මතකයක සේයා – 36

0
633

වසර ගණනාවක් මුළුල්ලේ ආදරය කළ තරුණයා මින් ඉදිරියට තම නිවසේ නොසිටින හැඟීම දරා ගනිමින් මන්දාකිණි මහා පවුරක් සේ නොසැලී ඉන්නට උත්සාහ ගත්තාය. ජීවිතය වෙත බොහෝ අවාසනාවන්ත සිදුවීම් අත් කර දුන් බැඳීම පසෙකලා නෙත් මානයේ පෙනෙන්නට ඇති වගකීම් සහ යුතුකම් වෙනුවෙන් වෙහෙසෙන්නට මන්දාකිණි තීරණය කර තිබුනේ ගැහැණියකට පහර දීමේ වරදට වඩා මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුව හේතුවෙන් ශෙනාල් හට වසර කිහිපයක සිර දඬුවම් නියම වූ පසුවය.

Hotel Sunzet නමින් එළඹෙන දිනයේදී විවෘත වන්නට නියමිතව ඇති කෛලාශ් ගේ හෝටලයේ විවෘත කිරීමේ උත්සවය හේතුවෙන් මන්දාකිණි ,මීනු මෙන්ම සත්සර සහ කෛලාශ් ද ඉතා කාර්යබහුල තත්ත්වයකින් පසු වූවෝය. මන්දාකිණි හදවතේ ඇති බරැති හැඟීම පිටතට නොපෙන්වා විවෘත කිරීමේ උත්සවයේ සියලු බර තම හිස මතට ගෙන කටයුතු කළාය.ඒ සඳහා අන් අය ගෙන්ද නොමද සහයෝගය ලැබුණු බැවින් රාත්‍රී දහය පමණ වන විට එළඹෙන දිනයේ උත්සවය වෙනුවෙන් සැලසුම් කළ සියලු සැරසිලි කටයුතුද සිදු කර අවසන් කර ගන්නට මන්දාකිණි ඇතුළු සේවක පිරිසට හැකියාව ලැබී තිබිණි.

” මේ ප්‍රොජෙක්ට් එක ඔයාටම නොදුන්නනම් අපරාදෙ මන්දාකිණි. එහෙනම් මට ඉවෙන්ට් එක ප්ලෑන් කරන්න වෙනම කට්ටියකුත් ගන්න වෙනවා. ” 

කෛලාශ් කීවේ කුඩා උත්සවයන් වෙනුවෙන් නිම කෙරුණු උත්සව ශාලාව විවෘත කිරීමේ උත්සවය වෙනුවෙන් සැරසී ඇති ආකාරය දෙස සන්තෝෂජනක හැඟීමකින් යුතුව බලමිනි.

” අපරාදේ.වෙන හොඳ කම්පනි එකක් හොයලා දෙන්න තිබුනේ “

මන්දාකිණි මුවට නැගුනු සිනහව තද කර ගත්තාය.

” වැඩේ කියන්නේ අවුරුදු ගානක් තිස්සේ හොයපු කෙල්ල ඇස් දෙක ඉස්සරහ ඉඳලත් මම සෑහෙන කට්ටක් කාලා හොයපු එකනේ “

මන්දාකිණි නැවත මදහසක් පෑවාය. ජීවිතයේ බොහෝ දෑ මේ වන විට විසඳෙමින් පවතින්නේ පුදුමාකාර ආකාරයකටය.එය තමා කිසි සේත්ම අපේක්ෂා කළ ආකාරයට නොවූවත් ගෙවුණු සමයේ තම සිත තුළ නොතිබුණු සැනසිලිදායක හැඟීමක් මන්දාකිණි ඒ වන විට විඳිමින් උන්නාය.

” මම ප්ලෑන් කරාට වඩා, මම හිතුවට වඩා හොඳට මේ හැමදේම ඔයා කරලා දුන්නා මන්දාකිණි. ඒකට කොච්චර තෑන්ක්ස් කරත් මදි. ඔයා මේ හැබෑ කරලා දුන්නේ මම සෑහෙන කාලයක් තිස්සේ හීන දැක්ක දෙයක්. මට ඕන උනේ හැමෝම හදන විදිහේ සාමාන්‍ය හොටෙල් එකක් හදන්න නෙමෙයි. මිනිස්සු නේචර් එකට ආදරය කරන විදිහට, හැම තැනම කොළ පාටට පේන විදිහට , කොටින්ම මෙතන දාලා යන්න හිත දෙන්නෙ නැති විදිහට මේක හදන්න. ඔයා නිසයි මට මේක කර ගන්න පුළුවන් උනේ “

කෛලාශ් මන්දාකිණි සමඟ වාහන අංගනය වෙත පැමිණෙමින් කීවේය. ඒ වන විට සත්සර පිටත්ව ගොස් සිටි අතර මීනූ ඇතුළු අනෙකුත් සේවක පිරිසද පිටත්ව ගොස් තිබිණි.

” මම ඔයාව ගෙදරින් ඩ්‍රොප් කර ගෙන යන්නම් කෛලාශ්. ගිහින් ඔයා ඉක්මනට නිදා ගන්න. හෙට උදේම ආපහු අපි එන්නත් ඕනෙ නේ “

මන්දාකිණි නිවසට පැමිණියේ කෛලාශ් ගේ නිවස අසලින් ඔහුව ඇරලවීමෙන් පසුවය. තමා නිවසට පැමිණි බවට කෛලාශ් හට කෙටි පණිවිඩයක් තැබූ මන්දාකිණි පැය භාගයක් පමණ ස්නානය කිරීමෙන් අනතුරුව නැවුම් හැඟීමකින් යහනේ වැතිරුණාය. ශෙනාල් පිළිබඳව මතකයක් ඒ සැනින්ම මතකයට නැඟුනද එය ආයාසයෙන් යටපත් කර ගත් මන්දාකිණි දෑස් තද කර පියා ගත්තාය.

කෛලාශ් පසු දින අලුයම පහට පමණ අවදි වූයේ අතිශය බලාපොරොත්තු සහගත හැඟීමකිනි. එලාම් ඔරලෝසුවේ හඬ ඇසී අවදි වුවද ඔහු යහනෙන් නොබැස සිවිලිම දෙස බලා ගෙන කල්පනා කළේ අනාථ නිවාසයක අනාථ දරුවකු ලෙස හැදී වැඩුණු තමා ගුණ යහපත් දෙමව්පිය යුවළකගේ දරුවෙකු ලෙස මව් බිමෙන් පිටව ගොස් වසර ගණනාවකට පසුව නැවත මව්බිමට පැමිණ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ ගමන් මග පිළිබඳවය. ඒ සඳහා තමාට මග පෙන්වූ තමාගේ සිතැඟි හොඳින්ම තේරුම් ගත් ඇන්ඩ්‍රියා සහ එරික් නම් වූ තම දෙමව්පිය යුවළට හදවතින්ම ස්තූති වන්ත වෙමින් කෛලාශ් යහනෙන් බැස නාන කාමරයට ඇතුළු වූයේය.

හෝටලය විවෘත කිරීමේ උත්සවයට යාම සඳහා සූදානම් වූ කෛලාශ් කැබ් රථය පැමිණීමට තවත් පැය භාගයක් පමණ ඉතිරිව තිබෙන බැවින් අවසාන වරට කණ්ණාඩියෙන් මුහුණ බලා තවත් සුවඳ විලවුන් ස්වල්පයක් තවරා ගෙන ජංගම දුරකථනයද ගෙන තරප්පුව බැස පහත මාලයට පිවිසියේය. ඒ වන විට සේපාල විසින් කිරිබත් මේසයක් උත්සවශ්‍රීයෙන් සූදානම් කර තිබෙනු දැක කෛලාශ් පුදුමයට පත් වූයේය.

” හොටෙල් එකෙත් කිරිබත් මේසයක් තියෙනවානේ සේපාල. මේ මොකද මේ ? ” 

සේපාල වෙනදා නොවූ තරමේ සතුටකින් සිනාසී මේසයේ වූ පුටුවක් එළියට ඇද පසෙකට වූයේ කෛලාශ් හට අසුන් ගැනීමට ඉඩ තබාය.

” අද ඉතින් සුභ දවසක්නෙ පුංචි මහත්තයා.ගෙදරත් කිරි බත් ඩිංගක් හැදුවට කමක් නෑනේ ” 

සේපාල දුම් දමන විශාල කිරිබත් පිඟානෙන් කිරිබත් කෑල්ලක් කෛලාශ් ගේ පිඟාන මතින් තැබුවේය.

” ඉතින් මෙච්චර ගොඩක් හදලා ඇයි? මේ උදේ පාන්දර මට කන්නත් බෑ ” 

කෛලාශ් කට්ට සම්බෝල පිරවූ දීසිය පිඟාන වෙත ලං කර ගනිමින් කීවේය.

” පුතා ” 

කෛලාශ් තිගැස්සී කෑම මේසයට ඈතින් වූ නිවසේ ප්‍රධාන දොරටුව දෙස බැලුවේ පුදුමයෙනි. ඇන්ඩ්‍රියා සහ එරික් සිනා මුසු මුහුණු වලින් යුතුව දොරටුව අසල සිට ගෙන සිටි අතර කෛලාශ් වහාම අසුනින් නැගිට ඔවුන් දෙදෙනා අසලට දිව ගියේ හදවත උතුරා යන තරමේ සතුටක් ඇතිවය.

” අම්මා.. අනේ.. තාත්තා.. “

කෛලාශ් ඇන්ඩ්‍රියාව සහ එරික්ව වැළඳ ගත්තේ සෙනෙහසිනි.සේපාල පසෙකට වී සිනාසෙමින් බලා උන්නේය.

” ලොකු නෝනයි ලොකු මහත්තයයි ආවේ පාන්දර. එතකොට පුංචි මහත්තයා නිදි.පුංචි මහත්තයා ලෑස්ති වෙලා එන වෙලාව මට කලින්ම කියලා තිබ්බ නිසා ඒ වෙලාව අල්ලලා ලොකු නෝනයි ලොකු මහත්තයයි එළියට බැස්සා “

සේපාල පැවසූ අතර කෛලාශ් දෙමව්පියන් දෙදෙනාගෙන් මෑත් වී පුදුමයෙන් බැලුවේය.

” එතකොට සේපාල දන්නවා අම්මයි තාත්තයි එනවා කියලා ? ” 

” ඔව් පුතා. ඔයාගේ හොටෙල් එක ඕපන් කරන කරන කොට ඔයාගේ අම්මයි තාත්තයි විදියට අපි දෙන්නා ඔයා ලඟ ඉන්න ඕනේ කියලා තාත්තා තමයි කිව්වේ.ඉතිං අපි ආවා.අපි නෑවිත් කොහොමද ඔයාගේ දේකට “

ඇන්ඩ්‍රියා එරික් දෙස බලමින් පවසා කෛලාශ් ගේ අතින් අල්ලා ගෙන කෑම මේසය වෙත පැමිණ කෛලාශ් ගේ පිඟානේ බෙදා තිබූ කිරි බත් වලින් කැබැල්ලක් ගෙන කෛලාශ් හට කවා නැවතත් ඔහුව වැළඳ ගත්තේය.

” Congratulations පුතා. ඔයාට හැමදාම හරියන්න ඕනේ ” 

එරික්ද ඉදිරියට පැමිණ කෛලාශ් හට කිරිබත් කවා සුබ පැතූ අතර අනතුරුව තිදෙනාම මේසයේ වාඩි වී උදෑසන ආහාරය ලබා ගත්හ.

කෛලාශ් ගේ කැබ් රථය පැමිණි පසුව කෛලාශ් ඇන්ඩ්‍රියා සහ එරික් සමඟ හෝටලයට බලා පිටත් වූ අතර කෛලාශ් උන්නේ හදවත පිරී ගිය හැඟීමකිනි. අතරමගදී තිදෙනා හට කතාබස් කරන්නට බොහෝ දේ තිබුණු අතර හෝටල් පරිශ්‍රයට පැමිණ කැබ් රථය නතර කර ඉන් බසින අතරේ ඇන්ඩ්‍රියා මෙන්ම එරික්ද බොහෝ පුදුමයට පත් වූහ.

” වාව් පුතා.. හරිම ලස්සනයි ” 

එරික් වටපිට බලමින් කීවේ හෝටලයේ ලොබිය වෙතට යාමට පියවර ඔසවමිනි. මන්දාකිණි ගේ රථය ද ඒ මොහොතේම වාහන අංගනයට පැමිණ නතර වූ බැවින් එරික් ,ඇන්ඩ්‍රියා මෙන්ම කෛලාශ් ද හෝටලයට ඇතුළු නොවී නතර වූවෝය.

කෛලාශ් සමග සිටින්නේ ඔහු ගේ දෙමව්පියන් බව දුර තියාම දුටු නිසා මන්දාකිණි රථයෙන් බැස්සේ තරමක චකිතයකිනි. ඔවුන් නොපැමිණෙන බව කෛලාශ් මුලදීම සඳහන් කර තිබුණු බැවින් එවැන්නක් බලාපොරොත්තු නොවූ මන්දාකිණි වාහනයෙන් බැස්සාය.

ඇත් දළ පැහැති චාම් සාරියකින් සැරසී හුන් මන්දාකිණි දුටු විට සියොලඟම වෙව්ලා යන බවක් කෛලාශ් හට දැනුනි. වෙනදා නොදුටු තරමේ සුන්දරත්වයක් විදහා දක්වමින් මන්දාකිණි ඇන්ඩ්‍රියා,එරික් සහ කෛලාශ් නැවතී සිටි තැනට පැමිණ නතර වූ අතර ඇන්ඩ්‍රියා අඩියට දෙකට මන්දාකිණි අසලට පැමිණියාය.

” අනේ මේ කෙල්ලගේ ලස්සන. ඉන්දියන් ඇක්ට්‍රස් කෙනෙක් වගේ ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here