මතකයක සේයා – 31

0
2632

මන්දාකිණි අලුත් බලාපොරොත්තුවක් හදවතෙහි දල්වා ගනිමින් රාත්‍රී අහසේ තැනින් තැන පායා ඇති තාරකා එළි දෙස බලා උන්නාය.අතිශයින්ම කලබලකාරී සහ නොසන්සුන් දිනයක් අවසානයේ දී සිත මඳක් හෝ සන්සුන් කර ගැනීමට ඇය හට හැකිව තිබුණි.

” ශෙනාල් කොහොම හරි එළියට ආවත් එයා මේ ගෙදරට එයි කෛලාශ් “

මන්දාකිණි කීවේ කොයි මොහොතේ හෝ සිදු වන්නට නියමිත දේ පිළිබඳව අනුමාන කරමිනි.

” එතකොට? ” 

” එතකොට එයාට මගෙන් ඉඩක් නෑ කෛලාශ්. මේ වෙච්ච හැමදේම ඇති මට හිත හදා ගන්න.ඇත්තටම මං තවත් මගේ ජීවිතේ නාස්ති කර ගන්න එකේ තේරුමක් නෑ. එයා ආවට පස්සේ මම කියනවා තැනක් හොයා ගෙන යන්න කියලා.කොහොමත් මම ඒක එයාට කියල නේ තිබුණේ.”

කෛලාශ් නිහඬව උන්නේය.මින් ඉදිරියට මන්දාකිණි ඇගේ ජීවිතය පිළිබඳව ශක්තිමත්ව තීරණ ගත යුතුය. තමා කළ යුතු වන්නේ එම තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ඇයට ධෛර්‍යයක් වීමය.

” මට ශෙනාල් වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම මගේ පැත්තෙන් කරා කියලා මට ඇත්තටම හිත හදා ගන්න පුළුවන්. ඒත් එයා මට ඒකට ඉඩ දෙයිද කියලා තමයි බය “

මන්දාකිණි කෝපි උගුරක් පානය කර අනතුරුව කීවාය. නැවත මන්දාකිණි හට අඩත්තේට්ටම් කිරීම සඳහා ශෙනාල් හට ඉඩ නොතැබිය යුතු බව කෛලාශ් තරයේම සිතා ගත්තේ ඉන් පසුවය.

” මීට පස්සේ එයාට ඕන ඕන විදිහට නටන්න බෑ මන්දාකිණි. මේක ඔයාගේ ගෙදර. ඒකට කාටවත් බලෙන් ඇතුල් වෙන්න බැහැ.එහෙම කරනවනම් ඔයාට ලීගල් ඇක්ශන් ගන්න පුළුවන් නේ. අනිත් එක මෙච්චර දෙයක් වෙලා තියෙද්දි මම හිතන්නෙ නැහැ එයා ආපහු ඔයාට කරදර කරන්න එයි කියලා “

මන්දාකිණි වේවැල් පුටුවට හිස බර කර ගෙන තවදුරටත් රාත්‍රී අහස දෙස බලා උන්නාය. මෙම නිවසේ පදිංචියට පැමිණි පසුව බොහෝ රාත්‍රීන් වලදී තමා මේ ආකාරයට රාත්‍රී අහසේ අසිරිය විඳිමින් නිදහසේ ජීවත් වුවද ශෙනාල් මෙහි ජීවත් වන්නට පැමිණි පසුව එකඳු දිනක් හෝ මෙසේ හිඳින්නට නොහැකි වූ බව මන්දාකිණි සිතුවේ ශෝකයෙනි.

” හැමදේම අපරාදේ කියලා හිතෙනවා කෛලාශ්. ඒත් දැන් ඉතින් මට වෙච්ච දේවල් වෙනස් කරන්න බෑනේ “

” වෙච්ච දේවල් නං ඔයාට වෙනස් කරන්න බැහැ තමයි මන්දාකිණි.හැබැයි ඒවා මතක් කර ගෙන ඉස්සරහට වෙන්න තියෙන ගොඩක් දේවල් වෙනස් කර ගන්න ඔයාට පුළුවන්”

මන්දාකිණි අසා උන්නාය. කුඩා කාලයේ දී පාසලේ ළමුන්ගෙන් තාඩන පීඩන වලට ලක් වූ කුඩා දරුවා තරුණයකු වී තමා ගේ පිහිටට පැමිණ සිටින්නේ පුදුම සහගත ආකාරයකටය.ජීවිත වල සියලු සිදුවීම් සිදු වන්නේ දෛවයේ ලියවී ඇති ලෙසටය. එය වෙනස් කළ හැක්කෙක් මෙලොව නැත.තමා මේ මුහුණ දෙමින් සිටින්නේද එවැනි සිදුවීම් වලටය.එම නිසා අකමැත්තෙන් වුවද ඒවා භාර ගැනීමට සිදුව තිබේ.

” දෙන්නෙක් අතර බැඳීමක් ඇති වුණාම දෙන්නට දෙන්නා ගරු කරන්න ඒ දෙන්නම දැන ගන්න ඕන මන්දාකිණි.එක්කෙනෙක්ට විතරක් බැහැ ඒ බැඳීම රැක ගන්න කැප වෙන්න. ඒකෙන් ඒ කෙනාට ලැබෙන්නේ වේදනාවක් විතරයි. තමන් ආදරය කරන කෙනා තමන් වෙනුවෙන් මොන දේදිත් ඉන්නවා කියන හැඟීමම ඇති මන්දාකිණි මනුස්සයෙකුට ජීවත් වෙන්න ” 

කෛලාශ් ඈතින් පෙනෙන තැනින් තැන විදුලි එළි සහිත ගොඩනැගිලි දෙස බලා උන්නේය.මන්දාකිණි හිස් කෝපි කෝප්පය පසෙක තබා වාඩි වී සිටි වේවැල් පුටුවෙන් නැගිට කෛලාශ් අසලටම පැමිණියාය.

” කවදාවත් girlfriend කෙනෙක් වත් ඉඳලා නැති ඔයා කොහොමද ඕවා දන්නේ ? ” 

මන්දාකිණි සිනාසෙමින් ඇසුවේ සීතල සුළඟට අවුල් වන හිස කෙස් එකතු කර ගන්නා අතරේය.

” මගේ අම්මයි තාත්තයි හින්දා.ඒ දෙන්නා අතර තියෙන්නේ මාර බැඳීමක් මන්දාකිණි. එයාල මාව හදා ගන්න කලින් අම්මට ගොඩක් අය අපහාස කරලා තියෙනවා ළමයි නෑ කියලා.ඔයා දන්නවනේ ඉතින් ලංකාවේ මිනිස්සුන්ගේ හැටි.අම්මා කාලයක් නෑදෑ ගෙදරකට වත් යන්නේ නැතුව ඉඳලා. ඒ හැම තැනකදිම,හැම වෙලාවකදිම තාත්තා එයාගේ පැත්ත අරගෙන තියෙන්නේ. එයා කවදාවත් අම්මගේ හිත රිද්දලා නැහැ. නෑදෑයෝ එයාගේ හිත රිද්දනකොට තාත්තා එයාගේ හිත හැදුවේ කොහොමද කියලා අම්මා මට කියලා තියෙනවා. මිනිස්සු ආදරය කරන්න ඕනේ කොහොමද කියලා මං හරියටම ඉගෙන ගත්තේ ඒ දෙන්නා දිහා බලලා මන්දාකිණි.ආදරේ කියන්නෙ කටින් කියන වචනයක් විතරක් නෙමෙයි.පුංචි පුංචි දේවල් වලින් ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් දෙයක් “

කෛලාශ් දිගු කතාවක් අවසාන කළ අතර මන්දාකිණි තවදුරටත් මුනිවත රකිමින් උන්නාය. තමාට එසේ ආදරය කරන සහකරුවෙකු ජීවිත කාලයටම සොයා ගත නොහැකි වනු ඇතැයි අනතුරුව ඇය සිතුවාය.

” දැන් ඔයා ගිහින් නිදාගන්න මන්දාකිණි. හෙට උදේට ඔෆිස් යන්න ඕනෙනේ “

මන්දාකිණි එයට අවනත වූවාය. ඇය කෛලාශ් අත වූ හිස් කෝපි කෝප්පයද ඇය පසෙක තැබූ කෝප්පයද ගෙන නිවසට ඇතුළු වූ පසුව කෛලාශ් ඇය පසු පසින් පැමිණ බැල්කනියට පිවිසෙන දොර වසා දැම්මේය.මන්දාකිණි මුළුතැන්ගෙයට ගොස් කෝපි කෝප්ප සෝදා නැවත පැමිණෙන විට කෛලාශ් සෝෆාවේ හාන්සී වි දෑස් පියා ගෙන උන්නේය.

” අනේ ඔතන නිදා ගන්න එපා කෛලාශ්. මේ ශෝක් එකට ගෙස්ට් රූම් එකක් තියෙන්නේ ” 

කෛලාශ් දෑස් හැර බලා සෝෆාවෙන් නැගිට්ටේය.මන්දාකිණි ගේ මුහුණේ යන්තමින් හෝ මදහසක් ඇඳී තිබීමම විශාල සැනසීමකි. 

” මේකෙ නිදා ගන්න ” 

මන්දාකිණි ප්‍රධාන නිදන කාමරයට පිහිටි කාමරයේ දොර විවෘත කර විදුලි පහන් දල්වා කෛලාශ් හට එයට ඇතුළු වීමට ඉඩ හැර දොරකඩට වී බලා උන්නාය.කෛලාශ් කාමරයට ඇතුළු වී කාමරය පුරා බැල්මක් හෙළුවේ සන්සුන් හැඟීමකිනි.කාමරයේ වූයේ සුවපහසු යහනක් සහ එයට යාබද කුඩා ලාම්පුවක් සහිත කබඩ් එකකුත් ,කුඩා අල්මාරියක් සහ ඇඳුම් රාක්කයකි. සුදු පැහැති ඇඳ ඇතිරිලිද , සුදු පැහැති තිර රෙදි ද , සුවපහසු ඇඳට ඉහළින් එල්ලා ඇති ලා පැහැයන් ගෙන් යුතු පින්තාරුවද කාමරයට එක් කර තිබුණේ අපූරු මෙන්ම සැනසිලිදායක සුන්දරත්වයකි.

” වාව්.මාර ලස්සනයි “

කෛලාශ් හට කියවුනි.මන්දාකිණි හඬ නගා සිනාසුනාය.

” අමතක උනාද මං ඉන්ටීරිය interior designer කෙනෙක් කියලා ? ” 

” ඔව් නෙහ් ” 

කෛලාශ් මන්දාකිණි ගේ සිනහවට එකතු වෙමින් සුව පහසු ‍යහන මතින් වාඩි වූයේය.

” ඔය රැක් එකේ තියෙන ටවල් එක යූස් කරන්න. ඒක අලුත් එකක් “

එසේ කියූ මන්දාකිණි හදිසියේ යමක් මතක් වූවා මෙන් කාමරයෙන් පිටව ගොස් නැවත විනාඩි කිහිපයකට පසුව පැමිණියේ ඉතා පිළිවෙලට නවන ලද ඇඳුම් කිහිපයක් අතැතිවය.

” මේ මම ශෙනාල්ට ගෙනාපු , එයා එක දවසක් වත් ඇඳපු නැති අලුත්ම ඇඳුම්. මං හිතන්නේ ඔයාට හරියයි.අද දවසේ මං හින්දා ගොඩක් මහන්සි වුන එකේ හොඳ වොශ් එකක් දාගෙන නිදා ගන්න කෛලාශ් “

මන්දාකිණි ඇඳුම් කිහිපය යහනේ කොනකින් තබා කාමරයෙන් පිට වන්නට දොර අසලට පැමිණ නැවත හැරුනාය.

” කෛලාශ් “

යහනෙන් නැගිට නාන කාමරය වෙතට යන්නට සූදානමින් සිටි කෛලාශ් නතර වූයේය.

” හැමදේටම ඔයාට පින්. ඔයා නොහිටින්න මං අද මොනා කර ගනීද දන්නෑ ” 

කෛලාශ් පිළිතුරක් නොදී සිනහවකින් පමණක් බලා හුන් අතර මන්දාකිණි කාමරයේ දොර වසා ගෙන පිටවූවාය.

බොහෝ වේලාවක් ස්නානය කිරීමෙන් අනතුරුව මන්දාකිණි පැය කිහිපයක හෝ නින්දක් ලබා ගන්නට යහනට වී දෑස් පියා ගන්නා විට අලුයම තුන පසු වී තිබිණි. දෑස් පියා ගත් සැනින් ඇයගේ මතකයට නැඟුණේ කොහේදෝ සිට කලබලයෙන් තමා වෙත පැමිණි ශෙනාල් තමාට කම්මුල් පහරක් එල්ල කළ ආකාරය ය. පියා ගත් දෑස් අතරින් කඳුළු පේලි කිහිපයක් ඇද නිරායාසයෙනි.ඒවාට ගලා යන්නට ඉඩ හැර මන්දාකිණි ඒ ඉරියව්වෙන්ම දෑස් පියාගෙන උන්නාය.

නින්ද තමා වෙත කොයි මොහොතේ පැමිණියා දැයි අදහසක් නොවූ මන්දාකිණි හදිසියේ දෑස් හැර බලන විට කාමරයේ තිර රෙදි අතරින් යන්තමින් යහන මතට හිරු එළිය ගලාවිත් තිබිණි.පසෙක වූ ජංගම දුරකථනය අතට ගෙන බැලූ පසුව එහි වේලාව උදෑසන නමය පසුවී තිබෙනු දුටු නිසා මන්දාකිණි කලබලයෙන් නාන කාමරයට ගොස් යන්තමින් මුහුණ සෝදාගෙන පැමිණ කාමරයේ දොර විවෘත කළාය.

” දෙයියනේ ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here