රමාෂ් ආපසු පැමිණියේ බෑග් කිහිපයක් එල්ලා ගෙනය. ඒවායේ වූයේ විටමින් වර්ග, පෝෂ්‍යදායි පිටි වර්ගයක් හා වටිනාකමින් වැඩි පලතුරු කිහිපයක් හා චීස් බටර් වැනි දෑය.
“මම මේ ටික ඔයාට ගන්න කියලා කිව්වට ඔයා මේව ගන්නේ නෑ කියලා මම දන්නවා. මෙතනින් එළියට බැහැල ගියාට පස්සේ ආපහු ඔයා අර කලින් ඉඳපු දහරම වෙනවා. හිතේ ලොකු ප්‍රශ්න තියෙනකොට අපි කාටවත් සැලසුම් කරපු විදිහට ජීවිතය ගෙවන්න බෑ. දහරා මෙතන මාසෙකට අවශ්‍ය කරන විටමින් වර්ග තියෙනවා. ඔයා අනිවාර්යෙන්ම දරුවා වෙනුවෙන් මේ දේවල් ගන්න ඕනේ. ඒ වගේම මෙන්න මේ පිටි එක. මේක ඔයාගේ ඇඟේ ලේ වැඩෙන්න ගොඩක් උපකාරී වෙනවා. ඒ වගේම නිතර පළතුරු කන එක. චීස් බටර් වගේ දේවල් වැඩිපුර ආහාරයට එකතු කරගන්න එක ගොඩක් හොඳයි.”
“මං මේ දැක්කමයි බෙහෙතුත් දීලා ලෙඩාට කන්න බොන්න අවශ්‍ය කරන දේවලුත් ගෙනත් දෙන ඩොක්ටර්ස්ලා..මං අහන්නේ එහෙම ඩොක්ටර් කෙනෙක් කීයක් විතර වෙයිද…”
නිශාදී එසේ ඇසුවේ කොපුළකට අතක් තබාගෙනය.
“ආ….එතකොට ඔය නෝනට තමයි මේක ගෙනාවේ. මේක සාමාන්‍යයෙන් පාඩම් කරන අය ගන්න විටමින් එකක්. කැම්පස් ගියහම වෙලාවට කන්න අපහසුයි. ගෙදර කන රස පෝෂ්‍යදායි කෑම එක වගේ කෑම එකක් කන්න අපහසුයි. නීදි මරන්න වෙනවා. වෙනදට වඩා මහන්සි වෙන්න වෙනවා. අන්න එතකොට මේ වගේ පෝෂණ අතිරේකයක් ගන්න එක ගොඩක් වැදගත්.”
“හොඳ වෙලාවට අපේ යාළුවා ඩොක්ටර් කෙනෙක් උනේ..දැන් ඉතින් උඹටයි මටයි බෙහෙත් වලින් අඩුපාඩුවක් නැතිවෙයි.”
නිශාදී යළිත් පැවසූයේ දහරාගේත් රමාෂ්ගේත් මුව මත සිනහවක් සටහන් කරමින්ය. එහෙත් මේ සියල්ල සිතට බරක්යැයි දහරාට සිතිණ. ඕ ඒ විටමින් පෙති අඩංගු ඇසුරුම් කිහිපයක් බෑගයෙන් පිටතට ගත්තේ එවේලෙහිය. ඒවා මිල අධික ඒවාය. එකම බෙහෙත් වර්ගය කර්මාන්ත ශාලා කිහිපයකින් නිපදවන බවත් විවිධ මිල ගණන් යටතේ වෙළඳපලට නිකුත් කරන බවත් ඇය අසා තිබිණ..වැඩි මිල වන්නේ ගුණාත්මකභාවයෙන් හොඳ බෙහෙත්යැයි මතයක් වන්නේත් එනිසාය.
“මොනවද හරව හරව බලන්නේ…”
රමාෂ් යළිත් ඇසුවේ සිනහමුසුවය.
“ඔයා හරි වාසනාවන්තයි දහරා. ජීවිතයේ මොන දේ උනත් ඔයත් එක්ක හිට ගන්න ආච්චි, අම්මා, මාමා වගේ අය ලබන්න. ලෝකෙ පෙරලුනත් හිනා වෙන්න දන්න මේ වගේ යාළුවෙක් ලබන්න. ඉතින් කොහොමද ඔයා ඒ අයව අතෑරලා ජීවත් වෙන්නේ. ඔයාව අතෑරලා දැම්මේ එක අතක් නං ඔයාව නැගිට්ටවන්න අත් දහයක් දොළහක් ඔයාගේ පැත්තට දික්වෙලා තියෙනව දහරා. මං ඔයාට මේ වෙලාවේ කියන්නෙ නෑ මනුජිත්ගේ ගෙදරින්වත් මනුජිත්ගෙන්වත් ඈත් වෙලා ජීවත් වෙන්න කියලා. හැම තිස්සේම හිතන්න දහරා ජීවත් වෙන්න වඩා වැදගත් වෙන්නේ මානසික සුවය කියලා. ඔයා මේ වෙලාවේ සටන් කරන්න. කමක් නෑ. ඔයාගේ අයිතිය දරුවාගේ අයිතිය දිනාගන්න ඔයා ඔයා ගැන ප්‍රවේසම් වෙන ගමන් සටන් කරන්න. අපි මේ වෙලාවෙත් ප්‍රාර්ථනා කරනවා ඔයාට ඔයා බලාපොරොත්තු වෙන ඒ දිනුම ලැබෙන්න කියලා. හැබැයි යම්කිසි මොහොතක ඔයාට අතෑරලා දාන්න හිතුනොත් ආපහු හැරෙන්න හිතුනොත් ඔයාව ඉස්සර වගේම ආදරෙන් වැළඳගෙන පිළිගන්න පිරිසක් ඔයාගේ වටේ ඉන්නවා. සාමාන්‍යයෙන් මේ වගේ සිටුවේෂන් එකකදී වෙන්නේ ඕකේ අනිත් පැත්තනේ…”
දහරා හිස වැනුවේ “ඔව්”යැයි පවසන්නටය. ඇයට වඩා දුක සිතෙන්නේත් එනිසාය.
“තාත්තා කෙනෙක් නැතුව දරුවෙක් හදාගන්න එක අමාරුයි තමයි. ඊට වඩා අමාරුයි දහරා තමන්ව අවශ්‍ය නැති තැනක බලෙන් රැඳිලා ඉන්න එක. කාලයත් එක්ක මිනිසුන්ගේ ජීවිතවල ගොඩක් ප්‍රශ්න විසඳෙනවා. සමහර විට මනුජිත්ට මේ වෙලාවේ ඔයා පිළිගන්න අපහසු උනත් කාලයත් එක්ක එයා ඔයාව පිළිගන්න ඉඩ තියෙනවා. හැබැයි දහරා ඒ වෙනකල් අපි සටන් කරන්න ගිහිල්ලා එයාගේ හිතේ අපි ගැන තවත් කේන්තියක් කලකිරීමක් ඇති කරවන්න ඕනෙ නෑ. මේ හැමදේම නැතුව ඔයා දරුවත් එක්ක තනිවුනා කියන්න. ඔයාට පුළුවන් ඔයාගේ අම්ම දිහා බලලා ජීවිතේ හැඩගස්වා ගන්න. මට අපේ අම්මා කියලා තියෙනවා ඒ කාලේ සාම නැන්දව කසාද බඳින්න කීප දෙනෙක්ම ඉදිරිපත් වුණාලු. අපේ තාත්තත් එක වතාවක් මැනින් මාර්කට් එකේ වැඩ කරන එක්සිඩන්ට් එකක් වෙලා එයාගේ වයිෆ් නැති වුණු සල්ලි තියෙන මුදලාලි කෙනෙක් ගැන අම්මට යෝජනාවක් ගෙනාවලු. හැබැයි අම්මා ඔයා වෙනුවෙන් තනි තීරණයක ඉඳලා ජීවිතයේ ඉස්සරහට ඇවිදගෙන ආවලු. වෙන කොහෙන්වත් ආදර්ශ ගන්න අවශ්‍ය නෑ දහරා. සමහරවිට අපේ වීර චරිත ඉන්නේ අපේ ගේ ඇතුලෙමයි. අපේ හිත් ඇතුලෙමයි.”
දහරා ආපසු නිවසට පැමිණියේ රමාෂ් විසින් පැවසූ ඒ සියල්ල සිතෙහි දරාගෙනය. සැබවින්ම සිත කුරුළු පිහාටුවක් සේ සැහැල්ලු සන්සුන්ව තිබිණ. නිවසේ සියලු දොර ජනෙල් වසා දමා තිබුනෙන් මනුජිත්ගේ මව බැහැරව ගොස් ඇතැයි ඈ සිතුවාය. බෑග් කිහිපය මේසය මත තැබූ ඕ ආලින්දයේම අසුන් ගත්තේ වෙහෙසකරවය.
“ඔය ඔක්කොම ගිහිල්ලා කාමරෙන් තියාගනින් හරිද. අර නාකි ගෑනි දැක්කොත් එහෙම එක දවසින් ගිලලා දායි…”
“ත්‍රී රෝද රථයෙන් බසිද්දී නිශාදි පැවසූයේ ඒ අයුරින්ය. ඇගේ වදන් සිහිව දහරාගේ මුවට නැගුනේ සිනහවකි. ඈ එහෙමම දෑස් පියා ගත්තේ ඉස්තෝප්පුවේම වූ හාන්සි පුටුවේ වැතිර ගෙනය. තමා මේ නිවසට ආවේ සැහැල්ලුව සන්සුන්ව ගිය මනසකින් නොවන බව විශ්වාසය. එදත් එකී සිතෙහි තිබුණේ මනුජිත්ව දිනා ගැනීමේ උවමනාවකි. පැතූ ජීවිතය අතහැර දැමූ තමා ලෝබකමකින් කිසිවක් වැළඳ ගැනීමට උත්සාහ නොකරන බව දන්නේ සිත පමණය. මෙවේලෙහි ඇයට වූ එකම වුවමනාවනම් කුසෙහි වැඩෙන දරු පැටියාට තාත්තාගේ අයිතිය ලබාදීමය.
“එයා පුතෙක්…..”
ස්කෑන් පරීක්ෂණය කරද්දී රමාෂ් එසේ පැවසුවා දහරාට මතකය. කඳුලක් දෑස් අග මෝදු වූවා මිස අමුතු සතුටක් ඇයට දැනුනේ නැත. කුසයේ හිඳිමින් මේ දඟ කරන්නේ පුතෙකු බව දහරා විශ්වාසයෙන්ම සිතුවාය.
මනුජිත්ගේ මව ආලින්දයට පැමිණ උගුර පෑදුවේ නින්දත් නොනින්දත් අතර සිටි දහරාව තිගස්සවමින්ය.
“අම්මේ…”
කිසිවක් නොකියූ ශ්‍රියාලතා අත්බෑගයෙහි වූ යතුර ගෙන දොර හැර දැමුවාය.
“අම්මේ චුට්ටක් ඉන්න…..”
පුටුවෙන් නැගී සිටි දහරා එසේ පැවසූයේ අඩියක් පෙරට තබමින්ය. ශ්‍රියාලතා පසුපස හැරුනේ දෑස් විසල් කරගෙනය.
“අම්මා එයා පුතෙක්ලු…..”
එසේ පවසද්දීත් දහරාගේ හඬ බිඳී යමින් තිබිණ. දෑස් ලොකු කරගෙන ඇගේ කේෂාන්තයේ සිට පාදාන්තය දක්වාම බැල්මක් හෙලූ ශ්‍රියාලතා අඩියට දෙකට ඇවිදගෙන ගියේ මුළුතැන් ගෙයටය. ඉන්පසු ගුරුලේත්තුවෙන් පුරවා ගත් වතුර වීදුරුව එක හුස්මට පානය කළාය. දහරාගේ කාමරය දෙසින් ඇගේ දුරකථනය නාදවන හඬ ශ්‍රියාලතාට ඇසුණේ එවේලෙහිය. ඕ තම කාමරයට රිංගා ගත්තේ ඒ අවසරයෙන්ය.
*************
තමා සොහොයුරාව බලන්නට යනවායැයි පැවසූ නිසා අම්මා විසින් හතර පස් දෙනෙකුට සෑහෙන අයුරේ බත් මුලක් සකසා දුන්නාය.
“එහෙම තනියම යන්න ඕනෙ නෑ අක්කේ ඉදහන් මමත් ලෑස්ති වෙලා එන්නම්.”
එසේ පැවසූ අසල්වැසි නිවසක තරුණයා ඩෙනිම් කලිසමකිනුත් සුදු පැහැ කමිසයකිනුත් සැරසී යළි සාමාගේ නිවසට පැමිණියේ ඒහදිසියේමය.
“මට ඇතුලට යන්න ඕනෙ නෑ අක්කේ. ඒ උනාට උඹත් එක්ක මං ගේට්ටුව ලඟට වෙනකම්ම එන්නම්.”
ඔහු තවදුරටත් පැවසූයේ රීටා පුරවා ගෙන විදුන් වතුර බෝතලය තම දෑතින් අල්ලාගෙනය. සාමා සකස් කරගත් කුඩා බෑගය තුළ තවත් ආහාර වර්ග කිහිපයක් විය.
“උන් ඕව ඇතුලෙදි බෙදාගෙනනේ බං කනව ඇත්තේ….”
යැයි පැවසූ රීටා අසල කඩයකින් ග්‍රෑම් පන්සීයේ චොක්ලට් බිස්කට් පැකට්ටුවකුත් ගෙනවිත් දුන්නාය.
සොහොයුරා සිටියේ කුඩා දැලක් එහා පසය. ඔහු වෙනුවෙන් ගෙන ආ සියල්ල බාරගත්තේ ජේලර්වරයෙකි. සාමා දුටු හැටියේම එතන වූ ඝෝෂාව මැදත් ඔහු කඩා පැන්නේ කුමකට මෙහි පැමිණියාදැයි අසමින්ය. දැල එහාපස රැඳවියන් කිහිප දෙනෙකුත් මෙහාපස ඔවුන්ව බැලීමට ආ කිහිප දෙනෙකුත් වූ නිසා එකිනෙකා කතා කරන වදන් පැහැදිලිව නොඇසුණු තරම්ය.
“ආයෙ එන්න ඕන නෑ..දැන් යන්න අක්කේ…”යැයි ඒ විනාඩි කිහිපය අතරතුරත් ඔහු කිහිප වරක්ම පැවසුවේය.
“කෙල්ල බලන්න යනවා නේද. මාව බලන්න නාවට කමක් නෑ. කෙල්ල බලන්න නිතරම යන්න. මේක කලේ කවුද කියලා මට එහෙන් මෙහෙන් හෝඩුවාවක් ලැබුණා. එළියට ආවට පස්සේ මං ඒක බලාගන්නම්. අක්කේ..පුළුවන් හැම වෙලාවකම කෙල්ලට කතා කරන්න. මනුජිත් කොහොමද දැන්”
“ඔෆිස් එකේ වැඩකට ඩුබායිවලට ගිහිල්ලා. එන්න අවුරුදු එකහමාරක් විතර යයිලු.”
“චූටි මිස් කැමතිනම් ගෙදර එක්කරගෙන ආවනම් හරි”
“අපිට එහෙම තීරණයක් ගන්න බෑනේ මල්ලි. මනුජිත් මොනවා කියලා ගියාද දන්නෙ නෑනේ. අනිත් එක ඒ දෙමව්පියෝ ඉඳිද්දි අපි එහෙම එක්කන් එන එකත් ගැටළුවක් වෙයිද දන්නෙ නෑ.”
“ඒ කොහොම උත් කමක් නෑ කෙල්ලව තනි කරන්න එපා…”
ඔහු මගින් මගටම පැවසූයේ එපමණකි. කොහොමත් සාමා අද දින නිවාඩු දැමුවේ හෙට ඉරිදා දිනයක් වූ නිසාය. අද සොහොයුරා බලන්නටත් හෙට දියණියව බලන්නටත් යාමට ඈ සිතා සිටියාය. ගෙවී ගිය මාසයක් පමණ තරම් වූ කාලයට සොහොයුරා සිරුරෙන් වැහැරී ගොස් සිටියේය. සමහරුන් එහි හැසිරුණේ හුරු පුරුදු අයවලුන් සේය. තමා දෙස උවමනාවෙන් බැලූ ජේලර්වරු කිහිප දෙනෙකුම පසුකරගෙන ආ සාමා අසල්වැසි තරුණයා අසලට ගියේ දෑස්වල වූ කඳුළු පිස දා ගනිමින්ය.
(යළිත් හමුවෙමු ආදරයෙන්)


