැත. ඇය තුළින් වෙනදා නොදුටු සෘජු බවක් සහ කුමක්දෝ පෞරුෂයක් පෙනෙන්නට තිබේ.තමා සහ මන්දාකිණි මුණගැසුණු කාලයේද ඇය තුළින් දක්නට තිබුණේ මෙවැනි පෞරුෂයකි. එම පෞරුෂය ඇගේ වෘත්තියේදී එලෙසම පැවතුනද තමා ඉදිරියේ මෙතෙක් කාලයක් උන්නේ ඉතා සෞම්‍ය ,මෘදු සහ බියගුළු ගැහැණියකි. දැන් ඒ බියගුළු බව ඇය වෙතින් සම්පූර්ණයෙන්ම පලා ගොස් ඇත්තේ ඇය තුළ වූ ඉවසීම සමගද බව ශෙනාල් සිතුවේ කෑම මේසයෙන් නැගිටින අතරේය.

වචනයකුදු හෝ නොදොඩා මුළුතැන්ගෙයි සියලු වැඩ සහ පිරිසිදු කිරීම් අවසන් කළ මන්දාකිණි මෙතෙක් කල් භාවිතා කළ නිවසේ ප්‍රධාන නිදන කාමරයට යාබද කාමරයට ගොස් දොර වසා ගත්තේ ශෙනාල්ව තව තවත් පුදුමයට පත් කරමිනි. සුප් බඳුන සහ පිඟාන යන්තමින් සෝදා තබා ශෙනාල් අඩියට දෙකට ගොස් කාමරයේ දොරට තට්ටු කළේය.

” ඇයි ? ” 

මන්දාකිණි දොර විවෘත කර කිසිදු හැඟීමකින් තොරව ඇසුවාය.

” මොකක්ද මේ කාමරේ කරන්නේ ? ” 

ශෙනාල් අනෙක් අතට ඇසුවේ හඬ බාල කරමිනි.

” නිදා ගන්න හදන්නේ.ඇයි?”

ශෙනාල් මොහොතක් බලා උන්නේය. මන්දාකිණි ගේ මුහුණේ බියක් ගෑවි වත් නැත.ඇය තුළින් පෙනෙන්නට ඇත්තේම බිඳ දැමිය නොහැකි ස්වාධීන ගැහැණියක් තුළ දක්නට ඇති මහා පෞරුෂයක් මිස අනෙකක් නොවන බව වටහා ගත් ශෙනාල් යාප්පුවෙන් හෝ ඇගේ සිත වෙනස් කරවා ගැනීමට සිතුවේය.

” මන්දාකිණි. මේ පොඩි පොඩි රණ්ඩු ලොකුවට ඇදගෙන යන්න එපා. අනික ඔයා කවදාවත් මේ කාමරේ නිදාගෙන නෑ නේ. මෙන්න මේ පිස්සු නැතුව එන්න අනේ අපේ කාමරේට ” 

ශෙනාල් මන්දාකිණි ගේ අතින් අල්ලා ගෙන ඇයව ප්‍රධාන නිදන කාමරය වෙත කැඳවා ගෙන යන්නට උත්සාහ කළ අතර ඒ උත්සාහය ව්‍යාර්ථ කරමින් මන්දාකිණි හැකි තාක් වෙර යොදා ශෙනාල් ගේ අත ගසා දැම්මාය.

” ශෙනාල් ” 

මන්දාකිණි මහ හඬින් කෑ ගැසූ අතර ශෙනාල් තිගැස්සී ඇය දෙස බලා උන්නාය.

” මං ඔයාට මගේ තීරණේ පැහැදිලිවම කියල තියෙන්නේ. ඒ නිසා කරුණාකරලා මගේ ගෙදර ඇතුලෙ මට නිදහසේ ජීවත් වෙන්න දෙන්න ” 

මන්දාකිණි පෙර වූ උස් හඬින්ම කීවාය.

” එහෙම නැත්තම් ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here