මන්දාකිණි කඳුළු පිරි දෑසින් යුතුව කෛලාශ් දෙස බලා උන්නේ දරා ගත නොහැකි තරමේ ශෝකයකිනි.පහුගිය අවුරුදු ගණනාව තුළ ශෙනාල් තමාගේ ජීවිතයේ බොහෝ දෑ පාලනය කිරීම නිසා ළඟම මිතුරියක් හෝ ඇසුරු කිරීමට අවස්ථාව නොලද බැවින් මන්දාකිණි උන්නේ තම හැඟීම් කවුරුන් හෝ සමග බෙදා ගැනීමේ උවමනාවෙනි. දෙමව්පියන් සමග හෝ පැවසිය නොහැකි ගැටලු ගණනාවක් තමන් ඉදිරියේ පෙනෙන්නට තිබෙද්දී කවුරුන් හෝ මේ ආකාරයට තම සිතැඟි, තම ශෝකය සහ හදවතේ සාංකාව හඳුනා ගෙන තිබීම පුදුම සහගත දෙයක් යැයි මන්දාකිණි සිතුවාය.
” ඔයාගේ ඇස් වල කඳුළු මන්දාකිණී “
කෛලාශ් මිමිණුවේය.මන්දාකිණි නාසය උඩට අදිමින් හිනහෙන්නට උත්සාහ කළාය.
” මගේ ජීවිතේ මං උදේ ඉඳන් රෑ වෙනකම් රොබෝ කෙනෙක් වගේ වැඩ කරනවා මිසක් කියල වත් අහන්න කවුරුත් නෑ කෛලාශ්.සෑහෙන්න කාලෙකින් තමයි කෙනෙක් මගෙන් මේ වගේ දෙයක් ඇහුවේ ”
කෛලාශ් හට මන්දාකිණි පිළිබඳව දැනුනේ අතිශය අනුකම්පාව මුසු හැඟීමකි.
” ඔයා emotional උනේ ඒ නිසාද ? ”
මන්දාකිණි ” ඔව් ” කියන්නට මෙන් යන්තමින් හිස දෙපසට වැනුවාය.ඇයට මේ මොහොතේ අවශ්‍ය වන්නේ විශ්වාසදායක ඇහුම්කන් දෙන්නෙකු සහ ආදරය බව කෛලාශ් තේරුම් ගෙන උන්නේය.
” ඔයාට මාව විශ්වාස කරන්න පුළුවන්ද මන්දාකිණී ? ”
කෛලාශ් මෘදු ලෙස ඇසුවේය.මන්දාකිණි මොහොතක් කල්පනා කළාය. තමා මේ පසු කරමින් සිටින්නේ කිසිවෙකුත් විශ්වාස කළ හැකි අවධියක නොවේ.එහෙත් කුඩා කල වූ මතකයක් ඔස්සේ සැතපුම් ගණනාවක් දුරක සිට තමා සොයා පැමිණි තරුණයාව අවිශ්වාස කරන්නට ද හේතුවක් මන්දාකිණි නොවීය.තමා ගේ ජීවිතයේ පවතින පටලැවිල්ල නිදහස් කර ගැනීමට මගක් කෛලාශ් හෝ දැන සිටිනු ඇතැයි අනතුරුව මන්දාකිණි සිතුවාය.
” කියන්න? ඔයාට මාව විශ්වාස කරන්න පුළුවන්ද? ”
කෛලාශ් නැවත ඇසුවේය
” පුලුවන් “
කෛලාශ් හට අවැසි වූ පිළිතුර එයම විය. එය ලද නිසා ඔහු සැහැල්ලු ලෙස සිනාසුනේය.
” ඔයාට ඕන දෙයක් මාත් එක්ක කියන්න පුළුවන් මන්දාකිණි.පුංචි කාලෙ ඔයා මට අනුකම්පා කළා.උදව් කරා.මං වෙනුවෙන් හිටියා. අම්ම තාත්තා නැතුව අනාථ නිවාසෙක ඉඳන් ඉස්කෝලේ ආපු මට ළමයි වද දෙන කොට මාව බේර ගත්තෙ ඔයා.ඉතින් දැන් ඔයා ප්‍රශ්නෙක ඉන්න වෙලාවක ඔයාට උදව් කරන්න මට ඉඩ දෙනවද ? ”
මන්දාකිණි මේසය මත හිස තබා ගත්තාය. ඊළඟ නිමේෂයේ දී ඇය ගේ උරහිස් ගැස්සෙන්නට පටන් ගත්තේ ඇය හඬා වැටෙනා නිසා බව තේරුම් ගත් කෛලාශ් අසුනින් නැගී සිට සෙමෙන් පියවර තබා මන්දාකිණි ගේ අසුන අසලට ගොස් ඇගේ හිස මත යන්තමින් අත තැබුවේය.
” මන්දාකිණි ”
මන්දාකිණි හිස ඔසවා බැලුවේ තවත් විනාඩි ගණනාවකට පසුවය. බොහෝ වේලා හැඬීමෙන් රතු වී ඉදිමී ගිය දෑස් වලින් ඇය තමා අසල පවුරක් මෙන් සිට ගෙන සිටිනා කෛලාශ් දෙස බැලුවාය.
” මාව බේර ගන්න කෛලාශ් ”
මන්දාකිණි කීවේ බිඳුණු හඬිනි.කෛලාශ් දැඩි වේදනාවකින් පිරි දිගැති සුසුමක් හෙලා නැවත තම අසුන වෙත ගොස් අසුන් ගත්තේය.
” මං මට නොගැලපෙන තැනක පැටලිලා ගැලවෙන්න බැරුව ඉන්නේ කෛලාශ්.මට තේරෙන්නෙ නෑ කොහෙන් කොහොම පටන් අරගෙන ආපහු පරණ මන්දාකිණි වගේ ජීවත් වෙන්නද කියලා. මං ගත්ත සමහර තීරණ ගැන මං සෑහෙන්න පසුතැවෙනවා.මං බලාපොරොත්තු උනේ මෙහෙම ජීවිතයක් නෙමෙයි කෛලාශ්. ඒක මීට වඩා හුඟක් ලස්සනයි. ඒත්.. ”
මන්දාකිණි කියන්නට ගිය දෙය නතර කර ගෙන අසරණ ලෙස වෙනතක් බලා ගෙන උන්නාය.එහෙත් කෛලාශ් ඇය වෙතින් දෑස් ඉවතට ගත්තේම නැත. මලක් මෙන් සියුමැලි මෘදු හදවතක් ඇති යුවතියක් මං මුලා වී තමාගේ සරණ පතන ආකාරය පමණක් ඇය වෙතින් කෛලාශ් දුටුවේය.
” මේ වෙලාවේ ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් ඕනෙම දෙයක් මම කරනවා මන්දාකිණි. ඔයා දන්නව මම මෙහාට ආවේ ඔයාව හොයා ගෙනමයි කියලා.අඩුම ගානේ ඔයා ගේ ෆොටෝ එකක් වත් නැතුව ,ඔයා ඉන්නෙ කොහෙද කරන්නේ මොනවද කියල වත් දන්නේ නැතුව ඔයා ගේ නමක් විතරක් මතක තියා ගෙන මම ඔයාව හොයා ගත්තේ.ඉතින් එහෙම එකේ මං හිතනවා මට ඔයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ කියලා “
මන්දාකිණි වෙව්ලන දෙතොල් විවර කර ශෙනාල් මුණගැහුණු දිනයේ සිට ඔහු සමග ඇති වූ හිතවත්කම, එය ආදරණීය බැඳීමකට පෙරලුණු ආකාරය, දහසක් සිහින දකිමින් ඔහු සමග අනාගතයක් පිළිබඳව සැලසුම් කල ආකාරය, ඔහු සමග ජීවත් වන්නට පටන් ගත් ආකාරය සහ මෑත කාලයේ පටන් ඔහුගේ හැසිරීම දක්වා සියල්ල මන්දාකිණි කඳුළු සලමින් කෛලාශ් ඉදිරියේ දිග හැරියාය.
ශෙනාල් බොහෝ දින වලදී මත්පැන් පානය කර පැමිණ තමාට පහර දෙන බවත්, එවැනි ආකාරයේ ගැටලු රැසක් නිසා තම ආයතනයට පවා සිදු වූ පාඩු පිළිබඳවත් අනතුරුව මන්දාකිණි පැවසුවාය.
ශෙනාල් මන්දාකිණි හට පහර දෙන බව ඇසූ විට කෛලාශ් කෝපය පාලනය කර ගත්තේ ආයාසයෙනි.මන්දාකිණි ගේ මුහුණේ වූ ඉරියව් සහ ඇගේ කඳුළු , හදවතෙහි වූ වේදනාව මනාව කියා පෑ නිසා ඇය මේ මොහොතේ පත්ව සිටිනා තත්ත්වය තේරුම් ගැනීමට කෛලාශ් හට අපහසු වූයේ නැත.
” මගේ අම්මයි තාත්තයි දන්නව නම් මං මෙච්චර දුකක් විඳගෙන මෙහෙට වෙලා ඉන්නවා කියලා මේ බිස්නස් එක පැත්තකට කරලා මාව ගෙදර එක්කන් යනවා කෛලාශ්. ඒ දෙන්නා පවුලේ එකම ළමයා වෙච්ච මාව හැදුවෙ මලක් වගේ. මං ආස දේ කරන්න මට ඉඩ දීලා තාත්තාගේ බිස්නස් නිසා ඒ දෙන්නා කොළඹට ගියේ මාව විශ්වාස කරලා. ශෙනාල් මුලදි මට පෙන්නපු ආදරේ, හොඳ ගතිගුණ නිසා ආදරය ගැන කිසිම අත්දැකීමක් නොතිබ්බ මම ඒක තමයි ආදරේ කියලා හිතුවා. අද මට මෙහෙම වෙලා තියෙන්නේ ඒ හින්දා. කිසිම අඩු පාඩුවක් නැති මගේ ගෙදර ලස්සනට ජීවත් වෙන්න පුළුවන් කම තියෙද්දි එයා මට මේ විදිහට සලකන්නේ ඇයි කියලා මට හිතා ගන්න බැහැ.මං කවදාවත් එයා ගෙන් කිසිම දෙයක් ඉල්ලා නෑ.අඩුම ගානේ එක සතේක දෙයක් අරගෙන නැහැ. මං එයා ගෙන් බලාපොරොත්තු උනේ ආදරේ. ඒත් මට නැති වුණෙත් ඒකමයි. එයා අද හැදෙයි හෙට හැදෙයි කියලා බලාගෙන හිටියට කවදාවත් ඒක උනේ නැහැ කෛලාශ්.ඒක කවදාවත් වෙන්නෙත් නෑ කියලා මට දැන් තේරෙනවා ”
දිගු කතාවක අවසානයේ දී මන්දාකිණි බරැති හුස්මක් පිට කළාය.හදවතේ හිර කර තබා ගෙන හුන් බොහෝ දේ ඉන් නිදහස් කර දැමූ බැවින් මද අස්වැසිල්ලක් දැනුනද මන්දාකිණි උන්නේ තවමත් වචනයට නඟා ගත නොහැකි වූ මහා වේදනාවකය.
” සේරටම කලින් ඔය මනුස්සයව ගෙදරින් යවන්න ඕනේ මන්දාකිණි.එහෙම කාටවත් ඕන විදිහට ඔයා ගෙ ලයිෆ් එක control කරන්න දෙන්න බැහැ. මොකද මේ කිසිම දෙයක් කවුරුත් ඔයාගේ අත් දෙකට දීපු දේවල් නෙමෙයි.ඔයා මහන්සියෙන් හරි හම්බ කර ගත්ත දේවල් “
කෛලාශ් කීවේ කෝපය මුසු වූ දැඩි හඬකිනි. ජීවිතය අනාරක්ෂිත වී ඇති මොහොතක කොහේදෝ සිට පැමිණි ආරක්ෂිත බවක් තමා වෙලා ගන්නා බව මන්දාකිණි හට දැනුනේ කෛලාශ් වෙතින් පිටවුනු ඒ වචන ඇසුණු පසුවය.
” සල්ලියි අනිත් දේවලුයි ඔක්කොම පැත්තකට දාන්න.හැබැයි කාටවත් බෑ ඔයාට එහෙම අත උස්සන්න. කවුරුහරි මිනිහෙක් ගෑනියෙකුට අතක් උස්සනවා කියන්නේ උගේ පිරිමිකම එතනින්ම ඉවරයි “
කෛලාශ් තුල වූ කෝපය උත්සන්න වෙමින් පැවතියේය.ඔහු එය ආයාසයෙන් පාලනය කර ගැනීම සඳහා අසාර්ථක උත්සාහයක යෙදුනත් ඒ කෝපය පිටුපස ඇත්තේ තමා කෙරෙහි වූ ලෙන්ගතු බව මිස අනෙකක් නොවන බව මන්දාකිණි පසක් කර ගනිමින් උන්නාය.
” මං කිසිම වරදක් නොකර එයා මට එහෙම සලකන හේතුවයි මට හිතා ගන්න බැරි කෛලාශ්. මං කවදාවත් වචනෙකින් වත් එයාට බොරුවක් වත් වංචාවක් වත් කරලා නැහැ “
” මං ඔයාට මේ ප්‍රශ්නේ විසඳ ගන්න උදව් කරනවා. ඊට පස්සේ ඔයා මේ ඉන්නවටත් වඩා හයියට ඉන්න ඕනේ. ඔයාගේ මේ බිස්නස් එක තියෙන තැනින් තව ගොඩක් උඩට ගේන්නත් ඕනේ. තේරුනාද ? ”
ශෙනාල් තමා උපයන මුදල පිළිබඳව උනන්දු වූවා මිසක කිසිම දිනයක එම මුදල් උපයන ආයතනයේ දියුණුව පිළිබඳව වදනක් හෝ පවසා නැත. එහෙත් දුර රටක සිට තමා සොයා පැමිණි තරුණයා තමාගේත් ආයතනයේත් යහපත ප්‍රාර්ථනා කරන ආකාරය පුදුම සහගත බව මන්දාකිනි සිතුවේ හදවත පතුලෙන් බලාපොරොත්තුවක එළියක් දැල්වී ගෙන එන මොහොතේදීය.
” මම මොනවද කරන්න ඕනේ කෛලාශ් ? ”


