මේධා අනගි ගේ හිස කේ වල තෙත පිහිදුවා ය. වයසින් ද ශරීර වර්ධනය ද අතින් තරුණියක වූව ද, මානසික ක්‍රියාකාරිත්වයෙහි හා ඒ නිසා ම ශරීර ක්‍රියාකාරකම් හි වෙනස්කම් ඇගෙන් දැකිය හැකි ය. දියණියට තමන්ගේ වැඩ ටික හෝ කරගත හැකි තරමට පුහුණුවක් ලබා දීම, ඇය විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු වීමේ හද දුක වින්දාට පස්සේ මේධා ගේ ලොකු ම බලාපොරොත්තුව විය. එනිසා ඕ තොමෝ වසර ගණනාවක් ම අනගි ව විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් වෙන් වූ පාසලකට කැටිව ගියා ය. යම් කිසි පුහුණුවක් එහි දී ලබා දෙන්නට හැකි වී ද එය සම්පූර්ණයෙන් හිත නිදහස් කරගැනීමට තරම් වෙනසක් කළේ නැත. ගහේ ගෙඩි ගහට බර වැඩි නැත ය යන දහම ට අනුව මේධා දියණිය රැක බලා ගන්නී ය. නමුත් ඇගේ අනාගතය කෙසේ සැකසේවි ද කියා හිතත්දීත් අම්මා වශයෙන් නිම් නැති සංවේගයක් දැනේ.
‘දවසක අපි දෙන්නම ගිහින් අනාථ නිවාසෙක නතර වෙමු. මට ජීවත් වෙනකල් එතන වැඩක් පලක් කරං ඉන්න පුළුවන්. මං නැතත් එහෙම තැනක ඔයාව බලාගනීනෙ’
පෙර කිසි දාක නො දැනුණු අනාථ හැඟීමකින් මේධා මිමිණුවා ය. අනගි නො දැරියක සේ සිනහ වෙමින් මුහුණේ පව්ඩර් උලාගත්තා ය.
‘මං ඔයාව බලාගන්නව’
‘මට ඒ වචනෙත් ඇති මැණික’
මේධා දියණියගේ හිස පිරිමැද්දා ය. විසල් හදාගෙන කෙසේ හෝ ජීවත් වන්නට රැගෙන තිබි තීරණය මත පිහිටා ඉන්නට හැකි වී නම් අනගි කෙනෙකු මෙලොවට බිහි වන්නේ නැත. එහෙනම් සේනක කෙනෙකු ද මේධා ගේ ලෝකයට එන්නේ නැත. නමුත් තමන්ට ම වුව තමන්ගේ ජීවිතය ගැන තීරණ ගන්නට අසීරු අවස්ථා උදා විය හැකි බැව් මේධා තරම් හොඳින් වෙන කවුරු නම් දනිත් ද? හතුරෙකුවත් ඒ තරම් ජීවිතයෙහි අසරණ නො විය යුතු යයි ඇය නිතර ම ප්‍රාර්ථනා කරන්නේ එබැවිනි.
මහ ගෙදරින් නික්ම ගොස් පිහිට පැතූ ඥාති නිවසෙහි මේධා ගේ හිසට වහළක් ලැබුණු බැව් ඇත්තකි. නමුත් විසල් බිහි වූවාට පස්සේ පවුලක් වශයෙන් ඔවුන් දෙදෙනෙකු සිය ගෙදර ම රඳවා ගැනීමට ඥාතිවරයාගේ බිරිඳ කැමති වූයේ නැත.
‘මොකද්ද දරුවො ඉතිං කරන්නෙ… ඔය ළමය කොහෙද යන්නෙ… මන්නං හිතන්නෙ ආයෙ ගෙදර යන එක තමයි හොඳ’
පිය පාර්ශවයේ ඥාතිවරයා තුළ මේධා ගැන යම් අනුකම්පාවක් වී ද බිරිඳට ඉහළින් තීරණ ගැනීමේ හැකියාවක් ඔහු ට වූයේ නැත.
‘අනේ මාමෙ මට ආයෙ ගෙදර යන්න බෑ. ගියාට අම්මල මාව බාරගන්නෙත් නෑ මේ දරුව එක්ක. රස්සාවක්වත් හොයාගත්තොත් මට කොහොමහරි ජීවත් වෙන්න පුළුවන් මාමෙ. පුළුවන්නං ලොකු පිණක්… මට රස්සාවක්…’
‘මේධා පිස්සුද ළමයො… එතකොට අර පොඩි එකාව බලාගන්නෙ කව්ද…’
ඒ වෙලාවේ ඇස් වලට ඉණූ කඳුළු, හිතට දැනුණු අසරණකම, මේ දැනුත් දැනෙන්නා සේ ය. මේ වැටුණු තැනින් නැගිටගන්නේ කෙසේදැයි ඇයට සිතාගත හැකි වූයේ නැත.
‘නැන්දගෙ වැඩ වලට ඔයා ඉන්න පිටිපස්සෙ කාමරේ ඕනලු. මේධා කැමතිනං තව ටික දවසක් ඉන්න අර ගැරේජ් කෑල්ල අස්කරගන්න. අනේ මන්දා ළමයො මේව මේ අපේ පවුලෙ ප්‍රශ්න ඇති වෙන වැඩ’
‘කමන්නෑ මාමෙ. මං ඒක අස් කරගන්නං’
ඒ වෙලාවේ ඇගේ අරමුණ වූයේ ජීවිතය තව දිනකින් හෝ ඉදිරියට දමාගැනීම පමණකි. අත දරුවෙකු සමගින් අතේ සතයකුදු නොමැතිව පාරට බහින්නේ කොහොම ද?
ගරාජයේ පදිංචි වූවාට පස්සේ මේධා ඒ ගෙදර නිල නොලත් මෙහෙකාරිය ම වූවා ය. විසල් ට වසරක් දෙකක් සම්පූර්ණ වෙත්දී හෝ ඔහු ඒ ගෙදර දමා රැකියාවකට යන්නට ඥාති මාමා ගේ බිරිඳ ඉඩ දුන්නේ නැත. මේධා ට තිබූ ලොකු ම දුර්වලකම විසල් වූයේ ය. ඥාතිවරයාගේ හිතට මේධා හා දරුවා එන්න එන්න ම බරක් වෙමින් තිබිණ. ඔහු ට තිබුණේ දරුවෙකු සමගින් ඇය දොට්ට දමන්නට බැරිකමයි. මේධා නිසාවෙන් බිරිඳ නිතර ප්‍රශ්න ඇති කරමින් ද සිටියෙන් ඔහු ඈ වෙත විවාහ යෝජනා ගෙන එන්නට වූයේ ය.
‘අනේ මට වෙන කෙනෙක්ව බඳින්න ඕන්නෑ මාමෙ’
කියමින් ඈ ඒ යෝජනා වලින් වහං වෙමින් ටික කාලයක් සිටියා ය.
‘තවත්නං මට මේක කරන්න බෑ ළමයො. ඔයා කාව හරි කසාද බැඳල පිළිවෙළක් වෙන්න ඕනෙ. මට හැමදාම ඔයාගෙ වගකීම ගන්න බෑනෙ’
අවසන ඔහු තදින් අවධාරණය කළේ ය. අවනත වීම හැරෙන්නට මේධා ට වෙන විකල්පයක් වූයේ නැත. ඇගේ කෙනෙකු යයි කියන්නට ඒ තරමට හෝ ඇයට සිටියේ ඔහු පමණක් වන බැවිනි. තව දුරටත් මුරණ්ඩු එකියක සේ ඔහු ට අකීකරු විය හැකි තත්වයක් නො තිබිණි. අවසන එකී ඥාතිවරයාගේ සේවා ස්ථානයේ රියදුරෙකු ලෙස රැකියාව කළ සේනක සමගින් විවාහ වන්නට මේධා කැමැත්ත දුන්නේ ඔහුව දකින්නේ හෝ නැතිවයි.
ඔහු ඇයට වැඩියෙන් වසර විස්සක් වැඩිමහල් වූයේ ය. වයස විසි හතරේ දී මේධා විවාහ වූයේ හතළිස් හතරක් වන, වයස දහ හතක් හා දහ සයක් වූ දියණියන් දෙදෙනෙකු සිටිනා දික්කසාදිත පුරුෂයෙකු සමගයි. වයසට වැඩි තරබාරු පෙනුමක් තිබූ ඔහු ට තඩි බඩ ගෙඩියක් විය. යන්තමින් තට්ටය ද පෑදීගෙන එමින් තිබුණේ ය.
‘ඩ්‍රයිවර් රස්සාවක් තියන නිසා දෙයියනේ කියල කරදරයක් නැතුව කාල බීල ඉන්න පුළුවන්. කලින් කසාදෙ ළමයි දෙන්න ඉන්නෙ අම්ම එක්කලු. මෙයා එක්ක ලොකුවට සම්බන්දයක් නැතිලු. ඒක නිසා මේදාට කරදරයක් නෑනෙ. කොහොමත් ඉතින් ළමයෙක් එක්ක කරගන්න වෙන්නෙ ඔය වගේ කසාදයක් තමයි’
මේධා ඒ සියල්ල අසා සිටියා ය. ඈ සිය ජීවිතය පාවා දෙන්නේ කාට වුණත් ඇයට ඒ ගැන වගක් වූයේ නැත. හදවතේ රාජිත ඉන්නා තැනට එන්නට නොව හිතන්නටවත් සේනක කියන්නේ කවුරුන් ද? නමුත් ඔහු කවුරුන් වුණත් දරුවා ද සමගින් ඇය බාර ගන්නට කැමති වූයේ ය. ඈ පෙම් කළ රජ කුමාරයා ඇයට නො දන්වා ම මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු ගේ දියණිය සරණ පාවාගෙන සිටියේ ය!
ලොකු සුසුමකින් නිදහස් වූ මේධා ළිප ගිනි මෙළවූවා ය. විසල් රෑ වෙන්නට පෙර ගෙදර එතැයි බලාපොරොත්තුවෙන් ඕ වරින් වර පෙර මග බැලූ මුත් ඔහු පැමිණියේ නැත. හදවත පාළුයි වගේ ඇයට දැනේ. ඔහු ට දැන් අම්මා සිහි වන්නේ නැති ද? කුස්සියට වී ඔහුත් එක්ක වාඩියේ අයට බත් ඉවූ දින ටික කෙතරම් ලස්සන දැයි ඇයට සිතේ. ඈ බලා සිටියේ ඔහු ලොකු මහත්මයෙකු වෙනතුරු ය. ඒ ලොකු මහත්තයා යනු ඇයට හිමිකම් නැති කෙනෙක් ද?
මේ ටිකේ ම හරි හැටි කෑමක් නොවූ නිසා, රෑට බත පිස නො තිබුණොත් අද නම් සේනක ලොකු අඩව්වක් අල්ලන බව නො අනුමාන ය. පුරා වසර විසි පහක් තිස්සේ ඇගේ හද ගැබ තුළ ඇවිළෙනා ගින්න නිවෙන්නට නියමිත නැතිදැයි මේධා සිතුවේ මඳ සිනහවකිනි. ඒ සිනහව, එකී කාලය පුරා ම ඈ පැළඳ සිටි වෙස් මුහුණයි!
විසල් ට හවස ගෙදර එන්නට නො දුන්නේ සව්මියයි. ඔහු එන්න හදත්දී සිඟිත්තා හැඬුම්බර වූයේ ය. සව්මිය එදා පෙර පාසලේ සිට ගෙදර පැමිණ තිබුණේ සෙම්ප්‍රතිශ්‍යා ලක්ෂණ සහිතව ය. යන්තමින් ඔහු ගේ ඇඟ රත්වී තිබීම නිසා පැනඩෝල් සිරප් දුන් බවත් ජාන්වී කීවා ය. අපහසුවෙන් සිටින දරුවා හඬවා ගෙදර යන්නට විසල් ට සිත් දුන්නේ නැත.
‘අයියට මං කිව්ව ඔයා ගැන’
ජාන්වී බෝ වෙලාවක් තිස්සේ හිතේ තිබුණ රහස එළියට දැමුවා ය. විසල් තුළ යම් ගැස්මක් ඇති නො වූවා ම නොවේ.
‘නැත්තං අර ප්‍රපෝස් කරන්න ඉන්න මනුස්සය කොයි වෙලාවෙ හරි ගේට් එක ළඟටම ඇවිත් හෝන් කරයි’
‘අයිය මොකද කිව්වෙ…’
‘එයා තාත්ත එක්ක කතාකරන්නං කිව්ව’
‘ඊළඟ බෝම්බෙ පත්තු වෙන්න නියමිත හෙට අනිද්දටද දන්නෑ’
ඔහු මුවගින් සිනහවක් පෑවේ ය. ජාන්වී අහිංසක ලෙස බිම බලාගත්තා ය.
‘ලෝක යුද්ධයක් වුණත් දැන් ඉතින් මොනා කරන්නද…’
විසල් සන්සුන් දෑසකින් ජාන්වී දෙස තත්පර කිහිපයක් බලා සිටියේ ය.
‘පිච්චෙනව කියල දැන දැන… පළඟැටියෙක් වගේ…ඔයා විහින්මයිනෙ මේ ගිනි ගොඩට පැන්නෙ ඉතිං’
සිය ගෙල බදා උරහිසෙහි හිස හොවා හිඳිනා සව්මිය උකුලට ගනිමින් විසල් අසුනකට බර වූයේ ය. ජාන්වී සව්මිය ගේ නළලත පිටිඅත්ල තබා බැලුවා ය.
‘සමහර ගමන් එහෙම තමයි ඉතිං’
විසල් සුසුමකින් අරඹා කතාකළේ ය.
‘ලේසි පාරවල් තියෙද්දි මිනිස්සු සමහර ගමන් අමාරු දුර පාරවල් වලින් යන්නෙ… අමාරු වුණාට ඒ ගමනාන්ත වැඩියෙන් වටින නිසානෙ’
‘එදා ඇයි මට ඒ බෝ පැළේ ඕනවුණේ කියල මං තාමත් හිතනව’
‘ඔයා ඒ ගැන පසුතැවෙනවද…’
‘මගෙ ජීවිතේ හොඳම ලැබීම තමයි ඔයාගෙ උකුලෙ මේ ඉන්නෙ විසල්… ඊට පස්සෙ මගෙ ජීවිතේ හොඳම හමුවීම තමයි ඔයා. ඔයාගෙ අම්ම දුකෙන් නොවුණනං… අද මං මීටත් වැඩිය සතුටකින් සැනසිල්ලකින් ඉන්න තිබුණ. මට තියන ලොකු ම දුක මං නිසා ඔයාගෙයි අම්මගෙයි බැඳීමට පළුද්දක් වුණාද කියන එක’
ශෝක දීප්තියක් ඇගේ දෑස් හි දිස්න දුන්නේ ය. ඔහු වැඩියෙන් ම ආදරය කරන ගැහැනුන් දෙදෙනා ම ඔහු දෙපැත්තේ සිට අද එක ම හේතුවක් මත සංවේගයක් අත්විඳිනා බව සිහි වන විටත් ඔහුගෙන් සුසුමක් ගිලිහිණි.
‘අම්ම බලං ඉන්න ඇති හවස ඔයා එයි කියල’
‘මෙයා අඬද්දි යන්න බෑනෙ අප්ප’
නමුත් විසල් තුළින් පශ්චත්තාපයක් හෝ සංවේගයක් නැගී ආවේ ය. මීට පෙර නම් මොන හේතුවක් මත වී ද ඔහු අම්මා සනසා මිස අඩියක් පස්සට ගන්නේ නැත. නමුත් දැන් ජාන්වී ළඟට පැමිණි විට ගෙදර යන්නට හිත පසුබායි. ඔහු කැමැත්තෙන් ම සව්මිය නිදහසට කාරණය බවට පත් කරගන්නවා නොවේ ද?
රෑ බෝ වී අවන්හලේ සිට ගෙදර යන විට මේධා දොරකඩ පඩිය මත හිඳ අඳුර දෙස බලා සිටියා ය.
‘අපරාදෙනෙ අම්ම ඇහැරිල හිටියෙ. නිදියන්න තිබුණනෙ’
පපුව යටින් මතු වූ පසුතැවීමක් අතරින් ඔහු උගුර යටින් කියාගත්තේ ය. මේධා නිහඬව ම දොර වසා දමා මොහොතක් පුතු දෙස බලා සිටියා ය. ඊලඟට මුණිවතින් ම කාමරයට ගියා ය.
දැන් දැන් ඔහු ට අම්මාව මගහැරෙනා බව විසල් ගේ යටි හිත දනී. අකමැත්තෙන් මුත් ඔහු ට එය පිළිගන්නට සිදු වේ. ජීවිතයේ එක යුගයක දී පුතුන් ට අම්මලා මගහැරී යන්නේ ද? ඔවුන් ගේ ජීවිත වල අම්මලා හිටි තැන් වලට, ඔවුන් හෝ නො දැන වෙනත් ආදේශක පැමිණෙන්නේ ද?


