මතකයක සේයා – 40

0
976

Hotel Sunzet හී නිල්වන් මුහුදු තීරය අබියස ඇති මේසයක මන්දාකිණි ත් , දෙමාපියනුත් සමඟ කෛලාශ් අසුන් ගෙන උන්නේ චකිතයෙනි. කෙටි පණිවිඩයක් ඔස්සේ තමා හෝටලයට පැමිණෙන බව මන්දාකිණි පවසා එවා තිබුණද ඇය ඇගේ දෙමව්පියන් සමග පැමිණෙතැයි කෛලාශ් බලාපොරොත්තු වූයේම නැත.අනාත නිවාසයක සිට පාසල් පැමිණ අනෙක් ළමුන් ගෙන් පීඩාවට පත් වන කුඩා පිරිමි දරුවෙකු පිළිබඳව කුඩා කාලයේදී පාසල් ගොස් පැමිණ මන්දාකිණි අතොරක් නැමති තොරතුරු පැවසූ බැව් පුෂ්පා ගේ මෙන්ම ධර්මරත්න ගේද මතකයේ තිබිණි. පසුව ඒ කුඩා දරුවා ඔහුව බාර ගත් දෙමව්පිය යුවල සමඟින් විදේශ රටක පදිංචියට ගිය බැව් ද මන්දාකිණි එක් දිනයක දී පැමිණි ශෝකයෙන් පැවසූ බවද පුෂ්පා හට සිහි විය.

” මන්දාකිණි නිසා තමයි මේ හොටෙල් එක මෙච්චර ලස්සනට තියෙන්නේ. මගේ අම්මයි තාත්තයි ගොඩක් සතුටු වුනා මේක දැකලා “

කෛලාශ් පැවසුවේ සැබෑවටමය. හෝටලයේ අභ්‍යන්තර නිර්මාණ කටයුතු පිළිබඳව ඇන්ඩ්‍රියා සහ එරික් නිවසේදී බොහෝ වාරයක් වර්ණනා කළ බව කෛලාශ් මන්දාකිණි හටද පවසා තිබිණි.

” පුතාගේ අම්මයි තාත්තයිත් ලංකාවෙද ඉන්නේ එතකොට දැන් ? ” 

ධර්මරත්න දොඩම් පෙත්තකින් සරසන ලද වීදුරුවේ පිරී තිබුණු සීතල දොඩම් යුෂ වලින් බිඳුවක් තොල ගෑවේය.

” ඒ දෙන්නා opening එක දවසේ උදේ මාව සප්‍රයිස් කරන්න ලංකාවට ආවා. මේ දවස් වල නම් ඉතින් දෙන්න ගෙ වැඩේම ඇවිදින එක. අද පාන්දර අනුරාධපුර ගියා “

සැබෑ දෙමව්පියන් අහිමි වුවද කෛලාශ් සැබැවින්ම වාසනාවන්ත බව පුශ්පා සිතුවේ කෛලාශ් ධර්මරත්න දෙසට හැරී ඔහු විමසන දේවල් වලට ඉතා ගෞරවයෙන් සහ සුහදශීලීව පිළිතුරු දෙන ආකාරය දෙස බලමිනි. 

මන්දාකිණිට සහ දෙමව්පියන්ට දහවල් ආහාරය සූදානම් කර දුන් පසු කෛලාශ් හදිසි හමුවීමක් සඳහා පිටව ගියේ පැයකට පමණ පසුව නැවත පැමිණීමට පොරොන්දු වෙමිනි. යොදා ගත් වෙනත් කටයුත්තක් නොමැති බැවින් ඔහු නැවත පැමිණෙන තුරු හෝටලයේ රැඳී සිටින්නට මන්දාකිණි සහ දෙමව්පියන් කෛලාශ් වෙත පොරොන්දු වූහ.

” ආ මන්දාකිණි ” 

පුශ්පා නිහඬවම ආහාර ගන්නා මන්දාකිණි දෙසට හැරුනේ අත වූ හැන්ද කෑම පිඟාන මත තබමිනි. මන්දාකිණි ආහාර ගැනීම නවතා පුෂ්පා දෙස බැලුවේ අනතුරුවය.

” ඇත්තටම ඇයි මේ ළමයා අච්චර හොඳ රටක ඉන්න පුළුවන්කම තියෙද්දී තනියෙන් මෙහෙට ඇවිල්ල බිස්නස් එකක් කරන්නේ ? ” 

මන්දාකිණි මොහොතකට නිරුත්තර වූවාය. කෛලාශ් සියල්ල හැර දමා ව්‍යාපාරයක් මුල් කර ගෙන මව්බිමට පැමිණියේ තමා සොයා බව කෙසේ නම් දෙමාපියන් හට පවසන්නද?

” අ.. මේ.. එයා ඉතින් පොඩි කාලේ හිටියේ ලංකාවේ නේ අම්මා. ඒක වෙන්නැති “

මන්දාකිණි තමා දෙස එක එල්ලේ බලා සිටින මව ගේ දෑස් මඟ හරිමින් කෑම පිඟාන වෙත දෑස් නැඹුරු කර ගත්තාය.

” පොඩි කාලේ මෙහෙ හිටියයි කියලා තමන්ට පිහිට වෙච්ච අම්මයි තාත්තයි දාලා එහෙම එන්න පුළුවන්ද ළමයෙකුට? එච්චර සැප සම්පත් තියෙද්දී ? ” 

” ඒ පවුල් වල මොනව තියෙනවද කියලා අපි දන්නෑනෙ පුෂ්පා. කවුද දන්නේ ඒ ළමයා අම්මගේයි තාත්තගෙයි කීමට ආවද කියලා ? “

” මං නම් හිතන්නෑ ධර්මේ ” 

පුෂ්පාද ධර්මරත්නගේ කීමට එකඟ වෙනවා වෙනුවට මන්දාකිණි දෙස විමසිලිමත් දෑසින් බැලුවාය.

” එතකොට ඔය දෙන්නා ආපහු හම්බ උනේ කොහොමද මන්දාකිණි ? “

මන්දාකිණි ආහාර ගැනීම නවතා පිඟාන අසල වූ වතුර වීදුරුව ගෙන උගුරු කිහිපයක් පානය කර වීදුරුව මේසය මතින් තබා පුෂ්පා දෙස බැලුවාය.

” කෛලාශ් ගේ කසින් කෙනෙක් තමයි මාව කන්ටැක්ට් කරේ. එයා මෙහෙ එන්න කලින්මයි මම මේ ප්‍රොජෙක්ට් එකේ වැඩ පටන් ගත්තේ.මොකද කෛලාශ් ගේ කසින් ගේ ඔෆිස් එකේ ප්‍රොජෙක්ට් එක කරෙත් මම. කෛලාශ් මෙහෙ ආවාට පස්සෙ තමයි අපි ආපහු අඳුර ගත්තේ. අනික එයාට මාව මතක තිබ්බෙත් ලියානා කියලා ” 

මන්දාකිණි පැවසිය නොහැකි සත්‍යය වසන් කර පැවසිය හැකි කොටස පමණක් පුෂ්පා ඉදිරියේ දිග හැරියාය. එහෙත් ඉන් අනතුරුවත් පුෂ්පා මන්දාකිණි දෙස බලා උන්නේ සැක මුසු බැල්මකිනි.

” එතකොට ඔයයි ශෙනාලුයි ගැන මේ ළමයා දන්නවද ? ” 

මන්දාකිණි හට වුවමනා වූයේ මේ කතාව නතර කර දමන්නටය.එහෙත් පුශ්පා එයට ඉඩක් තැබුවේ නැත. 

” දන්නවා අම්මා. දන්නවා. ශෙනාල් එදා මගේ කම්මුලට ගහනකොට කෛලාශුත් එතන හිටියා ” 

මන්දාකිණි එසේ කියා නතර වෙද්දී පුෂ්පාත් ධර්මරත්නත් මුහුණින් මුහුණ බලා ගත්තේ පුදුමයෙනි. 

” කෛලාශ් මොකද්ද එතන කරේ මන්දාකිණි ? ” 

එවර ධර්මරත්න හඬ අවදි කළේය. 

” කෛලාශුයි මමයි කතා කර කර ඉන්න තැනට තමයි ශෙනාල් ආවේ. අනේ දැන් මේ කතාව මෙතනින් නතර කරමුද තාත්තා ” 

මන්දාකිණි පැවසුවේ බැගෑපත් හඬිනි. එහෙත් තමන් දෙදෙනා නොදන්නා සියල්ල දැන ගැනීමට ධර්මරත්නට මෙන්ම පුෂ්පාටද උවමනා විය.

” ශෙනාල් ඔයාට ගහපු එක වැරදි නෑනෙ බලන් යද්දි. ඔයා වෙන කොල්ලෙක් එක්ක ඉන්නවා දැක්කහම ඒ ළමයට තරහ යන්න ඇති ” 

පුෂ්පා සාම්ප්‍රදායික මවක වෙමින් උන්නාය. මන්දාකිණි උන්නේ ඒ සියල්ල ඉවසා ගත නොහැකි තත්ත්වයකය. තමාට අවශ්‍ය වන්නේ හදවතේ ඇති තුවාල පිළිසකර කර ගැනීමට මිස ඒවා තවත් පාරා ගැනීමට නොවේ.

” මේ වගේ ප්‍රශ්න විසඳන්නේ මෙහෙම නෙමෙයි පුෂ්පා. අපි කොතනදි ඉවසුවේ නැති වුනත් මෙහෙම තැන් වලදී ඉවසන්නම ඕනේ “

මන්දාකිණි ගේ මුහුණේ පෙනෙන්නට ඇති හැඬුම් බර බව ධර්මරත්න විසින් හඳුනා ගෙන උන්නේය. මන්දාකිණි කදුළු පිරි දෑසින් මුහුදේ රළ බිඳෙන ආකාරය දෙස ඇසි පිය නොහෙලා බලා උන්නේ තමා කෙරෙහිම උපන් සංවේගයෙනි.

” මෙතන අපි නොදන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද මන්දාකිණි  ? “

ධර්මරත්න මේසය මත ඇති තම දියණියගේ අත මතින් අත තැබුවේය.ධර්මරත්න මේ ආකාරයට ඉවසිලිවන්තව හැසිරෙන්නේ කෙසේ දැයි කියා පුෂ්පා හට සිතා ගත හැකි වූයේ නැත.

” වෙච්ච හැම දේකදිම කෛලාශ් මට උදව් කරා තාත්තා. මොකද ඒ වෙලාවේ මට කිසිම යාළුවෙක් හිටියේ නැහැ.ශෙනාල් මට යාළුවෙක් ව හම්බ වෙන්න යන්න වත් දුන්නේ නැති හින්දා මට හදිසියක් උනත් මේ කිසිම යාළුවෙක් නෑ “

අවසාන වචන කිහිපය පවසද්දී මන්දාකිණි ගේ හඬ බිඳී ගිය අතර ඇය මේසය මත හිස තබා ගෙන හඬන්නට පටන් ගත්තාය.

” අඬන්න ඕන ඔයා නෙමෙයි මන්දාකිණි අපි.මට තාමත් තේරෙන්නේ නෑ මෙච්චර දැනුම් තේරුම් තියෙන ඔයා ඒ වගේ මනුස්සයෙකුට අහු උනේ කොහොමද කියලා. ඔයාගේ තාත්ත හැටියට මට මේවා දරාගන්න පුළුවන් කියලා ඔයා හිතනවද ළමයෝ ? “

ධර්මරත්න දිගු සුසුමක් හෙළුවේය. තමාට සහ තම බිරිඳට තම එකම දියණියව මේ තාක් කාලයක් මඟ හැරුනේ කෙසේ දැයි ඔහු දෙගිඩියාවෙන් කල්පනා කළේය. මන්දාකිණි මේසය මත හිස තබා ගෙන හඬා වැටෙන විට පුෂ්පා බලා උන්නේද කම්පාවෙනි. විනාඩි පහකට පමණ පසුව මන්දාකිණි හිස ඔසවා කම්මුල් වල තැවරී ඇති කඳුළු පිසදා ගත්තාය.

” මං දන්නව තාත්තා මං හුඟක් වැරදියි. මට ඕන වුනේ ඔලුව කෙලින් තියා ගෙන ලස්සනට ජීවත් වෙන්න. ශෙනාල් මගේ ජීවිතේට ඇවිල්ල හැමදේම ටික කාලයක් ඇතුළත වෙනස් වෙනකොට මං අසරණ උනා. මං ඊළඟට කරන්න ඕනේ මොකද්ද කියලා මට කියලා දෙන්නවත් යාළුවෙක් හිටියේ නෑ මට. ඒත් මම මං වෙනුවෙන් වැඩ කරන්න ඕනේ කියලා මට පෙන්නලා දුන්නේ කෛලාශ් විතරයි තාත්තා. එහෙම නොවෙන්න මං තාමත් අර මනුස්සයා ගෙන් ගුටි කකා ඉන්නවා. එහෙම හිටියා නම් අපි තුන් දෙනාට මෙහෙම ඉන්න හම්බ වෙන්නෙත් නෑ. අනික, මට වැරදෙන්න ඕන ලොකුම විදිහට වැරදිලාත් ඉවරයිනේ තාත්තා දැන්. මං ඔය දෙන්නා කියන දේකට කැමති වෙන්නම්. මොකද මං දන්නවා මට වැරදුනේ කොතනද කියලා.ඒත්.. ඔය දෙන්නට පුළුවන්ද ඒ වැරදිච්ච තැන මතක් කර කර ආයේ ආයේ මගේ හිත කඩන්නෙ නැතුව ඉන්න ? “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here