මතකයක සේයා – 28

0
2997

මන්දාකිණිගේ හිත තුළ තිබූ වේදනාව බොහෝ දුරට සමනය වී තිබුණේ ඉදිරියට කළ යුතු දෑ පිළිබඳව කෛලාශ් විසින් අවවාද බොහොමයක් දී තිබූ බැවිනි.තමා තවදුරටත් ශෙනාල් ගේ අඩත්තේට්ටම් වලට යටත්ව ජීවත් නොවිය යුතු බව තදින්ම තීරණය කර තිබූ නිසා මන්දාකිණි කෛලාශ් විසින් කී බොහෝ කරුණු වලට එකඟ වූවාය.

කෛලාශ් කැබ් රථයකින් හෝටලය වෙත ගොස් එහි ඉදිකිරීමේ කටයුතු පිළිබඳව සොයා බලා තවත් බැංකු කටයුත්තක් සඳහාද පිටව ගොස් සවස් වරුව ගත කළේය. ඒ අතරතුර කාලයේදී මන්දාකිණි කාර්යාලයේ බොහෝ වැඩ කටයුතු අවසන් කර ගත්තාය. ඇයට කෛලාශ් ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේ එළඹෙන දිනයේදී සම්පූර්ණ කළ යුතු රාජකාරී පිළිබඳව සැලසුමක් සකස් කරමින් සිටියදීය.

” තාම ඔෆිස් එකේද මන්දාකිණි ? ” 

” ඔව් කෛලාශ්. හෙට කරන්න තියෙන වැඩ ටික ගැන පොඩ්ඩක් බැලුවා.තව විනාඩි පහකින් විතර මම ගෙදර යනවා “

මන්දාකිණි කීවේ මේසයේ පසෙක වූ ලිපි ගොණුවක් අතට ගනිමිනි.

” දැන් වෙලාව හතාමාරයි. අට වෙනකොට අර අපි දෙන්න එදා හම්බ වෙච්ච රෙස්ටෝරන්ට් එකට එනවද ? ඩිනර් අරගෙනම යමු “

මන්දාකිණි මොහොතක් කල්පනා කළාය.ශෙනාල් ගේ රාත්‍රී ආහාරය වෙනුවෙන් යමක් සැකසීමට වෙනදා මෙන් තමා නිවසට යා යුතුය. එහෙත් ඔහු කෙදිනකවත් තමාගේ ආහාර ගැනීම පිළිබඳව වද වී නොමැති නිසා මන්දාකිණි හිත තද කර ගත්තාය.

” යමු කෛලාශ්.මම එන්නම් ” 

” රයිට්.මම අට වෙද්දි එතන “

තමාගේ සිතැඟි තේරුම් ගන්නා හොඳ මිතුරියක හෝ මිතුරෙකු සිටියා නම් තම ජීවිතයේ බොහෝ දෑ වෙනස් වන්නට තිබූ බව මන්දාකිණි සිතුවේ සියලු වැඩ අවසන් කර ආයතනයෙන් පිට වී වාහනයට නගින අතරතුරේදීය.

පෙර දිනයක මන්දාකිණි ව මුණ ගැසුණු අවන්හලේ ඇය අසුන් ගෙන උන් මේසයේ වාඩි වී කෛලාශ් වීදුරුවෙන් පෙනෙන මාර්ගය දෙස බලා උන්නේය. මන්දාකිණි ගේ රථය පැමිණ අවන්හල ඉදිරියේ නතර කලේ තවත් විනාඩි දහයක් පමණ ගත වුණු පසුය.

උදෑසන තිබූ ශෝකී බව වෙනුවට මන්දාකිණි වෙතින් ඒ මොහොතේ දක්නට තිබුණේ සැහැල්ලු සිනහවකි.එය කෛලාශ් ගේ හදවතට විශාල අස්වැසිල්ලක් ගෙන ආ අතර මන්දාකිණි සිනහමුසු මුහුණින් පැමිණ කෛලාශ් ට මුහුණලා අසුන් ගත්තාය.

“ඔයා හිනා වෙලා ඉන්නවා දකින්නත් ආසයි මන්දාකිණි “

කෛලාශ් කීවේ අව්‍යාජවය. අනතුරුව දෙදෙනාම ආහාර ඇණවුම් කර හෝටලයේ විවෘත කිරීමේ උත්සවය පිළිබඳව සැලසුම් කරමින් උන්නෝය.සේවකයෙකු පැමිණ වතුර වීදුරු දෙකකුත්, පිඟන් සහ හැඳි ගෑරප්පු ආදිය මේසය මතින් පිළිවෙලට සකස් කර පිටව ගියේය.හෝටලය විවෘත කිරීමේ උත්සවය සඳහා බොහෝ සැලසුම් මන්දාකිණි තුළ තිබුණු අතර ඒවා සියල්ල ක්‍රියාවට නැංවීමට ඒ අතරතුර කෛලාශ් එකඟත්වය පළ කළේය.

ඇණවුම් කළ ආහාර මේසය මතට පැමිණි පසුව මන්දාකිණි සහ කෛලාශ් රාත්‍රී ආහාරය ගනිමින් බොහෝ දෑ කතාබහ කළ අතර ඒ අතරතුර Elegant space By Mandi හී තවත් ශාඛාවක් විවෘත කිරීමේ සැලසුමද විය. 

” ඇත්තටම ඔයාට යාළුවො නැත්තේ ඇයි මන්දාකිණි ? ” 

කෛලාශ් ඇසුවේ අසන්නට සිතා ගෙනම සිටි කාරණාවකි. මන්දාකිණි අත වූ හැන්ද පිඟාන මත තබා වතුර උගුරක් පානය කර සුසුමක් හෙලා අනතුරුව කෛලාශ් දෙස බැලුවේ පසුතැවිල්ල මුසු දෑස් වලිනි.

” එකක් මම ගොඩක් බිසී නිසා.අනිත් එක.. ශෙනාල් කැමති නෑ මං ලොකුවට යාළුවෝ ආශ්‍රය කරනවට.මං එහෙම එළියට යනවටත් එයා කැමති නැහැ. ඉතින් මට යන්තම් එහෙන් මෙහෙන් හිටපු යාළුවො කීපදෙනත් නැති උනා “

” ඔයාට දැන් තේරෙනවද අපි අපේ ලයිෆ් එකට මොන විදිහකට හරි මිනිස්සු තෝර ගන්න කොට කොච්චර පරිස්සම් වෙන්න ඕනෙද කියලා?”

මන්දාකිණි මද සිනහවක් පා පිඟාන මත වූ හැන්ද අතට ගෙන නැවත ආහාර ගැනීමට සූදානම් වී කිසිවෙකු තමා වෙත පැමිණෙනවා දෑස් කොනෙන් දුටු නිසා හැරී බැලුවාය.

කොහේදෝ සිට ඉක්මන් ගමනින් තමා වෙත පැමිණි ශෙනාල් මන්දාකිණි ගේ කම්මුල මතට වේගවත් පහරක් එල්ල කළේත් , මන්දාකිණි කම්මුල අල්ලා ගෙන අසුනින් නැගී සිටියේත්, කෛලාශ් ඉදිරියට පැන්නේත් තප්පර ගණනාවක් තුළදීය.

” උඹ එහෙනම් ඒකයි මෙච්චර දවසක් මට ගණන් ඉස්සුවේ “

කම්මුල අල්ලා ගෙන හඬමින් දැඩි ලෙස බියපත් වී සිටින මන්දාකිණි දෙස කෝපයෙන් ගිණියම් වී ඇති දෑස් වලින් බලමින් ශෙනාල් කෑ ගැසුවේය.

” උඹ නටන සෙල්ලම මොකක්ද කියලා බලා ගන්න උඹේ ඔෆිස් එක ළඟ ඉඳලමයි මං පස්සෙන් ආවේ. එළියේ ඉඳලත් මං බලා ගෙන හිටියේ උඹල දෙන්නා මෙතන ඉන්නවා. තොට මාව ගෙදරින් එලව ගන්න ඕන වුණේ මූව ගෙට ගන්නද ? 

ශෙනාල් දත්මිටි කමින් දෑත් මිට මොලවන අතරේ ඇසුවේය.

” ශෙනාල් කරුණාකරලා මෙතන ප්‍රශ්න ඇති කරන්න එපා.ප්ලීස්.මේක පිට තැනක් ” 

කෛලාශ් ශෙනාල් දෙසට පියවර එසවූයේ හදවතේ නැගෙන කෝපය පාලනය කර ගන්නට දැඩි වෑයමක් යොදමිනි. ශෙනාල් ඔහු දෙස බැලුවේ සමච්චල් සහගත සිනහවක් මුහුණට නගා ගැනීමෙන් අනතුරුවය.

” හහ්.. ඒ කියන්නේ තමුසෙ මාව දන්නවා? ඒ දැනගෙනද මේකිත් එක්ක මගුල් නටන්නේ? “

” ශෙනාල් මේ. කවුරුත් මෙතන මගුල් නැටුවේ නැහැ.මන්දාකිනිව මම දන්නේ පුංචි කාලේ ඉඳන්. මඟුල් නටනවා නම් අපිට නටන්න තිබුණා ඒ කාලේ ඉඳලම “

ශෙනාල් කෝපයෙන් වෙව්ලමින් මත වූ වතුර වීදුරුව රැගෙන වේගයෙන් පොළොවේ ගැසූ අතර මන්දාකිණි ගේ හැඬීම විලාපයක් බවට පත් වියේ ඉන් පසුවය.

” මං තොපි දෙන්නවම මර.නවා “

ශෙනාල් මන්දාකිණි දෙසට හැරී ඇගේ කෙස් වැටියෙන් ඇද අල්ලා ගනිද්දිම හෝටලයේ සේවකයන් කිහිප දෙනෙක් දිව විත් ශෙනාල් ව අල්ලා ගත් අතර මන්දාකිණි එසැණින් කෛලාශ් ගේ ග්‍රහණයෙන් මිදී කෛලාශ් වෙත පැමිණ ඔහු පිටුපසට වී මුවා වූවාය.

හෝටලයේ සේවකයන් විසින් ශෙනාල් ව මුදා නොහැරි අතර ඔවුන් ඔහු පිළිබඳව පොලිසියට ද දැනුම් දී තිබුණි. පොලිස් නිලධාරීන් පැමිණෙන තුරු මන්දාකිණි කෛලාශ් සමඟ වාඩි වී ඉකි ගසා හඬමින් බියපත්ව උන්නාය.

” මං කියපු විදිහට වැඩ කරන්න තේරුණාද? කිසිම දේකට බය වෙන්න එපා. මොන දේ උනත් මං ඔයත් එක්ක ඉන්නවා ” 

කෛලාශ් කීවේ මන්දාකිණි ගේ හිස යන්තමින් අත ගාමිනි. මන්දාකිණි මේසය මත තිබූ ටිෂූ කඩදාසියක් ගෙන මුහුණ පිස දාගෙන සේවකයන්ගේ ග්‍රහණයෙන් මිදීමට වෙර දරන, වෛරී දෑස් වලින් තමා දෙස බලා සිටින ශෙනාල් දෙස බැලුවාය. 

කෛලාශ් අසුනින් නැගිට ගොස් හෝටලයේ සේවකයෙකු ගෙන් අයිස් පිරවූ බෑගයක් ඉල්ලා ගෙන විත් පැමිණ මන්දාකිණි ගේ කම්මුල මතින් තැබුවේ පහර කෑමට ලක්ව ඇගේ කම්මුල දම් පැහැයට හැරී තිබුණු නිසාය.

කාන්තාවකට පහර දීම,කලහකාරී ලෙස හැසිරීම සහ හෝටලයේ භාණ්ඩ වලට හානි කිරීම යන චෝදනා මත ශෙනාල් පොලිස් අත්අඩංගුවට පත් වූ අතර හෝටලයේ කළමනාකරු විසින් ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන් වූ සිදුවීමෙහි වීඩියෝ පට ද පොලිසියට ලබා දී තිබුණි.

කෛලාශ් මන්දාකිණි ව රැගෙන ඇගේ වාහනයෙන් පොලිසිය වෙත පැමිණියේ පොලිස් නිලධාරියෙකු විසින් ලබා දුන් උපදෙස් අනුවය.ඒ වන විට පොලිසිය සමග පැමිණි ශෙනාල් රිමාන්ඩ් බාරයට පත්ව තිබුණු අතර මන්දාකිණි හැකිතාක් හදවතට ධෛර්යය ගෙන ශෙනාල්ට විරුද්ධව පැමිණිල්ලක් ගොනු කළේ මෙතැන් පටන් තමා, තමා වෙනුවෙන්ම නැගී සිටිය යුතු බවට හදවතට පොරොන්දුවක් දෙමිනි.

පැමිණිල්ල ගොනු කිරීමෙන් අනතුරුව මන්දාකිණි ට සහ කෛලාශ් ට පොලිස් ස්ථානාධිපතිවරයා ගෙන් කැඳවීමක් ලැබුණු අතර මන්දාකිණි කෛලාශ් පිටුපසින් ස්ථානාධිපතිවරයාගේ කාර්යාලය වෙත පියවර තැබුවාය.

” මේ මනුස්සයා බීලාත් ඉඳලා තියෙන්නේ “

ස්ථානාධිපතිවරයා පැවසුවේ කෛලාශ් සිදුවීම සිදු වන අතරතුරේ දී අනුමාන කළ කාරණාවකි.

” එයා මෙයාගේ කවුරු වුණත් කාටවත් එහෙම ගෑනු කෙනෙකුට අත උස්සන්න බැහැ. අපිට පැහැදිලිව සාක්ෂි ලැබිලා තියෙන නිසා මේ මනුස්සයාට ඉතින් ලේසි වෙන එකක් නැහැ. මිස් මන්දාකිණිට පැමිණිල්ල අයින් කරගන්න එහෙම අදහසක් නෑ නේ? “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here