මතකයක සේයා – 32

0
2203

කෛලාශ් නිවසට පැමිණියේ උදෑසන 11ට පමණය. තමා විසින් සූදානම් කරන ලද උදෑසන ආහාරයද ගෙන මන්දාකිණි තවත් පැයක් පමණ නිවසේ රැඳී සිට කාර්යාලයට ගියේ වෙනදාට වඩා සැහැල්ලු සිතින් යැයි සිතමින් කෛලාශ් නිවසට ඇතුළු වූයේය.

” අම්මයි තාත්තයි ඉන්න ගෙදරින් ආවට පස්සේ  කවුරුහරි මට මේ කෑමක් හැදුවමයි “

තමා විසින් සකස් කරන ලද බිත්තර ඔම්ලට්,ටෝස්ට් කරන ලද පාන් සහ කෝපි සහිත උදෑසන ආහාර මේසය දුටු සැණින් මන්දාකිණි බොහෝ පුදුමයට පත් වූ ආකාරය කෛලාශ් සිහිපත් කළේ පෙර දින රාත්‍රියේදී නිවසට නොපැමිණීමට හේතුව නැවත සේපාල හට විස්තර කර නිවසේ උඩුමහලේ පිහිටි නිදන කාමරයට පැමිණි පසුවය.

නීතිඥවරයා ගෙන් මන්දාකිණි හට දුරකථන ඇමතුමක් ලැබුණේ දහවල් එකට පමණය.මන්දාකිණි උන්නේ උදෑසන සිටම එම දුරකථන ඇමතුම බලාපොරොත්තුවෙනි.

” මිනිහව තව දවස් දාහතරකට ඇතුලට දැම්මා මැඩම් උසාවියෙන් “

නීතිඥවරයා අතිශය සතුටෙන් එම පුවත මන්දාකිණි හට ලබා දුන්නත් මන්දාකිණි හට ඉන් අනතුරුව දැනුනේ සංවේගයකි. තමා නිසා සිර භාරයට පත්ව සිටින්නේ තමා ආදරය කළ පුද්ගලයා ය.එකම වහලක් යට තමා හා ජීවිතය බෙදා ගත් ආදරණීයා ය.එහෙත් ඔහු විසින් එම බැඳීමට කිසිදු ගෞරවයක් නොතැබූ තැන තමා හටද කළ හැක්කක් නොමැති බව මන්දාකිණි සිතුවේ ශෝකයෙනි.

” කොහොමත් මිනිහට ලේසියෙන් ගැලවෙන්න වෙන්නෙ නෑ මැඩම්. හොටෙල් එකෙනුත් මිනිහට විරුද්ධව ඇන්ට්‍රි එකක් දාලානේ තියෙන්නේ “

ශෙනාල් මෙවර හෝ ජීවිතය පිළිබඳව බරපතළ පාඩමක් ඉගෙන ගනු ඇත. ඒ කෙසේ වෙතත් තමා මේ මොහොතේ කල යුත්තේ කිසිසේත්ම ඔහුට තම ජීවිතයේ නැවත ඉඩක් ලබා නොදීමය. මෙතරම් කාලයක් පැවතුණු බැඳීමක් වුවද එකම මඟක යා නොහැකි නම් කළ යුත්තේ මග නතර වීමය.

” ඊළඟට මොකද්ද කරන්න ඕනේ කියලා බලලා මම මැඩම්ට කියන්නම් ” 

නීතිඥවරයා දුරකථන ඇමතුම අවසන් කළ පසු මන්දාකිණි ට දැනුනේ දෙගිඩියාවකි. එහෙත් තමා විසින් නොකළ වැරදි වලට තමා ආදරය කරන පුද්ගලයාගෙන් අතින් වත් තමා හිංසනයට ලක් විය යුතු නැත. අනෙක් අතට ස්වාධීන ගැහැණියක වූ තමා එවැනි පීඩනයක් සහිත ජීවිතයක් ගෙවිය යුතුද නැත.

දුරකථනය අතේ තබා ගෙන මන්දාකිණි බොහෝ වේලාවක් කල්පනා කළාය. සමහර විට ශෙනාල් නිදහස් වී නැවත පැමිණි පසුව තමා ගෙන් පළිගැනීමට බොහෝ සේ ඉඩ කඩ ඇත. සිර දඬුවම් විඳීමට සිදු වීම සහ නිවසින් නික්ම යාමට සිදු වන නිසා ඔහු තමා කෙරෙහි තවත් වෛර බඳිනු ද ඇත.මේවා සියල්ලම ඉදිරි දින කිහිපය ඇතුළත දී තමාට මුහුණ දීමට සිදු වන අභියෝගයන් ය.

මන්දාකිණි ගේ සිතුවිලි බිඳ වැටුණේ දුරකථනය නාද වන හඬිනි.ඇමතුම පැමිණෙමින් තිබුණේ කෛලාශ් ගෙනි.

” කියන්න කෛලාශ් “

මන්දාකිණි ගේ හඬෙහි ඇති පසුගාමී බව කෛලාශ් හඳුනා ගත්තේ ඒ මොහොතේදීමය.

” මොකක් හරි අවුලක්ද මන්දාකිණි? ” 

නීතිඥවරයා ගෙන් පැමිණි ඇමතුම පිළිබඳව මන්දාකිණි කෛලාශ් සමග පැවසුවේ ඒ වන තුරුත් පහව ගොස් නොතිබූ දෙගිඩියාවෙනි.

” ඕක ශෙනාල් ට විතරක් නෙමෙයි මන්දාකිණි.ඔය වගේ වැරදි කරන කාට වුණත් හම්බ වෙන දඬුවමක්.ඒ නිසා ඔයා ඒක ගැන අමුතුවෙන් වද වෙන්න ඕනේ නැහැ.ශෙනාල් එළියට ආවත් එන්න වෙන්නේ ඇප පිට නේ.එහෙම එකේ එයාට ආපහු ඔයාට අතක් වත් තියන්න බැහැ.මේ කේස් එක විසදුනාට පස්සේ එක්කෝ එයාට ඇවිල්ලා එයාගේ බඩු ටික අරන් යන්න කියන්න.නැත්තං ඔයා එයාගේ බඩු ටික පැක් කරලා එයා ඉන්න තැනකට යවන්න “

කෛලාශ් කීවේ ඉදිරි කටයුතු සිදු විය යුතු හොඳම ආකාරය පිළිබඳවය.එහෙත් මන්දාකිණි කිසිවක් නොකියා ඔහේ බලා උන්නාය.

” ඔයා දැන් අරන් තියෙන තීරණේ කිසිම හේතුවක් නිසා වෙනස් කරන්න එපා. ශෙනාල් කියන්නේ කොහොම මනුස්සයෙක්ද කියලා ඔයාගේ ඇස් ඉස්සරහම ඔප්පු වෙලා තියෙද්දි ඔයා ආපහු ඒ මනුස්සයට එක අවස්ථාවක් හරි දෙන්න හිතනව නම් ඒක ඔයා ඔයාටම කර ගන්න අපරාධයක් මන්දාකිණි.ඊට වැඩිය හොඳයි ඔයා ඔයාගේම බෙල්ල කපාගන්නවා “

කෛලාශ් ගේ ස්වරයේ එවර තිබුණේ තරමක දැඩි බවකි.ඒ ඔහු තුළ තමා කෙරෙහි තිබෙන ලෙන්ගතුකම නිසා බව වටහා ගන්නට මන්දාකිණි හට අපහසු වූයේ නැත.

” මම දැන් හොටෙල් එකට යනවා මන්දාකිණි.මොකක් හරි උවමනාවක් වුනොත් ටක්ගාලා මට කෝල් කරන්න “

” මාත් දැන් බෑන්ක් එකට යනවා කෛලාශ්.මීනූ හොටෙල් එකේ ඉන්නේ. මොනවා හරි තිබුණොත් එයාට කියන්න “

මන්දාකිණි දුරකථන ඇමතුම අවසන් කර දුරකථනයත්, අත් බෑගයත්, වාහනයේ යතුරත් ගෙන බැංකුවට යාම සඳහා පිටත් වන්නට සිතමින් කාර්යාල කාමරයේ දොර වසා කොරිඩෝව දිගේ පැමිණ ලොබිය පසු කර ආයතනයේ ප්‍රධාන දොරටුව විවෘත කළාය. මැදි වියේ පසු වූ යුවළක් ආයතනය දෙසට පැමිණෙන ආකාරයත් ,තමාව දුටු පසුව මුහුණින් මුහුණ බලා ගෙන යමක් පවසා ගන්නා ආකාරයත් දුටු මන්දාකිණි මොහොතකට එතනම නතර වූවාය.

” අපිට මන්දාකිණි ව හම්බ වෙන්න පුළුවන්ද?”

ආයතනයේ ප්‍රධාන දොරටුව අසලට පැමිණි මැදි වියේ කාන්තාව මන්දාකිණි ගෙන් විමසා සිටියේ තරමක් තදිනි. මේ ශෙනාල් ගෙ දෙමව්පියන් විය හැකි බව මන්දාකිණි අනුමාන කළේ කාන්තාව ගේ මුහුණුවරෙනි.

” ඇතුළට එන්න ” 

මන්දාකිණි ගැහෙන හදවතින් යුතුව ඔවුන් දෙදෙනාට ආයතනය තුළට ආරාධනා කර නැවත කොරිඩෝව හරහා පැමිණ කාර්යාල කාමරයට ඇතුළු වූවාය.මැදිවියේ යුවළද ඇය පසුපසස පැමිණ කාර්යාල කාමරයට ඇතුළු වී මන්දාකිණි දෙස බලා උන්නෝය.

” වාඩි වෙන්න. මම තමයි මන්දාකිණි “

මන්දාකිණි සන්සුන් වන්නට වෙර දරමින් පවසා තම අසුනින් අසුන් ගත්තාය. මැදිවියේ යුවළ නැවතත් මුහුණින් මුහුණ බලා මන්දාකිණිට මුහුණලා අසුන් ගත්තේ දිගු කතාවකට මුල පුරමිනි.

” අපේ ළමයව හිරේ යවලා මොකක්ද ඔයා බලාපොරොත්තු වෙන්නේ ? ” 

පළමුවෙන්ම හඬ අවදි කළේ ශෙනාල් ගේ මවය.ශෙනාල් ගේ පියා,මව ගේ අතින් අල්ලා සන්සුන් වන ලෙස ඉඟියකින් පැවසුවද ඇය මෙල්ල වන පාටක් පෙනෙන්නට තිබුණේ නැත.

” හිරේ යන්න තරම් අපේ ළමයා වරදක් කරලා නැහැ. මගේ ළමයට එච්චර දෙයක් කරලා තමුන් කොහොමද මෙහෙට වෙලා හොඳට ඉන්නේ ? ” 

මන්දාකිණි ඇය වෙතින් දුටුවේ ශෙනාල් කෝපයට පත් වන විට ඔහු තුළින් දකින්නට ඇති ඉරියව්ම ය. එසේ නම් ඔහු ගේ හැසිරීම සහ ක්‍රියා කලාපය පිළිබඳව තමා අමුතුවෙන් පුදුම විය යුතු නැත.

” මේ.. අපේ ළමයට මෙහෙම දෙයක් වුණා කියලා එයාගේ ලෝයර් යාලුවෙක්ට කියලා තියෙනවා.ඒ ළමයා අපි දන්න ළමයෙක්. එයා තමයි අපිට පණිවිඩය දුන්නේ “

ශෙනාල් ගේ පියා තරමක් පහත් හඬින් පැවසුවේය. මන්දාකිණි තුළ නැගී තිබුණු චකිතය තරමක් හෝ පහව ගියේ පියා ගේ හැසිරීම දුටු පසුවය.

” මේකයි තාත්තා. ඔයාලා දන්නවා ඇති නේ එයා හිටියේ මාත් එක්ක මගේ ගෙදර කියලා. ගේ ඇතුළෙ මොන දේවල් උනත් මං හැමදාම ඒවා ඉවස ගෙන හිටියා.ඒත් ඊයෙ වෙච්ච දේ උනේ ගෙදරදී නෙමෙයි.පිට තැනකදී.ඉතින් මටත් වෙන කරන්න දෙයක් තිබුණෙ නැහැ “

මන්දාකිණි හැකි තාක් සන්සුන්ව පෙර දිනයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම පැහැදිලි කරන්නට උත්සාහයක් දරමින් උන්නාය.

” කරන්න දෙයක් තිබ්බෙ නෑ කියලා මගේ ළමයාව හිරේ යවලා හරි යනවද? අනිත් එක ඔය දෙන්න කසාද බැඳලා වගේ ජීවත් උනේ අපෙන් අහල නෙමෙයිනේ.ඒ නිසා ගෙදර ප්‍රශ්න ඒ විදිහට විසඳ ගන්න දැන ගන්න ඕනේ ගෑනු උනාම “

ශෙනාල් ගේ මව තරමක් උස් හඬින් පැවසූ අතර ශෙනාල් ගේ පියා නැවත ඇගේ කතාව නවතා දමා අසුනේ මදක් ඉදිරියට වී මේසය මත දෑත් තබා ගත්තේය.

“ඔය දෙන්නා එකට ජීවත් උනා කියන්න අපි දන්නවා. පුතා අපිට ඒ ගැන කියලා තියෙනවා. එයා කියන දෙයක් මිසක් වෙන දෙයක් අපි දන්නේ නෑනේ ළමයෝ. ඒත් ඉතිං අපේ ළමයව මෙහෙම හිර කූඩුවේ දාන්න වටිනවද ? ” 

මන්දාකිණි හදවතේ කොනක යටපත් කරගෙන සිටි කෝපය පිට පැන්නේ ඒ මොහොතේදීය.

” එතකොට තාත්තා කියන්නේ එයා දෙනෝ දාහක් ඉස්සරහ පිට තැනක මගේ කම්මුලට ගහපු එක හරි කියලද ? ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here