මතකයක සේයා – 29

0
3024

මන්දාකිණි පසු වූයේ දැඩි කම්පනයකිනි. යහපත් පවුලක සාමකාමී වටපිටාවක උස් මහත් වී තරුණ වියේ දී මෙවැනි කලබලකාරී සිදුවීම් වලට මුහුණ දීමට කිසිසේත්ම බලාපොරොත්තුවක් නොවූ බැවින් ස්ථානාධිපතිවරයා සමග කතාබහ කිරීමෙන් අනතුරුව ඇය පොලිස් ස්ථානයේ වූ බංකුවක් මතට වී බොහෝ වේලාවක් ඇසිපිය නොහෙලා වෙනතක් බලා උන්නාය.

ඉදිරියට කළ යුතු නීතිමය කටයුතු පිළිබඳව උපදෙස් ලබා ගත් කෛලාශ් මන්දාකිණි වෙත යාමට පෙර පොලිස් නිලධාරියෙකු ගෙන් අවසර ලබා ගෙන ශෙනාල් හුන් සිර මැදිරිය වෙත පියවර තැබුවේය.අවුල් වී ගිය හිස කෙස් වලින් සහ දහඩියෙන් පෙඟී ගිය වෙහෙසකර පෙනුමකින් යුතුව ශෙනාල් සිර මැදිරියේ කොනක බිම වාඩි වී බිත්තියට වාරු වී දෑස් පියා ගෙන උන්නේය.

ශෙනාල් සිටිනා එම ඉරියව්ව සහ ඔහුගේ ස්වභාවය දුටු පසුව ඔහු කෙරෙහි තරමක අනුකම්පාවක් හදවත පතුලෙන් නැගී ආවද කෛලාශ් එය ආයාසයෙන් මැඩ පවත්වා ගත්තේ ඔහු මන්දාකිණි හට පහර දුන් බව සිහිපත් කර ගැනීමෙනි.

” ශෙනාල් ” 

කෛලාශ් තරමක් පහත් හඬින් දෑස් පියා හුන් ශෙනාල් ඇමතූ අතර ඔහු මදක් තිගැස්සී අනතුරුව සෙමෙන් දෑස් විවර කළේය. තත්පර ගණනාවක් නිසොල්මනේ ඉදිරිය බලා හුන් ශෙනාල් හිස හරවා තමාව ඇමතූ කෛලාශ් දෙස බලා වාඩි වී හුන් තැනින් නැගිට සිරමැදිරියේ යකඩ දොරටුව අසලට පැමිණ නැවතුනේය.

” තමුසෙට දැන් සතුටුද ? ” 

ශෙනාල් පෙර වූ රෞද්‍ර බවින් සහ කෝපාන්විත බවින්ම දත් මිටි කමින් ඇසුවේය.එහෙත් කෛලාශ් ගේ මුහුණේ ඉරියව් දශමයකින් හෝ වෙනස් වූයේ නැත.

” ඔයාට ඔහොම වුණා කියලා මට සතුටු වෙන්න තරම් මෙතන හේතුවක් නෑ ශෙනාල්.ඔයාට හම්බ වෙලා තියෙන්නේ ඔයා කරපු දේවල් වල රිසල්ට් එක. මෙතනින් එහාට ඔයාට මොනවා උනත්, ඔයා කොහොම හරි කරලා එළියට ආවත්  අඩුම ගානේ මේ වෙච්ච දේ ගැන හිතල වත් මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න බලන්න “

” තමුසෙ මෙතනට ආවේ මට බණ කියන්නද ? ” 

ශෙනාල් සිර මැදිරියේ යකඩ දොරට වැරෙන් පහරක් එල්ල කළේ තීව්‍ර වන කෝපය පාලනය කර ගත නොහැකිවය.

” මන්දාකිණි කියන්නේ ඔයා ගෙන් නෙමෙයි,කාගෙන් වත් ගුටි කකා ඉන්න ඕන කෙල්ලෙක් නෙමෙයි. අනාථ නිවාසෙක හැදිච්ච පුංචි කොල්ලෙකුට ඉස්කෝලෙ යන එක තිත්ත වෙලා තියෙද්දි ඉස්කෝලෙ ඇවිල්ලා ඉගෙන ගන්න හේතුවක් දුන්නේ මන්දාකිණි. ඒ තරං ලස්සන හිතක් එයාට තියෙනවා. එහෙම කෙනෙක්ට මෙහෙම වෙන්න ඕනේ නැහැ ශෙනාල්. මීට පස්සේ එහෙම වෙන්න දෙන්නෙත් නැහැ මං ” 

කෛලාශ් පැවසූයේ කුමක් දැයි සිතා ගත නොහැකිව ශෙනාල් පිළිතුරක් නොදී කෝපයෙන් බලා සිටිය දී කෛලාශ් මද සිනහවක් පමණක් පා මන්දාකිණි වාඩි වී හුන් තැනට පැමිණියේය.ඇගේ මුහුණේ වූයේ දැඩි වෙහෙසකර බවකි.කම්මුලේ පෙර තිබූ දම් පැහැය තරමක් දුරට පහව ගොස් තිබුණු නමුත් තවමත් ඇගේ කම්මුල් මත කඳුළු පහර වල් වල සලකුණු විය.

” ගෙදර යමු මන්දාකිණි “

කෛලාශ් මන්දාකිණි වෙත නැඹුරු වී මෘදු හඬින් පැවසූ අතර මන්දාකිණි හිස ඔසවා අසරණ වූ දෑස් කෛලාශ් දෙස බැලුවේය.

” යන් ” 

කෛලාශ් නැවත මන්දාකිණි වෙත කියමින් අත දිගු කළේය. මන්දාකිණි කෛලාශ් ගේ අත තද කර අල්ලා ගෙන වාඩි වී සිටි තැනින් නැගිට ඔහු පසු පසින් වාහනය දෙසට පියවර එසවූවාය.

කෛලාශ් අත් ඔරලෝසුව දෙස බැලුවේ මෙතෙක් වේලාවක් වේලාව පිළිබඳව හැඟීමක් නොවූ නිසාය. ඔරලෝසුවෙහි වෙලාව අලුයම එක ලෙස සටහන් වී තිබුණු අතර මන්දාකිණි ට සහ තමාට රාත්‍රී ආහාරය නිසි ලෙස ගැනීමට නොහැකි වූ බව කෛලාශ් ට සිහි වූයේය.ඊටත් වඩා මන්දාකිණි අධික කම්පනයකින් සහ වෙහෙසකර බවකින් පෙළෙන නිසා ඇයට යමක් ආහාරයට ගැනීමට හෝ පානය කිරීමට දිය යුතු බව කෛලාශ් සිතුවේ වාහනයේ දොර විවෘත කර මන්දාකිණි වාහනයට නැගුණු පසුව දොර වසා දමන අතරේය.

රියදුරු අසුනට නැගුණු කෛලාශ් දිගු සුසුමක් හෙලා අරමුණකින් තොරව ඉදිරිය බලා සිටින මන්දාකිණි ගේ ශෝකී මුහුණ දෙස බලා වාහනය පණ ගැන්වූයේ ය. අලුයම අඳුරේ වාහනය ඉදිරියට ඇදෙන විට මන්දාකිණි අසුනට හේත්තු කර ගෙන හුන් හිස හරවා වේගයෙන් පසු වන ගොඩනැගිලි සහ ඉඳහිටක පසු වන වාහන දෙස නිසොල්මනේ බලා උන්නාය.

තරමක් හොඳ පෙනුමකින් යුතු රාත්‍රී හෝටලයක් දැක කෛලාශ් එය ඉදිරියේ වාහනය නතර කළේය. මන්දාකිණි හදිසියේ පියවි සිහියට පැමිණියාක් මෙන් කෛලාශ් දෙස බැලුවේ ඒ මොහොතේදීය.

” මොන හරි කාලා ,උණුවට මොන හරි බීලා යමු “

කෛලාශ් එසේ පැවසූ විටද මන්දාකිණි ශෝකයෙන් යුතුව ඔහේ බලා උන්නා මිසක වදනක් හෝ දෙඩුවේ නැත.කෛලාශ් මන්දාකිණි ගේ හිස මතින් යන්තමින් අත තබා සිනාසී වාහනයෙන් බැස කිහිප දෙනෙකු පමණක් සිටි හෝටලයට ඇතුළු වූයේය.

විනාඩි පහක් පමණ ගත වූ පසු කෛලාශ් නැවත වාහනයට නැග දොර වසා ගත්තේය.මන්දාකිණි තවමත් සිටින්නේ පෙර වූ කම්පනයෙන් බව ඇගේ ඉරියව් වලින්ම කියා පෑ නිසා කෛලාශ් ඇයට බාධා කරන්නට උත්සාහ කළේ නැත. තවත් විනාඩි කිහිපයකින් හෝටලයේ සේවකයකු පැමිණ කෛලාශ් ගේ පස වූ වීදුරුවට තට්ටු කළේය. කෛලාශ් වීදුරුව පහත් කර සේවකයා විසින් ගෙන එන ලද දුම් දමමින් තිබූ බිත්තර රොටි සහිත පිඟාන අතට ගෙන සේවකයාට ස්තූති කළේය.

” මං කිව්වා කපලා හොදි දාලා ගේන්න කියලා.මං දවසක් සත්සර එක්ක එහෙම කෑවා.හෙන රහයි “

කෛලාශ් දුම් දමන පිඟානට පිඹින අතරේ මන්දාකිණි දෙස සිනාසී බලා කීවේය. මන්දාකිණි ආයාසයෙන් සිනාසුනේ කෛලාශ් ගෙන් පිට වූ එම අව්‍යාජ කතා බහටය.විදේශයක ජීවත් වූ තරුණයා සියල්ල අතහැර තමා සොයා මෙහි පැමිණ සරල ජීවිතයකට හුරුවෙමින් සිටින ආකාරය අපූරු  යැයි සිතුවිල්ලක් මොහොතකට මන්දාකිණි තුළ ඇති විය.

” මුකුත් නොකිව්වට කමක් නෑ මන්දාකිණි. අද දවසේ මුකුත් උනේ නෑ කියලා හිතා ගෙන මං වෙනුවෙන් ඔයා මේකෙන් ටිකක් හරි කන්න ඕනේ. මොන දේ කරන්නත් ඔයා කෙලින් කටින් ඉන්න ඕනේ කියලා මතක තියා ගන්න “

හදවත දහසක් කැබලි වලට බිඳී ගොස් ශෝකයෙන් පසු වූ මන්දාකිණි ව මෘදු ලෙස හසුරවන්නට කෛලාශ් උත්සාහ කළේය.ඒ උත්සාහය සාර්ථක කරමින් මන්දාකිණි කෛලාශ් ගේ අත වූ පිඟානෙහි කොනක තිබූ කුඩා බිත්තර රොටි කැබැල්ලක් ගෙන මුවෙහි රුවා ගත්තාය.

මන්දාකිණි යනු දුර්වල යුවතියක් නොවන බවත් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තරම් ඇය තුළ ශක්තියක් පවතින බවත් පසක් කර ගෙන හුන් කෛලාශ් ක්‍රම ක්‍රමයෙන් ඇයට ඒ බව වටහා දෙන්නට සිතා ගත්තෙ මන්දාකිණි බොහෝ දුරට ආහාර ගෙන අවසන් වූ පසුවය. 

” තව ඕනේද? ” 

අවසාන බිත්තර රොටි කැබැල්ලත් මුව තුළට දමා ගන්නා අතරේ කෛලාශ් ඇසුවේය.මන්දාකිණි “එපා ” කියන්නට හිස වැනූ බැවින් කෛලාශ් කිසිවක් නොකියා හිස් වූ පිඟානද රැගෙන රථයෙන් බැස නැවත හෝටලය තුළට ගියේය.

දුම් දමන කිරි කෝප්ප දෙකක් රැගෙන කෛලාශ් පැමිණියේ තවත් විනාඩි ගණනාවකට පසුවය.ඔහු කිරි කෝපි දෙක අතැතිව වාහනයේ මන්දාකිණි හුන් පසින් පැමිණ සිට ගත් පසු මන්දාකිණි වීදුරුව පහත් කළාය.

” එළියට බහින්න. හුළං ටිකක් වදින්න “

කෛලාශ් පෙර වූ මෘදු බවින්ම කීවේය.මන්දාකිණි කිසිවක් නොකියා එයට අවනත වී වාහනයෙන් බැස දොර වසා කෛලාශ් අත වූ කෝපි කෝප්ප දෙකෙන් එකක් අතට ගෙන වාහනයට හේත්තු වූවාය.

” දැන් නිදහසේ හුස්මක් ගන්න “

කෛලාශ් මන්දාකිණි අසලට වන්නට වාහනයට හේත්තු වූයේය. කෝපි උගුරක් පානය කළ මන්දාකිණි අලුයමේ හමා යන සීතල සුළඟ මැදින් දිගැති හුස්මක් ගත්තාය.කෛලාශ් ඇයට හිත නිදහස් කර ගන්නට මොහොතක් අවැසි බව සිතමින් තව දුරටත් මුණිවත රැක්කේය.

” ජීවිතෙ සිද්ධ වෙන හැම දෙයක්ම වෙන්නේ,වෙන්න තියන හොඳම විදියට කියලා අපේ අම්මා මට කියලා තියෙනවා මන්දාකිණි.මේ උනෙත් එහෙම දෙයක් කියල හිතන්න. දෙවියෝ ඔයාට මේ දුන්නේ අදහස් වෙන්නන අවස්ථාවක්.ඒ නිසා ආපහු කිසිම කෙනෙකුට ඔයාට ඒ වගේ අත උස්සන්න ඉඩ තියන්න එපා ” 

කෛලාශ් මිමිණුවේය. මන්දාකිණි එයට එකඟ වූවා මෙන් ඔහු දෙසට හැරී මදහසක් පෑවාය.

” ශෙනාල් ට ඊළඟට මොකක් වෙයිද කෛලාශ් ?” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here